චමරි, දෝනි සහ නායකත්වය

Share post:

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම, ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලිය ජයග්‍රහණය කළා.
ඒ අනුව මේ වසරේ ඔක්තෝම්බර් මාසයේ බංග්ලාදේශයේ පැවැත්වීමට නියමිත T20 ලෝක කුසලානයේ ස්ථානයක් ද ශ්‍රී ලංකාවට වෙන් වුණා.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබා ගැනීමට පවා නොහැකි වීමෙන් දිගු කාලීනව කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ඔවුන් සිටි ස්ථානය පිළිබඳ අදහසක් ලබා ගත හැකියි.
කොටින්ම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දිගු කලක් තිස්සේ සිටියේ, මෑත කාලීනව ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම වැටි සිටිනා අඩියේමයි.
නමුත් මෑත කාලීනව කාන්තා කණ්ඩායම එම පතුලෙන් බොහෝ ඉහළට පැමිණ තිබෙන බව පෙනෙනවා.
පසුගිය ලෝක කුසලානයේ අනුශූරයන් වූ දකුණු අප්‍රිකාව, ඔවුන්ගේ රටේදීම පරාජය කිරීමට පවා ශ්‍රී ලංකා කාන්තාවන් සමත් වුණා.
ඒ අනුව පැහැදිලිවම ලෝක කුසලානයේ හොඳම කණ්ඩායම් හය අතර ශ්‍රී ලංකාව ඉන්නවා.
එම වෙනස නිර්මාණය කරන්නේත්, ශ්‍රී ලංකාවේ සාර්ථකත්වය හෝ අසාර්කත්වය තීරණය කරන්නේත් එක් ක්‍රීඩිකාවක් විසින්.
ඇය ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු.
මේ මොහොතේ ගෝලිය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂතම ක්‍රීඩිකාව සහ හොඳම පිතිකාරිණිය චමරි.
එහි සැකයක් නැහැ.
මේ තරගාවලිය පුරා චමරි නිරීක්ෂණය කරද්දී, ඇයගෙන් මට මහේන්ද්‍ර සිං දෝනිගේ ක්‍රීඩා විලාශය පෙනුණා.
මේ ගෙවෙන්නේ දෝනි ගේ IPL ක්‍රීඩා ජීවිතයේ අවසන් සමය.
චෙන්නායි කණ්ඩායම හුදෙක්ම රදා පැවතුනේ මහේන්ද්‍ර සිං දෝනි සහ ඔහුගේ නායකත්වය මත.
මේ තරගාවලියේ දෝනි විසින්ම, නව නායකයෙක් ගොඩනගමින් සිටිනවා.
තමන් නොමැතිව තරග ජයගත හැකි චෙන්නායි කණ්ඩායමක් නිර්මාණය කරමින් සිටින්නේ දෝනි විසින්මයි.
ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු නිරීක්ෂණය කළා නම් වෙනසක් සහ විශේෂත්වයක් දැකගත හැකිව තිබුණා.
ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ වටයට ක්‍රීඩා කළේ බොහෝ දුර්වල කණ්ඩායම්.
ශ්‍රී ලංකාව එම තරගාවලියට ක්‍රීඩා කළත්, සෙසු සෑම කණ්ඩායමකටම වඩා ශ්‍රී ලංකාව පියවරක් ඉදිරියෙන් සිටි බව බොරුවක් නොවෙයි.
මෑත කාලීන දක්ෂතා අනුව ශ්‍රී ලංකාව එම තරගාවලියට ක්‍රීඩා නොකළ යුතු කණ්ඩායමක්.
එමෙන්ම පුද්ගලිකව ලොව හොඳම පන්දු යවන්නියන් පවා විනාශ කළ චමරි අතපත්තුට, මේ පන්දු යවන්නියන්ට එරෙහිව ලකුණු ලබා ගැනීම අතිශය සරල ක්‍රියාවක් බවත් පැහැදිලියි.
එනමුත් චමරි තරගාවලියේ ආරම්භයේ සිටම මේ කණ්ඩායම් වලට එරෙහිව විශාල ලකුණකට යාමට මහන්සියක් නොදරන බව පෙනුණා.
අවශ්‍ය නම් චමරිට සිය දත්ත වාර්තා තවත් ගොඩ නගා ගැනීමට මේ තරගාවලියට වඩා සුදුසු තැනක් තවත් නැහැ.
නමුත් පුදුමයකට මෙන් තරගාවලියේ ආරම්භයේ සිටම චමරි ක්‍රීඩා කළේ පසු පාදයේ.
ඇය කෙටි ලකුණු ලබා ගත්තා. බොහෝ තැන් වල සෙසු පිතිකාරිණියට වැඩිපුර අවස්ථාවන් ලබා දුන්නා.
ඇය තමන්ගේ කණ්ඩායම් සමාජිකාවන්ගෙන් ලකුණු ලබා ගැනීමට උත්සාහ කළා.
ලෝක කුසලානයේ දී කණ්ඩායමේ සෙසු ක්‍රීඩිකාවන්ට ආත්ම විශ්වාසය ගොඩ නගා ගැනීමට මේ තරගාවලිය තරම් හොඳ තරගාවලියක් තවත් නැහැ.
මම හිතන්නේ චමරි ඉතාම පරාර්ථකාමීව අඩියක් පසුපසට ගෙන සෙසු ක්‍රීඩිකාවන්ට ඉදිරියට පැමිණීමට අවස්ථාව ලබා දුන්නා.
සෙසු ක්‍රීඩිකාවන්ට තරග දිනවීමටත්, ආත්ම විශ්වාසය ගොඩනගා ගැනීමටත් ඇය ඉඩ දුන්නා.
සාමාන්‍ය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ක්‍රීඩා කරන තරගයක චමරි උසුලනා වගකීම, මේ තරගාවලියේ ඇය වෙනත් ක්‍රීඩිකාවන් මත තැබීමට උත්සාහ කළා.
ලෝකයේ ප්‍රබලතම පන්දු යවන්නියන් ඉදිරියේ ඕනෑම මොහොතක, ඕනෑම පන්දුවකට හයේ පහරක් ලබා ගත හැකි චමරි, මේ පන්දු යවන්නියන් ඉදිරියේ පන්දු ගණනටත් අඩුවෙන් ලකුණු ලබා ගැනීම නිර්වචනය කිරීමට වෙනත් කිසිදු න්‍යායක් නැහැ.
තරගාවලියේ මුල් වටයේ බොහෝ තරග වල චමරි ලකුණු ලබා තිබුණේ මුහුණ දුන් පන්දු ගණනට වඩා අඩුවෙන්.
එක් අන්තයක හුදෙකලා වෙමින් පිටිය වටේ පහර දෙන ඇයගේ සුපුරුදු ප්‍රහාරය අප දුටුවේ නැහැ.
මේ තරග ශ්‍රී ලංකාව ජය ගන්නා බව චමරි දැන සිටියා. ඇයට අවශ්‍ය වූයේ සෙසු ක්‍රීඩිකාවන් ලවා එම ජයග්‍රහණ ලබා ගැනීමට වන්නට ඇති.
මම හිතන්නේ චමරි සලිත වුණේ අවසන් පූර්ව තරගයේ දී.
එක්සත් අරාබි එමීර් කණ්ඩායමට එරෙහිව පැවැති ඒ තරගයත් ශ්‍රී ලංකාව ජය ගැනීම නියත තරගයක්.
එනමුත් තරගයේ එක් තැනක දී ශ්‍රී ලංකාවට තරගය ගිලිහුණා.
එක්සත් අරාබි එමීර් කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණිය නොසිතු ප්‍රහාරයක් දියත් කළා.
එම තරගය පරාජය වූවා නම් ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන සිහිනයත් අත්හැරෙනවා.
වාසනාවට ජ්‍යේෂ්ඨ වේග පන්දු යවන්නිය උදේශිකා ප්‍රබෝධිනි ලබා ගත්, ආරම්භක පිතිකාරිණියගේ කඩුල්ල හේතුවෙන් තරගය ශ්‍රී ලංකාව ජය ගත්තා.
එය නූලෙන් ලැබූ ජයක්.
එම ජයග්‍රහණය චමරි සලිත කරන්නට ඇති.
ලෝක කුසලානයට ජයග්‍රාහී මානසිකත්වයකින් පිය නැගීමට නම් ශ්‍රී ලංකාව අවසන් මහා තරගයත් ජය ගත යුතුයි.
එනමුත් අවසන් කණ්ඩායම් දෙකම ලෝක කුසලානයට සුදුසුකම් ලබනා නිසා, අවසන් මහා තරගයේ විශාල පීඩනයක් ද නැහැ.
ශ්‍රී ලංකා කාන්තාවන් තරගයේ මුලින් පන්දුවට පහර දුන්නා.
මේ තරගයේ මුල් භාගයේත් චමරි ක්‍රීඩා කළේ තරගාවලිය පුරා ඇය ක්‍රීඩා කළ සුපුරුදු රිද්මයෙන්මයි.
ඇය සෙසු ක්‍රීඩිකාවන්ට අවස්ථාව ලබා දුන්නා.
විශේෂයෙන්ම ඇය දහනමයෙන් පහල කාන්තා කණ්ඩායමෙන් ජාතික කණ්ඩායමට පැමිණි විශ්මි ගුණරත්න සීරුවෙන් අධ්‍යනය කළා.
කෙටි ලකුණු ලබා ඇයට අවස්ථාවන් ලබා දුන්නා.
චමරි අතපත්තුගේ කුසලතාවය සහ ආත්ම විශ්වාසයට අනුව ඇයට තරගයක් වෙනස් කිරීමට සහ දිනවීමට පන්දුවාර පහක් ඇති.
තරගයේ අවසන් කොටසේ ඇය පැරණි චමරි වීමට තීරණය කළා.
තමන් මුහුණ දුන් මුල් පන්දු 30 තුල චමරි ලබා ගෙන තිබුණේ ලකුණු 26 යි.
එක් පන්දුවකට එක ලකුණ බැගින් හෝ ඇය රැස් කර තිබුණේ නැහැ.
එනමුත් තරගයේ 19 වන පන්දු වාරයේ දී චමරි අතපත්තු සිය ශතකය රැස් කළා.
පන්දු 60 ක් තුල ලකුණු 100 යි.
මුල් පන්දු 30 ට ලකුණු 26 ක් ලබා ගත් චමරි අවසන් පන්දු 30 තුල ලකුණු 76 යි.
අවසානයේ ශ්‍රී ලංකාව තරගයත්, තරගාවලියත් ජය ගත්තා.
බොහෝ විට චමරි ගේ උත්සාහයත් සාර්ථක වන්නට ඇති.
තරගාවලියේ බොහෝ ක්‍රීඩිකාවන් ජයග්‍රාහී ඉනිම් ක්‍රීඩා කළා.
අවසන් මහා තරගය හැර සෙසු සෑම තරගයකම ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග දිනවූයේ චමරි නොවෙයි, සෙසු ක්‍රීඩිකාවන් විසින්.
ඉතින් තරගාවලිය පුරාවටම තිරය පසුපස සිටිමින් සෙසු ක්‍රීඩිකාවන් ඉදිරියට ගෙන ඒමට උත්සාහ කරමින්, අවශ්‍යම මොහොතේ සිය කුසලතාවය භාවිතා කළ චමරි මට පෙනුණේ මහේන්ද්‍ර සිං දෝනි වගෙයි.

ඉරේෂාන් සිරිවර්ධන (fb)

       2024. 05. 08

Related articles

කුමුදු කුමාරසිංහගේ “කොළඹ මතක”

ජීවිත කාලයම කොළඹ නගර සීමාවෙ ජීවත් වුන කුමුදු ඇගේ ජීවිත මතක මේ පොතට අපූරුවට හකුළුවනවා. කොළඹ මතක පාඨකයාට...

‘ඇදුරාභරණ’ – නිමල් විජේසිරි

උසස් අධ්‍යාපනය සඳහා විදේගත වීම වර්තමානයේ විශේෂයක් නොව සාමාන්‍යයකි. එමෙන්ම මේ වන විට ශිෂ්‍යත්වයක් ලැබ ආචාර්ය උපාධිය සඳහා...

කලාගාරය තුළ Boney M සංගීතය ඇසීමට සලස්වමින් පැවති උපාලි ආනන්දගේ “කැළල” (SCAR) චිත්‍ර ප්‍රදර්ශනය

උපාලි ආනන්දගේ “කැළල” (SCAR) චිත්‍ර ප්‍රදර්ශනය ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ මැයි මස 14, 15 සහ 16 තෙදින තුළ පවත්වන...

තිළිණා වීරසිංහගේ ‘මධු සමය අහිමි මංගල්‍ය’යෙන් දශක දෙකකට පසු

ඊයේ (17) තිළිණගෙ හවස, තිළිණා වීරසිංහ සහෝදරීගෙ මධු සමය අහිමි මංගල්‍ය කෘතිය පාදක කරගෙන ඇගේ නිර්මාණාවලිය ගැනම කෙරෙන...