‘මේ ගසට ගල් ගසන්න’ යළි යළි කියවන්නට පොළඹවන මත දනවනා කවි එකතුවකි

Share post:

කම්කරු දිනයෙහි සන්ධ්‍යාව පසුගිය දින කිහිපයෙහි පැවති අකුණු සහ තද වැසි වලින් තොරව ගෙවිණි. රාත්‍රිය දැඩි දාහයෙන් යුක්ත වූවේ දහය පමණ වන විට තරමක වැස්සක් නිසංසලේ ඇද හැලෙන්නට පටන් ගැණිනි. වැස්ස පැවතියද දරාගත නොහැකි දාහය හමුවේ විදුලි පංකාව උපරිමයෙන් ක්‍රියාත්මක කිරීමත් සොර සතුරු බිය නොතකා කවුළුව හැර දැමීමත් හැර විකල්පයක් නොවිණි. කෙසේ හෝ දෙදහස් හතලිස් අටේ අරුණෝදාව තෙක් ජීවත් විය යුතුව තිබේ. සකල දේශවාසී කම්කරුවනි, හැකි නම් එකමුතු වෙයව්!

දවස් ගානක් තිස්සේම මගේ උර මල්ලේ ලක්ෂාන් මධුරංග ලැගුම් ගෙන සිටින බව මතකයට නැගුණේ මෙසේ දාහයෙන් දැවෙන රැයෙහි වැස්සට සවන් දෙමින් කම්කරු දිනය ගැන කල්පනා කරන අතරය. ඉදින් දෙවන දින උදෑසන දුම්රිය ගමන ‘මේ ගසට ගල් ගසන්න’ කියවීමට වෙන් කරන්නෙමැයි තීරණය කළෙමි.

උදෑසන දුම්රිය වෙදා වගේමය. නිදිබර මුහුණුය, ගැස්සෙන ගමන ය, අසුන් වෙත කෑදර නෙතින් බලමින්, හිඳගෙන ඉන්නා උන් කොයි මොහොතේ බසීදැයි බලා සිටිනා බඩගිනිකාර දෙනෙත්ය, ජංගම දුරකථන තිර වල ඇලී නොසැලී පවත්නා මුහුණය. මම ලක්ෂාන්ගේ කවි කියවූවෙමි. ඉන් ලද ආනන්දය පහව යන්නට පෙරම මෙය ලියමි.

ලක්ෂාන්ගේ කවි කියවද්දී මගේ සිත ගියේ දොරමඩළාව කාව්‍ය සංග්‍රහය වෙනුවෙන් දයාසේන ගුණසිංහ විසින් ලියන ලද දීර්ඝ පෙරවදන කෙරෙහිය. ඒ අදට එදාටත් වඩා අදාල පෙරවදනකි. ඔහු එහිදී කවියාගේ කාර්යභාරය තවලමෙහි අවසන් ඔටුවාගේ වැනි යි කිවියර සුලෙයිමානොවා උපුටමින් පවසයි. එනම් තවලමේ මුලින් යන් ඔටුවන්ගේ පිටින් වැටෙනා බරද අවසන් ඔටුවා පිට පැටවෙන්නාක් මෙන් අන් සියළුම අය වගකීම් හැර දැමූ පසු කවියාට බර දරන්නට සිදුවන්නේය යනුයි. එසේම ඔහු පවසන්නේ වණ්නුපථ ජාතකයෙහි තවලමෙන් දිරි සිඳී වැටී සිටිනා අයට දිය සොයා ගැනීමට බෝසතුන් මග පෙන්වූ අයුරින් කවියාද කටයුතු කළ යුතු බවයි. එහෙත් මේ උපදෙස යනු කෙසේවත් කවිය ප්‍රචාරකවාදී කිරීමට හෝ කවිය හුදු වදන් ප්‍රකාශනයක් කිරීමට දිරි දෙන්නක් නොවේ. ඒ කවිය කෙසේ විය යුතුද යන්නට හොඳම නිදසුන වන්නේද දයාසේනගේ දොරමඩළාවමය.

ලක්ෂාන් වර්තමානය තුල කවිය සහ කවියාගේ වගකීම සම්බන්ධයෙන් සාකච්ඡාවට ගත යුතු පිවිසුමකින් තම කවියට එළඹෙයි. කවිය යනු ආත්ම ප්‍රකාශනයක් වන්නා සේම එකී ආත්ම ප්‍රකාශනයට කවියාගේ සමාජ දේශපාලන සංස්කෘතික දැක්ම මෙන්ම සිය පෙනී සිටීම වෙනුවෙන් විය යුතු වගකීම් සහගත බවද හේ අවධාරණය කරයි. එනම් කවිය යනු හුදු දේශපාලන කටයුත්තක් බව හේ කියා සිටියි. කවිය පක්ෂියෙකු හා සමාන බවත් එය සියළු දේශ සීමා ඉක්මවා යන බවත් කියනා යෙව්ගෙනි යෙවුටුෂෙන්කෝ ඒ සමගම සත්‍යය නිහැඬියාව මගින් යටපත් කරන්නා හා සමගම නිහැඬියාව යන්න මුසාවක් වන බවද කියයි.

ඉදින් ලක්ෂාන් සීමා ඉක්මවා යන කවියක් මගින් නිහැඬියාවට තිත තබයි. අපට ඔහුගේ හඬ රැගෙන එයි.
කවියෙහි සෞන්දර්යයම සොයන්නන්ට එ මගෙහිම යන්නට ඉඩ ලැබේවා. සඳ පහන සිත නිවන බවටත්, සඳ එළිය වට වටොර අනුරාගී නිමේෂයන් මවන බවටත් පොල්රුප්පාවන් දිගේ ඇද හැලෙනා සඳ එළිය දෝරේ ගලනා නිසංසල නිම්නයන්හී මුදු ස්වප්නයන් මවන බවටත් වදන් කැටි කරන්නන් හට ඉඩ ලැබේවා. එහෙත් ඒ සුපහන් සඳ එළිය යනු මේ මොහොතේ ව්‍යාජයක් බවත්, සඳ පහනෙහි වියන යට කැටි ගැසෙන කඳුළු සහ ලේ ඇති බවත්, විෂ දුම් ගලා යමින් පවත්නා බවත්, වැසුණු දොර කවුළු පිටුපස පීඩිතයන්ගේ සුසුම් සහ සාප කිරීම් රැව් නැගෙනා බවත්, පීඩිතයාගේ දෙවුර මත තැබූ කිරිගරුඩ මේස මත පීඩකයාගේ මධු බඳුන පිරෙමින් පවත්නා බවත් ඒ සත්‍යය වටහා ගන්නට පීඩිතයා දැක්මක් සහිත විය යුතු බවත් අමතක කිරීම යනු මාරාන්තික වරදක් බව කීමට නිර්මාණකරුවකුට පූර්ණ අයිතිය ඇත්තේමය.

ලක්ෂාන්ගේ පළමු කව ඔහුගේ නව කව් සරණියට මනා ද්වාරයකි. ඔහු එය නම් කරනුයේ පුතේ නමිනි. ඒ ජීවිතය මේ යයි මතු පරම්පරාවන්ට දන්වන්නට, ජීවිතයේ අභියෝගයන්ට නොසැලී මුහුණ දෙන්නට තරම් වන පදම්වීමක් සහිතව හැඩ ගස්වන්නට සමත් කාව්‍යාත්මක එළඹුමකි. ඒ වනාහී පලා යාම වෙනුවට පහසු බිම් කඩවල්හී අලස උපදේශාත්මක කථනයන්ගෙන් යුත් ජීවිතය වෙනුවට අප මුහුන දිය යුතු සැබෑ ජීවිතයට, අරගලයට කැඳවන හඩකි.

අපි උඹව
ඉර එළියට අල්ලනවා….

පැලෑටියක් වගේ
හමේ හරිතප්‍රද නංවන්න

සියුම් අත් ඉති
හෙමි හෙමින් වුව
ලොකු වෙන්න

ඇහේ කහ පාට
සුදු වෙන්න
හමේ සුදු පාට
නැති වෙන්න

පරණ සම ගැලවෙන්න
අලුත් සම ඇති වෙන්න

ඉදින් ලක්ෂාන්ගේ මේ කවෙහි පරිසමාප්තිය මෙපරිදිය.

සිහින් අතැඟිලි අතරින්
ගලා යන වතුරේ
හැඩ තල දැනෙන්න
සීතල මොන වගේ දැයි
අතගාලා බලන්න

ඔව් පුතේ….
මෙබිම සත වෙත
ඉරේ රැස් ගෙන
දියේ ගුණ ගෙන
නැඟෙන්න

ජිවිතය යනු උදක්ම පෞද්ගලික පැවැත්ම සහ සමෘද්ධිය යයි යෝජනා කරනා වර්තමානයක, සාමූහිකත්වය යනු සාපරාධී වරදකැයි නීතියෙන්ම තහවුරු කරන්නට පාලකයන් අමුඩ තද කරන, අනෙකාගේ මලගම තමන්ගේ සරුබිම ලෙස සලකන්නට මිනිස් සමාජය හුරු කරන දේශපාලන ආගමික පඹ ගාලක ලක්ෂාන් වැඩිහිටි භූමිකාව දේශපාලනිකව තහවුරු කරයි.

ජීවත්වීමට වඩා දිවි නසා ගැනීමට තරම් වන පසුබිම් දිනපතා සැදෙනා කොදෙවුවක ජීවිතය තහවරු කිරීම යනු බරපතල කාර්යයකි. මුද්‍රික විද්‍යුත් භේදයකින් තොරව අපරාධ, දිවිනසා ගැනීම්, මිනීමැරුම් උත්කර්ෂයට නගන අවධියක මිනිසා හට ඉදිරිපත් වනුයේම ජීවත් වීමට වඩා ජීවිතය හැර යාමට වන නිමිතිය. ජීවිතය වෙනුවෙන් කියා රුදු මරණය ඉපිලෙන යුද බිමක කහවනු සොයන්නට යන තරමටම ජීවිතය සැහැල්ලුව යන කාලයක ලක්ෂාන් සිය කවියෙන් මරණය වෙනුවට ජීවිතය කැටු එයි. ඒ ඉතා අපූර්ව ආකාරයකටය. කවියෙක් සත හැකියාවන් මනාව තහවුරු වන ආකාරයටය. ඒ දෙබල යන කවිය මෙහිලා වෙසෙසින්ම කැපී පෙනයි. දිවි නසා ගැනීමේ ආශයෙන් කැටකෑල තුරකට නගින්නෙක් සිය ජීවිතයේ තීරණාත්මක නිමේෂයක යළි ජීවිතයම සොයා ගන්නා ආකාරය ඔහු අපූර්ව ආකාරයට කවියට නගයි. එල්ලීම පිණිස තුරට ගෙන යන කඹය සහ පැටි වියෙහි ඔහුගේ පියා ඔංචිල්ලාවක් බැඳීම පිණිස භාවිතා කල කඹපොටෙහි ශේෂයක් තුරෙහි පොත්තට කාවැදී තිබෙන ආකාරය සංකේතාත්මකව ඉදිරිපත් කරමින් ලක්ෂාන් මරණය වෙනුවට ජීවිතය යෝජනා කරන්නේ උකටලී පැවැත්මකට නොව අරුත්බර අදියරක් වෙනුවෙනි.

විශ්‍රාමික විනිසුරුවරිය මැයෙන් වන කවියද විවිධ අරුත් මතුකරගත හැකි සමාජ කියවීමක් උදෙසා රචිත කැපී පෙනෙන නිර්මාණයකි. ඒ කවෙහි එන යෙදුම් මතු කරන ව්‍යංගාර්ථ ප්‍රබලය. වදිනසුළුය. ඒ කවිය මිනිස් පැවැත්ම මෙන්ම වෘත්තික ජීවිතයද, සමාජ විචාරයද එකට කුළු ගන්වන නිර්මාණයකි. ලක්ෂාන්ත තම කිවියාව මෙසේ වෙනස්ම ආකාරයකට සළකුණු කරනා අවස්ථා මේ කෘතියෙහි නිරතම දැකිය හැකිය.

හිරුද බැස යන සැටි
දකියි ඇය
චෝදනා බී රිපෝට් කඳු අතර
සොරකම වුනේ මොනවද?

වගන්ති අංක කටපාඩම්
තීරණ තීන්දු නිගමන
කොයි තරම් ස්වාධීනද?

බන්ධනාගාරයක ඇත්තටෙම
සිර වුනේ කවුරුද? නිදහස්ව විසීමම
ඇඟේ බර වැඩි කරන
ටයර්මය දඬුවමක් වුනේ කොහොමද?

පුද්ගල ජීවිතය මත පිහිටුවා සමස්ත ක්‍රමයක්ම කියවන්නට පිවිසුමක් සලසන මෙ කව කවියක් නිර්මාණයේදී කවියෙකු හට යා හැකි දුර කෙතරම්ද යන්නට උදාහරණයකි. ඒ කවිය විඳින්නට පාඨකයා දරනා උත්සාහය පෙරලා පාඨක ලෝකයද පුළුල් කරලයි.

ලක්ෂාන්ගේ නව කවි එකතුව යනු එක් එක් කවිය වෙන වෙනම ගෙන විමසන්නට තරම් වන සාර්ථක කවි එකතුවකි. එසේම ඒ යළි යළි කියවන්නට පොළඹවන මත දනවනා කවි එකතුවකි. පෙනුමින් කුඩා වුව ඒ විසල් කවි ගොමුවකි. ඒ කවි අතර පැහැදිලිව දක්නට ඇති එක් හුයක් වෙයි. ඒ මරණයේ දූපතක රළ නගනා ජීවිතයෙක අවශ්‍යතාවයි, අසිරියයි. ඔහු පෙනී සිටින්නේ ඒ අරගලය වෙනුවෙනි.

මහා කන්දක්ය පෘථිවිය
ශිඛර නැති මුත් හැම අත
බැස නොයමි හිතවත
දෙපා අවසඟ වුව
අත වනමි කොහේ හෝ
මුදුනකම ඉඳගෙන

ඉදින් බර අඩි තබන කිවියර, වැළඳ ගමි නුඹ සෙනෙහෙන.

චූලානන්ද සමරනායක

Related articles

ඉන්දියාවෙන් පාඩමක්

ටාටා ස්ටීල් චෙස් තරගාවලිය අවසන් වුණා. ටාටා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ඉන්දියාවේ පැවැති එම තරගාවලියට ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් සහභාගී...

පාර්ලිමේන්තු ඉතිහාසයට නව පිටුවක් – කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස දිවුරුම් දෙති !

හෙට (21) ආරම්භ වන දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩි ම මන්ත්‍රීවරියන් පිරිසක් දිවුරුම් දීමට නියමිත...

ජුලම්පිටියෙ අමරෙගේ මරණ දඬුවම අභියාචනාධිකරණයෙන් ස්ථිර කරයි – මහ මොළකරුවන් නිදොස් කොට නිදහස් ද?

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ...

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ කළමනාකරණ කුසලතා සංවර්ධන වැඩසටහන දියත් කරයි !

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ එක් වී පිරිනමන නවතම අධ්‍යාපන වැඩසටහන වන කළමනාකරණ කුසලතා සංවර්ධන...