බංග්ලාදේශය සහ ‘ටයිම් අවුට්’

Share post:

ශ්‍රී ලංකා කණ්ඩායමේ ‘ටයිම් අවුට්’ සැමරීම ගැන මට තියෙන්නේ මිශ්‍ර අදහසක්.

එක් පැත්තකින් බංග්ලාදේශය වැනි රටක් ඉදිරියේ ලබනා ජයග්‍රහණයක් ඉතාම ආවේගශීලීව සැමරිය යුතු නැතැයි මම විශ්වාස කරනවා.

මම බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග නැරඹීමට එතරම් ප්‍රිය නොකළ, දවස අවසානයේ තරගය ජයග්‍රහණය කළේ කෙලෙසදැයි ලකුණු පුවරුවෙන් පමණක් බැලීමට හුරු වූ පරම්පරාවේ ක්‍රිකට් රසිකයෙක්.

බංග්ලාදේශය සමග තරගයක වාස්, මාලිංග, මුරලි එක පිට එක කඩුලු දවා ගන්නා අයුරු දුටු පරම්පරාවේ රසිකයෙක්.

බංග්ලාදේශය ඉදිරියේ සනත්, සංගක්කාර ආදී පිතිකරුවන් විනෝදයට මෙන් ලකුණු රැස් කරනු දුටු පරම්පරාවේ නියෝජනයක්.

කාලයත් සමග බංගලාදේශය සමඟ වන තරගයක් “අළු බඳුන” තරගයක් මෙන් තරගකාරී වීම ඒ පරම්පරාවේ අපට තවමත් වේදනාවක්.

ඇතැම් විටෙක බංග්ලාදේශයට අනුකම්පා කළ ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලංකාව සිය දෙවැනි ප්‍රියතම කණ්ඩායම වූ බංග්ලාදේශ රසිකයන් මට තවමත් මතක් වෙනවා.

2014 T20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකාව ඉන්දියාව පරාජය කරද්දී, මීර්පූර් පිටිය පිරී සිටි බංග්ලාදේශ රසිකයන් ශ්‍රී ලංකා කොඩි රැගෙන ශ්‍රී ලංකාවට ජය ඝෝෂා කළ හැටි මට මැවී පෙනෙනවා.

එකල බංග්ලාදේශය ක්‍රිකට් ලෝකයේ කුඩා රටක්.

ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාවේ යෝදයෙක්.

තමන්ට කළ නොහැකි, සිය සතුරන් පරාජය කිරීමට බංග්ලාදේශය තෝරාගත් රට වූයේ ශ්‍රී ලංකාව.

එකල ශ්‍රී ලංකාවට අමතරව වැඩිම සංගක්කාරගේ රසිකයන් පිරිසක් සිටියේ බංග්ලාදේශයේ.

එය සනත් ජයසූරියට ඉන්දියාවේ සිටි රසික පිරිස හා සමාන අන්දමේම විශාල ඉලක්කමක්.

ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කළ රටක් වූවත්, එතරම් ජයග්‍රහණ නොලැබූ බංග්ලාදේශය සිය වීරයන් තෝරාගත්තේ ශ්‍රී ලංකාවෙන්.

තවමත් බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රධාන පුහුණුකරු තනතුරු වලට ශ්‍රී ලාංකිකයන්ම තෝරාගැනීමට හේතුවත් එයයි.

තවමත් බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩාව පාලනය කරනා පැරණි පරම්පාවේ වීරයන් වන්නේ ශ්‍රී ලාංකිකයන්.

සුදු ජාතිකයන් සහ චන්දික හතුරුසිංහ, රංගන හේරත්, හෂාන් තිලකරත්න වැනි ලාංකික හිටපු ක්‍රීඩකයන් ඉල්ලුම් කරනා තනතුරකට, බංග්ලාදේශ පරිපාලකයන් විසින් ඉහළින්ම තෝරාගන්නේ ශ්‍රී ලාංකිකයන්.

ඒ වීරත්වය කොතෙක්ද යත් බංග්ලාදේශ පුහුණුකාරීත්වය මග දමා ශ්‍රී ලංකාවට පැමිණි හතුරුසිංහ, ශ්‍රී ලංකාවෙන් එලවූ පසු යළි බංග්ලාදේශයටම බඳවා ගැනීමට තරම් විශාලයි.

කාලයත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ‘අනෙකා’ බංග්ලාදේශය වීම දක්වා වූ ගමන්මග අප දුටුවා.

එතනදී සිදුවූයේ බංග්ලාදේශයේ නැගීමකට වඩා, ශ්‍රී ලංකාවේ කඩාවැටීමක්.

බංග්ලාදේශ රසිකයාද කලෙක ඔවුන්ට ලඟා විය නොහැකි වූ ඔවුන්ගේ වීරයන්, ඔවුන්ගේ ප්‍රතිවාදීන් ලෙස තෝරාගත්තා.

මෙහි නින්දා සහගතම දිනය යෙදුණේ 2018 වසරේ නිදහස් කුසලානයේ අවසන් මහා තරගය දිනයේ.

ඉන්දියාව ලවා බංග්ලාදේශය පරාජය කරවා ගැනීමට, ශ්‍රී ලංකා රසිකයන් දහස් ගණනක් ඉන්දීය කොඩි සමග ප්‍රේමදාස පිටියට ගිය දිනයේ යි.

ඉන් වසර හතරකට පෙර මීර්පූර් පිටියේ දී ලංකාව ලවා ඉන්දියාව පරාජය කරවා ගැනීමට පැමිණි බංග්ලාදේශ රසිකයාගේ තැනට ලාංකික රසිකයා වැටුණා.

බංග්ලාදේශය සමග තරගයක් ජය ගැනීම මහ ඉහළින් සැමරීමට තරම් දෙයක් ලෙස තවමත් මට හිතෙන්නේ නැහැ.

ඇතැම් විටෙක ඒ අප පැරණි පරපුරක ක්‍රිකට් දෑසින්ම දුටු රසිකයන් වූ නිසා වෙන්නට ඇති.

ඉරේෂාන් සිරිවර්ධන

  2024. 03. 11 

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...