පැණි රස ඇති, මින්ට් සුවැති ‘පෙපර්මින්ට්’

Share post:

රුවන් වැකි හෝ කියමන්වල ඉතිහාසෙ ගැන හිතද්දි, මට නිතැතින්ම මතක් වෙන්නෙ, ඊසොප්ගෙ උපමා කතා සහ සද්ධර්මරත්නාවලිය. ඒ එක් එක් කතාවක් ගානෙ අවසන් වෙද්දි සටහන් වන තනි වැකි මෙන් පෙනෙන කියමන් ලියවෙන්නෙ, කතාවේ සාරය කීමට හෝ එයින් උගතහැකි පාඩම කීමට වැනි දෙයක් වෙනුවෙන්. පසුකාලීනව රුවන් වැකි මට්ටමට වෙන ම ප්‍රවර්ගයක් ලෙස හඳුනාගත හැකි ලෙස මේ ආකාරය ගත් වැකි හෝ වාක්‍යාංශ හෝ විකාශනය වෙනවා. රූමිගේ කවි විශේෂයෙන්. සමාජ මාධ්‍ය ඔස්සේ, මේ වැකි වැඩි වශයෙන් භාවිත වෙනවා. මේ රුවන් වැකි අතරින් ඇතැම්වා නිර්වචන කියමන්. තවත් ඒවා, කවි, කතාවල එන උපුටන. මේ කියමන්, වෙනස් කළ නොහැකි, සදා සම්මත නියමයන්ගෙන් මුදවාගෙන නම්‍යශීලී කරවන්න හැකිවෙනවා මෑතකාලයේ සිදුවෙමින් තියෙන කෙටි පරිවර්තන නිසා. හෂාන් රන්දික ඩයස්, මහේෂී බී වීරකෝන්, ෂෙනූ පෙරේරා ඇතුළු තවත් පිරිසක් මේ වැකි – ජේද පරිවර්තනය කරමින් සිටිනවා. තරංග ලක්නාත්, රොමානා වැනි අයත්, විවිධ ආකාරයෙන් දිවි ඔසු, කියමන් බෙදාහදාගන්නවා. ඒවායේ විශේෂත්වය තමයි, එදිනෙදා අපිට විෂය වන ජීවිත අත්දැකීම් භාව කලාපයක තියා තමන්ට තමන්ගේ ම අභ්‍යන්තරය එක්ක ගනුදෙනු කරන්න ඉඩ ලැබීම. වැකියෙන් වැකිය කඩකඩ අපිට ම අපේ ජීවිත එක්ක මුහුකරන්න ලැබීම. හුදෙක් හැඟීම්බර ම නොවී, ප්‍රායෝගිකව ජීවත්වෙන්න වුවමනා කරන ඔසු ඒවායින් ලබාදෙනවා. ඒවගේ ම, මේ ක්‍රමය අනුගමනය කරමින් තවත් පිරිසක් ස්වතන්ත්‍ර කෘති රචනා කරමින් සිටිනවා. මේ කියමන්, නාමික රුවන් වැකිවලින් එහා මෙහෙයක් ඒනිසා සිදුකරනවා. මේ කියන, ‘වචනවලින් මිනිසුන් සුවපත් කිරීමේ ක්‍රියාවලිය’ට, යේෂා දායක වෙන්නේ ‘ Daily Love Dose – පෙපර්මින්ට්’ හරහා.
ජොසේ සරමාගෝගේ Sky Light පොතේ (‘පියැසි කවුළුව’ නමින් සුභාෂිණී චතුරිකා පරිවර්තනය කරන පොත), ඉන්න මිනිස්සු වගේ අපි ඉන්නෙත් මහල් නිවසක නැතිනම් නිවාස සංකීර්ණයක. ඒ ඒ මහල්වල ඉන්න හැමෝටම තමන්ගෙ ම ජීවිතයක් තියෙනවා. තමන්ට ම කවුළුවක් තියෙනවා. ඔවුන් එකිනෙකාගෙන් දුරස්, නමුත් ඉන්නෙ එකම ගොඩනැගිල්ලෙ. දහසක් මහල් අතරේ එක් එක් කවුළු වෙතට අවධානය යොමුකරන්න ඒවායේ වෙසෙන අයට ඉඩක් කඩක් නැතත්, අපේ කවුළුවෙන් අපිට බලන්න පුළුවන් තමන් අසළ ඉන්න කෙනාගේ කාමරේ එළියක් දැල්වෙනවද කියල. අවම ඔවුන් ජීවතුන් අතරද කියලා. ජොසේ සරමාගෝගේ පොතේ එන චරිත මේ ගනුදෙනුව හොඳට කරනවා. ඔවුන් තනි තනි ඒකක ලෙස හිඳගෙන ම මුහුවෙන ආකාරය මට ආකර්ෂණීයයි.

අපි හැමෝට ම හෝ බහුතරයකට පොදු ජීවිතයක් වගේ ම, Solo ජීවිතයකුත් තියෙනවා. කේවල ජීවිතයක් තියෙනවා. Solo Journey එකක් තියෙනවා. එයිනුත් තවත් පිරිසක්, විසීම අතිනුත් Solo ලෙසින් වෙසෙනවා. මේ කුමන ලෙසින් හෝ ලෝකේ ජීවත්වෙනවා කියන්නෙ ම එක්තරා විදියකින් සුවපත් වීමේ ක්‍රියාවලියක ගමන් කරනවා කියන එක. අපි හැමෝම, කැඩුණු බිඳුණු, යළි පිළිසකර වුණු අය. තුවාල වුණු, යළි ගොඩනැගුණු අය. ඒනිසා, මේ යන ගමන කොතරම් කේවල එකක් පොදු එකක් වුණත්, අපිට සිද්ධවෙනවා අපිව ගොඩනගනවා වගේම අප වටා ඉන්න සීමිත කුලකයේ යහපැවැත්ම ගැනත් හිතන්න, ඔවුන්වත් සුවකරන්න. ඒ ක්‍රියාවලියේදී අපටමත් ලොවටමත් නිහතමානී වෙන්න. යේෂාගේ පොත අපිට වැදගත් වෙන්නෙ මෙතනදි.

හැබැයි, මේ කාර්යබහුල ලෝකෙ, හැමෝටම බැහැ හැම වෙලාවෙම අනෙක් අය සුවපත් කරමින් ඉන්න හෝ ඔවුන් ගැන හොයාබලමින් ඉන්න. තමන්ට සිද්ධවෙනවා තමන්ගේ ජීවිතේ අයිතිය අතට අරන් අඩිය තියන්න. එහෙම යන අතරෙදි, අපිව හීල් කරවන දෙය අපි තුළින් ම හොයාගන්න නැතිවෙන මොහොතකදි, හීල්වෙන්න පාවිච්චි කරන්නයි යේෂාගේ ‘පෙපර්මින්ට්’ තියෙන්නෙ. ‌මේ පෙපර්මින්ට්වල තියෙන්නෙ වචන‍. වචන කියන්නෙ ලෝකෙ බලගතු ම බෙහෙතක්. හැබැයි මේ බෙහෙත තිත්ත නැහැ. වුවමනා වෙලාවලදි හරිම වචනය පාවිච්චි කළාම එයින් කෙරෙන සුවපත් වීම ඇත්තටම වැඩකරනවා.

පෙපර්මින්ට් කියන්නේ, වුවමනා වෙලාවට අරගෙන ලොසිංජරයක් වගේ රහ බලන පොඩි පැණි රස දෙයකට. එකදිගට රස බලන දෙයක් නෙමෙයි. හැබැයි පෙපර්මින්ට් එකක් කෑවට පස්සෙ ඉන්නෙ කලින් හිටි කෙනා නෙමෙයි. මූඩ් වෙනස් වෙනවා. හිත සතුටු අතට හැරෙනවා. සැනසිල්ලක් ලැබෙනවා. යේෂාගේ පොතෙන් ඒ දේ ඉටුවෙනවා.

පෙපර්මින්ට් – Daily Love Dose කියන්නෙ, භාරති වීරසිංහ පොත එළිදැක්වූ තැනදි කියූ පරිදි යේෂාගේ සන්නාමයක් වැනි දම් පැහැ වූ අලුත් කවි පොතක් නෙමෙයි. පරිවර්තිත සටහන්, කියමන් සහ යේෂාගේම වචන එකතුවක්. පොතේ ප්‍රමාණයත් සාමාන්‍ය පොතකට වඩා පොඩියි, සැහැල්ලුයි, බෑග් එකේ දාගෙන අරගෙන වුණත් යතහැකි. අන්තර්ගතයේ වැදගත්කම නිසාම, අත්පොතක් වේවි ඉදිරියේ මෙවැනි ආකාරයෙන් එන පොත්වලටත්. යේෂා ඉලක්ක කරගන්නා පාඨක පිරිසට වඩාත් ම උචිතයි, සාමාන්‍ය කෙනෙකුට වුණත් ප්‍රයෝජනයි. කොටස් තුනයි මේ පෙපර්මින්ට් පොත. ඒ, Cool Mint Dose, Lemon Mint Dose සහ Wine Mint Dose. මේ පෙපර්මින්ට් වර්ග තුන ආකාර තුනකින් පොතේ ඇතුළත් වෙනවා. මම ප්‍රිය කළ උපුටන දෙකක් මේ.
“ජීවිතේ සතුටින් ඉදීමේ එක ලොකු රහසක් තමයි හැම පොඩි දෙයක් ගැන ම පවා කුඩා පුදුමයක්, උද්‍යෝගයක්, ආසාවක් ඔයාගේ හිතේ ඉතුරුකරගැනීම”
“මිනිස්සු කරන කියන හැසිරෙන විදිහෙ පුංචි ම දේවල්වලටත් අවධානය දෙන්න. ඔයා ඉගෙනගනී මේ විශ්වය කියන්නෙ මිනිස්සු සහ මිනිස් සම්බන්ධතා ගැන ඔයා හිතනවට වඩා විශිෂ්ට ගනයේ ලේඛකයෙක් කියන එක”

පොතේ කවරයට වෙනස් පැහැයක් එක්කළේ, දිගටම පොත්වලට යෙදූ පැහැය වෙනස්කරන්නත් එක්ක, දැනුවත්ව බව අපට එදා අහන්නට ලැබුණා. හැබැයි මේ කහ පාට කවරෙ පවා, මට දම් පැහැ මල් අත්තක් පෙනෙනවා. යේෂාගෙ ලකුණ පොතෙන් මිදෙන්නෙ නැතිබවට එය සලකුණක් කියලායි මට හිතෙන්නේ.

පෙපර්මින්ට් සටහන් කියවද්දි, දැනෙන දෙයක් තියෙනවා. ඒ තමයි පොදු හැඟීම. අපිට විතරක් නෙමෙයි, තවත් අයටත් මේ බව මේ විදියට ම කවදා හෝ දැනී ඇතැයි සිතෙන හැඟීම. නොඑසේ නම් තමන් තනි නැති හැඟීම. විවිධ මතවාද, අදහස්වලින් නොබෙදී, නොතැලී, නොනැසී අපි එකම හෘදවත් බවකින් මුහුවෙන්න වුවමනා හැඟීම. අර මහල් නිවාස සංකීර්ණයේ එක් එක් කවුළු ළඟ හිටි මිනිසුන්, කේවල ලෝකවලින් මිදී පොදු විශ්වයක් වෙත පැමිණීමේ හැඟීම. ඒ හෘදවත් හැඟීම් දැනීම්වල වටිනකම.

අවසාන වශයෙන්, මිනිස් බැඳීම් තරම් වැදගත් දෙයක් ලෝකයේ නැතිබව ඔබට ‘පෙපර්මින්ට්’ කියා දේවි!

ඩිල්ශානි චතුරිකා දාබරේ

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...