‘මා තුළම වැඩුණේද අන් යමෙකු’ – චින්තක සමන් හේරත්
දින ගණනාවක් තිස්සේ එය මා සමගය. උදයේ නිවෙසින් පිටව දුම්රිය අල්ලන්නට යකඩ අසු සමග පොර බදන විට මගේ උකුලෙහිය. යළි වේදිකාවට ඇදී එන දුම්රිය වෙත දුවද්දී මා පසෙකින් හිණෙහි වැදි වැදී ගමනේ ය. දුම්රියට නැගගත් පසුව දින කිහිපයක්ම රාක්කයෙහි නිහඬව ගමනේය. සවස කාර්යාලය ඇරුණ පසුවද එය එලෙසමය. එහෙත් මේ කිසිවක් අනදරය නිසා නම් නොවේ. ඊට ගැලපෙනම වේලාව අල්ලා ගන්නට තිබූ උනන්දුව නිසාමය. දැන් අවසන ඊට වෙලාව ලැබී තිබේ. ඉදින් මම කියවමි. මා තුළම වැඩුණේද අන් යමෙකු……
තුරු ලතාවන් වියලවා දමමින් ගත දාහය අවුලුවාලමින් නියඟය ආධිපත්‍ය පතුරන විට සිහිල් දියත්තක මතකයත් සිතට සහනයකි. චින්තකගේ කවි යනු එවන් දියත්තකැයි මට සිතෙයි. ඇතැම් විට ජීවිතයේ නොවැදගත් සේ පෙනෙනා සමහර කාරණාවන් මනා සංයමයෙන් යුතුව ඔහු අතින් කවියට නැගෙනුයේ ගැඹුරු චින්තාවන්ට ඉඩ සලසමිනි. ඔහුගේ කවිය යනු නිසංසලේ ගලා යන වදන් ප්‍රවාහයකි. එහෙත් ඒ නිසංසල බව තුළම ගැබ්ව ඇත්තේ යටින් ගලා යන බලවත් දිය වැලක් වන් අදහස් සමුදායකි.
අප බොහෝ සේ මනාප වනුයේ අන් අය විසින් පෙන්වනු ලබනා මග ඔස්සේ සුන්දරත්වය සොයා යාමටය. එසේම ඒ සඳහා වෙන් කරන ලද සමයන්හී නැතිනම් වාරයන්හී එහි නිරත වීමටය. සිරිපා කරුණාව යනු මේ සඳහා හොඳම උදාහරණයකි. එහෙත් මේ වාරයේ සිරිපා කරුණාව යනුම ව්යා ජයක් බවට පත්ව හමාරය. අප අද එහි යන්නේ පරිකල්පිත රූ රටාවන් සමූහයක් මනසින් නඩත්තු කරමිනි. එහෙත් අපට ඒ ගමනේ නියම සුන්දරත්වය හමුවන්නේ නැති. සැබැවින්ම එය ලබනුයේ අවාරයේ සිරිපා කරුණාවට යන්නවුන් පමණි. චින්තක ගේ තනිව ආ ගමනක් නම් කවිය අපට මතුපිටින් ගෙන එන අරුත් එබඳු ය. එහෙත් ඒ කවියෙහි ප්‍රකාශිත අර්ථය ඉක්මවා ගැඹුරින් කවිය විඳින්නට සමත් අයෙකු හට ජීවිතයේ ගැඹුරු චින්තාවකට ඒ හරහා ඉඩ පාදා ගැනීමට බාධාවක් නැත. සැබැවින්ම කවිය නියම ලෙස මතු වන්නේද එවිටය.
පැනවූ වාරයන් වල
රංචු සේ නැගී මුදුනට
සපැමිණි දනන් කී බසින්
විසසෝපයට පත් සිතින්
අපේ ජීවිතවල ගලා යාමම තීරණය වනුයේ මෙවන් පැනවූ නියමයන් විසින්මය. එහෙත් ජීවිතය ඇත්තේම ඉන් බැහැරිනි.
එක් අවාරයක තනිව
එළැඹියෙමි ගිරි තරණයට
මේ එක් අතකින් සරල රේඛීය මතින් බැහැරව යාමකි. හිතුවක්කාරකමකි. වෙනස් ආකාරයක පිවිසුමකි. ඒ පිවිසුම ගෙනෙන චමත්කාරය යනු ජීවිතය වඩා පුළුල් නිම්නයක් වෙත හැරලවීමකි. ඉදින් ඔහු මේ නව්යෙ පිවිසුම මෙසේ සිත්තම් කරයි.
අලුයම් අඳුර පිසලමින්
සිය කුඩා අත්තටු වලින්
විහඟෙක් නැගේ එක් වරම
හිස් අහස වෙත තනියෙන්
අවාරය යැයි නම් කොට
කිසිවෙක් නාවද මෙදෙසට
අනත් දුර පෙදෙසක සිට
අරුණාලෝකය පැමිනෙයි
මිහිචුම් පටල වියැකෙයි
චින්තකගේ කවියෙහි ඇති එක් සුවිශේෂී ලක්ෂණයක් වනුයේ ඔහු මිනිස් හැඟුම් ස්පර්ශ කිරීමට දක්වන දක්ෂතාවයයි. ඉතාම සුළු සිදුවීමක් මතුකර ගනිමින් ඔහු ඒ තුළින් මානව හැඟුම් මතුකරලන්නේ සිහින් රිදුමක් වැනි යමක් පාඨක හදෙහි ඉතිරි කරමිනි. කෙලින්ම හදවතට වැදෙනා ඔහුගේ කවිය ඊළඟ මොහොතේ වඩා සන්සුන්, ජීවිතාවබෝධය වඩවන ඉවසිලිවන්ත කියවීමකට ඇරයුම් කරයි. කහ ඉරක් මත අහඹු හමුවක් එවන් මනරම් කවියකි. ඔහු බොහො කලක වියෝගයකින් පසව සිදුවන අහඹු හමුවීමක පරිසරය මවනුයේ පූර්ව ආකාරයකටය.
යකඩ එන්ජින් පවා
ඇසිල්ලක නවතින
කහ ඉරක් අබියස
අපේ හදවත් නැවතීම
අරුමයක් නොව මැතිනිය…..
ඒ හමුවීම යනු වෙන්වීමකට පසුව ගෙවී ගිය දිගු කාලයක මතක අවදි කිරීමකි. එහෙත් මෙවර හමුවනුයේ ජීවිතයේ හේමන්ත සමයෙහි පසුවන දෙදෙනෙකි. ඔහු ඒ බව ව්යං ගයෙන් පවසයි.
කුඩා මිණිබිරියකි
විශ්රාිම දෑතෙහි එල්ලුන
ඇසිල්ලක් වත් නොතකා
සිග්නල් මකරු දැල්වුන
ගෙවී ගිය සොඳුරු යුගයක මතක අවුලුවා ලන්නටවත් සිග්නල් කනුවෙන් ඉඩක් නැති. ඇය සිටිනුයේ කහ ඉර මත පන ගැහෙනා අතීතය දකින ඉසිඹුවක නොවේ.
බලාගෙන ඇති දූවරු
සැඳෑ ඇඳිරිය මැද්දෙන්
සිල් පවාරණ කොට
අම්මා ගෙදර එනතුරු
චින්තක තුළ ඉන්නා පරිණත කවියා, ජීවිතයේ ගැඹුර දක්නා කවියා පණ ලබනුයේ කවියෙහි අවසන් පද පේලි දෙකෙහිය. සංක්ෂිප්ත ගුණය රැකගත් මේ කවිය බොහෝ වදන් සිත්තම් මවන්නට සමත් නිර්මාණයකි.
හැඳිනියේදැයි නොදනිමි
නොහැඳිනියේ යැයි තුටු වෙමි
ඔහුගේ ඇතැම් කවියක වියපත් සමය මෙන්ම වියෝගය සමගින් වියපත් වන සිතුවිලි වල සංවේදී තානය කදිමට ගැබ් වෙයි. කලෙක සමීපව හිඳ පසුව වෙන්ව ගිය දෙදෙනකුගේ ජීවන රිද්මය තුළ කවියා පාදා ගන්නා හැඟුම් ඒ කියවන පාඨකයාගේ පරිකල්පනීය ලෝකය පොහොසත් කරනුයේ ජීවිතය යනු ලෙහෙසියෙන් හැරදා යා නොහැකි, වඩ වඩා ගැඹුරට කැණිය යුතු කලාපයක් බව පසක් කරමිනි. වෙරළට ආ චිත්ර ශිල්පිණිය නම් කව ජීවිතයේ සියුම් බව මෙන්ම සංකීර්ණ බවද යලි යළි මත්ක කරවන්නකි.
කුඩා බලු පැටවෙකු සමග
වෙරළබඩ සැන්දෑවෙහි
සිතුවම් අඳින්නට පැමිණෙන
මැදිවියේ කාන්තාවක පිලිබඳ
ආරංචියකි තැන තැන
වැහි පොදක් සේ හැඟුණා
ඒ නුඹම විය හැකි බව…..
සපැමිණි කත ගේ වර්තමාන තතු කවියා ඉදිරිපත් කරන්නේ මෙලෙසිනි.
දුව ඇවිල්ලා නැද්ද එතකොට
නැවතුණේ ළඟ පාත තැනකද?
ඉදින් මේ දෙපල ගැන පාඨකයා හට මවා ගත හැකි සිතුවම් බොහෝය. එකිනෙකාගෙන් වෙන්ව සිටිනා මේ යුවල කවුරුන් විය හැකිද? ඒ පාඨකයාගේ වැඩ බිමයි. කවියා සිය කවියෙහි පරිසමාප්තිය අත්කරගන්නේ මෙලෙසිනි.
වෙරළ කඳුවැටි එක්ක
ඔය හැටිම ඇයි මිත්රය
ගේ කුරුල්ලන්ගේ චිත්ර
දැන් ඔයා අඳින්නෙම නැද්ද?
ගේ කුරුල්ලන් යනු මෙහිලා බලවත් රූපකයක් සේ නැගෙන්නකි. ඉතාම සියුම් හැඟුම් මතු කරලීම උදෙසා චින්තක දක්වන දක්ෂතාව වඩාත් ඔප් නැංවෙන්නේ ඔහු තුල වන වදන් සුක්ෂමතාවෙහිය.
තදින්ම මගේ හදවතට වැදුන චින්තකගේ එක් කවියක් මැදිවිය කණින්නට කවියා දක්වන සමත්කම යළි යළිත් සනාථ කර කාරමක් සේ බැඳී තිබෙන බව කිව යුතුය. ඒ එක් අතෙකින් එය මට පුද්ගලිකවම දැනෙනා කරුණක් වන හෙයිනි. එසේම එය මැදිවිය හා නොවැලැක්විය හැකි ලෙසම ගැටගැසෙනා අත්දැකීමකි. මේ අපේ කවියෙහි එතරම් සුලබව භාවිතාවූ නිමිත්තක් නොවන බවද කිව යුතුය. චින්තක කවියා ගේ පරිකල්පනය කෙතරම් පොහොසත්දැයි එසේම ඔහු වියපත් සමය විනිවිදින්නට දක්වන සමත්කම කෙතරම්දැයි වටහා ගන්නට එම කවිය බෙහෙවින් යෝග්යි ය.
කවියෙහි නම මං විශ්රාටම යන දවස ය.
වඩා සුදුසු ඔබම එය කියවන එකය.