උතුරේ දූපත්වල ජනතාව ජීවත්වන්නේ කෙසේද? යාපනය අර්ධද්වීපයේ වෙරළට එහායින් පිහිටි කයිට්ස්, අනලතිව්, එළුවතිව්, නයිනතිව්, මන්ඩතිව් සහ පුංකුඩුතිව් දූපත්වල ජීවත්වන පදිංචිකරුවන් යනු ලංකාවේ සිටින වඩාත්ම හුදෙකලා වූ ප්‍රජාව ලෙස හැඳීන්විය හැකිය. මේ දූපත්වල පදිංචිකරුවන්ගෙන් බහුතරයක් ධීවර කර්මාන්තයේ නියැලීමෙන් තම ජීවිකාව ගෙනයති.
ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා නියෝජනය කරන්නේ ද මේ දූපත් අතර ම පිහිටි නෙදුන්තිව් හෙවත් ඩෙල්ෆ්ට් ය. එහෙත් ඉන්දීය ධීවර ආක්‍රමණය, භූමිතෙල් නොමැතිකම මෙන්ම සාධාරණ මුදලකට භූමිතෙල් නොලැබීම, මාළුවලට සාධාරණ මිලක් නොලැබීම ඇතුළු ගැටළු රැසකින් චූපත් ජනතාව පීඩාවිඳීති. පුරවැසියන්ට නොසලකා හැරීම්වලින් වැළකීමේ අයිතියක් ඇති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කර තිබුණද, ඔවුහු තවදුරටත් නොසලකා හැරීම් රැසකට මුහුණදෙමින් සිටිති.
මේ, ඒ සම්බන්ධයෙන් කයිට්ස් ධීවර සංගමයේ සභාපති අන්නලිංගම් අන්නාරාසා සමග කළ සම්මුඛ සාකච්ඡාවකි.
උතුරේ දූපත්වල ධීවර කර්මාන්තය ක්‍රියාත්මක වෙන්නෙ කොයිවිදිහට ද?
මේ දූපත්වල ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය ධීවර වෘත්තිය. වගා කටයුතුවල යෙදෙන අයත් ඉන්නවා. ඔවුන් දුම්කොළ, අමු මිරිස් වගේ බෝග විශේෂයෙන් වගා කරනවා. නමුත් ඔවුන් සියල්ලන්ම පූර්ණ කාලීන හෝ අර්ධ කාලීන හෝ වශයෙන් ධීවර කර්මාන්තයේ යෙදිලා ඉන්නවා. ඔවුන් බෝට්ටුවලින් මාළු අල්ලන්න ගිහින් තමන්ගෙ දරුවන්ගෙ අධ්‍යාපන කටයුතු ඇතුළුව තමන්ගෙ නිවසේ වියදම්වලට ප්‍රමාණවත් ආදායමක් උපයාගන්නවා. ඒක ප්‍රමාණවත් කියලා මම කිව්වෙ මීට කාලෙකට කලින්. දැන් වෙනකොට ඒ තත්ත්වය වෙනස්.
ඒ වෙනස ගැන තමයි කතාකරන්න ඕනෙ, මේවා දූපත් නිසා බෝට්ටුවලට තෙල් ගන්නෙ කොහොමද?
බෝට්ටුවලට ඕනෙ භූමිතෙල්. තමන්ට අවශ්‍ය ප්‍රමාණයට භූමිතෙල් ලබාගන්න ධීවර ප්‍රජාව විශාල වෙහෙසක් ගන්නවා. කයිට්ස් හැර අනෙක් කිසිම දූපතක ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලැබෙන ඉන්ධන පිරවුම්හලක් නෑ. පුංකුඩුතිව් දූපතේ පිරවුම්හලක් තිබුණත් ඒකට ඉන්ධන විධිමත් විදිහට ලැබෙන්නෙ නෑ. මේ නිසා ධීවරයන්ට සිදුවෙලා තියෙන්නෙ එක්කො ඉන්ධන පිරවුම්හලක් තියෙන ප්‍රදේශයකට ගොස් ගේන්න. නැත්නම් දූපත්වලට ඉන්ධන ගෙනැත් අලෙවි කරන වෙළෙන්දෙකුගෙන් මිලදීගන්න. දූපත්වල ඉන්ධන වෙනත් තැන්වලට වඩා ගණන්.
අනෙක් ප්‍රදේශවල භූමිතෙල් ලීටරයක් රුපියල් 260ක් විතර වෙන්නෙ. නමුත් දූපත්වල ඒක 300ට වඩා වැඩියි. ඒකට එක හේතුවක් තමයි භූමිතෙල් ප්‍රවාහනය කරන්න යන සැලකිය යුතු වියදම. භූමිතෙල් ගන්න ගිහින් කාලය ගතකරන්නත් අමාරුයි. මේ දූපත් කිහිපයක ඉන්ධන පිරවුම්හල් හදලා, ඒවට විධිමත්ව ඉන්ධන ලැබෙන ක්‍රමයක් හැදුවොත් මේ ප්‍රශ්නයට ධීවරයන්ට විසඳූමක් ලැබෙනවා.
ඉන්දීය ධීවර ප්රශ්නය. මේකෙ වර්තමාන තත්ත්වය මොකක්ද?
දූපත්වල විතරක් නෙමෙයි, ගොඩබිම ධීවරයනුත් ඇතුළව රටේ සමස්ත ධීවරයන් මුහුණ දෙන බරපතළම ප්‍රශ්නෙ ඕක. ඉන්දීය ධීවරයන් අනවසරයෙන් අපේ මුහුදු සීමාවට ඇතුළුවීම සම්බන්ධයෙන් නාවික හමුදාව ඇතුළු අදාළ ආයතන නිසි පියවර ගන්නෙ නෑ. ඒක තමයි මේක දවසින් දවස වැඩිවෙන්න හේතුව. සාමාන්‍යයෙන් දිනකට ඉන්දීය ධීවර යාත්‍රා විශාල ප්‍රමාණයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වෙනවා. නමුත් අල්ලන්නෙ, නඩු පැවරෙන්නෙ ඒ අතරින් දෙක-තුනකට විතරයි. ඉන්දියානු ධීවරයන් කරන්නෙ අපේ මුහුදු තීරයේ මාළු බාලා නාවික හමුදාව ආපු ගමන් එයාලගෙ පැත්තට යන එක. නාවික හමුදාවත් යන්න දෙනවා. හරියට රාජකාරිය කරනවා නම් ඒ තත්ත්වය සෑහෙන්න වෙනස් කරන්න පුළුවන්. ධීවර අමාත්‍යාංශයත් මේවා වළක්වන්න ප්‍රමාණවත් අවධානයක් යොමුකරන බවක් පේන්නෙ නෑ. ඒ අතරෙ ධීවර බෝට්ටු මාෆියාවකුත් තියෙනවා. පොදුවේ ධීවර විරෝධය හින්දා ඒක නම් තරමක් පාලනය වෙලා තියෙන්නෙ මේ වෙනකොට.
ඒ මාෆියාව ගැන තව ටිකක් පැහැදිලි කරමු ?
යාපනයේ ගුරුනගර් ප්‍රදේශයේ ජනතාවත් නීති විරෝධී විදිහට මේ ප්‍රදේශයේ මාළු අල්ලන්න පටන් අරන් තියෙනවා. ඔවුන් බොහෝ විට මාළු අල්ලන්න තහනම් ධීවර ආම්පන්න භාවිතා කරනවා. ඒක අපිට වගේම පරිසරයටත් විශාල හානියක්. මේ වැඩ නිසා අපේ ධීවරයන්ගේ ධීවර දැල්වලට නිතරම හානි සිදුවෙනවා. 2023 දෙසැම්බර් මාසයේ මෙවැනි සිදුවීමක් නිසා අපේ ධීවරයන්ට රුපියල් ලක්ෂ 100ක පාඩුවක් සිදුවුණා. ඔවුන් කරන දේ නීත්‍යානුකූලව තහනම්. ඒත් ඔවුන්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැහැ. ඒකට හේතුව ඔවුන්ට දේශපාලන බලයයි, මුදල් බලයයි කියන දෙකම තියෙන එක.
දූපත්වල ධීවරයන් විශේෂයෙන් මුහුණ දෙන අනෙකුත් අභියෝග මොනවාද?
මේ කිසිම දූපතක ප්‍රමාණවත් ශීතාගාර පහසුකම් නෑ. මාළු මිල අසාධාරණ ලෙස අඩු කරනවා. කුණුකොල්ලෙට මාළු මිලදීගන්න කරන වැඩක් ඒක. ඒ නිසා දින කිහිපයක් මාළු ගබඩා කරන්න පහසුකම් තිබුණා නම් මේ තත්ත්වය වෙනස් කරන්න පුළුවන්. දැන් කරන්න දෙයක් නෑ. ඉල්ලන් ගාණට, නියම වෙන ගාණට දෙන්න වෙනවා. තියාගත්තොත් කුණු වෙනවා. අපි ඉල්ලන්නෙ අවම වශයෙන් එක දූපතක හරි ශීත කාමර පහසුකම් හදන්න කියලයි. අපි බැලුවා, ඒකට රුපියල් මිලියන 4ක් හෝ 5ක් හෝ යන්නෙ.
ධීවරයන්, බෝට්ටුවලට සහ අනෙකුත් ධීවර යාත්‍රා රක්ෂණය කිරීමේ වැඩසටහන් ගැන ආණ්ඩුව පැත්තෙන් නිතර කියනවා. ඇත්තටම ඒවා සිද්ධවෙනවද?
රජයේ මැදිහත්වීමෙන් බෝට්ටු සහ අනෙකුත් ධීවර යාත්‍රා රක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඒත් රක්ෂණ හිමිකම් ලබාදෙන්නෙ බෝට්ටුවට හෝ එන්ජිමට සම්පූර්ණයෙන්ම හානි වුණොත් විතරයි. සුළු අඩුපාඩුවලට රක්ෂණ පහසුකම් නෑ. බෝට්ටුවක එන්ජින් ආශ්‍රිත හානියකට වුණත් රක්ෂණ පහසුකම් ගන්න අවස්ථාව ධීවරයන්ට තියෙන්න ඕනෙ. ආණ්ඩුව තෝරාගත් සමාගමකින් ජීවිත රක්ෂණයක් ගන්න කියලා අපිට දන්වලා තියෙනවා. ඒත් අපි ඒක කරන්න සූදානම් නෑ. අපි රක්ෂණ ක්‍රම දෙකකට වියදම් කරන්නෙ ඇයි? ඔවුන් කියන සමාගමේ ම තව රක්ෂණයක් ආරම්භ කරන්න ඕනෙ ඇයි?
මාළු අලෙවිය කියන ප්‍රශ්නයට විසඳූමක් විදිහට කෙලින්ම යාපනයට මාළු අරගෙන යන්න බැරිද, ඒකට අවශ්‍ය පහසුකම් සපයාගන්න බැරිද?
ඒකට ලොකු වියදමක් අවශ්‍යයි. ඒ වියදම නිසා එහෙම යාපනයට අරගෙන ගිහින් විකුණන්න තියෙන ඉඩ හුඟක් අඩුයි. යාපනයට බෝට්ටුවලින් මාළු ගෙනියන්න පුළුවන් වුණත් බෝට්ටු නැංගුරම් දාන්න තැනක් නෑ. බෝට්ටුව කොහේ හරි නවත්තලා මාළු විකුණන්න වෙනවා. ඒක අවදානම්. මේ ප්‍රශ්න ඔක්කොම විසඳන්න පහසු ප්‍රශ්න. ඒත් විසඳන්න කිසිම උත්සාහයක් දරන්නෙ නෑ.
ධීවර ආම්පන්න, ඒ වගේ අවශ්‍ය දේවල් දූපත්වල ජනතාව ලබාගන්නේ කොහොමද?
අපි ධීවර ආම්පන්න ගන්නෙ යාපනයෙන්. ඉස්සර ගත්ත ධීවර ආම්පන්න මාස කිහිපයක් පාවිච්චි කරන්න පුළුවන්කම තිබුණා. ඒත් දැන් මාස තුනකට වරක් ධීවර ආම්පන්න නැවත මිලදී ගැනීමට සිදුවන නිසා ඒ තත්ත්වය වෙනස් වෙලා. ප්‍රධාන හේතුව ඒවා නිසි ප්‍රමිතියට අනුව නිෂ්පාදනය කරන්නෙ නැති එක. ධීවර ආම්පන්නවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට කිසිම වැඩපිළිවෙළක් නෑ.
ධීවරයන්ට සහන ණය පහසුකම් වගේ ව්‍යාපෘති හඳූන්වා දෙන බව ආණ්ඩුව මාධ්‍ය මගින් ප්‍රචාරය කරනවා. ඇත්තටම ඒවා සිදුවෙනවද?
හඳූන්වා දෙනවා. ඒත් ඒවා කෙටිකාලීනයි. ඒ වගේම ප්‍රායෝගික නෑ. මේ ගැටළු දෙක නිසා ඒ වැඩසටහන්වලින් ධීවරයන්ට ඵලදායී සේවයක් සැලසෙන්නෙ නෑ. උදාහරණයක් විදිහට ධීවරයන්ට සහනදායී ණය ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. ඒ වැඩසටහන යටතේ ණයක් ලබාගැනීම සඳහා රජයේ සේවකයන් දෙදෙනෙකු ඇපකරුවන් ලෙස අත්සන් කළ යුතු වුණා. ඒත් ධීවරයන් වගේ ස්තීර ආදායමක් නැති අය ඇපවලට රජයේ සේවකයන් හොයාගන්නෙ කොහොමද?
පොදුවේ ධීවරයන් කියන කාරණය තමයි, සාධාරණ මිලක් දෙන්න, ඒ ඇති කියන එක. මොකක්ද කරන්න ඕනෙ…?
මාළුවලට අපේ ශ්‍රමයට සරිලන මිලක් නොලැබුණත්, සැලකිය යුතු අඩු මුදලකට විකිණීම හැර අපට වෙනත් විකල්පයක් නෑ. ධීවරයන්ට හැමදාම යාපනයට ගිහින් මාළු විකුණන්න බෑ. ඒකට විශාල මුදලක් වැයවෙනවා. දූපත්වලට එන වෙළෙන්දෝ මාළු මිලට ගන්නෙ ඉතා ම අඩු මිලට. අකමැත්තෙන් වුණත් අපිට ඒ පාරෙම ඉස්සරහට යන්න වෙලා. රජය විධිමත් රෙගුලාසි පනවලා, ඒ යටතේ අපෙන් මාළු මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කරනවා නම් මීට වඩා සාධාරණ ක්‍රමවේදයක් හදන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා.
- ශාලික විමලසේන