‘මචපුචාරේ අවාරේ’.. කර්තෘ – සනත් බාලසූරිය – සම ප්රකාශනයක්
අප පොතක් කියවීමෙන් ලබන්නේ කුමක්ද? යන ප්‍රශ්නය මා තුළ ගොඩනැගුණේ බාල කාලයේ සිටම කියවීම පුරුද්දක් කොට ගත් කාලයේ සිටමය. එම ප්‍රශ්නයට පිළිතුරක් සොයා ගැනීම් පමණක් නොව කියවීමෙන් මිනිසා සම්පූර්ණ වේ යන ප්‍රකට ප්‍රවාදය ගැන ද නිසි වැටහීමක් එකල මට නොතිබූ බව කීම නිබොරුය. කියවීම ජීවන ලාලසාවක් කොටගෙන උන්මාදයක් සේ එහි ගැලී සිටියා පමණි. දෙස් විදෙස් නවකතා මුල් කොට ඇරඹි එය පසුව කවි, කෙටිකතා, චරිත කතා ඈ කී නොකී සාහිත්‍ය ශානර ඇසුරේ වැඩිණ. එයිනිදු චරිත කතා විෂයයෙහි මහා බැඳීමක් ඇතිවිය. මගේ මතකයේ හැටියට ඉන්දියානු සංචාරයක සටහන් සහිත පොතක් කියවීමෙන් පසු මේ ලාලසාවේ නව ප්‍රබෝධයක් ඇති වූ අතර සංචාරක සටහන් සහිත කෘති කෙරෙහි ආශක්ත බවක් මා තුළ ඇති වූවා පමණක් නොව පෙර මා සඳහන් කළ ගැටලු දෙකට පිළිතුරු ද ලැබිණ..
අවංකව කිවහොත් සංචාරක සටහන් සහිත කෘති ඇසුරේ වඩා විවෘත සහ සත්‍යවාදී ලෝකයක් අප හමුවේ විවර වන අතරම කියවීම තුළින් මිනිසා සම්පූර්ණ වේ යන්න ස්ථාපිත කෙරෙන බව ද මගේ විශ්වාසයයි.. වෙසෙසින්ම සඳහන් කළ යුතු කාරණාවක් වන්නේ තම තම නැණ පමණින් ප්‍රිස්මීය දර්පණයක් ලෙස වින්දනය කරන තමා පරිධිගත කරගත් ලෝකය සහ තථ්‍ය ලෝකය අතර විසල් පරතරයක් පවතින බවයි. එය අපට වඩාත් තහවුරු කෙරෙන සාහිත්‍යමය ප්‍රිස්මය වන්නේ සංචාරක සටහන් සාහිත්‍ය මැදිහත් වීමයි.
දූපත් වාසීන් ලෙස ලෝකෙන් උතුම් රට ලංකාවයි ලෙස අදටත් අප වහරණ සම්මත මිණුම් චක්‍රය මොන තරම් පටු සීමාවක රැඳුණක් ද යන්න තහවුරු කරන නැවිගේටරය වන්නේ ද මා මේ කියන සංචාරක සටහන් සාහිත්‍යමය මැදිහත් වීම බව කිව මනාය.
මා කියවූ සංචාරක සටහන් සාහිත්‍ය කෘති අතරේ මා වඩාත් ප්‍රමෝදයට පත්ව වූ දෙස් විදෙස් සංචාර අලළා ලියවුණු කෘති රාශියකි. ඒ අතරින් අප්‍රකට ලේඛකයකු විසින් ලියන ලද – දැනට මට එහි නාමය අමතකව ඇති සෝවියට් දේශය හරහා ටිබෙට් දේශය සහ චීනය ඔස්සේ ඉන්දියාව ආවරණය කරගත් සංචාරක සටහන් කෘතිය මෙතෙක් මා කියවූ ආකර්ෂණීයම සංචාරක සටහන් ගොනුව වී තිබිණ.
එහෙත් අද – මේ දැන් සනත් බාලසූරියගේ මචපුචාරේ අවාරේ සංචාරක සටහන් කෘතිය කියවා හමාර කළ ඇසිල්ලේ ඉහත කෘතිය හා සම අසුන් ගැනීම පිණිස තමන් සුදුසුකම් සපුරා ඇති බව මට අඟවමින් සිටියි.
සැබැවින්ම මචපුචාරේ අවාරේ ඊර්ෂ්‍යා හිතෙන තරමේ කියවීමේ ලාලසාවක් ගොඩනංවන සාහිත්‍ය ම ය පෙළඹීමක් සහිත කෘතියකි. ඉන්දියානු කලාපයේ හිමාල අඩවිය නේපාල භූමිය ඔස්සේ අපට දර්ශනය කරමින් නොනැවතී යුරෝපයේ සුන්දරත්වයේ දොරටු අපට විවර කර දැක්වීම මගින් සනත් බාලසූරිය, ලෝක සිතියමෙන් පමණක් යුරෝපය දැක සිටින ලාංකිකයන්ට නව සෞන්දර්ය කලාපයක් සහිත යුරෝපයක් දක්වා සිටියි.
පා ගමනින්, බයිසිකල් සවාරි ලෙසින්, දුම්රිය ගමන් ඇසුරෙන් සහ ස්වයං ධාවිත මෝටර් රථ ගමන් ලෙසින් ජර්මනිය, ඉතාලිය, ස්විස්ටර්ලන්තය, ඔස්ට්‍රියාව ඈ හිමබිම් සහිත රටවල්හි කඳුකර අසිරිය දැක්වීම මගින් අපගේ සොඳුරු ඊර්ෂ්‍යාවට ලක්වෙයි. මෙම කෘතිය හුදු සංචාරක සටහනක් පමණක් නොව උක්ත කලාපයේ අතීතයට අයත් වැදගත් දේශපාලන තොරතුරු සහ නගර සම්බන්ධ පුරාවෘත්තයක් ද හෙළි කෙරෙන වැදගත් සටහන් සහිතව ඉදිරිපත් කෙරෙන්නකි. ඈන් ෆ්‍රෑන්ක් ගේ දිනපොතට පාදක ඓතිහාසික පරිසරය සේම යුරෝපයේ නගර තොරතුරු ද, කලා ශිල්ප සහ ගෘහනිර්මාණ තොරතුරුද අඩංගු ව තිබීම නිසා විෂයීය අධ්‍යාපනික අවශ්‍යතාවක් ද මේ කෘතිය ඔස්සේ ඉටුකෙරෙන බව ද කිවමනාය.
සනත් බාලසූරිය යනු පරිසරය විසින්, පරිසරය වින්දනය පිණිසම උත්පාද කරන ලද මානවයකු බව අපට වටහා දෙන හැඟීම් තවරා ගත් අක්ෂර බන්ධනය, සැබෑ ලෙසම අප මෝහනයට පත් කලායුරක් දැනෙයි. ඔහු ඉතා සැලකිල්ලකින් අමුණන අකුරු මුතුහර, සිංහල සාහිත්‍ය ලලනාවගේ රූ සොබාවට ලබා දෙන්නේ මාණික්‍ය වර්ණයකි. සැබැවින්ම සංචාරක සටහන් පෙළක කලාතුරකින් දක්නට ලැබුණ භාෂා විස්මයක් මෙහි ගැබ්ව තිබෙන බව කිව යුතුමය.. තමා අපේක්ෂිත අරමුණ කරා පාඨකයා නතුකොට ගැනීමේ බන්ධනය ලෙසින් දිදුලන්නේ ද මේ භාෂා විස්මයයි..
තවත් බොහෝ දේ ලිවීමට ඇතත් සංචාරයෙන් සංචාරයට ගෙන විග්‍රහ කිරීම මෙවැනි තැනක කළ නොහැක්කකි. අවසාන වශයෙන් මා ඔබට කියන්නෙ මෙහි එන පාපැදිකරුවන් දෙදෙනා ගැන දැක්වෙන සටහන් සහ ජර්මනියේ ප්‍රත්‍යන්ත නගරයක සංචාරක කඳවුරු බිමකදී ඔබට හමුවිය හැකි පාත්ත රංචුවේ කතාව කියවන ලෙසයි. එමගින් ඔබට ඔබේ ජීවිතය තුළ නිද්‍රාගතව සිටින සැබෑ ඔබ හඳුනා ගත් හැකි බවය..
අවසාන වශයෙන් මෙවන් අගනා කියවීමේ ප්‍රහර්ශයක් මා වෙත ලබා දෙමින් මේ කෘතිය මට තැගී ලෙස දුන් සම ප්‍රකාශක සංජීව වඩිගමංගාව මහතාට ස්තූතිය පුද කරමි..
පිටුවහලෙක් ලෙස රටින් බැහැරව හිටියත් අපේ සිත් ප්‍රමෝදයට පත් කරමින් සිංහල සාහිත්‍යයට ලබා දෙන මේ අනගි සහායට සනත් බාලසූරිය නම් සුන්දර සැරිසරන්නාට ස්තුතියි කියමි..
පුද්ගලික වේදනාවක් දරමින් අසීරු ජීවිත මොහොතක සිටින මට මචපුචාරේ අවාරේ විසින් දෙන ලද සහනය අතිමහත් ය.
සනා..! මේක මාර වැඩක් බං..!
අනුරසිරි හෙට්ටිගේ
2024.01.27.