නවකතාවන් අතර නිර්මාණයකට මෙහෙයවීම අසීරුම ලියවිල්ල ඓතිහාසික නවකතාව කියලා කීවෝත් ඔබ එකඟ වෙයි. ඓතිහාසික මූලාශ්‍ර මත පාඨක මනසෙහි මුල් බැස ඇති ඉතිහාස කාරණාවන්ට සමපාතව එය ලිවිය යුතුවීම තමයි එහි ඇති අසීරුතාවය. එය අප දන්නා ඉතිහාසයට සමපාත නොවුනහොත් පාඨකයාගෙන් ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්. ඒ වගේම සමාජ විරෝධයක් එන්නත් පුළුවන්. මොකද බහුතරයක් ලාංකීය ප්‍රජාව බොරුවට හරි වසර 2500 ක ඉතිහාසය වෙත ආශක්ත වෙලා ඉන්නෙ..
හැබැයි ඓතිහාසික මූලාශ්‍ර සමග සමපාත වෙන්න කියලා පැරැණි ඉතිහාස මූලාශ්‍රවල සඳහන් කාරණා ගෙඩිය පිටින්ම උපුටා ගැනීම නිර්මාණකරුවකුගේ කාර්යභාරය නෙවෙයි. ඓතිහාසික කාරණා සමඟ ගැටුමක් ඇති නොවී තමන්ගේ පරිකල්පනය ඓතිහාසිකත්වය සමඟ මෙහෙයවන්න පුලුවන් දක්ෂ නිර්මාණකරුවෙකුට විතරයි..
ඉහත සටහන ලිව්වේ ජැක්සන් ඇන්තනි නම් මහ නිර්මාණකරුවා විසින් රචිත කන්ද උඩ ගින්දර නම් ඓතිහාසික නවකතාවට ප්‍රවේශයක් ලබා ගැනීමේ අරමුණින්..
ඓතිහාසික නවකතාවන් ලියන්න සෑම ලේඛකයෙකුටම බැහැ. ලිව්වත් එය සාර්ථක නිර්මාණයක් බවට පත්කර ගැනීමට හැකියාවක් තියෙන්නෙ අතලොස්සකට පමණයි. ඒ අර්ථයෙන් මම ජැක්සන් ඇන්තනී හඳුන්වන්නේ අතිසාර්ථක නිර්මාණකරුවෙක් විදිහට..
මගේ කියවීමට අනුව සාර්ථක ඓතිහාසික නවකතාවක් නිර්මාණය කිරීම සඳහා සාධක කිහිපයක් බලපානවා. ඒ සියල්ලම සාර්ථක වුණොත් තමයි සාර්ථක ඓතිහාසික නවකතාවක් නිර්මාණය කිරීමට හැකියාව ලැබෙන්නෙ..
ඒවානම්
1) පොදුජන විඥානය
2) භාෂා භාවිතය
3) භූගෝලීය පිහිටීම
4) චරිත ගොඩනැගීම.
5) සිදුවීම් ගොඩනැගීම
6) සිතුවිලි විවරණය කිරීම.
7) සජීවී බව
ඉතිහාසයට සමපාත වීම
පොදුජන විඥානය
ඓතිහාසික නවකතාවක් සාර්ථක වෙන්න ඒ නවකතාවට විෂය වන කාලසීමාවේ පොදු ජන විඥානය සත්‍යාකාරයෙන් නිරූපණය කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවයක්..
ඒ ඒ කාලයට අනුරූපී පොදුජන විඥානය කොහේවත් ලියවිලා නෑ. පොදුජන විඥානය කියන්නෙ සිතිවිලි සමුදායක එකතුවක් නිසා එය නිශ්චිතව මෙයැයි කියන්න හැකියාවක් නෑ. ඉතින් නිර්මාණකරුවකුට ඉතිහාසයේ යම් යම් කාල සීමාවන්වල පොදුජන විඥානය සොයා ගන්න ඉතිහාසය පිළිබඳ ගැඹුරු ගවේෂණයක් කරන්න වෙනවා. ඓතිහාසික මූලාශ්‍රවල සිදුවීම් , චරිත ක්‍රියාකාරිත්වයන් මත පිහිටල තමයි පොදුජන විඥානය හොයාගන්න වෙන්නෙ. ජැක්සන් ඇන්තනි , කන්ද උඩ ගින්දර නවකතාවට විෂය වන ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ සමයේ ජන විඥානය යැයි ඒත්තු ගැන්වෙන හැඟීම් සමුදායක් කැටිකොට ඉදිරිපත් කර තිබෙනවා. ඇත්තෙන්ම එය දීර්ඝ , වෙහෙසකර ඓතිහාසික ගවේෂණයක සාධනීය ප්‍රතිඵලයක් ලෙස හඳුන්වන්න පුළුවන්..
භාෂා භාවිතය
ඓතිහාසික නවකතාවක ඓතිහාසික බව , ප්‍රෞඩත්වය , ගාම්භීරත්වය , තේජස ඉස්මතු කිරීම සඳහා තවත් ප්‍රාමාණික හේතුවක් බවට පත්වෙනවා භාෂා ව්‍යවහාරය. ඇත්තෙන්ම කන්ද උඩ ගින්දර නවකතාව සඳහා භාවිතා කළ භාෂා ව්‍යවහාරය තුළින් ඓතිහාසික සෙංකඩගල රාජධානියේ ප්‍රෞඪත්වය , ගාම්භීරත්වය , රාජ තේජස නිර්මාණය කිරීමට සමත්ව ඇත. ජැක්සන් , පෙරවදනේ භාෂා භාවිතය සඳහා ඓතිහාසික මූලාශ්‍ර හා ජනශ්‍රැතික මූලාශ්‍ර අධ්‍යනය කල බව ප්‍රකාශ කර තිබෙනවා..
භූගෝලීය කලාපය ගොඩනැගීම
ඉතිහාසගත නවකතාවක සාර්ථකත්වය උදෙසා නවකතාවට විෂය වන භූගෝලීය කලාපය නැවත නිර්මාණය කිරීම අතිශයින්ම වැදගත් අවශ්‍යතාවයක්. එකී පරිසර පද්ධතිය හෙවත් භූගෝලීය කලාපය නිවැරදි ලෙස ගොඩනඟා ගැනීමට අසමත් වුවහොත් එය නවකතාවේ බිද වැටීමට හේතුවක් වෙනවා..
මා කියවා ඇති ඓතිහාසික නවකතාවල භූගෝලීය පිහිටීම ප්‍රතිනිර්මාණය කිරීමේදී අතිසාර්ථකම මැවුම්කරුවා ජැක්සන් ඇන්තනී බව ඔහුට ගෞරවයක් වශයෙන් සඳහන් කරනවා. ඔහු කෙතරම් තාත්වික ලෙස එම පරිසර කලාපය නිර්මාණය කර ඇතිද යන්න කිවහොත් ඓතිහාසික කන්ද උඩරට රාජධානියේ කිසිදු භූගෝලීය පිහිටීමක් ඔහුගෙ තුන් වන ඇසට මඟ හැරිලා නෑ..
මහා කඳු පන්ති අතර ඇති ඉතා කුඩාම කඳු ගැටයක්වත් ජැක්සන්ට මඟ හැරිලා නෑ. ඒ කඳු අතර ඇති සියුම් නෙරුම් , නිම්න භූමි පවා ජැක්සන් දැක තිබෙනවා. මහා ගංගාවල සිට කුඩාම දිය පහරක ඇති සියුම් හැරවුම් , දිය මතුපිට තරංගයන් , ජල තලයේ සියුම් හඬ වැනි අතිශය සංවේදී කාරණා පවා ජැක්සන්ගේ තෙවැනි ඇසට ගෝචර වෙලා තියෙනවා..
මහා වනස්පතින්ගේ සිට පයට පෑගෙන තණ කොළයක ඇති ජීවය පවා නවකතාවට එකතු කරගන්න ජැක්සන් සමත් වී තිබෙනවා..
චරිත ගොඩනැගීම
දක්ෂ නිර්මාණකරුවෙක් තම ඓතිහාසික නිර්මාණය සාර්ථක කරගන්න මෙවලමක් ලෙස චරිත ගොඩනැගීම භාවිතා කරනවා. කන්ද උඩ ගින්දර චරිත ගොඩනැගීම අතින් ඉතාමත් සාර්ථක නවකතාවක්. ඉතිහාසයේ අප දන්නා චරිතත් , ඉතිහාසයෙන් වැසී ගිය අප නොදන්නා චරිතත් , ඉතිහාසය ප්‍රතිනිර්මාණය කරන කතුවරයාගේ පරිකල්පනයෙන් ගොඩනගා ගත් චරිතත් යනුවෙන් තුන් ආකාරයක චරිත අපිට මෙහිදී දැකගන්න ලැබෙනවා..
ජැක්සන් චරිත ගොඩනැගීමේදී එකී චරිත තුළින් ඓතිහාසිකත්වය නිරූපණය කිරීමට ප්‍රබල උත්සාහයක් දරා තිබෙනවා. ඒ සඳහා එකී චරිතවල කායික තේජස තනතුරෙන් තනතුරට වෙනස් වන ආකාරය මනාව . ගෙනහැර දක්වා තිබෙනවා. එමෙන්ම එකී තේජස ගොඩනැගීම සඳහා ඒ ඒ තනතුරට හෝ පුද්ගලයාට අදාල ඇඳුම් පැළඳුම් හා ආභරණ උපයෝගී කරගෙන තිබෙනවා..
සිදුවීම් ගොඩනැගීම
අප දන්නා දස්කොන් ප්‍රමිලා ඉතිහාස පුරාවෘත්තයට ඔබ්බෙන් ඇති ඓතිහාසික සිදුවීම් මාලාවක් ද , එකී ඓතිහාසික සිදුවීම් මත තුලනය කල හැකි කතුවරයා විසින් ගොඩනගාගත් සිදුවීම් මාලාවක්ද කන්ද උඩ ගින්දර නවකතාවේ අන්තර්ගතයි.
සිතුවිලි විවරණය කිරීම
ඓතිහාසික නවකතාවක සාර්ථකත්වයට අවශ්‍ය සියලුම අංග සපුරා තිබුණත් පුද්ගල මනෝභාවයන් නිසි ලෙස විවරණය කර නොතිබුනොත් ඒ නවකතාව සාර්ථක නවකතාවක් බවට පත්වන්නේ නෑ. ඓතිහාසික නවකතාවක් වේවා වෙනත් ඕනෑම නවකතාවක් වේවා සිතුවිලි විවරණය කිරීම යනු නවකතාවේ හදවත හා සමානයි. සාමාන්‍ය නවකතාවකට වඩා ඓතිහාසික නවකතාව සිතුවිල විවරණය කිරීම පහසු නැත. මන්ද එකී සිතුවිලි තුලින් පවා ඓතිහාසිකත්වය නිරූපණය වීම අත්‍යාවශ්‍ය වීමයි..
කන්ද උඩ ගින්දර යනු ප්‍රධාන චරිතයේ සිට කුඩාම චරිතය දක්වා සිතුවිලි ඉතාමත් හොඳින් ප්‍රශංසනාත්මක හා ප්‍රමාණවත් ලෙස විවරණය කර ඇති නවකතාවක් බව කිව යුතුයි. ඇත්තෙන්ම ජැක්සන්ට කිසිවෙකුගේ සුසුම් පොදක්වත් හෝ මගහැරී නොමැති බව පොත කියවූ ඔබට දැනෙනු ඇති..
සිතුවිලි විවරණය කිරීම ගැන කතා කරනකොට තවත් යමක් විය යුතුයි. ඓතිහාසික කන්ද උඩරට රාජධානියේ මහ රජුට රන්දෝලි හා යකඩ දෝලි වශයෙන් බිසවුන් දෙවර්ගයක් සිටියා කියල ඔබ හොදින් දන්නවට සැකයක් නෑ. අපි කෙතරම් ඓතිහාසික නවකතාවන් කියවල තිබුණත් රන්දෝලියගේ සහ යකඩ දෝලියගේ ආත්මයන් තුළට කිඳා බසින්න අවස්ථාවක් ලැබුණෙ නැහැ..
මේ බිසෝවරුන් දෙවර්ගයේ ජන්මය , රූපය , කුලය හා වෙනත් කාරණා මත වූ සමාන අසමානතාවයන් , ඔවුන්ට සිදු වූ සාධාරණ හා අසාධාරණයන් , ඔවුන් විඳි කායික හා චිත්ත වේදනාවන් , රාජ්‍යත්වය උදෙසා වරින් වර ඔවුන්ව සූරාකෑමට ලක්වීම් , රජුට හා රාජ්‍යත්වයට අවශ්‍ය වූ සම්ප්‍රයෝගයත් , අනවශ්‍ය වූ විට විප්‍රයෝගයන් මත ඔවුන් කෙරෙවේ වූ උපන් සංවේදනාවන් අපිට කවදාවත් දැනිල නෑ. එසේ නොදැනුනේ එවැනි සංවේදනාවන් පාඨකයා අභිමුව තැබූ නවකතාවක් අප කියවා නැති නිසයි. පෙරවදනේ සඳහන් කර ඇති ආකාරයටම ජැක්සන් රන්දෝලිය හා යකඩ දෝලියේ සංවේදනාවන් සංසන්දනය කරමින් පාඨකයා අභිමුවේ තබා ඇත..
එසේම යොවුන් ප්‍රේමය හා රාජකීය ප්‍රේමය අතර වූ සිතුවිලි ඝට්ටනය ඉතාමත් කලාත්මක ලෙස කුණ්ඩසාලේ කුමාරයා හා ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ යන චරිත ඇසුරෙන් ඉදිරිපත් කරන්නටද කතුවරයා සමත්ව ඇත..
සජීවි බව
කන්ද උඩ ගින්දර නවකතාවේ තවත් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ එහි ඇති සජීවී බවයි. නවකතාව කියවාගෙන යන අතරතුර කිසිම අවස්ථාවක ඓතිහාසික නවකතාවක් කියවනවා යන හැඟීම දැනෙන්නෙ නැත. ඒ වෙනුවට දැනෙන්නෙ ඒ නවකතාවේ සිදුවීම් අතර අප සිටින බව හා ඒ සිදුවීම් සිදුවන්නේ වර්තමානයේ බවයි..
කන්ද උඩ ගින්දර නවකතාව කියවාගෙන යද්දී ඉංග්‍රීසි සාහිත්‍යයේ ගොතික් සම්ප්‍රදාය මතක් වුණා. පොත කියවගෙන යද්දි හැම වෙලාවෙම සියුම් අඳුරකින් , අඳුරු සෙවනැල්ලකින් කතාව වැසී තිබෙන බව දැනෙනවා. එමිලි බ්‍රොන්ටෙගෙ Wuthering Heights නවකතාවේ තරම් නොවුනත් එහි අඳුර අඩු වැඩි වශයෙන් තියෙනවා. මම හිතන්නෙ අඳුරෙන් කන්ද උඩරට අළු යට ගිනි සංකේතවත් කරනවා..
ඉතිහාසයේ කන්ද උඩරට රාජධානි සමය හඳුන්වන්නේ අඳුරු යුගය ( Dark Period) ලෙස. ජැක්සන් ඇන්තනී ඒ බව පෙරවදනෙත් සඳහන් කර තිබෙනවා. විදේශීය ආක්‍රමණ හා දේශීය කුමන්ත්‍රණ එක්ක ඒ යුගයේ ඇත්ත තත්වය නිරූපිත ඓතිහාසික මූලාශ්‍ර නෑ. තිබෙන්නෙ ජයග්‍රහකයා හෝ ආක්‍රමණිකයන් විසින් රචිත පක්ෂග්‍රාහී ලියවිලි..
බොහෝ නවකතාකරුවන් ඒ සත්‍ය නිරූපණය නොවන ලියවිලි මූලාශ්‍ර කර ගනිමින් ඓතිහාසික නවකතා ලියනවා. ඉතිහාසයේ කුමක් තිබ්බත් නිර්මාණකරුවන්ට මධ්‍යස්ථව උපකල්පනය කරන්න පුලුවන්. නමුත් එවැනි මැද තැනක හිඳ ලියූ ඓතිහාසික නවකථාවන් අඩුයි..
ඉතිහාසයේ කියන කන්ද උඩරට පාලකයාගේ කෲරත්වය , ඒකාධිපතිත්වය , ජනපීඩකත්වය වෙනුවට මැදිහත් දෘෂ්ටියකින් ලියූ නවකථාවන් අතර මෙතුවක් කල් හොඳම ඓතිහාසික නවකතාව ලෙස මම සැලකුවේ මහඇදුරු සුසන්ත මහඋල්පතයන්ගේ ආෂාඨ පුෂ්පය නවකතාව. ආෂාඨ පුෂ්පය හා කන්ද උඩ ගින්දර නවකථාවන් සංසන්දනය කිරීමක් නොකළත් එම නවකථාවක් දෙකම එකම ගණයේ විරල ඓතිහාසික නවකතාවන් දෙකක් ලෙස සලකන්න පුලුවන්..
ජැක්සන් ඇන්තනී ඔහුගේ පරිකල්පනයෙන් ගොඩනැඟූ දේවල් බැහැර කලහොත් මෙය ඉතිහාසය හදාරන්න මහඟු පිටුවහලක් ලැබෙන ග්‍රන්ථයක්.
පොතේ අවසානයේ කන්ද උඩරට ගිම්හානය නිමාවුණා. ජැක්සන් ජීවතුන් අතර හිටියනම් කන්ද උඩරට ඊළග ඍතුව විඳින්න අපිට අවස්ථාවක් ලැබෙනවා. නමුත් අපි අවාසනාවන්තයි. ජැක්සන්ව දේශපාලනිකව කියවගන්න එපා. එහෙම වුනොත් ඔබට ලස්සන සාහිත්‍යයක් එහෙම් පිටින්ම මඟ හැරෙනවා..