සිංහල පාඨකයා මහාද්වීපික චින්තනයක් වෙතට කැදවාගෙන යාමට ගන්නා තේමාත්මක උත්සාහයක්

Share post:

කොස්මොපොලිටන් හෙවත් විශ්වීය නගර යන යෙදුම දූපත්වාසී අප හට තරමක ආගන්තුක හැඟීමක් ගෙන දෙන්නකි. ඒවායේ භෞතික මෙන්ම චින්තනමය හැඩතල අපගේ නගරවලට වඩා හාත්පසින් සංකීර්ණය; සරලය. එවන් විශ්වීය නගර තුළ ජීවත්වීමේ දී පූර්ව විනිශ්චයන්ට වැදගත්කමක් හිමි නොවේ. එහි සංකීර්ණත්වයට මුහුණ දීමට සිදු වන්නේ තනිවමය. ජීවිතයට මුහුණදීමේ සදා නිම කළ රාමු එහි නොමැත. එහිදී වෙනස්කම් එලෙසම පිළිගැනීම මිස ඒවා අහෝසි කිරීමට උත්සාහ ගැනීම පසුගාමීත්වයේ ලක්ෂණයක් ලෙස සැලකේ. අවවර්ධිත දකුණු ආසියානු රටක සිට මෙවන් විශ්වීය නගරයක ජීවත්වීමට යන තරුණ තරුණියන් හට මෙකී ආගන්තුක තත්ත්වයට අනුගතවීම බෙහෙවින් ආයාසකර මානසික අත්දැකීමකි. ශමෙල් ජයකොඩිගේ කොස්මොපොලිටන් ජීවිත මෙම සංකීර්ණත්වය පාඨකයා වෙතට අභිමුඛ කරන නවකතාවකි.

ශමෙල් කවදත් දේශසීමා ඉක්මවූ තේමා ස්වකීය නවකතා හරහා පාඨකයාට සමීප කිරීමට රුචියක් දක්වන ප්‍රබන්ධකාරියකි. සිංහල නවකතාව කරවටක් එරී සිටින ප්‍රාදේශීය සහ උපසංස්කෘතික නරාවලෙන් ගොඩ ගැනීමේ මෙහෙයුමේදී ශමෙල්ගේ උත්සාහයට ඉහළ වටිනාකමක් නිසැකවම හිමි වේ. මෙහි කතාපුවත ⁣ගලා යන්නේ උසස් අධ්‍යාපනය සඳහා ශ්‍රීලංකාවේ සිට ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ විශ්වවිද්‍යාලයක් වෙත යන සිංහල තරුණයෙකුගේ අත්දැකීම් අනුසාරයෙනි. මෙම නවකතාවේ දී විශ්වීය නගරයක් තුළ පැවැත්ම සමඟ බැඳුණු අවියෝජනීය අංග වෙත කතුවරියගේ අවධානය මූලිකව යොමු වේ. එහිදී ඇය කරනු ලබන සමාජ සංස්කෘතික නිරීක්ෂණ අතිශයින් තියුණුය. ඒ අනුව බහුභාණ්ඩික පරිසරයක වුවද එක්රැස් කිරීමට වඩා අත්හැරීම ප්‍රගුණ කිරීමකින් තොරව, වෙනස්කම් පිළිගැනීමකින් තොරව කොස්මොපොලිටියානු විනෝදය ළඟා කර ගැනීම දුෂ්කර බව පෙනේ. එමෙන්ම මෙවන් විශ්වීය නගරයක හුදෙකලාව සාධනීය අංගයක් ලෙස ක්‍රියාකරන ආකාරය ද ශමෙල් කතිකාවට හසු කර ගනී. එය කොස්මොපොලිටියානු සංකීර්ණත්වය සමතුලනය කිරීමට අත්‍යවශ්‍ය සාධකයකි. හුදෙකලාව සහ තනිකම අතර වෙනස වෙතද අවධානය යොමු කිරීමට කතුවරිය අමතක නොකරයි. තවද, මෙවන් සමාජයකදී අනෙකාගේ අනන්‍යතා ආක්‍රමණය නොකිරීමේ වැදගත්කම සහ ආධානග්‍රාහී මානසික රාමු තුළ සිරගතවීමේ අනතුර වෙත පුධාන චරිතය අභිමුඛ කිරීමට කතුවරිය කටයුතු කරයි. මෙලෙස, සිංහල පාඨකයා මහාද්වීපික චින්තනයක් වෙතට කැදවාගෙන යාමට ගන්නා තේමාත්මක උත්සාහය මෙම නවකතාවේ ප්‍රබලතම අංගය වේ.

කෙසේවෙතත්, ප්‍රබන්ධයේ ආඛ්‍යාන රටාවට වඩා කතන්දරය වෙත වැඩි බරක් තැබීමේ ශමේලියානු අඩුව මෙම නවකතාවේ ද දක්නට ලැබෙන බව කිව යුතුය. ඇය මහාද්වීපික චින්තනය පෝෂණය කරන ස්වකීය තියුණු සමාජ සංස්කෘතික නිරීක්ෂණය කතන්දරය තුළ ම ගබ්සාවීමට හැරීම අවාසනාවකි. එපමණක් නොව එය පාඨකයාටද කරනු ලබන යම් ආකාරයක අසාධාරණයකි. මන්ද , වර්තමාන පාඨකයා හුදෙක් සාම්ප්‍රදායික සරල රේඛීය ආඛ්‍යානයෙන් සෑහීමකට පත් වන්නෙකු නොවන බැවිනි; එමෙන්ම ශමෙල් ජයකොඩිගේ නිර්මාණ ප්‍රතිභාව පොදු පාඨකයා තෘප්තිමත් කිරීමේ පහසු ඉලක්කයට සීමා කිරීම අපරාධයක් බැවිනි .

උදිත අලහකෝන්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...