‘මාවඩ්ඩිපුරම් දොර ඇරුණා’- ගයාන් පීරිස්

Share post:

තම කවි එකතුව එළිදක්වන මොහොතේ ඊට සහභාගි වන්නැයි ගයාන් ඇරයුම් කරන විට වෙනත් කාර්යයක් යෙදී තිබුනෙන් එන්න බැරිවෙනු ඇතැයි මේ තරුණයාහට කීවද අවසන සිත මා තෙරපුවේ පුස්තකාල සේවා මණ්ඩලයට යන්නටමය. එහෙත් සරසවි සගයෙකුගේ මරණය විසින් මට උත්සවය හමාර වන්නට පෙර ශාලාවෙන් බැහැර වන්නට බල කෙරුණි. ඉදින් එමි ඉන්නට නොලැබුණ පාඩුවට වන්දිය මා ගත්තේ බලපිටිය බලා යන බසයෙහිදී ගයාන්ගේ කවි කියවීමෙනි.

ඇලන් ගින්ස්බර්ග් කවිය අරභයා මෙවන් අදහසක් පවසයි. ‘කාව්‍යකරණය යනු ජනයා හට සිය අව්‍යාජ මනසට හඩ අවදි කරන්නට ඉඩ සලසන තැනය. ඒ වනාහී තමන් පුද්ගලිකව දන්නා දේ ප්‍රසිද්ධියේ පවසන්නට ඉඩ සලසන ස්ථානයයි.’

තම පුද්ගලික කලාපයට ග්‍රහණය වන එහෙත් පොදු වැදගත්කමක් ඇති අදහස් අව්‍යාජ ලෙස පවසන්නට කවියාට ඇති හැකියාව නිර්මාණකරනයේදී බෙහෙවින් වැදගත් දෙයකි. තමන් හට පවසන්නට ඇති දෑ ව්‍යාජ දවටනයන්හී අසුරා කවිය අනවශ්‍ය ගැඹුරක ගිල්වන්නට තැත් දරනා කවියන් තම නිර්මාණය පාඨක ලෝකයෙන් දුරස් කරන තරමටම කවිය අනවශ්යය ලෙස සැහැල්ලු කරන්නට යන කවියාද කවිය හුදෙකලා කර දමයි. එහෙයින් කවියකු හට තමන්ගේ කාව්‍ය මාර්ගය පිළිබඳ මනා අවබෝධයක් තිබිය යුතු වෙයි.

ගයාන් ගේ කවි කියවන විට පළමුවෙන්ම දැනෙනා දෙය වනුයේ ඔහු සැලකිය යුතු අවබෝධයකින් තම කාරියෙහි නියුක්ත වන බවකි. ඔහු සිය ප්‍රකාශනයට වැඩියෙන්ම තෝරා ගන්නේ සිවු පද කාව්යා කෘතියයි. අපේ ජන කවියෙහි මෙන්ම කොළඹ යුගයෙහි කවියද සිහිපත් වන ගයාන්ගේ කවි නිර්මාණ ඒ අතරම ගයාන් නම් කවියා තුළ වන ශක්‍යතාවන්ද මතු කර දක්වයි. සිවුපද කවියෙහි දක්නට ලැබෙන එක් ආවේනික ලක්ෂණයක් වන ඒ කාව්‍ය මාර්ගයේ නීති රාමුව රකින්නට ගොස් අනවශ්‍ය වදන්, යෙදුම් ඔබාලන්නට ගොස් කවියා හට සිදුවන අතරමං වීමෙන් මිදෙන්නට ගයාන් සමත්ව තිබේ. කවියෙහි රිද්මය රකිනා අතරම කවියට අනවශ්‍ය ලෙස බරු එල්ලන්නට යාමෙන් මිදෙන්නට ගයාන් සමත්ව සිටී. එය යහපත් ලක්ෂණයකි.

අනෙක් අතින් ගයාන් කවියට විෂය කරගන්නා වපසරියද බෙහෙවින් වැදගත්ය. ඔහුගේ කවි බොහොමයක් කේන්ද්රත කරගන්නේ වරප්රගසාදිත පංතියෙන් බැහැර කරලන ලද මනුෂ්‍ය ජීවිතයේ දැළි අඟුරින් වැසි නොයෙක් අංශ නිර්මාණශීලීව ගෙන හැර පාන්නටය. එහෙයින් ඔහු කවියෙන් කතන්දර කීමේ සීමා ඉක්මවා කවිය හරහා අද්යාතන සමාජ ජීවිතය සහ එහි පත්ලේම පෑගී, දුහුවිලිව යන්නට නියමිත මිනිස් අහිනකගේ ලෝකය විවරණය කරන්නට සිය නිර්මාණ ශ්‍රමය යොදවයි. මේ අද දවසේ නිර්මාණකරුවෙකුට නොදුටු සේ යන්නට නොහැකි මාවතකි.

ඉතා හොඳින් මෙය වටහා ගත හැකි කදිමම උදාහරණය වනුයේ ඇද්ද මේ මහතුනේ නම් කවියයි. මේ කවිය ලංකාවේ නූතන යයි කියනා ඊනියා සමාජයේ හෙලුව ඉතාම නිර්ලජ්ජිත අයුරින් විදහා පෑ සමාජ මාධ්යන වැසිකිලියකට එල්ල කරනා ගල් පහරකි. පසුගිය මෑත අතීතය තුළ සමාජ මාධ්‍ය මෙන්ම අනෙක් මාධ්‍ය ද බෙහෙවින් උණුසුම් කළ පුවත් වූවේ භික්ෂූන් සහ කාන්තාවන් අතර ඇති අනියම් සබඳතාවන්ය. භික්ෂු සමාජයම මහා ගෝසා මැද තම දායකයන් යොමු කළ කෙලෙස් ප්ර්හීන කළ මාවතේ තමන්ට ඉදිරියෙන් යන භික්ෂුව නොසිතූ මොහොතක ඉන් බැහැර කාන්තා තුරුළක දකින්නට ලැබීමම දායකයන්ට බියකරු නිමේෂයකි. ඒ සමගින් ඇති වන්නේ මෙත් කරුණා ගුණ පරයන කෝපයකි. ඉන්පසු මැවෙන පුවත් යනු ඒ කෝපයෙහි ප්‍රතිපලයන්ය. එහෙත් මේ කෝපය සහ තමන් රැවටීමට ලක්වීම පිලිබඳ ලැජ්ජාව හමුවේ ගිහියන් හැසිරෙන ම්ලේච්ඡ ආකාරය සමාජයෙහි ඇති කරනා නින්දිත ප්‍රතිපල ගැන මාධ්යා බෙහෙවින් අන්ධය. ගයාන් තම කවියෙහිදී කසාවතෙහි පළමුව ගොදුරක්ව දෙවනුව සමාජය නම් ගොහොරුවේ ගල් ගැසුම් කන්නට නියමවූ කාන්තාවගේ හඬ අපට අභිමුඛ කරවයි. ඒ බරපතල චෝදනා පතක විලාශයෙනි. කවිය සාර්ථක වන්නේ ඒ ඉදිරිපත් කරන කෝණය නිසාවෙනි.

පෙති කැඩුන මලකටත් පුදසුනක් තිබුණා
බැති පෙමට මළකඩට තහඩුවක් ලැබුණා
හැතිකරේ තරු ඇවිත් අපේ ගෙට එබුණා
නැතිවුනා පොඩි උන්ගෙ බත් කටක් ඉතිනා

සදාචාරය යනු විටෙක ඉල ඇදෙනා විහිලුවක් බව කවියා අපට පවසයි. අනෙකාගේ මෙන්ම තමන්ගේද සදාචාරය ගැන බෙහෙවින්ම වදවෙන බොහෝ සදාචාරවාදීන් ඒ තැනට තල්ලු වන්නේ තමන්හට අහිමිව ගිය අවස්ථාවන් වෙනකෙකු අත්විඳිනු ඉවසනු බැරි අවස්ථාවලදී බව වටහා ගන්නට උදාහරණ ඇති තරම් තිබේ. මේ ගයාන්ගේ වදන්ය.

මී කන්න බැරි රිලවු ගල් වලින් ගහනවා
නෑ කන්ඩ පිදුරුවත් කැනහිලුන් බුරනවා
හාගන්ඩ බැරි නගුල් එසැවෙවී බලනවා
දැඩ් මුණ්ඩ දෙයියනේ මං පළිද හිතෙනවා

මේ පද පේලි කිහිපය තුළ ඇති ව්යංනගාර්ථය බෙහෙවින් සිත්ගන්නාසුළුය. හාගන්ඩ බැරි නගුල් එසැවෙවි බලනවා වැනි යෙදුමක ඇති හාස්‍යය දනවන සත්‍යය කවිය ඉහලට ඔසවා තබයි. මේ කවිය වල් වැදුන සමාජයකට කියවා දිරවාගත හැකි නම් අගනේය.

පාලමේ පද්මේ යන කවියද ගයාන්ගේ කවි අතර විශේෂී නිර්මාණයකි. එහිදීද ඔහු විෂය කරගනුයේ පරිධියෙහි ඉන්නා ජීවියෙකි. ඔහු තුම්මුල්ලේ පද්මේ නොව පාලමේ පද්මේය. පද්මේගේ ඇවතුම් පැවතුම් යනු ගර්හිත පිලිවෙත්ය. එහෙත් ඔහු තුළ විඳවනා මිනිස් ආත්මයෙහි හැඩ රුව ගයාන් අපට ගෙන එන්නේ ඒ මිනිස් ආත්මයෙහි කැටිව පවත්නා ගුණයන් උපලුප්පා පෙන්වමිනි. මුදල යනු දේව භාෂිතය බවට පත්ව ඇති සමාජයක පද්මේ තෝරා බීඩියකින් සෑහීමට පත්වෙයි. එද කුලියක් ලෙස නොවේ.

ගත්තොත් කුලිය තෝරා මිටියක් විතරයි
දුන්නොත් සල්ලි ඔහු තද කෝපෙන් පුපුරයි
කැඩුවත් පැකට් එක බිවුවම එක උගුරයි
එනමුත් හදවතේ ඉඩ මූණෙන් උතුරයි

ගයාන් මේ කවියෙහි දක්වන සමත්කම වනුයේ සිය කවියෙහි කූටප්‍රාප්තිය පාඨක පරිකල්පනයට ඉඩ සලසනා මාවතක් කිරීමය. කථකයා කුඩා අවදියේ පටන් දකිනා පද්මේ තවම එසේ පාලම මත සිටුනයේ ඇයිද යන පැණයට පද්මේගෙ පිලිතුර පාඨකයාගේ පරිකල්පනයේ පුළුල් බව අනුව විස්තාරණය කළ හැක්කකි.

මං පොඩි දවස්වල හිටි ඒ විධිහටම
වෙනසක් නැතිව අදටත් පාලම ළඟම
හිතුණා අහන්නට දවසක් ඇයි ඔහොම
ඔහු පෙන්නුවා පාලම යට වක්කලම

වක්කලම යනු නදියක ගැඹුරුම තැනකි. මිනිසුන් ගිලෙනුයේ, දිවි නසා ගන්නට පනිනුයේ වක්කලමටය. ඉදින් පද්මේ වක්කලම පෙන්වීම යනු මිනිස් ආත්මයෙහි ඇති අසිරිමත් බව, දයාර්ද්රද බව විදහන්නකැයි මට සිතෙයි.

ගයාන් පඹයා යනුවෙන්ද කවියක් රචනා කරයි. ඔහු ඒ කවෙහිදී කෙතක ආරක්ෂක භූමිකාව පවරනු ලබනා පඹයෙකුගේ භූමිකාව ඇසුරින් සමාජ කියවීමකට තැත් දරයි. පඹයා යනු ගොවියාගේ කෙත රකිනු පිණිස නිර්මිත රුවකි. එහි අවසානය තීරණය වනුයේ අස්වනු නෙලීමත් සමගින්. ඒ වන විට ඉතිරි වනුයේ පඹයා සිටුවීමට ගන්නා දණ්ඩ පමණි. පඹයා දිරා යන විට ඒ දණ්ඩ මුල් ඇද පැලවී තිබේ. ඊළඟ කන්නයට රාජකාරි බාරදෙනු ලබන්නේ තවත් පඹයෙකුහටය. ගයාන් මේ පඹයා ගේ නික්ම යාම නිහඬතාවයේ ගැඹුරුකම ඇසුරින් මනුෂ්ය ත්වයට ආරෝපණය කරන්නට උත්සුක වෙයි.

සේවය අවසන්ය අස්වනු එන කලට
පණ දී මියෙමි ඇතුලෙන් පැලවෙන ගහට
නිහඩයි කියන්නේ ගැඹුරුම තැන්වලට
පඹයෙක් කියන්නේ නිහඩම මිනිහෙකුට

එහෙත් ගයාන්ගේ අදහස හා එකඟවීමට මට අසීරුවක් දැනෙයි. ගොවියා හට කෙතෙහි අස්වනු නෙලූ පසු පඹයා මෙන්ම පඹයාට සිටගන්නට වාරු දුන් මුල් ඇදි දණ්ඩද ඇවැසි නැත. ඔහු යළි පඹයෙකු සහ දණ්ඩක් සොයන්නේ වපුරන සමයටය. ඔහුට පඹයාට වාරු පිණිස සිටි දණ්ඩද හිරිහැරයකි. ඉවසන පඹයා යන්න අපේ සමාජයෙහි පරිහාණියට හේතු වන අප පරම්පරා ගණනාවක් අත්විඳි කටුක සත්‍ය ය යැයි මට සිතෙයි. දර්ශන මේදිස් ගේ පිලිලය සහ ගස පිලිබඳ කවිය මෙහිදී ගයාන්ගේ කවියට එදිරිව බරපතල දේශපාලන කියවීමක් ඉදිරිපත් කරයි. එහිදී ගසට ඔජ වඩන පිලිලයට ගස දෙන පිලිතුර මෙපරිදිය.

එද කිසිදා කඳ කුනුවී දිරා නොයමි
නටු සොලවා සරු පල බිම පුරා හෙලමි
උන් පැලවී මල් පුබුදා ලන ඉඩ හැර
නුඹත් කැටුව මම ඉදිරී කඩා වැටෙමි

(සංවාදයක් හෙවත් මුලිනුපුටා දැමීමක්- පිටුව 19- කඳුළු මිටියාවකින්- දර්ශන මේදිස්)

කෙසේ වෙතත් ඩිස්පෙන්සරි සෝමේ, ඉන්දරෙයි චන්දරෙයි සිංහයයි, රානිගෙ පොට් එකට ඕ අයිසීම පැනලා යනාදී කවි ගයාන් සතු පරිකල්පන ශක්තිය ඉහලින් භාවිතයට ගත් කාව්යු නිර්මාණ ලෙස හඳුන්වා දිය හැකිය. මිනිස් සබඳතා, ප්‍රාග්ධනයේ ආධිපත්‍යය හමුවේ සමාජ විපරිණාමය වැනි කරුණු මෙහිදී කවියා අතින් වදන් සිත්තම් බවට පත්වෙයි. සමාජ විෂමතා හමුවේ නාය යන ජීවිත වලට මෙන්ම ඒ ජීවිත වලින් සෙවන ලබනා ජීවිත වලට මුහුණ දෙන්නට වන ගැහැට සහ අවමාන හමුවේ කවියා සෝමේ වෙතින් නැගෙනා පැණය හරහා විවේචනාත්මක එළඹුමකින් පාඨකයා ග්‍රහණයට ගනියි.

පන්සල් ගොසින් ලොකු හාමුදුරුවෝ ළඟට
වැඳලා කියපු දේ තව රැව් දෙයි කනට
‘හාමුදුරුවනි මං යන්නං අපාටය
පොඩි උන් එවන්නද ඉරිදට පන්සලට?’

ඩිලිවරි තාත්තා කවියද නූතන ශ්රයම වෙළඳපලේ ලාබයටම අලෙවි වන ජීවිත පිලිබඳ කියවීමකි. ගයාන් සිය කවියෙහි වැඩි විශ්වාසයක් තබනුයේ භාවමය ආලෝලනය කෙරෙහිය. ඒ කවියාගේ නිදහසයි. එහෙත් ඒ භාවමය කම්පනය අතරෙහිම ඔහු පාඨකයා ගේ බුද්ධිමය එළඹුමටද ඉඩ විවර කරයි. මේ සමබරතාව තබා ගන්නට ගයාන්ගේ සමත්කමද ඔහුගේ කවි එකතුවට ආලෝකය සපයන බව අවසනට කිව යුතුය.

චුලානන්ද සමරනායක

Related articles

වික්ටෝරියා අවදානමක ද? – ඇවිදින කන්දේ ඛේදවාචකය උමා ඔය සමග ගලපා නොගන්නේ ඇයි ?

මිනිසා තමන්ගේ අවශ්‍යතාවලට ගැලපෙන පරිදි පරිසරය වෙනස් කරගැනීමේ අවස්ථාවකට හොඳ ම උදාහරණයකි, ගංගා හරස් කර ඉදිකළ වේලි. වේල්ල...

ලෝක කුසලාන සංචිතය – අවසන් කණ්ඩායම් හතරේ සිහිනය ශ්‍රී ලංකාවට දුර නැහැ

ලෝක කුසලාන සංචිතය නිකුත් කළා.සංචිතයට ක්‍රීඩකයන් පහළොවක් සහ අතිරේක ක්‍රීඩකයන් සිව්දෙනෙක් ඇතුලත්.වාර්තා වන අන්දමට නිකුත් වුණේ තේරීම් කමිටුව...

ශ්‍රී ලංකාව, අමුල් සහ ඉන්දියාව

එළඹෙන T20 ලෝක කුසලානයට එක් වන කණ්ඩායම් වල ප්‍රධාන අනුග්‍රාහකයන් ප්‍රසිද්ධ කළා.මේ අනුව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන...

‘ලියන කලාව සහ රචනා විධි ක්‍රම’ ලියනගේ අමරකීර්ති

ශාස්ත්‍රීය ලේඛනය විධිමත් ආකාරයකින් සිදු කිරීමේදී අනුගමනය කළ යුතු ශිල්පීය සහ තාක්ෂණික ක්‍රමවේද ඇතුළත් ලියනගේ අමරකීර්ති විසින් රචිත...