ප්‍රශ්නය – පොලිස්පති පත්කරද්දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ හැසිරීම හරි ද? : පිළිතුර – නෛතික ගැටළුවක් තියෙනවා. පුරවැසියන්ට අධිකරණයට යන්න පුළුවන් !

Share post:

ජ්‍යෙෂ්ඨ නීතිඥ ජාවෙඩ් යූසුෆ්

පොලිස්පති ධුරය සඳහා දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කළ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කළ ආකාරය සම්බන්ධයෙන් ආන්දෝලනයක් මතු වී තිබේ. ව්‍යවස්ථා සභාවේ කාර්යභාරය කුමක්ද සහ එහි සත්‍ය වගකීම කුමක්ද යන්න සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයකු ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජාවෙඩ් යූසුෆ් සමග කළ සම්මුඛ සාකච්ඡාවකි, මේ.

විවිධ දේශපාලන පක්ෂ සහ ජනතාව අතර පිළිගත් මතයක් තියෙනවා, මේ විධායක ජනාධිපති ධුරය යටතේ ජනාධිපති ධුරය දරන පුද්ගලයාට අසීමිත බලතල තියෙනවා කියලා. ඒ අසීමිත බලතල නිසා මේක ප්‍රජාතන්ත්‍ර විරෝධියි කියලත් මතයක් තියෙනවා. ඒ ඔක්කොම සලකාබැලීමෙන් පස්සෙ තමයි පාර්ලිමේන්තුවෙන් මෙවැනි ආයතනයක් පිහිටෙව්වෙ.
මේක මුලින්ම පටන්ගන්නෙ 17 වැනි සංශෝධනය තුළින්. මේ ව්‍යවස්ථා සභාව ක්‍රියාකිරීමට බලාපොරොත්තු වෙන්නෙ ඒ අසීමිත ජනාධිපති බලතල යම්කිසි දුරකට සීමා කිරීමට සහ නැවත පරීක්ෂා කිරීමට. ව්‍යවස්ථා සභාව ක්‍රියා කරන්නෙ දෙයාකාරයකට.
ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරු, පොලිස්පති, නීතිපති වගේ විශේෂ තනතුරුවලට ජනාධිපති නමක් යෝජනා කරලා ව්‍යවස්ථා සභාවට යවන්න ඕනෙ. ඒ නම යැව්වට පස්සෙ ව්‍යවස්ථා සභාව ඒක පිළිඅරන් අනුමත කරනවද, නැද්ද කියලා දැනුම්දෙන්න ඕනෙ. ඒ දැනුම් දීම ජනාධිපතිට කරන්න ඕනෙ. එතකොට ජනාධිපතිට පුළුවන් නැවත ඒ නම හෝ වෙනත් නමක් යවන්න. අනෙක් ක්‍රමය තමයි, ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් පත්කරද්දි නම් යෝජනා කරලා, තෝරලා ඒවා ජනාධිපතිට යවන්නෙ ව්‍යවස්ථා සභාවෙන්. ජනාධිපති ඒවා අනුමත කළේ නැත්නම් අර ක්‍රමවේදයටම නැවත යවනවා.
මේකෙන් බලාපොරොත්තු වෙන්නෙ ජනාධිපතිතුමාට තියෙන අසීමිත බලතල සංවරණයකට හා තුලනයකට යටත් කරන එක.

පාර්ලිමේන්තුවෙ පනත් සම්මත කරන කොට, විවාද කරන කොට ආණ්ඩුවේ සංවිධායකගේ දැනුම්දීම් මත ඡන්දය දෙනවා. විපක්ෂයත් එහෙමයි. විපක්ෂයේ සංවිධායකගේ දැනුම්දීම් අනුව කටයුතු කරනවා. ව්‍යවස්ථා සභාවෙන් බලාපොරොත්තු වෙන්නෙ පක්ෂ කණ්ඩායම්වල පාට කණ්ණාඩිවලින් නොබලා තීරණ ගැනීම. එතැන අගමැතිතුමා, අගමැතිතුමාගෙ නියෝජිතයා, ජනාධිපතිතුමාගෙ නියෝජිතයා, විපක්ෂ නායකතුමා, විපක්ෂ නායකතුමාගෙ ණියෝජිතයා ආදී වශයෙන් ඉන්නවා. එතකොට ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට අයත් නැති පක්ෂවලින් නියෝජනයකුත් තියෙන්න ඕනෙ. ඒත් මේකෙ තවම ඒ තැන පුරවලා නෑ. 10 දෙනෙක් ඉන්න ඕනෙ සභාවෙ දැන් ඉන්නෙ නවයයි. සිවිල් සමාජය නියෝජනය කරන තුන්දෙනෙකුත් ඉන්නවා.
මමත් නියෝජනය කරපු නිසා මට පැහැදිලිව කියන්න පුළුවන්, ව්‍යවස්ථා සභාවට බෑ යම් තීරණයක් ගැන දේශපාලන දෘෂ්ඨිකෝණයෙන් බලන්න. කෙනෙක් සුදුසු ද, නැද්ද කියන එක ගැන 10 දෙනෙක් ඉන්න සභාවක විවිධ මත තියෙන්න පුළුවන්. වගකීමක් දරන්න මෙයාට පුළුවන්ද කියන එක ගැනත් එහෙමයි. හැබැයි ව්‍යවස්ථාවෙ ම පැහැදිලිව තියෙනවා, මේකෙ අවසාන තීන්දුව ඒකමතිකව ගන්න හැකි සෑම උත්සාහයක්ම ගන්න ඕනෙ කියලා. කොච්චර සාකච්ඡා කළත්, එකඟතාවකට ගන්න බැරි නම් බහුතරය අවශ්‍යයි. ඒ කියන්නෙ පස්දෙනෙක්වත් ඉන්න ඕනෙ එක පැත්තක.

කතානායකවරයට ඡන්දය දෙන්න බෑ. සාමාජිකයන් දහයයිනෙ කතානායකත් එක්ක. නවදෙනාටයි ඡන්දය දෙන්න පුළුවන්. කතානායකවරයට ඡන්දයක් නෑ. හැබැයි ඡන්දය සමානව දෙකට බෙදිලා තිබුණොත් එතකොට කතානායකවරයට ඡන්ද අයිතියක් ලැබෙනවා, තීරක ඡන්දයක්. පොලිස්පතිවරයගෙ ප්‍රශ්නෙදි එහෙම සමාන බෙදීමක් නෑ. හතරදෙනෙක් ඡන්දය දුන්නා පක්ෂව. දෙන්නෙක් ඡන්දය දුන්නා විපක්ෂව. එතකොට වලංගු ඡන්ද හයයි. සමව බෙදීමක් නෑ. කතානායකවරයට ඒ අවස්ථාවෙ ඡන්දය දෙන්න බෑ. සමාන වුණොත් විතරයි එයාට ඡන්ද අයිතිය ලැබෙන්නෙ, ඒක පැහැදිලියි.
අන්තිමට බැලුවොත් මෙතැනදි ව්‍යවස්ථා සභාවෙන් නෛතික තීරණයක් දීලා නෑ. ඒක ඉතාම පැහැදිලියි.

මම ව්‍යවස්ථා සභාවෙ ඉන්න කොට මම විඳපු අත්දැකීම් ඇත්තටම ලොකු තෘප්තියක්. ඒ සාකච්ඡාවලදි අපි අතර විවිධ මත තිබුණත්, අපිට සාකච්ඡා කරලා අන්තිමට ඒකමතිකව තීරණ ගන්න අවස්ථාව ලැබුණා. ඒක මට පෞද්ගලිකවත් හොඳ අත්දැකීමක්. එතැනදි හැමෝම හොඳ තැනක හිටියා. පක්ෂෙ මතය එළියෙ තියලයි ව්‍යවස්ථා සභාවට ආවෙ. හොඳ සාකච්ඡා පැවැත්වුණා. සමහර පුද්ගලයො ගැන මතබේද තිබුණා, ඒත් දිගට සාකච්ඡා කරලා ව්‍යවස්ථාවෙ තියෙන ආකාරයට ඒවා විසඳන්න පුළුවන් වුණා.

මට ඒ සම්බන්ධයෙන් අත්දැකීම් තියෙනවා. මම ව්‍යවස්ථා සභාවෙ හිටපු කාලෙ රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැති විදිහට සභාව නියෝජනය කළා. මහින්ද රාජපක්ෂ මහත්මයා විපක්ෂ නායක විදිහට වගේම අගමැති විදිහටත් මේ සභාව නියෝජනය කළා. ජනාධිපතිගෙ නියෝජිතයෙකුත් හිටියා. ඒවා අපේ වැඩවලට තීරණාත්මක විදිහට බලපෑවෙ නෑ.
සමහර අවස්ථාවලදි එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත්මයා නිර්දේශ කරපු නියෝජිතයන්ව අපි ප්‍රතික්ෂේප කරලා යැව්වා. එතකොට එතුමා ඒවා ගැන සතුටු වුණේ නෑ. ඒත් එතුමා ඒ තීරණවලට හිස නැමුවා.

ඇත්තටම රනිල් වික්‍රමසිංහ මහත්මයා වගේම මහින්ද රාජපක්ෂ මහත්මයත් ඇතුළු සියලුදෙනාම ඉතාම සුබවාදීව ජාතික පත්වීම් විදිහට සලකන ඒ පත්වීම්වලට මැදිහත් වුණා. ගැටළු මතු නොවෙන විදිහට මැදිහත් වුණා. මේවගෙදි බොහෝ විට ඒකමතික තීරණවලට එළඹෙන්න එවකට කතානායක කරු ජයසූරිය මහත්මයගෙ මැදිහත්වීමත් තීරණාත්මක විදිහට බලපෑවා. ඒ කාලයේදී ව්‍යවස්ථා සභාවේ ක්‍රියාකාරිත්වය රටේ ව්‍යවස්ථාව සුරක්ෂිත කරන්නත්, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නත් සෑහෙන සාර්ථක විදිහට බලපෑවා කියන එකයි මගේ අදහස.

ඔව්. ඒක හරි. මං කිව්වනෙ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා කියපු ඒවා අපි ප්‍රතික්ෂේප කළා කියලා. ඒකෙන් ඔප්පු වුණේ මේ ක්‍රියාකාරිත්වය ඉස්සරහට යනවා කියන එකනෙ. ජනාධිපතිතුමා කියන හැමදේම අනුමත කරන්න ගියොත්, ඒක වැඩක් නෑනෙ. ඒ ඔක්කොම අනුමත කරන්න ගියොත්, මේ සභාව පවත්වාගෙන යෑමේ ඇති වැඩක් නෑ. හැබැයි එහෙම කියලා ඔක්කොම ප්‍රතික්ෂේප කරන්නත් බෑ. සාධාරණ මතයක් තියෙන්න ඕනෙ.
17 වැනි සංශෝධනය අහෝසි කරලා 18 ගෙනාවා. 18 වැනි සංශෝධනයෙන් ගෙනාපු පාර්ලිමේන්තු කවුන්සිලයට මෙහෙම බලයක් තිබුණෙ නෑ. ඒකට පුළුවන් වුණේ ජනාධිපතිතුමා එවන ඒවා අනුමත කරන්න විතරයි. ඊට පස්සෙ 19න් ආපහු ඒ බලය දුන්නා. 20න් ආපහු ගත්තා. 21න් ආපහු දුන්නා. මේ තත්ත්වයෙන්ම තේරෙනවා, බලය අතේ තියෙන අය සීමාවකින් තොරව ඒක කරන එක පාලනය කරන්න මේ සභාවට කොච්චර බලයක් තියෙනවද කියලා.

මේක තමයි විධායක ජනාධිපති ක්‍රමයේ දුර්වලතාව. විධායක ජනාධිපති ක්‍රමය රටට සුදුසු නෑ කියන්න මේකත් හොඳ හේතුවක් අනෙක් හේතු අතර. රනිල් වික්‍රමසිංහ මහත්මයා බලන්න, එතුමා අගමැතිවරයා විදිහට ව්‍යවස්ථා සභාව නියෝජනය කරද්දි ඉතාම සාධාරණ විදිහට කටයුතු කළා. ඊටපස්සෙ ජනාධිපති වුණාට පස්සෙ, විධායක ජනාපධිති ධුරයට පත්වුණාට පස්සෙ ඔහුගේ ක්‍රියාමාර්ග වෙනස් වෙලා. ඒ සිස්ටම් එක ඔහුව තල්ලු කරලා තියෙනවා පරණ තැනටම.

මේක ඇත්තටම පුද්ගලයෙක් පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. ඊට වඩා ලොකු තීරණාත්මක ප්‍රශ්නයක්. රටේ පාලන ක්‍රමය ගැන ප්‍රශ්නයක්. මට පෙනෙන විදිහට තුන් ආකාරයකට මේක හදන්න පුළුවන්. එකක් ජනාධිපතිතුමා ම මේක ගැන නැවත නිවැරදි තීරණයක් ගන්න එක. දෙවැනි එක පාර්ලිමේන්තුව මාර්ගයෙන් පාර්ලිමේන්තුවේ මතය විදිහට මේ ගැන ජනාධිපතිතුමා දැනුවත් කරන එක. ජනාධිපතිතුමා බැඳිලා නෑ, එහෙම එකක් කරන්න. ඒත් ඒක කරන්න පුළුවන්. තුන්වැනි එක ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුළුවන්. එතැනින් යම්කිසි තීරණයක් ඉල්ලන්න පුළුවන්.
එතැනදිත් යම් ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. අධිකරණය මේකට මැදිහත් වෙන්න අවශ්‍යද, නැද්ද වගේ ප්‍රශ්න. හැබැයි පුරවැසි සමාජය සහ ජනරජය අතර යම්කිසි ගැටළුකාරී තත්ත්වයක් ඇතිවුණොත් ඒකට අදාළ ව අවසාන තීන්දුව දෙන්න ඉන්නෙ අධිකරණය. පුරවැසියන්ට යන්න පුළුවන් තැන එතැන.

  • සාකච්ඡා සටහනශාලික විමලසේන

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...