රටක් රැවටීම කෙසේ වෙතත් ලෝකයක් රැවටීමේ ප්‍රතිඵල භයානක විය හැකිය – ජුලී චන්ග්ගේ කතාවෙන් රනිල් අන්දොස් විය !

Share post:

රතු මුහුදේ ප්‍රහාර එල්ල කරන යේමනයේ හුතී කැරලිකරුවන්ට ප්‍රති ප්‍රහාර එල්ල කිරීම සඳහා එක්සත් ජනපදය ප්‍රමුඛ බහුජාතික සන්ධානය සමඟ ශ්‍රී ලංකාව එක්ව ක්‍රියා කරන බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් ප්‍රකාශ කළාය. තානාපතිනිය මෙම අදහස් දැක්වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහද සහභාගි වූ පාත්පයින්ඩර් සංවිධානය විසින් මෙහෙයවූ වැඩමුළුවකදීය. බ්‍රහස්පතින්දා පැවති ඉන්දීය සාගර සමුළුවේදී ද ඇය මේ බව තහවුරු කළාය.

නාවික හමුදාව රතු මුහුදට යවා මීක් නැතිව සිටි රනිල් ජුලී චන්ග්ගේ කතාවෙන් අන්දොස් විය. මුහුණ කුණ්ඩ හට්ටියක් කරගෙන බුම්මාගෙන සිටියේය. මේ මොහොතේ ශ්‍රී ලංකාව ඇමෙරිකාවේ සහ ඊශ්‍රායලයේ පැත්ත ගන්නවාට ජනතාව විරුද්ධ බව ඔහු දනී. රනිල්ට අවශ්‍ය ජෝබයිඩන් සතුටු කිරීමටය. පලස්තීන ගාසා තීරයේ ඊශ්‍රායලය විසින් සිදු කරන ම්ලේච්ඡ මිනිස් සංහාරය නතර කරන ලෙස බල කරමින් යේමනයේ හුති සංවිධානය රතු මුහුද හරහා ගමන් කරන ඊශ්‍රායලයට යුද අධාර සපයන රටවල වෙළඳ නෞකාවලට දිගින් දිගටම ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරමින් සිටී.

හුතී සංවිධානයේ ප්‍රහාර නිසා දකුණු ආසියාව බලා ගමන් කරන වෙළඳ නෞකා වලට රතු මුහුද අවදානම් කලාපයක් වූ බැවින් අප්‍රිකාව වටා යාත්‍රාකර දීර්ඝ මුහුදු ගමනක යෙදෙන්නට සිදුවේ. හුතී කැරලිකරුවන් එල්ල කළ තර්ජනය ගාසා තීරයේ ජන ඝාතක යුද්ධයට සෑහෙන අභියෝගයක්වී ඇත. ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ රටවල් ගාසා තීරය බිමට සමතලා කිරීමෙන් තොරව දඩයම නතර කිරීමට සූදානම් නැත.

එක්සත් ජනපද ජෝ බයිඩන් පාලනය හුති කැරලිකරුවන් ගේ බල කිරීම නොසලකා හරිමින් යේමනයේ කැරලිකරුවන්ගේ කඳවුරු වලට ප්‍රහාර එල්ල කිරීම සඳහා බහුජාතික සන්ධානයක් ගොඩනැගීය. නමුත් ප්‍රංශය, ජර්මනිය ඇතුළු නේටෝ රටවල් රාශියක් ඊට එකඟ කරවා ගැනීමට ඇමරිකාව අපොහොසත් විය . ඉන්දියාවේ අගමැති නරේන්ද්‍රමෝදි පවා ඉදිරිපත් වූයේ තම සාගර සීමාවේ නෞකාවල ආරක්ෂාව සඳහා පමණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී නොබැඳි ප්‍රතිපත්තිය ඉවතලා ඩබල් ගේමක් ගසන්නට පටන් ගෙන ඇත. ඇමරිකාව ඊශ්‍රායලය සමඟ අටවාගත් බහුජාතික සන්ධානයට ලංකාව ඇතුල් කළ ඔහු අනෙක් අතට ගාසා තීරය ගැන නාහෙන් අඬන්නට පටන් ගෙන තිබේ.

මරදාන ස්ටැප්ඩ් විද්‍යාලයේ උත්සවයකට සහභාගි වෙමින් ජනාධිපති රනිල් ප්‍රකාශ කළේ රතු මුහුදේ වෙළඳ නෞකා ආරක්ෂා කිරීම සඳහා පිටත්ව යාමට නෞකාවක් සූදානම් කරන ලෙස තමා ශ්‍රී ලංකා නාවික හමුදාවට නියෝග කළ බවය.

එපමණක් නොව මහා පරාක්‍රමබාහුගෙන් පසු ප්‍රථම වරට ඊජිප්තු මුහුදට යුද නෞකාවක් යවන්නේ තමා විසින් බවට පුරාජේරු කතාවක් ද කීවේය. සෑහෙන කාලයක් ගත වූ නමුදු ශ්‍රී ලංකාව රතු මුහුදේ මෙහෙයුමට දායක වූ බවක් හෝ නාවික හමුදාවේ නෞකාවක් යැවූ බවට ජනාධිපති මාධ්‍යාංශය හෝ විදේශ අමාත්‍යාංශය වාර්තා කර තිබුණේ නැත.
බලලා මල්ලෙන් එලියට පැන්නේ ඇමෙරිකන් තානාපතිනියගේ කතාවෙනි.

ජාත්‍යන්තර කටයුතු කෙරෙහි ඇති වගකීම මනාව මැනවින් තේරුම් ගනිමින් රනිල් වික්‍රමසිංහ රතු මුහුදට නෞකාවක් පිටත්කර හැරීම තමා මහත්සේ අගය කරන බව එක්සත් ජනපද තානාපතිනිය පසුගියදා ප්‍රකාශ කළා. ඇගේ කතාවෙන් හෙළි වන්නේ ලංකාව දැනටමත් රතු මුහුදේ ක්‍රියාන්විත වලට ඇමරිකාව සමඟ එක්ව සිටින බවය. ඇමරිකන් තානාපතිනිය යථොක්ත ප්‍රකාශය කරද්දී ජනාධිපති රනිල් එම රැස්වීමේ මුලසුන ගෙන සිටියේය. ඔහු ජුලි චං තානාපතිනියගේ අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළේ නැත. ඒත් ඔහුගේ මුහුණ නරක් වී තිබිණ.

පාත් පයින්ඩර් සංවිධානයේ රැස්වීමේදී එක්සත් ජනපද තානාපතිනි ජුලි චන්ග් මෙසේ ප්‍රකාශ කළාය.
“අපි ඇමරිකාවේ වෙරළ ආරක්ෂක සේවය භාවිතා කළ නාවික යාත්‍රා තුනක් ශ්‍රී ලංකා නාවික හමුදාවට ප්‍රදානය කළා.
ඒ වගේම තවත් විවිධ ආරක්ෂක සහායන් ලබා දී තිබෙනවා. අපි මෑතකදී දැක්කා ශ්‍රී ලංකාව ගෝලීය අභියෝගයන් කෙරෙහි අවධානය යොමු කරමින් තීරණ අරගෙන අප විසින් ලබා දුන් නාවික යාත්‍රා තුනෙන් එකක් සෞභාග්‍යයේ මුර දෙවි මෙහෙයුමට පිටත් කළ බව. ජනාධිපතිතුමා මතක් කළ විදිහට ශ්‍රී ලංකන් නාවික හමුදාව රතු මුහුදේ බහුජාතික නාවික ක්‍රියාන්විතය සමඟ මේ වන විට එකතු වී සිටිනවා.

ප්‍රතිප්‍රහාර හේතුවෙන් ගල්ෆ් සීමාවේ සිට ආරාබි මුහුද දක්වා නෞකා මාර්ග වැටී ඇති මුහුදු ප්‍රදේශයේ වෙළඳ නෞකාවල ආරක්ෂාව සහ නිදහස වෙනුවෙන් රටවල් ගණනාවක් සහාය වෙනවා. ගෝලීය සැපයුම් ජාලයේ සුරක්ෂිතතාව වෙනුවෙන් ශ්‍රී ලංකාව තරගකාරී භූමිකාවකට පණ පොවන බව මෙයින් ඉතා මැනවින් නිරූපණය වෙනවා. එයින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මෙන්ම මුළු මහත් ලෝකයටම ප්‍රතිලාභ හිමි වෙනවා.
ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ එකම ප්‍රති නැව් ගත කිරීමේ මධ්‍යස්ථානය ලෙස භාණ්ඩ ප්‍රවාහනයට පහසුකම් සපයමින් වටිනා භූමිකාවක නිරතව සිටිනවා.”

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊශ්‍රායලයට පක්ෂව ක්‍රියා කරමින් පලස්තීනයේ මිනිස් ඝාතන වෙනුවෙන් කම්පාවට පත්ව සිටින ජනතාව අස්වැසීම සඳහා විවිධ ප්‍රකාශ කරන බව පෙනේ. ඊජිප්තුවේදී ඔහු ප්‍රකාශ කළේ අවතැන් වූ පලස්තීන ජනතාව වසර පහක් තුළ නැවත පදිංචි කළ යුතු බවය. ගාසා තීරයේ පලස්තීන සරණාගතයන් උදෙසා අරමුදලක් ද පසුගියදා ජනාධිපති රනිල් ආරම්භ කළේය. පසුගිය දිනක මැද පෙරදිග රටවල තානාපති නිලධාරීන් කැඳවා ඔහු ප්‍රකාශ කළේ පලස්තීන ගාසා තීරයේ ප්‍රථම උසස් අධ්‍යාපන කොලීජිය ශ්‍රී ලංකාව විසින් ඉදිකරන බවය. ජනාධිපතිවරයාගේ එම කතා යාපනය දිස්ත්‍රික්කයේ පානීය ජල ප්‍රශ්නය විසඳීම සඳහා කිලාලි කලපුවට පානීය ජලය පුරවන බවට කළ ප්‍රකාශයට දෙවැනි නැත. ජනාධිපති රනිල් එකක් කියන අතර ඊට ඉඳුරාම වෙනස් දෙයක් කරමින් සිටී. රටක් රැවටීම කෙසේ වෙතත් ලෝකයක් රැවටීමේ ප්‍රතිඵල භයානක විය හැකිය.

යේමනයේ හුති සංවිධානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ශ්‍රී ලංකාව නෞකාවක් පිටත් කළ හැරි බව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව දැනුවත් කළේ නැත. ජනතාව දැනුවත් කළේ ද නැත. විදේශ අමාත්‍යාංශය ද මේ සම්බන්ධයෙන් අනුගමනය කළේ නිහඬ පිළිවෙතකි. ලංකාව ඉන්දියන් සාගරයේ කුඩා දිවයිනක් වූ නමුත් විදේශ ආධිපත්‍යයෙන් මිදීමත් සමග ස්වාධීන ස්වෛරී දේශයක්ව පැවතිණි. අද අපි මුහුණ දී සිටින්නේ ආර්ථික වශයෙන් බංකොලොත් වීමේ ප්‍රශ්නයට පමණක් නොවේ. විදේශ ප්‍රතිපත්තිය 180°ක් ආපිට හැරවීම නිසාද ශ්‍රී ලාංකිකයෝ ජාත්‍යන්තරය හමුවේ බෙලහීනයන් බවට පත්ව සිටිති. ඕනෑම ජාත්‍යන්තර බලවේගයක් හමුවේ නැගී සිටීමට අප තුළ පැවති ආත්ම ශක්තිය දියකර හැර තිබේ. ජාත්‍යන්තරය ඉදිරියේ මේ තරම් නිවට වූ ඉතිහාසයක් අපට මින් පෙර තිබී නැත.

ඇමෙරිකන් ආධාර ලබන ඊශ්‍රායලයේ බෙන්ජමින් නෙතන්යාහුගේ රජය හමාස් සංවිධානයට ප්‍රහාර එල්ල කරන මුවාවෙන් පලස්තීන භූමියේ වාර්ගික සංහාරයක් සිදු කරමින් සිටී. 37000 කට වැඩි පිරිසක් මරා දමා ඇති අතර ලක්ෂයකට වැඩි පිරිසක් තුවාලකරුවන් බවට පත්කර තිබේ. අද ගාසා තීරය සුන්බුන් ගොඩක් පමණි. මිය ගිය වුන්ගෙන් බහුතරය දරුවෝය. ගසා තීරයේ සටන් විරාමයක් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් පසුගියදා ඇල්ජීරියාව ගෙනා යෝජනාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී ඇමරිකාව නිශේධ බලය යොදා පරාජයට පත් කළේය.

ඊශ්‍රායලය ගාසා තීරයේ සිදුකරන මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයන්ට විරුද්ධත්වය පළ කරන්නට අපට කොන්දක් නැත. ඒ අපරාධයේදී අප සිටින්නේ ඊශ්‍රායල් යුදෙව්වන්ගේ පැත්තේය. එය මේ රටේ ජනතාව කිසි කලෙක අත් නොවිඳි තත්ත්වයකි. දැන් ඊශ්‍රායල‍යට පක්ෂපාති රටවල නැව් වලට පහර දෙන හුති කැරලිකරුවන්ට ගහන්න බංකොලොත් ශ්‍රී ලංකාවේ නාවික හමුදාව රතු මුහුදට යවන්නට රනිල් – අලි සබ්‍රි කටයුතුකර තිබේ. එය ප්‍රංශය, ජර්මනිය, වැනි නේටෝ රටවල් පවා ප්‍රතික්ෂේප කල නල්ලමලේ වැඩකි. අනෙක් පැත්තෙන් අනාගතයේ අපට අම්බානකට කන්න වෙන වැඩකි. ලංකාව තවදුරටත් නොබැඳි රාජ්‍යයක් නොවේ. අධිරාජ්‍යවාදී බලවේගවලට බැඳුණු යටත් රාජ්‍යයකි.

ප්‍රශ්නයේ තවත් පැත්තක් තිබේ. රතු මුහුද අවදානම් කලාපයක් වීම නිසා වෙළඳ නෞකා ගමන් මාර්ගය අප්‍රිකාව වටා යමින් කේප් ටවුන් හරහා දින ගණනාවක් දීර්ඝ වී තිබේ. අප්‍රිකාව වටා ගමන් කරන නෞකාවක ගමනාන්තය වන්නේ කොළඹ වරායයි. ඒ හේතුවෙන් කොළඹ වරායේ දෛනික බහාලුම් මෙහෙයුම 70000 සිට ලක්ෂය දක්වා ඉහළ ගොස් ඇති අතර ආදායම බිලියන ගණනින් වැඩි වී ඇත. රට වැටී තිබෙන ආර්ථික අගාදයෙන් ගොඩ එම සඳහා එය ඉතා සාධනීය තත්ත්වයකි. ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසන අන්දමට මේ අහඹු තත්ත්වය හේතුවෙන් වරායේ අධිකාරියේ ආදායම බිලියන ගණනින් ඉහළ ගොස් ඇත.

ශ්‍රී ලංකාව වටා ජාත්‍යන්තර මුහුදේ ගමන් කරන නෞකාවලට සේවා සැපයීමත් ප්‍රතිනැව්ගත කිරීම සඳහා කේන්ද්‍රීය වරායක් ලෙස කොළඹ වරාය සංවර්ධනය වීමත් හේතුවෙන් නාවික ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන වාසි සහගත තත්ත්වය නොසලකන ශ්‍රී ලංකාව අධිරාජ්‍යවාදී හාම්පුතුන්ගේ මනදොළ සැපිරීමට ක්‍රියා කරමින් සිටී.

එක්සත් ජනපදය ඉන්දියානු සාගරයේ දියාගෝ ගාෂියා යුද කඳවුර පිහිටුවන විට ඊට එරෙහිව ඉන්දියන් සාගරය සාම කලාපයක් කරනු කියා කොළඹ වීදි පුරා පෙළපාලි යන්නට මෙරට ප්‍රගතිශීලි ජනතාවට ශක්තිය තිබිණ.

වර්තමාන ආණ්ඩුව ලංකාව අධිරාජ්‍යවාදීන්ගේ පාපිස්සේ නිදන සුනඛයකු බවට පත්කර තිබේ. වර්තමානයේ මේ රටේ නායකයා ලෝකයේ කිසිදු රාජ්‍යයක් මායිම් නොකරන බොරුකාරයෙක් බවට පත්ව ඇත. අවුරුදු එකහමාරක් තිස්සේ ලොව පුරා රවුම් ගැසුවත් එකම ආයෝජකයෙකු හෝ ලංකාවට ගෙන එන්නට ඔහු අසමත් වූයේ මෙරට විදේශ ප්‍රතිපත්තියේ බංකොලොත් කම නිසාය.

දශක තුනකින් මෙහා පැත්තේ බොහෝ ජාත්‍යන්තර ප්‍රශ්නවලදී අප සිටියේ අධිරාජ්‍යවාදීන්ගේ පැත්තේය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී ලංකාව ඡන්දය පාවිච්චි කළේ ඇමරිකන් හාම්පුතා දෙස බලා ඔහුට අවශ්‍ය පරිදිය.

මේ තත්ත්වය හොඳින් දැන සිටි නිසා චීන බැංකු අපට වාණිජ ණය දුන්නේ 9%
ගිනි පොලියටය. විදේශ ප්‍රතිපත්තියේ බංකොලොත් කම නිසා ආර්ථිකයද බංකොලොත් විය. චීනය, ඇමරිකාව,

ඉන්දියාව, බ්‍රිතාන්‍යය ආදී හැම රටක් සමගම යුද්ධ ගිවිසුම් ගසාගෙන ගෙනියන විදේශ ප්‍රතිපත්තියේ අවසානය ලංකාව මහ බලවතුන්ගේ යුද පිටිය බවට පත්වීමය.

උදේනි සමන් කුමාර (fb)

Related articles

කලාගාරය තුළ Boney M සංගීතය ඇසීමට සලස්වමින් පැවති උපාලි ආනන්දගේ “කැළල” (SCAR) චිත්‍ර ප්‍රදර්ශනය

උපාලි ආනන්දගේ “කැළල” (SCAR) චිත්‍ර ප්‍රදර්ශනය ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ මැයි මස 14, 15 සහ 16 තෙදින තුළ පවත්වන...

තිළිණා වීරසිංහගේ ‘මධු සමය අහිමි මංගල්‍ය’යෙන් දශක දෙකකට පසු

ඊයේ (17) තිළිණගෙ හවස, තිළිණා වීරසිංහ සහෝදරීගෙ මධු සමය අහිමි මංගල්‍ය කෘතිය පාදක කරගෙන ඇගේ නිර්මාණාවලිය ගැනම කෙරෙන...

ඔබ පතන හයිකුව – මදුරංගගේ අලුත්ම කවිය

මදුරංගගේ අලුත්ම කවි පොත "මේ ගසට ගල් ගසන්න" දැන් ටික දවසක් වෙනව "විදර්ශන ප්‍රකාශනයක්" ලෙස එළියට ඇවිල්ලා. මැයි...

‘දුමිරියේ ප්‍රේමය’ – 8 A.M. Metro

දුමිරිය කියන්නේ තවදුරටත් මිනිසුන් එහා මෙහා ගෙනයන හුදු ප්‍රවාහන සේවාවක්ම නොවෙි. දුමිරිය යනු නූතනයේ මිනිස් සබඳතා නිර්මාණය කරන...