ප්‍රියා ප්‍රියා විදියට තේරුම්ගන්න බලමු – ප්‍රියා කියන්නේ තනියම අරගෙන කතාකරන්න පුළුවන් ලස්සන සිංදු කිව්ව කෙනෙක්

Share post:

ලෙඩක් දුකක් වෙලා සුමති සම්මාන ස්ටේජ් නගිනකල්ම ප්‍රියා සූරියසේන කියන ගායකයාට කවදාවත් ලොකු ඇගයීමක් ලැබුණේ නැහැ කියල කියන්න පුළුවන්. ඒ වගේම එයාගේ ගීත වෙනුවෙන් ලොකු ඇගයීමක් සිද්ද උණෙත් නැහැ. කවුරුවත් විචාරකයෙක් ඔහු ගැන ලොකුවට යමක් ලිව්වෙත් නැහැ. මම මේ ලියන්නෙත් ඔය සුමති ස්ටේජ් එකෙන් පස්සේ ආපු සෝෂල් මීඩියා වේව් (wave) එක එක්ක.

ප්‍රියා අපි පොඩි කාලේ ඉඳන් මතක හිටින තාලේ සරළ ජනප්‍රිය ගීත කිව්ව කෙනෙක්. ඒවා ගොඩක් විමුක්ති ගීතවත් සම්භාව්‍ය ගීතවත් නෙවෙයි. ඒවා ගොඩක් ගැලපුණේ ජෝති, ඇන්ජලීන්, ලතා, මිල්ටන් මල්ලවාරච්චි වගේ අය අයිති වෙච්ච ප්‍රේමදාස උන්නැහැගේ ගම් උදා ප්‍රසංග මාදිලියට.

මේ කියන්නේ අසූවේ අග අනූවේ මුල වගේ පටන් ගත්ත එක්සත් ජාතික පක්ෂයේ අනුග්‍රහය ලැබිච්ච එක්තරා සංගීත -සංස්කෘතික ප්‍රපංචයකට. ජිප්සීස්, ෆෝචූන්ස් සහ පස්සේ සන්ෆ්වර්ස් එක්ක ආපු රැල්ල. වෙනත් විදියකට කිව්වොත් අර සම්භාව්‍ය කට්ටිය වෙනුවට ආපු ජනප්‍රිය රැල්ල.
ප්‍රියා සිංදු කිව්වේ ෆ්ලැට් විදියකට. ගොඩක් වෙලාවට ඒ කටහඬ ටිකක් ස්ත්‍රී කටහඬක් එක්ක ගැලපිලා ගියා. තේමා වුනත් ලොකු පරාසයක තිබ්බේ නැහැ. හමුවීම, වෙන්වීම, ආදරය වගේ දේවල් ටිකක් එක්ක ඒ වටා කැරකුනා.

ආදරණිය නේරංජනා, මුළු මුහුදම, ඈත රන්විමන්, මගේ ළමැද, මොහොතක සුවදෙන, හිරු ද මුවාවී, ලිහිණින් රෑන පියා සළන්නේ, හෙට දවසේ අප දෙදෙනා, රටකින් එහා, අඳුර අඳුර මගේ, සඳ තාරකා හඬාවී, වගේ හිතේ රැව්දෙන ලයාන්විත පොප් ධාරාවක ඉතාම සරළ තනු සහ තේමා ටිකක් ප්‍රියා අතින් ගායනා උණා.

ඒ වගේම ඒවා හිට් උණා. යුගයක් පුරා මුමුණන ගීත බවට පත්උණා. මත්පැන් පොදක් එක්ක කියවෙන ආත්මයේ ගීත බවට පත්උණා. ට්‍රිප් එකක් යනකොට අනිවාර්යයෙන් කියන සිංදු පනහක් අතරේ ප්‍රියාගේ සිංදු අවම වශයෙන් පහක්වත් තිබ්බ. මම හිතන්නේ අපි වගේ විනෝදාංශ කර්මාන්තය ඉතාම පොඩි රකට ඒක ලොකු දෙයක්. ලොකු ඇචීව්මන්ට් එකක්.

ඒ සිංදු අතරේ ආත්මයේ ප්‍රකාශන තිබ්බ. ඒවා සෝල් (Soul) වෙන්න තිබ්බ. දුක කණගාටුව අතපසුවිම තිබ්බ. ඒවා බ්ලුස් (Blues) වෙන්න තිබ්බ. නටන්න පුළුවන් රොක් ඇන්ඩ් රෝල් (Rock and Roll) වෙන්න නියමිත හිට් තිබ්බ. ආදරය එක්ක ගමන් කරන රිදම් ඇන්ඩ් බ්ලූස් (R&B) වෙන්න නියමිත හිට් තිබ්බ. හැබැයි ඔක්කොම එකම ආරේ ලාංකික පොප් (Sri Lankan Pop) බවට පත්වුණා. ඒක අවාසනාවක්. ඒක ප්‍රියාගේ ප්‍රශ්නයට වඩා ලංකාවේ අතිශයින් සීමාසහිත අසන්නන් ධාරිතාව, උන්ගේ රසවින්දනය සහ මාකට් එක බලපෑවා. ඒකටම හරියන නීල් වර්ණකුලසූරිය ඔක්කොම එක රොත්තට ඔක්ටපෑඩ්
එකක් කරලා දැම්ම.

ස්ටැන්ලි පීරිස්ල මොනවා හරි විදියකට හදල දීපු එකත් ඒකෙන් නැතිවෙලා ගියා.
නමුත් ලෝකේ ගායක ගායිකාවන් හඳුනාගන්නේ එයාලගේ ශෛලිය (style) සහ නැඹුරුව එක්ක. නිකම් බලන්න එයාලගේ ප්‍රොෆයිල්.
ඒ නිසා ක්ලැරන්ස් කියන දක්ෂයා නිකම්ම කැලිප්සෝ – පොප් කාරයෙක් උනා. ජෝති නිකම්ම චිත්‍රපටි සිංදු කාරයෙක් උණා. රූකාන්ත පවා ඔය මොකක් හරි වෙන්න නියමිතයි.

මීට වඩා දෛවයක් අපිට මෙහෙ බලාපොරොත්තු වෙන්න බැහැ. ඇත්ත වශයෙන් ප්‍රියා කොයිවගේ ගායකයෙක්ද කියන එකවත් ඔහු මිය යනකම් ඔහුම දන්නේ නැති වෙයි.

කමක් නැහැ. මෙහෙම හරි ප්‍රියා ගැන කතාකරන එක හොඳයි. හැබැයි සම්භාව්‍ය උන් ගාවගන්නේ නැතුව සහ උන්ට බණින්නේ නැතුව ප්‍රියා ප්‍රියා විදියට තේරුම්ගන්න බලමු. මොකද එහෙම සංසන්දනය කරන එක ප්‍රියාට කරන අවමානයක්.
ප්‍රියා කියන්නේ තනියම අරගෙන කතාකරන්න පුළුවන් තරම් ලස්සන සිංදු කිව්ව කෙනෙක්.

මහේෂ් හපුගොඩ

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...