අපිත් එක්ක එකතු වෙන කාටවත් විශේෂ වරප්‍රසාද නෑ – ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය

Share post:

මේක ප්‍රචාරක ව්‍යාපෘතියක් නෙමෙයි. මේක අපි යෝජනා කරන සමාජ පරිවර්තනයට, අලුත් පුනරුද යුගයක් උදාකර ගැනීමට සමාජයේ ඉන්න සියලුම කොටස් සූදානම් කිරීමක්. අපි ඊළඟට තරුණ රැළි පටන්ගන්න සැලසුම් කරලා තියෙනවා. ඒ තුළින් අපි බලාපොරොත්තු වෙන්නෙ මේක පුළුල් මහජන ව්‍යාපාරයක් විදිහට වර්ධනය කරන්න. අපි බලාපොරොත්තු වෙන මේ සමාජ පරිවර්තනය එක පක්ෂයක විතරක් වගකීමක් නෙමෙයි. ඒ නිසා ඒකට විවිධ කොටස් සම්බන්ධ කරගන්න ඕනෙ. අපි කරන්න යන වැඩේ මොකක්ද කියලා හරියට කතාකරන්න ඕනෙ. ඒකට සංවිධානය වෙන්න ඕනෙ. ඒක තමයි අපි මේ කරමින් යන්නෙ.

දිස්ත්‍රික්කයේ එක කෙළවරක ඉඳලා අනෙක් කෙළවරට මිනිස්සුන්ට ඇවිදගෙන එන්න බෑනෙ. හෙලිකොප්ටර්වලින් බස්සන්නත් බෑනෙ. එතකොට ඒගොල්ලොන්ට ප්‍රවාහන පහසුකම් අවශ්‍යයි. ඒවා ඒ ඒ ප්‍රදේශවල සංවිධායකවරු සංවිධානය කරනවා. ඒ ප්‍රදේශයේ හිතවතුන්ගෙන් මුදල් එකතු කරන අවස්ථා තියෙනවා, ඒ බස්වල යන අය සල්ලි වියදම් කරන අවස්ථා තියෙනවා, ඒ බස්වල හිමිකරුවන් වියදම අඩුකරලා අපෙන් ගන්න අවස්ථා තියෙනවා. කොහොම හරි මේ අය ඔක්කොම එන්නෙ එක අරමුණකට, ඒ අරමුණ වෙනුවෙන් තමන්ගෙ සහභාගිත්වය දක්වන්න. කොට්ඨාස සභා මට්ටමටම දැන් අපි සංවිධානය වෙලානෙ තියෙන්නෙ. එතකොට ප්‍රාදේශීය මට්ටමෙන් ඒ කටයුතු සිදුවෙනවා.

මේ ආර්ථික පීඩාවෙන් ගොඩඑන්න නම් මේක වෙනස්වෙන්න ඕනෙ. වෙනස්වෙන්න නම් මිනිස්සු සංවිධානය වෙන්න ඕනෙ. ඒකට තමයි අපි මේ වැඩ කරන්නෙ. අපි රැස්වීම් තියන්න සල්ලි වියදම් කරපු හින්දා නෙමෙයිනෙ ආර්ථිකය කඩාවැටිලා තියෙන්නෙ. ආර්ථිකය කඩාවැටිලා තියෙන්නෙ පත්වුණු නායකයන්ගෙ නොහැකියාව සහ ඔවුන්ගේ වංචාව – දූෂණය නිසා. මාත් දැක්කා ඔය කතාව සමහරු තැන් – තැන්වල කියලා තියෙනවා. රැස්වීම්වලට යන සල්ලිවලින් රටේ ආර්ථික ප්‍රශ්නය විසඳන්න පුළුවන් නම් මොකටද අයිඑම්එෆ් එකෙන් ණය ගන්නෙ.

අනිවාර්යයෙන්ම ඒක බරපතළ ප්‍රශ්නයක්. බඩගින්න කියන එක විතරක් නෙමෙයි, පෝෂ්‍යදායී ආහාර වේලක් නොලැබෙන එක මානසික වර්ධනය ඇතුළු සියල්ලට බලපානවා. ඒ නිසා මේක හදිසි තත්ත්වයක් විදිහට අපි ආමන්ත්‍රණය කළ යුතු දෙයක්. මේක සම්පූර්ණ පරම්පරාවකට බලපාන දෙයක්. නිසි වයසට නිසි පෝෂණය නොලැබෙන එක පරම්පරාවක වර්ධනය, ශ්‍රමයේ ගුණාත්මක බව වගේ කරුණුවලට තීරණාත්මක විදිහට බලපෑම් එල්ල කරනවා. මේක රටේ තියෙන මූලික ගැටළුවක් විදිහට අපි හඳූනාගෙන තියෙනවා. ඒකට කඩිනම් වැඩපිළිවෙළක් අවශ්‍යයි.
පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාගැනීම කියන කාරණය ආර්ථික ගැටළුවකටත් එහා යනවා. විශේෂයෙන් ම ආහාරවල ගුණාත්මකභාවය තහවුරු කරගැනීමේ විධිමත් ක්‍රමවේදයක් අවශ්‍යයි. අපි කන්නෙ මොනවද, ඒ කන දේවල්වල තියෙන්නෙ මොනවද කියලා හිතන්න වෙනවා. අපිට ඉස්සර තිබුණා ඉතාමත් හොඳ ප්‍රජා සෞඛ්‍ය ජාලයක්. දැනටත් ඒ ව්‍යූහය තියෙනවා, නමුත් ඒවාට අවධානය අඩු වීම නිසා දැන් ඒ ක්‍රමය හරියට ක්‍රියාත්මක වෙන්නෙ නෑ. ඒක නිසා ඒ ක්‍රමය දියුණු කිරීමෙන් මේකට මැදිහත් වෙන්න පුළුවන්. මොකද ඒ ව්‍යුහය අපිට දැනටමත් තියෙනවා.

අපි හිතන්නෙ එහෙම බරපතළ අර්බුදයක් තියෙන වෙලාවක තමයි, අපි වගේ අලුත් ව්‍යාපාරයකට ඇවිත් මේක වෙනස් කරන්න පුළුවන් වෙන්නෙ. පවතින ක්‍රමය හරියට යනවා නම් අපි වගේ කණ්ඩායමකට අවස්ථාවක් එන්නෙ නෑනෙ. මේක කඩාවැටීම නිසා ම තමයි මිනිස්සු මේකට විකල්පයක්, වෙනස් දෙයක් හොයන්නෙ. මේ වෙලාවෙ තියෙන ප්‍රධාන ගැටළුවක් තමයි, සමාජයේ ව්‍යූහය පවත්වාගෙන යන සියලු ආයතන සම්බන්ධයෙන් ජනතාවගේ විශ්වාසය බිඳවැටීම. අපිට ලැබිය යුතු කිසිම සේවාවක් ගැන අපිට තෘප්තිමත් වෙන්න බෑ. අපිට ඒවා ගැන විශ්වාසයකුත් නෑනෙ. ඒක තමයි මේ සමාජ අර්බුදයේ ප්‍රබලම ප්‍රකාශනය. ඒ නිසා ඒ විශ්වාසය තහවුරු කරන්න පුළුවන් ආණ්ඩුවක් පත්කිරීම තමයි වැඩේ.

අනිවාර්යයෙන්ම වෙනස් වෙලා. පහුගිය වසර දෙක – තුනක් තුළ ජනතාව ලබලා තියෙන අත්දැකීම් සහ අනෙක් පැත්තෙන් අපි ජනතාව එක්ක බිම් මට්ටමේදි කරලා තියෙන වැඩ ප්‍රමාණය මේකට හේතුවක් වෙලා තියෙනවා. ඒකෙ තනි අයිතිය අපට ගන්න බෑ. මේ රටේ සිදු වුණු අරගල ඒකට ලොකු බලපෑමක් වුණා. නමුත් ජාතික ජන බලවේගයත් පහුගිය කාලය තුළ ඉතාමත් මහන්සි වෙලා ජනතාව දේශපාලනිකව අවදි කරන්න මැදිහත් වුණා.
මාධ්‍යයෙන් කතාකරන්නෙ අපේ රැළි ගැන විතරයිනෙ. හැබැයි ඒ රැළි, සමුළු පිටිපස්සෙ ජනතාව ගොඩනගන්න විශාල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුණානෙ. අපේ ප්‍රතිවාදීන් මොන කතා කිව්වත්, බස්වලින් සල්ලි දීලා ගෙනාපු මිනිස්සු නෙමෙයි මේ රැස්වීම්වල ඉන්නෙ. මේ අරමුණත් එක්ක එකඟ වෙලා මේකට සහයෝගය දක්වන්න එන මිනිස්සු තමයි ඒ. ඒගොල්ලො මේ රැස්වීමට එන්න කලින් සමහර විට ගමේ කුඩා රැස්වීම් ගණනාවකට ගිහින් තියෙන්නෙ. ඒ දැනුවත්වීම්, සංවිධානගත වීම් එක්ක තමයි ඔවුන් ලොකු රැළියට එන්නෙ. ඒ නිසා මේ පාර ඔය ප්‍රශ්නෙ වලංගු නෑ.

පැහැදිලිවම අල්ලගන්න ප්‍රමාණයක් ඉඳීයි. හැබැයි ඒ විදිහට අල්ලගන්න ප්‍රමාණය මේ පාර ඒගොල්ලොන්ට බලයේ රැඳීලා ඉන්න ප්‍රමාණවත් වෙන්නෙ නෑ. මේ වෙනකොට බහුතර ජනතාව ඔය බඩු බෙදන, දේශපාලනඥයා අනුග්‍රාහකයා විදිහට මිනිස්සුන්ගෙ ජීවිතවලට කඩාවදින දේශපාලන සංස්කෘතිය ප්‍රතික්ෂේප කරලා තියෙන්නෙ. සීමිත පිරිසකට මේවා වැඩ කරයි. නමුත් මං හිතන්නෙ මේ සිදුවෙන්න නියමිත සමාජ පරිවර්තනය වළක්වන්න ඔය ක්‍රමයෙන් බෑ.

ඒ හැප්පිල්ල හරහා ම තමයි මේ වෙනස එන්නෙ. මේ පාර හැප්පෙන කණ්ඩායම් දෙකේ එක පැත්තක ඉන්නෙ ජනතාව. අනෙක් පැත්තෙ ඉන්නෙ මේ ක්‍රමයෙන් වරප්‍රසාද සහ බලය ලබාගත් දේශපාලනඥයන් සහ ඔවුන් වටා ඉන්න චෞර වළල්ල. ඒගොල්ලොන්ට ජන බලයක් නෑ. ජන බලය තියෙන්නෙ අනෙක් පැත්තට. ඒක නිසා ජනතාව පැති දෙකක් අරගෙන නෑ. ජනතාව ඉන්නෙ එක පැත්තක.

ලේසි නෑ. අපි කවුරුවත් හිතන්නෙත් නෑ, කියන්නෙත් නෑ මේක ලේසි දෙයක් කියලා. හැබැයි විය යුතු දෙයක් නම් අමාරුවෙන් හරි කරන්න වෙනවා. අපිට ඡන්දෙ දීලා අපිට ජනවරමක් දෙන්නෙම ඕක කරන්නනෙ. ඒ කියන්නෙ ජනතාවත් එකඟයි මේක වෙනවට. එතකොට ජනතාව දූෂණය නවත්වන්න කියලයි ඡන්දෙ දෙන්නෙ. ඒකම තමයි මේකෙ වෙනස වෙන්නෙ. අපි ආණ්ඩු බලයට එනවා කියන්නෙ මේ නිලධාරීන්ගෙන් අතිබහුතරයක් අපිට ඡන්දෙ දීලා. ඒගොල්ලො එතකොට දන්නවා මොකක්ද වෙන්නෙ කියලා.
දැන් පවතින ක්‍රමය පවතින්නෙම දූෂණය මත. මේකෙ පදනම ඒකනෙ. පදනම වෙනස් වෙනකොට, මිනිස්සුන්ට දූෂණය හරහා තමන්ගෙ ජීවිත ගොඩනගා ගන්න අවශ්‍ය වෙන්නෙ නෑ. ඒකට හේතුව විකල්ප ක්‍රමයක් තුළනෙ මේක විසඳෙන්නෙ. මේක ඇතුළෙ ඉඳගෙන මේක විසඳන්නෙ කොහොමද කියලා බැලුවොත් මේක විසඳන්න බෑ තමයි. අපි පදනම වෙනස් කරනවා. එතකොට මිනිස්සු හැසිරෙන්නෙත් වෙනස් විදිහකට.

ඒකට හේතුවක් තියෙනවා. මේ දූෂණයේ පදනම වෙනස් වෙනකොට ඔවුන්ට වෙන පැතිවලින් ප්‍රතිලාභ එන්න පටන් ගන්නවා. තමන් ගෙවන බදු සල්ලිවල ප්‍රතිලාභ තමන්ට ලැබෙන බව ඔවුන්ට දැනෙන්න පටන් ගන්නවා. ඒ වගේම නායකත්වය ජීවත් වෙන විදිහ ඔවුන් දකිනවා. එතකොට ඒකට අනුගත වෙන්නත් වෙනවා. ඉහළින් ආදර්ශයක් එනවා. එහෙම තමයි මේවා වෙනස් වෙන්නෙ. කැපවීම් අත්‍යවශ්‍යයි.

අපි කොයිවෙලාවකවත් කියලා නෑ බදු නැති කරනවා කියලා. රටක් පවතින්න බදු ක්‍රමයක් අවශ්‍යයි. අපි කියන්නෙ ඒ බදු සාධාරණ විය යුතුයි. ඒ වගේම රජයේ ආදායම හොයන්නෙ බදුවලින් විතරක් වෙන්නත් බෑ. රටේ ආදායම් මාර්ග වර්ධනය වෙන්න ඕනෙ. මේ ආණ්ඩුව මේ වෙලාවෙ ආදායම් හොයන්නෙ බදුවලින් විතරයි. අපි ආදායම් හොයන්නෙ නිෂ්පාදන ආර්ථිකයකුත් ඇතිකරලා. ඒකෙන් ජනතාවගේ ආදායම් වැඩි වන ප්‍රමාණයත් එක්ක තමයි අපි බදු අයකරන්නෙ. ඒ නිසා අපේ බදු ප්‍රතිපත්තිය ජනතාවට බරක් වෙන්නෙ නෑ. ඒක මීට වඩා සාධාරණ වෙනවා.
අනෙක බදු එකතු කිරීමේ බරපතළ ප්‍රශ්න තියෙනවා. වැඩි ම බදු ගෙවිය යුතු අයට බදු නොගෙවා ඉන්න පුළුවන් ක්‍රමයක් තමයි තියෙන්නෙ. විනිවිදභාවයක් නෑ. බදු ගෙවිය යුතු අය ගෙවන්නෙ නැති නිසා තමයි වෙනත් කොටසකට ඒ බදු බර වැටෙන්නෙ. ආදායම් බදු දෙපාර්තමේන්තුව තුළු බරපතළ වෙනස්කම් රාශියක් සිදු විය යුතුයි කියලා අපි හඳූනාගෙන තියෙනවා.
අනෙක අපේ බදු ප්‍රතිපත්ති සරල හා සාධාරණ වෙනවා. දැන් ක්‍රියාත්මක වෙන අපේ බදු ක්‍රමය ඉතාම සංකීර්ණයි සහ අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙනවා. ඒකෙන් තමයි මේ රිංගන අය රිංගන්නෙ. බදු ප්‍රතිපත්තියක් හදනවා කියන්නෙ බදු වැඩි කරන එකට නෙමෙයි. බදු ගෙවනවා වගේම තමන් ගෙවන බදුවලින් ප්‍රතිලාභ හරියට ලැබෙනවා කියලා මිනිස්සුන්ට විශ්වාසයක් ඇතිවෙනවා නම් මිනිස්සු බදු ගෙවනවා.

අපිත් එක්ක එකතු වෙන කවුරුවත් හිතන්නෙ නෑ, මේක මේ දවසෙන් – දෙකෙන් වෙනස් වෙන දෙයක් කියලා. ඒගොල්ලො දන්නවා මේක දීර්ඝකාලීන ගමනක් කියලා. අනෙක් පැත්තෙන් මේකෙ කළමනාකරණය හරියට සිද්ධ වෙනකොට මේ තියෙන පීඩාව අවම කරගන්න පුළුවන් කඩිනම් ක්‍රම බිහිවෙනවා. බිහිකරන්න පුළුවන්. උදාහරණයක් විදිහට විදුලි බිල මෙච්චර වැඩිවෙන්න අවශ්‍ය නෑ. ඒ වගේ වහාම කරන්න පුළුවන් දේවල් කඩිනමින් කරන්න පුළුවන්.
ඒ වගේම මිනිස්සු ආර්ථිකයට සම්බන්ධ කරගන්න ඕනෙ. ආර්ථිකය පණගන්වන්න ජනතාව සම්බන්ධ කරගන්න කොට ජනතාවගේ ආදායම් මාර්ග පුළුල් වෙනවා. ඒකට අපිට සැලසුමක් තියෙනවා. අපි ඒ සැලසුම් ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට ආර්ථිකය ගොඩනගන්න යම් කාලයක් අවශ්‍ය වුණාට, මේ තියෙන පීඩාව අඩු කරන්න ඉක්මනින් මැදිහත් වෙන්න පුළුවන් කියලා අපි හිතනවා. එතකොට ජනතාවට බලාපොරොත්තුවක් පේන්න පටන් ගන්නවා.

පැහැදිලිව කියන්න ඕනෙ, අපිත් එක්ක එකතු වෙන කාටවත් විශේෂ වරප්‍රසාද නෑ. අපිත් එක්ක එන්නෙ තමන්ගෙ හොරකමක් – දූෂණයක් නිසා රැකවරණයක් බලාපොරොත්තුවෙන් නම් ඒක සිද්ධවෙන්නෙ නෑ. හැබැයි අවංකව වෙනස් වෙලා වැඩකරන්න සූදානම් නම් අපි ඒක බාරගන්නවා. ඒ වගේම චෝදනා තියෙනවා නම් ඒවාට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. ඒවගෙන් රැකවරණය බලාපොරොත්තුවෙන් මේ වේදිකාවට නැග්ගා කියලා වැඩක් වෙන්නෙ නෑ.

මං හිතන්නෙ මේ සම්බන්ධතා ගොඩනැගීම අලුත් එකක් නෙමෙයි. අපි කාලයක් තිස්සෙ ඒ සම්බන්ධතා ගොඩනගමින් හිටියා. දැන් සිද්ධවෙන්නෙ අපි යන – එන ගමන්වලට ඉස්සරට වඩා ප්‍රචාරය ලැබෙනවා. අපිට ජාත්‍යන්තර ප්‍රතිපත්තියක් ඕනෙ. ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න නම් අපිට රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ඕනෙ. අපි දැනට විපක්ෂයේ ඉන්න කණ්ඩායමක් විදිහට ඒ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා තියාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ වගේම දැන් ජාත්‍යන්තර ප්‍රජාවටත් යම්කිසි හැඟීමක් තියෙනවා ඉදිරි ආණ්ඩුවක් පිහිටුවීමේ ප්‍රවණතාව අපිට තියෙනවා කියලා. එතකොට ඒගොල්ලොත් උනන්දු වෙනවා අපිත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරන්න.

රනිල් වික්‍රමසිංහ කිසිම බැලන්ස් එකක් කරගෙන නෑනෙ. රනිල් වික්‍රමසිංහට වඩා නම් අපිට හොඳටම ඒ බැලන්ස් එක කරන්න පුළුවන් කියලා මට හොඳටම ෂුවර්. රටවල් ගාණෙ ගියා කියලා ජාත්‍යන්තර ප්‍රතිපත්තිය සාර්ථකව පවත්වාගෙන යන්න බෑ. ඒ ගිහිල්ලා කරන දේ සහ ඒ ගමන්වලින් එන ප්‍රතිලාභ අනුව තමයි ඉස්සරහ දිහා බලන්න වෙන්නෙ. රනිල් වික්‍රමසිංහ යන ගමන්වල ප්‍රතිලාභ මොනවද, අඩුම තරමෙ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් හෝ අවසාන එකඟතාවකට එන්න පුළුවන් වෙලා තියෙනවද. අපිට තියෙන්නෙ විධිමත් සැලසුමක්. ඒ වෙනුවෙන් කැපවෙන්න සූදානම් කණ්ඩායමක් අපිට ඉන්නවා.

  • ශාලික විමලසේන

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...