නසාර්ට අනුව ගෝලීය ක්‍රීඩාවේ ශ්‍රී ලංකා සලකුණ සුවිශේෂීයි

Share post:

ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට සහ වර්තමාන ක්‍රීඩකයන්ට වගකීමක් සහ ලැජ්ජාවක් දැනෙනවා නම්, SSC ක්‍රීඩා සමාජයේ 125 වන සංවත්සර සැමරුමේ දී නසාර් හුසේන් ගේ කතාවම ඇති.
ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ කීර්තිමත්ම සහ විශාලතම ක්‍රීඩා සමාජය වන සිංහල ක්‍රීඩා සමාජය (SSC) ඊයේ සිය 125 වන සංවත්සරය සැමරුවා.
ඒ සඳහා විවිධ වැඩසටහන් ද සංවිධානය කර තිබුණා.
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය යුගයේ දී සුපිරි ක්‍රීඩකයන් බහුතරය දයාද වූයේ සිංහල ක්‍රීඩා සමාජයෙන්.
අනුර තෙන්නකෝන් ගේ සිට සිදත් වෙත්තමුණි, අර්ජුන රණතුංග ගේ සිට මහේල ජයවර්ධන, මාර්වන් අතපත්තු ගේ සිට චරිත් අසලංක දක්වා ක්‍රීඩකයින් බිහි වූයේ සිංහල ක්‍රීඩා සමාජයෙන්.
1996 ජයග්‍රාහී කණ්ඩායමේ සිට 2015 ස්වර්ණමය යුගය දක්වා කණ්ඩායමේ තීරණාත්මක ක්‍රීඩකයන් බහුතරයක් බිහි වූයේ සිංහල ක්‍රීඩා සමාජයෙන්.
ඊයේ සිය 125 වන සංවත්සරය සැමරූ සිංහල ක්‍රීඩා සමාජය විසින් ෂැංග්‍රීලා හෝටලයේ සංවිධානය කළ උත්සවයකට හිටපු එංගලන්ත නායක සහ විචාරක නසාර් හුසේන්ටත් ආරාධනා කරලා තිබුණා.
එහිදී නසාර් හුසේන් සිංහල ක්‍රීඩා සමාජය පිළිබඳවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳවත් කතා කළා.
නසාර්ට අනුව ගෝලීය ක්‍රීඩාවේ ශ්‍රී ලංකා සලකුණ සුවිශේෂීයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සතුව ඊටම ආවේණික සංකලනයක් තිබුණා.
එක් අතකින් තාක්ෂණයෙන් පරිපූර්ණ, නියම පොතේ ක්‍රිකට් ක්‍රීඩා කළ මාවන් අතපත්තු පන්නයේ ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවට හිටියා.
අනෙක් පැත්තෙන් මාවන් සමග ඉනිම ආරම්භ කළ සනත්, ක්‍රිකට් ක්‍රීඩාව මින් පෙර නොදුටු, පොතේ ක්‍රිකට් ක්‍රීඩා නොකරනා, වෙනස් ක්‍රීඩකයෙක්.
එක් අතකින් ශ්‍රී ලංකාවට නිවැරදි ඉරියව්වකින්, තාක්ෂණයට අනුකූලව පන්දු යැවූ චමින්ද වාස් හිටියා.
අනෙක් අතින් ශ්‍රී ලංකාවට ක්‍රිකට් ක්‍රීඩාව මින් පෙර දැක නොතිබූ, වෙනස් ඉරියව්වකින් පන්දු යැවූ ලසිත් මාලිංග හිටියා.
සෑම මොහොතකම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මේ සම්ප්‍රදායිකත්වයේ සහ අලුත් නව්‍යකරනයේ එකතුවක්.
නසාර් හුසේන් තවත් බොහෝ දෑ කිව්වා.
ඔහුට අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පිටියේ ඔබ දකින සුන්දරම සහ සුහඳම කණ්ඩායමක්.
එනමුත් ඔවුන් කිසිම විටෙක ‘බුලි’ වීමටත් සුදානම් නැහැ.
ඔවුන් සතුව අර්ජුන රණතුංග හිටියා.
ඔහු අයුක්තිය ඉදිරියේ විනිසුරුවරුන්ට පවා ඇඟිලි ඔසවා කතා කිරීමට තරම් නිර්භීත නායකයෙක්.
ඔබ ශේන් වෝර්න් ද, ග්ලේ මැග්‍රාත් ද, වෙනත් කවුරුන් ද යන්න ඔහුට අදාල නැහැ.
ඔබට ශ්‍රී ලංකාව ‘බුලි’ කළ නොහැකියි. අර්ජුන රණතුංග ඉදිරියට ඒවි.
නසාර් ඉන්පසු පරම්පරාව ගැනත් කතා කළා.
නසාර්ට අනුව පිටියෙන් එපිට කුමාර් සංගක්කාර ඉතා සුන්දර, සුහඳ මිනිසෙක්.
ඔහු ඔබගේ දවස ගැන අසාවි. ඔහු ඔබගේ පවුලේ තොරතුරු අසාවි.
ඔහුගේ අවන්හලේ ආහාර ගැනීමට ඔබට ආරාධනා කරාවි.
ඔහු ලෝකයේ සුන්දරම මිනිසා යැයි ඔබට සිතේවි.
නමුත් පිටියට පැමිණි විගස ඒ කුමාර් සංගක්කාරම ඔබ එංගලන්තය බිහි කළ නරකම පිතිකරුවා යැයි කියාවි.
ඔබ එංගලන්තයෙන් බිහි වූ නරකම නායකයා යැයි කියාවි.
මේ ඔබ ක්‍රීඩා කරනා අවසන් තරගය වේ යැයි කියාවි.
පිටියේ සුදු පැහැති ලණුව පසු කර පැමිණි විගසම ශ්‍රී ලාංකිකයන් සුහඳම මිනිසුන්ගේ සිට නරකම මිනිසුන් බවට පත් වේවි.
ඒ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩාවයි.
නසාර් හුසේන් ගේ කතාවේ සාරාංශය එවැනි එකක්.
ඔහුගේ කතාව අවසානයේ වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳවත් කතා කළා.
උත්සව ශාලාවේ වත්මන් ක්‍රීඩකයන් ද දකින බව කියූ නසාර්, ශ්‍රී ලංකා ක්‍රිකට් අතීත ශ්‍රී විභූතිය පවත්වා ගැනීමට ඔවුන් සතුව ඇති වගකීම විස්තර කළා.
වත්මන් ශ්‍රී ලංකාවේ ඕනෑම ක්ෂේත්‍රයක මෙන්ම නසාර් හුසේන් ගේ කතාවේත් සම්පූර්ණයෙන්ම තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අතීතය පිළිබඳව පමණයි.
වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ණනා කිරීමට එතරම් දෙයක් නොතිබීම එයට හේතුවයි.
නමුත් අතීත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව යනු, නසාර් හුසේන් වැන්නෙකුට පවා පැය ගණනින් වර්ණනා කළ හැකි, කතා කරද්දී දෑස් දිලිසෙන මාතෘකාවක්.
එතරම් ජයග්‍රහණයන් සහ බලපෑම් තිබූ එකක්.
අද බංග්ලාදේශය ඉදිරියේ පවා ලැජ්ජාවට සහ සරදමට ලක් වෙන්නේ එවන් පෞඩ ඉතිහාසයක වර්තමානය වීම කණගාටුදායකයි.
මම හිතන්නේ නසාර් හුසේන් ගේ කතාව සමස්ත ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සහ සියලූම ක්‍රිකට් බලධාරීන් එකම කාමරයකට පැමිණ ඇසිය යුතු එකක්.
ඔවුන් ඉතාම සැහැල්ලුවෙන්, රැකියාවක් පමණක් ලෙස සලකමින් සිටින්නේ කොතරම් පෞඩ ඉතිහාසයක් දැයි ඔවුන් දැනගත යුතුයි.
ඔවුන් සතුව ඇති වගකීමේ බරපතලකම කොතරම් දැයි අවබෝධ කරගැනීමට නසාර් හුසේන් ගේ කතාව වුව ප්‍රමාණවත්.

ඉරේෂාන් සිරිවර්ධන(fb)

    2024. 03. 29

Related articles

2024 සාහිත්‍යය පිළිබඳව නොබෙල් ත්‍යාගය චීන ජාතික ලේඛිකාවකට !!

2024 වර්ෂයේ සාහිත්‍යය පිළිබඳව නොබෙල් ත්‍යාගය ( සම්මානය ) ( Nobel Prize for Literature - 2024 ) චීන...

කාංචනා අමිලානිගේ ‘ කාල රේඛාව ‘ ගැන

කාංචනා අමිලානිගෙ ' කාලරේඛාව' කාව්‍ය සංග්‍රහය මිල දී ගන්න පෙළඹීමක් ඇති වුණේ ඇයගේ ප්‍රේමයේ කාර්තු කෘතිය කියවීමෙන් ලද...

සාර්ථක පුහුණුකරුවෙකු ලෙස විශ්‍රාම යාමට සනත් ට හැකිවේවි

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය පත්කෙරුණා. ඒ අනුව 2024 ඔක්තෝම්බර් 1 දා වලංගු වන පරිදි, 2025...

2021 සිට සීඅයිඩි නියෝජ්‍ය අධ්‍යක්ෂ එස්එස්පී ඉමේෂා මුතුමාල අධ්‍යක්ෂ ධුරයට !

ශ්‍රී ලංකා පොලිස් ඉති­හා­සයේ පළ­මු­ ව­රට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ (CID) අධ්‍ය­ක්ෂ ­ධු­ර­යට කාන්තා නිල­ධා­රි­නි­යක් පත්කි­රී­මට යෝජනා වී ඇත. අප­රාධ...