අඳුරු රාජ්‍යයේ කළු ජනවාරිය !

Share post:

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ඊට අදාළ විමර්ශන සහ ලසන්ත නම් මාධ්‍යවේදියා කවරෙක්ද යන කරුණු විග්‍රහ කරමින් මාධ්‍යවේදී සනත් බාලසූරිය විසින් රචනා කරන ලද Who Is Lasantha? කෘතිය එළිදැක්වීම පසුගිය 27දා කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී සිදු විය. ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මගින් ‘කළු ජනවාරි සැමරුමක්‘ ලෙස සිදු කළ මේ අවස්ථාවේදී ලසන්ත වික්‍රමතුංගගේ සොහොයුරු ලාල් වික්‍රමතුංග ඇතුළු පිරිසක් අදහස් දැක්වූහ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස මරාදමමින්, ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සීමාකරමින් ඝාතනය කෙරුණු මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයන් සැමරීම කළු ජනවාරියේ අරමුණයි. යුක්තිය අහිමිව විමර්ශන අංශ දෙස දෑස් දල්වා බලාසිටින වින්දිතයන්ට සාධාරණය ඉටුකිරීම වෙනුවෙන් මැදිහත් වීම, අවශ්‍ය පහසුකම් සැලසීම ආණ්ඩුවේ වගකීමකි. එසේම මේ අපරාධ සම්බන්ධයෙන් වන යුක්තිය ප්‍රමාද වූයේ ඇයි යන්න විවිධාකරයෙන් විග්‍රහ කරගත හැකිය.

Who Is Lasantha? කෘතිය එළිදැක්වීමේ අවස්ථාවේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපති, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය, නීති අධ්‍යාපන ක්ෂේත්‍රෙය් වසර 42ක සේවා කාලයක අත්දැකීම් සහිත ආචාර්ය දීපිකා උඩගම මේ පිළිබඳ මෙසේ අදහස් දැක්වූවාය.

‘ඇයි මේ අපරාධවලට විසඳුම් නැත්තෙ. ඇයි යුක්තිය ඉටුනොවන්නෙ කියන එක කල්පනා කරලා බලන්න ඕනෙ. මේක පැතිකඩ කීපයකින් බලන්න පුළුවන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල පැතිකඩකින් මේ කාරණය දෙස බලන්නයි මං අදහස් කරන්නෙ.

නිදහස් මාධ්‍ය නැති වුණු දවසට ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සිදුවෙනවා. ජනතාවගේ ඡන්දයෙන් පත්වුණු රජයක් සහ ජනතාව අතර ඇති වැදගත්ම පුරුක තමයි මාධ්‍ය කියන්නෙ. නිදහස් අදහස්, විවේචන සියල්ල එන්නෙ මාධ්‍යයෙන්. දවසකට හෝ මාධ්‍ය නිහඬ වෙනවනම් ඒක ප්‍රජාතන්ත්‍රවාදයට කරන බලපෑම කොයිතරම් බරපතළද. ප්‍රජාතන්ත්‍රවාදී නොවන රාජ්‍ය ක්‍රමවල ජීවත් වෙන අපි මේ ගැටලුවට දිගින්-දිගටම මුහුණදෙමින් ඉන්නවා. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක තිබිය යුතු නිදහස් අවකාශය අපිට නැතිවෙනවා නම්, විශේෂයෙන්ම ප්‍රචණ්ඩත්වයෙන් ඒක නැතිවෙනවා නම් ඒක විශාල ඛේදවාචකයක්. මාධ්‍යවේදීන්ට සිදුවුණු මේ අපරාධ, අදහස් ප්‍රකාශනය මර්දනය කිරීම සහ අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විකාශනය අතර බොහොම සමීප සම්බන්ධයක් තියෙනවා. රාජ්‍ය තන්ත්‍රය සහ ආණ්ඩුකරණය ප්‍රජාතන්ත්‍ර විරෝධී වෙන්න-වෙන්න ම නිදහස් අවකාශය ඇහිරෙනවා.

කාලයක් තිස්සෙ අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිංස්කරණ ගැන කතා කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අවශ්‍යයි, නමුත් එපමණක් සෑහෙන්නෙ නෑ. එතැනින් එහාට ගිහින් විශාල දේශපාලන පරිවර්තනයක් සිදුවිය යුතුයි.  ව්‍යවස්ථාවේ තියෙන තත්ත්වයන්වලදි වුණත් සමහර ප්‍රායෝගික ක්‍රියාකාරිත්වයන් වෙනස්. අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුනක් යටතේ පාලනය වෙලා තියෙනවා. 1972 සෝල්බරි ව්‍යවස්ථාව. ඒක සම්පූර්ණයෙන්ම අපේ එකක් නෙමෙයි. 1972දි සම්පූර්ණයෙන්ම අපේ එකක් වුණු ජනරජ ව්‍යවස්ථාව. ඊටපස්සෙ 1978 දැනට ක්‍රියාත්මක ව්‍යවස්ථාව.

යටත්විජිත යුගයේ තිබුණු ප්‍රශ්න ගැන අපි දන්නවා. ඒත් ජනරජයක් වීමෙන් අපිට ඒවා විසඳගන්න පුළුවන් කියලයි කතා කළේ. ඒත් ආණ්ඩු ක්‍රමයේ ප්‍රශ්න, දේශපාලනයේ ප්‍රශ්න, පාලන ක්‍රමයේ ප්‍රශ්න, මේවා බහුතරයක් ආවෙ ජනරජයක් වුණාට පස්සෙ. ජනරජයක් වීම හොඳයි. ඒත් සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය කරපු ක්‍රියාදාමයකින් තමයි මේ ව්‍යවස්ථාව හැදුවෙ. ඒක බැලූ-බැලුමට ප්‍රජාතන්ත්‍රවාදී වුණාට සංවරණ හා තුලනය ගැටලු සහගතයි. 72 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයක් තිබුණත්, ඇත්ත වශයෙන්ම ක්‍රියාත්මක කරන්න ප්‍රතිපාදන තිබුණෙ නෑ. 72දි බලය ඒකරාශි වුණේ පාර්ලිමේන්තුවට. ඒ නිසා ආයතන විශාල වශයෙන් දුර්වාල වුණා. විශේෂයෙන්ම අධිකරණය, රාජ්‍ය සේවය දුර්වල වීම මෙතැනදි බරපතළ තත්ත්වයක්.

78 ව්‍යවස්ථාවත් එහෙමයි. එතැන වුණේ විධායක ජනාධිපති ක්‍රමයක් හදලා, එතැන්ට බලය ඒකරාශි කළා. ජනරජ ව්‍යවස්ථාවල අපිට පේන්න තියෙන දෙයක් තමයි, ප්‍රජාතන්ත්‍රවාදය දියාරු කිරීම. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙකෙන්ම උත්සාහ කළේ ඒකට. ඊට අමතරව බලය මෙහෙයවපු දේශපාලන පන්තිය ඒ රාමුවලින් පිට පැනලා කටයුතු කළා. 72 වගේම 78 ව්‍යවස්ථාවෙනුත් ආයතන දුර්වල කළා. අපි ඒක දැක්කා.

අද දවසේ අපි යුක්තිය පතා යන්නෙ ඒ ආයතනවලින්. ඒ ආයතන ඉදිරියට. ඒවා අඩපණ නම්, දුර්වල නම්, අපි යුක්තිය ඉටුකරගන්නෙ කොහෙන්ද. නීතිපති දෙපාර්තමේන්තුව, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේවා ස්වාධීන කිරීම අත්‍යවශ්‍යයි. මේ අඳුරු මතකයන් නිසා අපි දැක්කෙ රාජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ස්වභාවයෙන් එපිටට ගිහින් ජාතික ආරක්ෂක රාමුවක් ඔස්සේ කටයුතු කිරීමක්.

72 ව්‍යවස්ථාව නිර්මාණය කරනකොටත් ලංකාව තිබුණෙ හදිසි නීති තත්ත්වයක් යටතේ. 71 සිදුවීම්වලින් පස්සෙයි ඒ තත්ත්වය තිබුණෙ. අතරින්-පතර ස්වල්ප කාලයක් හැර 2011 දක්වා අපි පාලනය වුණේ මේ හදිසි නීතිය යටතේ. සාමාන්‍ය නීතිය යටතේ නෙමෙයි. මේ තත්ත්වය යටතේ විධායකයට විශාල බලයක් තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදය පාලනය කරන්න. මේක සාමාන්‍යකරණය කරලා තිබුණේ. පොලිසිය, හමුදාව වෙනත් ආයතන ගත්තත් ඔවුන්ගේ මානසිකත්වය තිබුණෙ එතැන. ඔවුන් සිදුවීම්වලදි පියවර ගත්තෙ ඒ මානසිකත්වයෙන්.

අනෙක් පැත්තෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගත්තත්, ඒක අදහස් මර්දනයට කොයිතරම් පාවිච්චි වුණාද. අපි දැක්කා, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන දුර්වල කරමින් මේ විදිහට අඳුරු රාජ්‍යය නිර්මාණය වුණු හැටි. මේ තත්ත්වය තමයි, මේ යුක්තිය අහිමිවීම්, යුක්තිය ප්‍රමාදවීම්වලට හේතුව. ආයතන දුර්වල වෙලා නම්, අධිකරණය දුර්වල වෙලා නම්, නීතිපති එක, පොලිසිය දේශපාලනීකරණය වෙලා නම් කෝ යුක්තිය. මේක තමයි යුක්තිය නොලැබෙන්න හේතුව. මේ සියල්ල යම්කිසි ක්‍රියාදාමයක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ බොහොම වැදගත්, නමුත් ඒකෙන් විතරක් මේවා වෙනස් කරන්න පුළුවන්ද කියන එක ගැටලුවක්. ඒක නිසා අපි මේ සියල්ල ගැන අවධානය යොමුකරන්න ඕනෙ.‘  

Related articles

ආදර්ශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේ ආරම්භය හෙට BMICH හිදී – අගමැති හරිනි සහ හිටපු ජනපතිවරුන් ආරාධිතයන් අතර !

ආදර්ශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා වන සංවාද කතිකාවක් හෙට (03) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිත ය. ආණ්ඩු පක්ෂ...

අත්අඩංගුවේ සිටි සැකකරුවන් දෙදෙනකු ඝාතනය – සමාජය හා සාමයික කේන්ද්‍රයෙන් තොරතුරු කොමිසමට විශේෂ ඉල්ලීමක් !

කොටහේන පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් දෙදෙනකු කාක දූපතේදී පොලිස් වෙඩිපහරින් මරණයට පත්වීමේ සිද්ධියට අදාළ ව ශ්‍රී ලංකා පොලිසියෙන්...

ආපදා සහන සේවාවේ සිට පද්ධති වෙනස දක්වා !

රටේ සෑම ප්‍රදේශයකටම දිට්වා සුළි කුණාටුව එක හා සමානව බලපෑවේ නැත. මධ්‍ය කඳුකර ප්‍රදේශ අනෙකුත් ප්‍රදේශවලට වඩා අධික...

ආචාර්ය මයිකල් ප්‍රනාන්දු, ඇත්ත සහ මම

ඇත්ත පුවත්පතට සම්බන්ධ වීම සඳහා විමලනාත් වීරරත්න මට දුන් ඇමතුම අනුව ජයතිලක සිල්වා හමුවුණෙමි.මා සම්මුඛ පරීක්ෂණයට ලක් කළේ...