තමන් සම්බන්ධයෙන් පදනම් විරහිත ප්‍රකාශ සිදුකරන පුද්ගලයන්ට අවශ්‍ය වී ඇත්තේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සම්බන්ධයෙන් ඇති ජනතා විශ්වාසය නැති කර දැමීමට බව එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක පැවසීය.
අද (02) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු එසේ සඳහන් කළේය. පසුගිය කාලයේදී ඔහුට එල්ල වූ චෝදනාවලට ද ඔහු විසින් මෙහිදී පිළිතුරු ලබාදෙන ලදි.
ජවිපෙ නීති අංශයෙ හිටියද?
‘මම 2004 තමයි මහෙස්ත්‍රාත්වරයෙක් විදිහට බැඳෙන්නෙ. 2020 තමයි මහාධිකරණයට පත්වෙන්නෙ. 2025 තමයි ද්විතීයනය, නැත්නම් සෙකන්ඩ්මන්ට් පදනම මත මේ තනතුර බාරගන්නෙ.
එතකොට ඔබ හිතන්න, මම ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ කෙනෙක් නම්, මම විනිසුරුවරයෙක් විදිහටත් සුදුසු නෑ. එතකොට නන්දන ගුණතිලක මහතා අවුරුදු විස්සක් මේක කාටවත් කිව්වෙ නෑ. අධිකරණ සේවා කොමිෂන් සභාවට කිව්වෙ නෑ. ඔහුට අධිකරණ සේවා කොමිෂන් සභාවට කියන්න පුළුවන්කම තිබුණා, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට සම්බන්ධ කෙනෙක් අධිකරණ සේවයට සුදුසු නෑ කියලා, ඔහු කිව්වෙ නෑ.
මම කිසිම දවසක ඔහු කියන ආකාරයේ කමිටුවක ඉඳලත් නෑ, සම්බන්ධත් නෑ, එය අනිවාර්යෙන්ම ප්‍රතික්ෂේප කරන්න ඕනෙ.‘
නන්දන ගුණතිලක කළ යුතු දේ
‘මේක ඇත්ත නම් ඔහු කරන්න ඕනෙ මොකක්ද. කෙනෙක් චෝදනා කරනවා නම් ඔහු කරන්න ඕනෙ මොකක්ද. ඔහු තමයි ඔප්පු කරන්න ඕනෙ, මෙහෙම දෙයක් තියෙනවා කියලා. දැන් අමුතු සංස්කෘතියක් හැදිලා. සමහර නීතිඥවරුත් මේකට ඉන්නවා. බොරුවක් කියනවා, ඊටපස්සෙ කියනවා, ඒක බොරුවක් බව ඔයා ඔප්පු කරන්න කියලා. මම කළා කියන දේ ඔප්පු කරන්න දේ ඔහු.
ඔහු කියන ඒවා ඇත්ත නම්, මාධ්‍යයට කියන්නෙ නැතුව ඔහුට මෙන්න මේ දේවල් කරන්න තියෙනවා. මේවා කරන්න.
ඔබ මුලින්ම අධිකරණ සේවා කොමිෂන් සභාවට ඔය ලේඛන එක්ක පැමිණිල්ලක් කරන්න. මම මෙහෙම සම්බන්ධයි කියලා. කවුරුහරි මොකක් හරි බොරුවක් කිව්වහම සමහරු ලෝකෙ වටේ යනවා, ලෝකෙ වටේ ගියත් කමක් නෑ, පාර්ලිමේන්තුවටත් යනවා. පාර්ලිමේන්තුවෙ වරප්‍රසාද පාවිච්චි කරලා ඒවා කියනවා. ඇත්තද බොරුද කියලා හොයන්නෙ නෑ. එතකොට මොකුත් පියවර ගන්නත් බෑ, පාර්ලිමේන්තු වරප්‍රසාද නිසා.
අධ්‍යක්ෂ ජනරාල් තනතුරට සුදුසුද?
නීතිඥ උදය ගම්මන්පිල කියනවා, මම දූෂණ විරෝධී පනතේ 19 වැනි වගන්තිය යටතේ වරදක් කරනවා කියලා. 19 වැනි වගන්තියෙ තියෙනවා, කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් ඉන්න නුසුදුසුකම්. ඒකෙ තියෙන්නෙ යම් මැතිවරණයක් සමයේදී දේශපාලන පක්ෂයක යම් තනතුරක් දැරීම. ඉතින් එහෙම දරලා තියෙනවා කියනවා නම්, මේ තනතුර බාරගන්න කලින් මා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට සියලු බැඳීම් හෙළිකරනවා. කරුණාකරලා නන්දන ගුණතිලක මහත්තයා සහ උදය ගම්මන්පිල මහත්තයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට පැමිණිල්ලක් කරන්න.‘
අර්ජුන් මහේන්ද්‍රන්ට සැලකුවද?
‘ඒ වගේම ඔහු තව එකක් කියනවා, අර්ජුන් මහේන්ද්‍රන්ගේ විදේශ ගමන් තහනම මම ඉවත් කළා කියලා. මට අර්ජුන් මහේන්ද්‍රන්ට විදේශ ගමන් තහනමක් තිබුණද කියලවත් මතක නම් නෑ. මම එහෙම දෙයක් කළේ නෑ කියලා ඉතාම පැහැදිලියි. අර්ජුන් මහේන්ද්‍රන් සහ රවී කරුණානායක ඇතුළු ඒ සියලුදෙනාට වරෙන්තු නිකුත් කරනු ලැබුවේ මම කොටුව මහෙස්ත්‍රාත්වරයා වශයෙන්. ඒ වෙලාවෙ ඒ වරෙන්තු නිකුත් කිරීම වැරදියි කියලා ඔවුන් අභියාචනාධිකරණයට ගියා. හැබැයි අර කියන විදිහෙ එකක් කවදාවත් සිදුවුණේ නෑ.
ඒකයි මම කියන්නෙ, ලේඛන තියෙනව නම් මම අධිකරණ නිලධාරියෙක් විදිහට කරලා තියෙන වදරක් සම්බන්ධයෙන් අවුරුදු අටක් පැමිණිලි නොකළට කමක් නෑ, දැන් හරි පැමිණිලි කරන්න.‘
චෝදනාවල අරමුණ කුමක්ද?
‘දැන් ඔබට පේනවද, ඔවුන්ගෙ අරමුණ මොකක්ද කියලා. ඔවුන්ගේ අරමුණ ඉතා පැහැදිලියි. ඔවුන්ට ඕනෙ ජනතාවට ඇති වෙලා තියෙන විශ්වාසය නැති කරන්න.‘
අපහාස නඩු දාන්නෙ නැත්තෙ ඇයි?
‘සාපරාධී අපහාස නීතිය දැන් නෑ, මට පුළුවන් සිවිල් අපහාස නඩු දාන්න. මම නඩු දාලා ඒගොල්ලොන්ගෙ පස්සෙ යන්න ඕනෙ. එතකොට මේ කොමිෂන් සභාවේ කටයුතු නොකර ඒවා පස්සෙ යන්න වෙනවා. කොමිෂන් සභාව පැහැදිලිව තීරණය කරලා තියෙනවා, මේ කරන දේවල් හුදෙක් තනි පුද්ගලයෙක් ඉලක්ක කරගෙන කරන දේවල් නොවේ, ඒවා කොමිෂන් සභාවේ කටයුතු ඉලක්ක කරලා කරන දේවල් කියලා. ඒ අනුව කොමිෂන් සභාව තීරණය කරලා තියෙනවා, මේවා කොමිෂන් සභාවට අපහාස කිරීමක් ලෙස සලකා දූෂණ විරෝධී පනතේ ප්‍රතිපාදන අනුව කටයුතු කරන්න.‘
(silumina.lk)