ඝාතකයන් සැඟවෙමින් බුද්ධි අංශවලින් මහ මොළකරුවන් පැළ කරන පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය !

Share post:

2019 අප්‍රේල් 21 දින සිදු කළ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට ආණ්ඩු බලය හෙබවූ රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට සමීප රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ වී ඇතැයි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇමැතිවරයාගේ ලේකම්වරයකු උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.
ඔවුන්ට නැවත බලයට පැමිණීමට පහසුකම් සැලසීම වෙනුවෙන් තමන් හමුදා බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන සුරේෂ් සලෙයි සහ ඉස්ලාමීය රාජ්‍යයට අනුබද්ධ බෝම්බකරුවන් අතර කුමන්ත්‍රණයක් සිදුකිරීමට 2018 රැස්වීමක් සංවිධානය කළේ යැයි ද මේ ලේකම්වරයා සඳහන් කර තිබිණි.
මේ ලේකම්වරයා වන්නේ මුහම්මදු මිල්ලාර් මුහම්මදු හන්සීර් හෙවත් අසාද් හන්සීර් මවුලානා ය. ඔහු වර්තමාන රාජ්‍ය ඇමැති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ ටීඑම්වීපී පක්ෂයේ හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයා සහ මුදල් ලේකම්වරයා ය.
කෙසේ වෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලෙයි ඇතුළු මෙහිදී සෘජුව හා වක්‍රව චෝදනා එල්ල වූ සියලු පුද්ගලයන් අදාළ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කළහ.

ජනාධිපතිවරුන් හතර දෙනකු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇතැයි පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් හෙළි වේ.
චන්ද්‍රිකා බණ්ඩාරනායකට ටවුන්හෝල්හිදී එල්ල කළ බෝම්බ ප්‍රහාරය, ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ව සිටියදී පිත්තල හංදියේදී එල්ල කළ බෝම්බ ප්‍රහාරය, මෛත්‍රීපාල සිරිසේන ඇමැතිවරයකු ව සිටියදී බෝම්බ ගැසීමට කුමන්ත්‍රණය කිරීම සහ මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම යන විමර්ශන සිදුකර ඇත්තේ ශානි අබේසේකර විසිනි. මේ අතර ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ස්ථාන මාරු කැන විට විමර්ශන 8000ක් පමණ අධීක්ෂණය කරමින් සිටි බව ද එහි සඳහන් ය.
ඔහු පවසන්නේ 2018 නොවැම්බර් මාසයේදී මඩකලපුව වවුනතිව්හීදී පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව හමුදා බුද්ධි අංශ හා රාජ්‍ය බුද්ධි සේවය ලබාදුන් තොරතුරු නිවැරදි නොවන බවයි.

වැඩිදුරටත් ශානි අබේසේකර මෙහි පසුබිම් සිදුවීම් ගැන මෙසේ ද කියයි.
‘මාවනැල්ල බුදු පිළිම සිද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් තිබෙන බවට යම්-යම් තොරතුරු අනාවරණය වී ඇති නිසා ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසියට යොමුකරන ලෙස කෑගල්ල කොට්ඨාස බාර පොලිස් අධිකාරි ශාමික ප්‍රේමසිරි මා හට දැන්වුවා. මම එය ඉන්ටපෝල් බාරව සිටි රංජිත් වෙදසිංහට යැවුවා. ඔහු දින කිහිපයකින් මට පිළිතුරු දුන්නා ඉල්ලන තොරතුරු ගන්න බෑ කියලා. හේතුව ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් සිදුවෙනවා නම් ඒක කොයි රටකද කොයි විදිහෙන්ද කාගෙන්ද කියලා කියන්න ඕනෙ. එතකොට තමයි විස්තර හොයන්න පුළුවන්. එහෙම නිකම් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කිව්වට විස්තර ගන්න බෑ කියලා ඔහු මට දැනුම් දුන්නා. මම එය ශාමික ප්‍රේමසිරිට නැවත යැවුවා. ඊට පස්සෙ ශාමික ඒ ගැන කිසිවක් එව්වෙ නෑ. කුමන්ත්‍රණයක් අනාවරණය වෙලා කියලා නැවත පිළිතුරු එව්වෙ නෑ. 2019 නොවැම්බර් වෙනකම් මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විදිහට හිටපු කාලයේදී එහෙම කුමන්ත්‍රණයක් ගැන අනාවරණය වුණේ නෑ.
ඩීඅයිජී පාලිත සිරිවර්ධන කියලා තිබ්බා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කර තිබෙන කොමිෂන් සභාවේ විමර්ශන අංශයට මෙරිල් රංජන් පත්කළ අවස්ථාවේ මා මැදිහත් වෙලා ඔහුව එම කොමිසමෙන් අයින් කළා කියලා. මට එච්චර බලයක් තියෙනව⁣නම් මම පුදුම වෙනවා. එහෙන් පත්කරපු කෙනාව මට අයින් කරන්න පුළුවන් ද?’
මෙරිල් රංජන් යනු වැලිකඩ බන්ධනාගාරයේ ලැයිස්තුගත සමූහ ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වූ බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවාගේ සහෝදරයා වන අතර, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේදී ඔහුගේ පක්ෂපාතී රාජකාරි ස්වභාවය හේතුවෙන් අධිකරණයෙන් අවවාද කරන ලදි.
මේ සිදුවීම් සම්බන්ධයෙන් කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ශානි අබේසේකර මෙසේ කියයි.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා – මෙරිල් රංජන් සීඅයිඩියෙන් අයින් කරපු එකට හේතුවක් තියෙනවාද?
ශානි අබේසේකර – මම අයින් කළේ නෑ. මෙරිල් රංජන් සීඅයිඩි එකෙන් අයින් කළේ ඇයි කියලා නීතිපති දෙපාර්තමේන්තුව හොඳටම දන්නවනෙ. එයාව අයින් කළේ කවුද කොහොමද වුණේ කියලා නීතිපති දෙපාර්තමේන්තුව මට වඩා හොඳට දන්නවා.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා – සීඅයිඩියේ අධ්‍යක්ෂවරයාගේ රාජකාරිය මොකද්ද?
ශානි අබේසේකර – සීඅයිඩිය සිදුකරන සියලු‍ම විමර්ශන අධීක්ෂණය කිරීම, වෙනත් ආයතන සම්බන්ධයෙන් සම්බන්ධීකරණය කිරීම, නිලධාරීන්ගේ සුබසාධනය බැලීම, සීඅයිඩියේ මූල්‍ය පරිපාලනය, ඒ වගේම සීආර්ඩී, ටීඅයිඩී, බ්‍රයිබරි එකේ නිලධාරීන් සම්බන්ධයෙන් මූල්‍ය පාලනය බාරවෙලා තිබෙන්නේ සීඅයිඩියේ අධ්‍යක්ෂවරයාට.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා – 2019දී ඔබ සීඅයිඩියෙන් ස්ථාන මාරුකරන විටදී සීඅයිඩිය මගින් විමර්ශන කීයක් වගේ සිදුකරමින් සිටියාද?
ශානි අබේසේකර – 8000ක් වගේ.
වවුනතිව් පොලිස් නිලධාරීන් ඝාතනය
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා – 2018.11.30 වැනිදා වවුනතිව්හීදි පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය වුණාද?
ශානි අබේසේකර – ඔව්.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා – ඒ සම්බන්ධයෙන් සීඅයිඩියෙන් විමර්ශන කළාද ?
ශානි අබේසේකර – ඔව්
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා – පොලිස්පතිවරයාගෙන් නියෝගයක් අරගෙනද විමර්ශන සිදු⁣කළේ?
ශානි අබේසේකර – ඔව්
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා – එස්එස්පී ජයසිංහ, ප්‍රධාන පොලිස් පරීක්ෂක ලාලිත දිසානායක ද ඒ විමර්ශනය සිදු කළේ?
ශානි අබේසේකර – ඔව් ඒ අය තමයි. ඒ අයට අමතරව එවකට උප පොලිස් පරීක්ෂක උපාලි සහ සාජන් මෙන්ඩිස් යන අයද එයට සක්‍රීයව දායක වුණා.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා – පොලිස්පතිවරයාගේ නියෝග ලැබුණේ කොහොමද?
ශානි අබේසේකර – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න එම සිද්ධිය වූ ස්ථානයට ගොස් නිරීක්ෂණය කළ අවස්ථාවේදී පොලිස්පතිවරයා වාචිකව නියෝගය ලබාදුන්නා. පසුව ලිඛිතවත් නියෝගය ගෙන්වාගත්තා. සිද්ධිය වූ ස්ථානය අවට තිබූ සීසීටීවි නිරීක්ෂණය කරලා එම සිදුවීම 2018 නොවැම්බර් 30 වැනිදා පාන්දර 2.00ට පමණ සිදුව ඇති බවට අනුමාන කළා. 30 දවල් වෙද්දි සීඅයිඩිය විමර්ශනය බාරගත්තා.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා – සැකකරුවෙක් අත්අඩංගුවට ගත්තද?
ශානි අබේසේකර – මඩකලපුව පොලිසියේ පොලිස් පරීක්ෂකවරයෙක් සැකකාරයෙකුව අත්අඩංගුවට ගෙන තිබුණා. රැඳවුම් නියෝග මත වාලච්චේන පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කර තිබුණා.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා – සිද්ධියට ඒ සැකකරු සම්බන්ධ ද?
ශානි අබේසේකර – සිද්ධිය වෙලා දින පහක් යද්දි රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට තොරතුරක් දීලා තිබුණා එම සිද්ධිය වූ ස්ථානය ආසන්නම තැනක ජැකට් එකක් තියෙනවා කියලා. ඒ තොරතුරු මත පරීක්ෂණ කිරීමේදී පාසල් බෑගයක් සොයාගැනුණා. එහි ජැකට් එකයි කලිසම් වගේ ⁣දේවල් තිබුණා. එය අත්අඩංගුවට ගත් සැකකරුගේ බවට සැකකළා. ඉන්පසු එම සැකකරු සම්බන්ධයෙන් සැකයට ප්‍රබල හේතුවක් වුණා. ඒ වගේම නොවැම්බර් 26 දින වවුනතිව්වල මහවිරු සැමරුම පවත්වන්න කටයුතු කරලා තිබුණා. එය වවුනතිව් පොලිසිය විසින් නවත්වලා තිබුණා. එම මහවිරු සැමරුම සංවිධානය කරලා තිබුණේත් අත්අඩංගුවට ගත් සැකකරු නිසා සැකයක් ඇති වුණා.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා – විමර්ශනවලට බුද්ධි අංශයේ සහයෝගය ලබාගත්තාද?
ශානි අබේසේකර – ඔව්. රාජ්‍ය බුද්ධි සේවය සහ හමුදා බුද්ධි සේවය තොරතුරු දුන්නා. නිතරම වාර්තා ලබාදුන්නා. රාජ්‍ය බුද්ධි සේවයෙන් සහ හමුදා බුද්ධි සේවයෙන් වාර්තා ලැබුණා. සියලු‍ම බුද්ධි වාර්තාවල තිබුණේ මේක එල්ටීටීඊ වැඩක් කියලා. බුද්ධි වාර්තා සියල්ලේම කෝණගත වෙලා තිබුණේ එල්ටීටීඊය පැත්තට. හමුදා බුද්ධි අංශ දුන් එක් වාර්තාවක තිබුණේ එල්ටීටීඊ සංවිධානයේ හිටපු සාමාජිකයන් පිරිසකගේ වැඩක් කියලා තොරතුරු අනාවරණය වී තිබෙන බවයි.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා – මුස්ලිම් අන්තවාදය ගැන කිසියම් තොරතුරක් තිබුණේ නැද්ද?
ශානි අබේසේකර – නැහැ. කිසිම එකක එහෙම දෙයක් තිබුණේ නෑ. අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු තමයි ඒ සම්බන්ධයෙන් හරි තොරතුරු දැනගෙන අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත්තෙ.
නිලන්ත ජයවර්ධන සහ මෛත්‍රිපාල සිරිසේන
මේ අතර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය ගැන විදේශීය බුද්ධි අංශයකින් ලැබුණු තොරතුර රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂව සිටි නිලන්ත ජයවර්ධන අනිවාර්යෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ප්‍රහාරයට පෙර දැනුම් දී තිබෙන්නට ඇති බව ද ශානි අබේසේකර මෙහිදී පවසයි.
‘පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් පැවැත්වුණා. එහි සාක්කි දෙන්න බුද්ධි අධ්‍යක්ෂත් කැඳවා තිබුණා. ඒ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ සාකච්ඡාවක් කැඳවා තිබුණා. එම සාකච්ඡාවෙදි බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන කිව්වා බුද්ධි ප්‍රධානීන් සාක්කි ගන්න කැඳවීම සුදුසු නෑ කියලා. ඔහු කිව්වා විදේශ බුද්ධි තොරතුර සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්ට, හිටපු බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්ට දැනුම් දුන්නා කියලා. ඔහු ඒ ලැයිස්තුව කියද්දිම එකපාරට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කිව්වා මටයි අගමැතිටයි දැනුම් දුන්නේ නැහැ කියලා. ජනාධිපතිට එය දැනුම් දුන්නේ නැති නම් ජනාධිපති එම අවස්ථාවේ අහන්න ඕනෑ ඇයි මට දැනුම් දුන්නේ නැත්තේ කියලයි. එහෙම ඇහුවෙ නැතුව මට දැනුම් දුන්නේ නැහැ කියලා විතරක් කිව්ව එක ගැන සැකයි. රාජ්‍ය බුද්ධි සේවයේ සෑම බුද්ධි තොරතුරක්ම ජනාධිපතිට දැනුම් දෙනවා.’
අයි.එස්. කියන්න සාක්ෂි නෑ
පාස්කු ප්‍රහාරය අයි.එස් සංවිධානයේ මෙහෙයවීම මත සිදුකරන ලද්දක් බව සනාථ කෙරෙන සාක්ෂි කිසිවක් හමු නොවූ බව ද ඔහු සඳහන් කරයි. බෝම්බ ප්‍රහාරයේ වගකීම අයි.එස් සංවිධානයෙන් බාර ගන්නැයි ඉල්ලා තිබුණේ මාතලේ සහරාන් නම් පුද්ගලයකු බවත්, එම පුද්ගලයා හා රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියකු දිගින් දිගටම සම්බන්ධතා පැවැත්වූ බවට තොරතුරු අනාවරණය වූ බවත් ශානි අබේසේකර වැඩිදුරටත් කියයි.
මාතලේ සහරාන් නම් පුද්ගලයා දිගින් දිගටම සම්බන්ධතා පවත්වා තිබුණු රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියා සොනික් සොනික් යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ බව ද, ඔහුගෙන් ප්‍රකාශ ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් රාජ්‍ය බුද්ධි සේවයට ගිය විට බුද්ධි ප්‍රධානීන් ඊට ඉඩ ලබානොදුන් බව ද ශානි අබේසේකර පවසයි.
මාවනැල්ලේ බුදු පිළිමවලට හානිකිරීම සහ වනාතවිලුල්වෙන් පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම සම්බන්ධයෙන් ශානි අබේසේකර මෙසේ කියයි.

‘මාවනැල්ලේ බුදුපිළිමවලට හානි කිරීම සහ වනාතවිල්ලු‍ව ප්‍රදේශයේ පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවීම යන සිදුවීම් දෙක පිටුපසම සිටින්නේ එකම කණ්ඩායමක් බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීමේ වැදගත්කම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා 2019 පෙබරවාරි මස දෙවැනිදා පැජට් පාරේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයාට දැනුම් දුන්නා. එවිට, හොදයි රවී එහෙනම් ඔය ගැන ආරක්ෂක මණ්ඩලයෙදි දැනුවත් කරන්න යැයි ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. එහෙත් ඉන්පසු කිසිම අවස්ථාවක මටවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාටවත් ආරක්ෂක මණ්ඩලයේදී ඒ ගැන දැනුවත් කරන්න අවස්ථාවක් ලබාදුන්නෙ නෑ.’
රජයේ නීතීඥවරයා – අදාළ සංවිධානයේ මූලිකත්වය දරන්නෙ සහරාන් හෂීම් බව හිටපු ජනාධිපතිවරයාට දැනුම් දුන්නාද?
ශානි අබේසේකර – ඒ ගැන මතකයක් නෑ. හැබැයි ආරක්ෂක මණ්ඩලයේදී මේ ගැන කතාකරන්න අවස්ථාවක් දුන්නා නම් සියලු‍ම විස්තර ඉදිරිපත් කරන්න තිබුණා.
පුත්තලම – වනාතවිල්ලු‍ව ප්‍රදේශයේ පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවීමේ සිද්ධියේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු මුදා හැරියේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශානි අබේසේකර කියන්නේ එම පුද්ගලයන් දෙදෙනා මුදාහැරීමට තමන් මැදිහත් නොවූ බවයි.
‘මේ සම්බන්ධයෙන් එවකට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පැවැත්වුණා. ඊට එවකට බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපාත් සහභාගි වුණා. අසාද් සාලි සහ ෆයිසර් මුස්තාපා එම සැකකරුවන් දෙදෙනා මෙම සිදුවීමට සම්බන්ධ නැති නිසා මුදාහරින්න කියලා ඉල්ලීම් කළා. ඒ වෙලාවෙ මම කිව්වා මම ඒකට විරුද්ධයි, ඒ අයට දැන් ඩීඕ (රඳවාගැනීමේ නියෝග) ගහලා තියෙන්නෙ කියලා. මෙම විමර්ශනය කළ නිලධාරියා පසුව ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් වුණා මේ දෙදෙනාට විරුද්ධව ප්‍රමාණවත් සාක්ෂි නැහැ කියලා. මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ජනාධිපතිවරයා දැනුවත් කරලා කොන්දේසි හතක් යටතේ ඔවුන් මුදාහැරීමට පියවර ගත්තා. මගේ වැඩ තහනම් කරන තුරුම ඔවුන් දෙදෙනා සෑම මසකම අවසන් සෙනසුරාදා දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී ඉඳලා අත්සන් කළා.’
ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව කීයද?
මේ අතර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව සම්බන්ධයෙන් වාර්තාවල දක්වා ඇති සංඛ්‍යා එකිනෙකට පරස්පර බව ද අනාවරණය වේ.
ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ ද පරස්පර සංඛ්‍යා දෙකක් තිබේ. එම වාර්තාවේ එක් පරිච්ඡේදයක එක්-එක් ස්ථානවල සිදු කළ පිපිරීම්වලින් මියගිය සංඛ්‍යා දැක්වේ. එම සංඛ්‍යා එකතු කළ විට ලැබෙන එකතුව 276කි. එහෙත් තවත් පරිච්ඡේදයක ප්‍රහාරයෙන් මියගිය මුළු සංඛ්‍යාව 271ක් ලෙස දැක්වේ. එසේ ම මේ ප්‍රහාරය සම්බන්ධයෙන් මුලින්ම විමර්ශන කළ මලල්ගොඩ කමිටුවේ වාර්තාවේ සඳහන් වන්නේ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 259ක් වන බවයි.
ප්‍රහාරය වළක්වාගැනීමට කටයුතු නොකිරීම පිළිබඳ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට එරෙහි පෞද්ගලික නඩුවේ දැක්වෙන්නේ ප්‍රහාරයෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 315ක් බවයි. එසේම ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාවට අනුව ප්‍රහාරයෙන් මියගොස් ඇති සංඛ්‍යාව 217කි. එසේම එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහි නඩුවේ අධිචෝදනා පත්‍රයේ මිනීමැරීමට අදාළ චෝදනාවල දැක්වෙන්නේ මියගිය පුද්ගලයන්ගේ නම් 268කි. ප්‍රහාරය වළක්වා නොගැනීමට අදාළ ව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, එවකට රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන ඇතුළු පිරිස වරදකරුවන් කළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ දැක්වෙන්නේ ප්‍රහාරයෙන් මියගිය පිරිස 200කට අධික බවයි.

මීට අමතරව මේ ප්‍රහාරය සම්බන්ධයෙන් ගැටළු රැසක් ඇති අතර, ඒවාට මෙතෙක් නිශ්චිත පිළිතුරක් ලැබී නැත. සහරාන්ට ඉහළින් සිටි අබු හින්ද් නම් පුද්ගලයා කවුද, දෙහිවල බෝම්බය පුපුරුවා ගත් ජමීල්ගේ නිවසට බෝම්බය පුපුරුවාගන්නා අවස්ථාව වන විට යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් ගොස් සිටියේ කෙසේද, ජමීල්ලාගේ නිවස දීර්ඝ කාලයක් තිස්සේ බුද්ධි අංශ නිරීක්ෂණයේ පසුවුවද ප්‍රහාරය පිළිබඳ තොරතුරු නොලැබුණේ ඇයි, 2017 ජුනි 07 සහරාන්ලාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා උපදෙස් ඉල්ලා යොමුකළ ෑෑඍ/08/17 දරන ලිපියට නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් නොලැබුණේ ඇයි, අල්ලියාර් හන්දියේ ගැටුම, කාත්තන්කුඩි – සායින්දමරුදු අබිරහස් ඝාතන රැසක ඝාතකයන් නොමැති වීම ඇතුළු විසඳාගත යුතු ප්‍රශ්න රැසක් තිබියදීත්, මේ තරම් වගකිවයුත්තන් වටේ යන්නේ ඇයි?

  • ශාලික විමලසේන

Related articles

ස්ටෙයින්බෙක්ගේ විශිෂ්ට නිර්මාණයන් අතර The Grapes of Wrath

John Steinbeck කියන්නෙ ඇමෙරිකානු සාහිත්‍යයේ දැවැන්ත සාහිත්‍ය පෞරුෂයක් ලෙස හදුන්වන්න පුළුවන්. 1962 වසරෙදි නොබෙල් සාහිත්‍ය ත්‍යාගය දිනාගත්තේ ස්ටෙයින්බෙක්...

‘මළකඩ සහ අස්ථි’

වයස අවුරුදු හතක පමණ වයසැති කුඩා පුතු සමඟ ඇවිදින පියෙකුගේ ඔබ මොබ ඇවිදින රූප පෙළකින් චිත්‍රපටය පළමු දර්ශන...

‘මේ ගසට ගල් ගසන්න’ යළි යළි කියවන්නට පොළඹවන මත දනවනා කවි එකතුවකි

මේ ගසට ගල් ගසන්න - ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න කම්කරු දිනයෙහි සන්ධ්‍යාව පසුගිය දින කිහිපයෙහි පැවති අකුණු සහ තද වැසි...

කටුනායක වීසා ප්‍රශ්නය : මාර්තු මාසයේ අපි කිව්වේ මෙහෙමයි : ඇමැති ටිරාන්ගේ වැඩක් – ඉන්දියාව සම්බන්ධ නෑලු !

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ ඊයේ (01) ඇතිවූ තත්ත්වයට සම්බන්ධ සමාගම සහ ඉන්දියාව අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව...