‘සිංහල අධ්‍යයන’ හා ‘සිංහල සංස්කෘතික අධ්‍යයනවලින්’කළ හැක්කේ කුමක්ද?

Share post:

2026 ජනවාරි 8 වනදා කොළඹ විශ්වවිද්‍යාලයේ නව කලාගාරයේ පැවති ‘මහැඳුරු අනඳ අබිමන් උවසර උළෙලේදී’ සසංක පෙරේරා කළ කතාව.

ප්‍රවේශය

මහාචාර්ය ආනන්ද තිස්ස කුමාර කොළඹ විශ්වවිද්‍යාලයෙන් විශ්‍රාම ගන්න මේ මොහොතේ සංකීර්ණ, ශාස්ත්‍රීය කතාවක් සිදු කරන්න මගේ කිසිදු ආකාරයේ කැමැත්තක් නැහැ.

එයට ප්‍රධාන හේතුව හැටියට මම විශ්වාස කරන්නේ අපි අතර තියෙන්නේ ශාස්ත්‍රාලයීය ඇසුරකට වඩා මිත්‍ර සම්බන්ධකමක් නිසා. මහාචාර්ය තිස්ස කුමාර මා අඳුරගත්තේ අපි කොළඹ විශ්වවිද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබූ 1980 ගණන්වල මුල් අවධියේදීයි. පසුව අපි දෙදෙනාම කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගැන්වීමේ කටයුතු සිදු කළා. මම නම් එසේ සිදු කලේ අවුරුදු 19 ක කාලයක් පමණයි.

මහාචාර්ය තිස්ස කුමාර නම් ඊටත් වඩා බොහෝ වැඩි කාලයක් මෙහි සේවයේ රැදුණා. කෙසේ නමුත් ඉහත කී කාලය තුළ අපි දෙදෙනා ඇසුරු කළේ බොහෝ දුරට මිත්‍රයන් විදියට මිසක් ශාස්ත්‍රීය සහෘදයන් විදිහට නෙමේ. ඒකෙන් මම අදහස් කරන්නේ අපි යම් ශාස්ත්‍රීය දේ ගැන වරින් වර කතා කළත්, යම් තේමා ගැන බොහෝ උනන්දුවක් පොදුවේ තිබ්බත්, අපි දෙදෙනා අද වෙන තෙක් කිසි දෙයක් සම-රචනය නොකළ බවයි.

ඒ එක්කම, 2011වසරේ දී මගේ විදේශගතවීමත් සමග අපගේ ඒ ඇසුර යම්තාක් දුරකට දුරස් වුණා. නමුත්, ඒ කාල පරාසයේදීත් ලංකාවට ආපු සමහර අවස්ථාවල මගේ ඇතැම් ශාස්ත්‍රීය කටයුතුවලට මා නිරතුරුවම උදව් පැතූ මිතුරෙක් මහාචාර්ය තිස්ස කුමාර. උදාහරණයකට, තවමත් ඉවර නැති දකුණු ආසියාවේ බෞද්ධ වන්දනා ගමන් සහ එතුළින් කලාපය පිළිබඳ චිත්තවේගීය පරිකල්පනයක් නැතිනම් භූමි දර්ශනයක් ගොඩ නැගීම ගවේෂණය කළ මගේ පර්යේෂණය සඳහා අවශ්‍ය වුන ‘රසවාහිනියේ’ ඇතැම් කොටස් මම පාලියෙන් සිංහලයට පරිවර්තනය කරගත්තෙත්, මගේ අර්ථකතන ගොඩ නැගුවෙත් මහාචාර්ය තිස්ස කුමාර සමග කළ කතාබහ මතයි.

නමුත් ‘සිහලවත්තුපකරණ’ සහ ‘සහස්සවත්තුපකරණ’ යන ලියවිලි මේ විදියට ඔහුත් එක්ක කියවන්න මට හැකියාව ලැබුනේ නැහැ. ඒ නිසාම ඒ කොටස් තවමත් අසම්පූර්ණයි.
මම මේ ගැන කිව්වේ මට අද කරන්න අවශ්‍ය සරල කාරණය සදහා ආරම්භයක් ලබාගන්න.

මහාචාර්ය තිස්ස කුමාරට සිංහල, පාලි, සංස්කෘත වගේම සිංහල සංස්කෘතිය ගැන තියෙන අතිශයින් පුළුල් දැනුම මට නැහැඔහුගේ ලියකියවිලි දිහා බලන කොට පේන දෙයක් තමයි, භාෂාව ගැන තියෙන දැනුමට, පුහුණුවට සහ උනන්දුවට අමතරව, සිංහල සංස්කෘතියේ අනේක පැතිකඩ පිළිබඳ විශාල දැනුමකුත් උනන්දුවකුත් ඔහුට තිබෙන බව. විශේෂයෙන් ඔහු සතු මේ සංස්කෘතික දැනුමට සම කරන්න හැකි අය අප අතර ඉන්නවානම්, ඒ අතලොස්සක් පමණයි.
මගේ උනන්දුව තියෙන්නේ මෙන්න මේ කාරණය එක්කයි. ඒක මගේ විධිමත් ශාස්ත්‍රාලයීය පුහුණුවෙන් වගේම පුද්ගලික කුතුහලය තුළිනුත් ආපු දෙයක්. අපි ශාස්ත්‍රීය දෙයක් ගැන කතාකළා නම්, එය පදනම් වුනේ මෙන්න මේ පැවසූ අවකාශය තුළ යි.

අද මට අවශ්‍ය ඔහුගේ ශාස්ත්‍රීය භුමිකාවේ මේ කොටස පමණක් සැලකිල්ලට ගෙන, ‘සිංහල අධ්‍යයනය’ කියන ක්ෂේත්‍රයේ ගොඩනගන දැනුම වඩාත් තත්කාලීන හෝ නව්‍යකරණය කරන්නේ කොහොමද, එසේ කළ යුතු ද සහ එවන් දැනුමක් ලොවට ගෙන යා යුතු ද, එසේ කළ යුතු නැද්ද යන ප්‍රශ්න මතු කරන්නයි.

2024 දී සිංහල අධ්‍යයනාංශය මගින් සංවිධානය කළ වාර්ෂික සම්මන්ත්‍රණයේදී මා කළ කතාවෙන් මම අවසානයට මතු කළ ප්‍රධාන කරුණු කිහිපය මෙතැනදී නැවතත් මතු කරන්න කැමතියි. ඒ තමයි, එම සම්මන්ත්‍රණයේ නිපද වූ “දැනුම දිවයිනෙන් පිටතට ගෙනයන්නට අවශ්‍යය නම්, මේ දැනුම නිෂ්පාදනය වන්නේ සිංහල බස හා සංස්කෘතිය කේන්ද්‍ර කරගෙන වුව ද, එය ලොවට ගෙන යා හැක්කේ ජාත්‍යන්තර බසකින් පමණක්” බවත් දැනට පවතින තත්ත්ව යටතේ “එම දැනුම මෙරට භූගෝලීය හා භාෂා දේශසීමාවලින් ඔබ්බට යන්නේ නැති” බවත් “එසේ ගෙන යන්නට අවශ්‍ය වාහක වන ප්‍රකාශකයින් සහ ප්‍රකාශන ක්‍රම අපිට තිබේද කියන ස්ථාවර සහ ප්‍රශ්න කිහිපයයි.

නමුත් අද මම ‘සිංහල අධ්‍යයනය’ වැනි ක්ෂේත්‍රවල ගොඩනගන දැනුම වඩාත් තත්කාලීන හෝ නව්‍යකරණය කරන්නේ කොහොමද, එසේ කළ යුතු ද සහ එවන් දැනුමක් ලොවට ගෙන යා යුතු ද නැද්ද ආදී ප්‍රශ්න මතු කරන විට, එය බුද්ධිමය අදහස් ප්‍රකාශ කිරීමේ භාෂා දේශපාලනයෙන් හුගක් එහාට අරගෙන යනවා. මෙතැනදී මම, ඒ නිෂ්පාදනය කරන දැනුමේ අන්තර්ගතය සහ එය ලොවට ගෙන යන්න අවශ්‍ය නම් සහ එසේ කරන්න සුදුසු නම්, එහි තිබිය යුත්තේ මොනවාද යන ප්‍රශ්නයත් මතු කරනවා.

මේ ප්‍රශ්නය මම මතු කරන විට මම අවධාරණය කරන්නේ, මේ කේෂේත්‍රය තුළ ගොඩනගන භාෂා හෝ වාග්විද්‍යාත්මක දැනුම පිළිබදව නොවෙයි. මගේ උනන්දුව, ගෝලීය අර්ථයෙන් යම් ගැටළු ද මතුකරමින් ‘සංස්කෘතික අධ්‍යයන’ කියල අප පවසන ක්ෂේත්‍රයට අදාළ දේයි. මහාචාර්ය තිස්ස කුමාර මේ ගැන බොහෝ දේ ලියලා තියෙනවා. මෙතනදී ‘ගැටළු මතුකරමින්’ වශයෙන් මා කිවේ කුමක්දැයි පැහැදිලි කළ යුතුයි.

සාමාන්‍යයෙන් 1960 ගණන් වලින් පසුව, ගෝලීය සන්දර්භ තුළ — නමුත් විශේෂයෙන් උතුරු ඇමෙරිකානු හා බටහිර යුරෝපීය ශාස්ත්‍රාලයීය සන්දර්භ තුළ –‘සංස්කෘතික අධ්‍යයන’ නැතිනම් cultural studies වශයෙන් අධ්‍යයන ක්ෂේත්‍රයක් බිහිවුණා. එය බිහිවුනේ ඇතැම් සමාජයීය විද්‍යා සහ මානව ශාස්ත්‍ර තුළින් බිහි වූ යම් දැනුම් කොටස්වලට වැඩි අවධාරණයක් ලබා දීම හරහායි. මේ නව ඥාන ක්‍ෂේත්‍රයේ මුල්-කාලීන පුරෝගාමීන් වූයේ Stuart Hall, Raymond Williams, Richard Hoggart සහ E.P. Thompson යන බුද්ධිමතුන්.

‘සංස්කෘතික අධ්‍යයන’ මෙලෙස බිහිවීමේදී මේ මුල් ඥාන පර්ෂදවලින් උකහා ගත් න්‍යායික හා සංකල්පීය මෙවලම්වලින් තම විශ්ලේෂණ ක්‍රියාවලිය සන්නද්ධ කර ගත්තා. මේ ව්‍යුක්ත ඥාන සම්පාදනය පසුව ‘සංස්කෘතික අධ්‍යයන’ විෂය ක්ෂේත්‍රය තුළින්ම ගොඩනැගුණා.

නමුත් මෙරට, විශේෂයෙන් විශ්වවිද්‍යාලයීය සිංහල අධ්‍යනයනාංශ හා සම්බන්ධ ‘සංස්කෘතික අධ්‍යයන’ යටතට ගැනෙන දැනුම් නිෂ්පාදන ක්‍රියාවලිය ඓතිහාසික විස්තර එක්රැස් කිරීමෙන් හා ඉදිරිපත් කිරීමෙන් ඔබ්බට යන්නනේ නැහැ. ඒවා සංකල්ප ගොඩනැගීම හෝ න්‍යාය සම්පාදනය වැනි බුද්ධිමය වශයෙන් අත්‍යාවශ්‍ය පැතිකඩ ආමන්ත්‍රණය කරලා නැහැ.

මට මහාචාර්ය තිස්ස කුමාර ගේ ඇතැම් ශාස්ත්‍රීය මැදිහත්වීම් සන්දර්භයේලා මතු කරන්න අවශ්‍යයත් මේ ප්‍රශ්නයමයි. එසේ කිරීමේදී මේ දැනුම ලොවට ගෙන යන්නේ කෙසේද සහ ඒවායේ බුද්ධිමය ගැඹුර ගැනත් යමක් කියන්න මම කැමතියි. අපි මොහොතකට මහාචාර්ය තිස්ස කුමාර විසින් කාලයක් තිස්සේ ලියූ
රචනා කිහියක් මතකයට නගා ගමු:

  1. සිංහල සංදේශ කාව්‍යය තුළින් මතුවන ලක්දිව නගර නිර්මාණය
  2. අනුරාධපුර පශ්චාත් අවධියට අයත් සෙල්ලිපි ඇසුරින් ලක්දිව සෞඛ්‍යය සංරක්ෂණ විධි
  3. මහනුවර රාජධානියේ අභිලේඛනවලින් හෙළිවෙන බෞද්ධාගමික පසුබිම
  4. සීගිරි ගීයෙන් හෙළිවෙන චිත්‍ර කලා රසාස්වාදය
  5. සිංහල චිකිත්සක අභිචාර විධික්‍රම
  6. සිංහල සමාජයේ විවාහ තහන්චි හා බැඳුණු චාරිත්‍ර
  7. පුරාණ හා මධ්‍යතන ශ්‍රී ලාංකිකයන්ගේ ආහාර භාවිතය
  8. නූතන බෞද්ධ අධ්‍යාපනයේ පරිහාණිය
  9. සම්භාව්‍යය සිංහල පද්‍යය: භාෂා ප්‍රභූත්වය සහ සංස්කෘතික විඥානය

මේවායින් භාෂාව ගැන යම් දුරකට කතා කරන්නේ අවසන් ලිපිය පමණයි. නැතිනම්, අන් සියලු ලිපිවලින් වැඩි අවධානයක් යොමු කර ඇත්තේ ඓතිහාසික හා සංස්කෘතික තොරතුරු වෙතයි. මගේ විශ්වාසය නම් මහාචාර්ය තිස්ස කුමාර මෙතැන ගොනු කර තියෙන දැනුම සමාජයීය විද්‍යා සහ මානව ශාස්ත්‍රවල සංකල්ප ගොඩනැගීම හා සූක්ෂ්මකරණය සඳහා මෙන්ම න්‍යාය ගොඩනැගීම උදෙසාත් අපට යොදා ගත හැකි බවයි. නමුත් එහෙම දෙයක් දැනට වෙන්නේ නැහැ.

මහාචාර්ය තිස්ස කුමාරගේ ලිපි ද ඇතුළුව මේ ගණයට දැමිය හැකි මෙවන් බොහෝ ලියවිලි මූලික වශයෙන් අපිට තේරුම් ගන්න වෙන්නේ තොරතුරු ඉදිරිපත් කිරීම් හෝ විස්තර කථන හැටියටයි. නමුත් මේවා, විශේෂයෙන් මම මෙහි සඳහන් කළ මහාචාර්ය තිස්ස කුමාරගේ ලිපි, අපේ සංස්කෘතිය හා එහි අතීතය පිළිබඳව ඉදිරිපත් කර ඇත්තේ අතිශයින් සාරවත් තොරතුරු. මාත් ඇතුළු බොහෝ දෙනා එක්කෝ මේ විස්තර දන්නේ නැහැ, නැත්නම් දන්නෙ ඉතා අඩුවෙන්.

නමුත් මගේ විශ්වාසය අපේ කලාපයේ සහ රටේ ඉතිහාසය හා සංස්කෘතිය ගැන ගැඹුරු දැනුමක් නැතිව, අප අයත් වන බුද්ධිමය ක්ෂේත්‍රවල සංකල්පකරණයේ හෝ න්‍යාය සම්පාදනයේ යෙදෙන්න ඉතා අපහසු බවයි.

එනම්, ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ යටත්විජිත ලෙස පැවත දේශපාලන නිදහස ලබාගත් අන් රටවල සමාජ න්‍යාය ගොඩනැගිය යුත්තේ මෙන්ම ඉගැන්විය යුත්තේ ත් බටහිර බුද්ධිමය අවකාශවලින් ඇහිල්ලක් බැලිල්ලක් නැතිව ණයට ගත් අදහස්වල සෙවනැල්ලේ සිට නොව, තමන් වෘත්තියේ නියැලෙන සහ දිවි ගෙවන අවකාශවල ඉතිහාසයන්ට සහ පවතින යතාර්ථයන්ට සාපේකෂව සහ ඊට ඓතිහාසික වශයෙන් සමාන අන් ප්‍රදේශවලට ද අදාළ වියහැකි ලෙසින් යටත්-විජිතහරණ චින්තකයන් පෙන්වා දී ඇති ආකාරයටයි.

මහාචාර්ය ප්‍රථමා බැනර්ජි, මහාචාර්ය අධිත්‍ය නිගම් සහ මහාචාර්ය රකේෂ් පණ්ඩේ මේ ප්‍රවේශය විස්තර කරන්නේ, ‘සම්ප්‍රදා සිසාරා වැඩ කිරීම’ (working across traditions) වශයෙනි (බැනර්ජි, නිගම් සහ පණ්ඩේ 2016).

යටත්-විජිතහරණ චින්තනය යනුවෙන් මෙහිදී මා අදහස් කරන්නේ decolonial thinking වශයෙන් සාමාන්‍යයෙන් හැඳින්වෙන, බොහෝ දුරට දකුණු ඇමරිකාවෙන් 1970 ගණන්වල සිට මතු වූ දාර්ශනික-චින්තන ප්‍රවාහයටයි. මා විශ්වාස කරන්නේ, ඉහත මහාචාර්ය බැනර්ජි, නිගම් සහ පණ්ඩේ පෙන්වාදී ඇති ආකාරයට, සමාජ න්‍යාය සමග දැනට අපගේ පවතින්නේ බොහෝ දුරට පරාධීන, ව්‍යුත්පන්න සහ බොහෝ විට ගැඹුරින් පරාරෝපණය වී ඇති සම්බන්ධතාවක් (2016: 42).

මේ තත්ත්ව තුළ අපි බොහෝ දෙනා යුරෝ ඇමරිකානු කතිකාවලින්, ඒ ප්‍රදේශවල ඓතිහාසික හා දේශපාලනික තත්ත්ව තුළින් මතු වූ දාර්ශනික හා න්‍යායික අදහස් අපේ කටයුතුවලට ඔහේ ඈදා ගන්නේ, දර්ශනය හා න්‍යාය සැම විටම විශ්වීයයි යන සාවද්‍යය විශ්වාසයේ පිහිටා බවයි මගේ හැගීම. මහාචාර්ය බැනර්ජි ඇතුළු අන් අය මේ ගැන අගනා විශ්ලේෂණයක් 2016 දී පළ කළ ‘The Work of Theory: Thinking Across Traditions’ යන ලිපියේ ඉදිරිපත් කර තිබෙනවා.

නමුත් මේ සමස්ත ගැටලුව පිළිබඳ වඩාත් පැහැදිළි විචාරයක් ඉදිරිපත් කර ඇත්තේ සහ එයින් මිදීමට ගත යුතු මාර්ග ගැන අදහස් ඉදිරිපත් කර ඇත්තේ ද මේ යටත්-විජිතහරණ චින්තනය ඔස්සේයි. එයින් ද වඩාත් වැදගත් අය වෙන්නේ වෝල්ටර් මිග්නෝලෝ, එන්රික් ඩුසෙල්, අනිබල් කිහානෝ සහ න්ගුගි වා තිඔන්ගෝ යන චින්තකයින්.

මේ සම්බන්ධයෙන් ඔවුන් මතුකරන ප්‍රවේශාත්මක ප්‍රශ්නයක් වන්නේ, බටහිර කේන්ද්‍රීය ඥානවිභාගවේදය යටත්විජිතහරණයට ලක්කරන්නේ කෙසේද (decolonizing Western epistemology) සහ යටත්ජිතහරණය කළ ඥානවිභාගවේදයක් නැත්නම් දැනුමක් ගොඩනගන්නේ කෙසේද (building decolonial epistemologies) යන්නයි (මිග්නොලෝ 2011: 19). යටත්විජිතහරණය හුදෙක් අධිරාජවාදීන් සිය යටත්විත හැරයාමෙන් සිදු නොවේ. එයින් සිදුවන්නේ අධිරාජ්‍ය පාලකයින් තම යටත්විජිතවල ඍජු පාලන බලය අත හැරීම පමණි.

දැනුම ද ඇතුළුව අන් නොයෙක් ක්ෂේත්‍රවල ඔවුන් යටත්විජිත යුගයේ ආරම්භ කළ බල ව්‍යාපෘතිය බොහෝ දුරට එලෙසින්ම ක්‍රියාත්මක වේ. මේ අර්ථයෙන්, මිග්නෝලෝ යටත්විජිතහරණය හඳුන්වන්නේ, යටත්විජිතත්වය (coloniality) පාලනය කිරීම උදෙසාම සවිඥානිකව ඇති කළ යුතු අරගලයක් වශයෙන් (මිග්නෝලෝ 2011: 21).

මා යෝජනා කරන්නේ මෙවන් යටත්විජිතහරණ දැනුම් සම්පාදනයක් වෙත යන්නට අවශ්‍ය ඓතිහාසික හා සංස්කෘතික දැනුමෙන් විශාල කොටසක් දැනට ගොඩ නගා ඇත්තේ මහාචාර්ය තිස්ස කුමාර වැනි රචකයන් විසින් බවයි. නමුත් මම මේ විස්තර කරන ආකාරයේ බුද්ධිමය අඩවියකට යෑම ඔවුන්ට අවශ්‍ය වූ දෙයක් නොවෙයි. දැනට මුලික වශයෙන් විස්තරකථන ලෙස ගොනුකර ඇති ඒ දැනුම බොහෝ දුරට පවතින්නේ අර්ථකතනය නොකළ හා න්‍යාය සම්පාදනයට උපයෝගී කර නොගත් ‘අමු-ද්‍රව්‍යමය’ දැනුමක් වශයෙනි.

වෙනත් වචනවලින් කියනවා නම්, යටත්විජිතහරණ චින්තකයන් පවසන පරිදි, ‘තමන් වෘත්තියේ නියැලෙන සහ දිවි ගෙවන අවකාශවල ඉතිහාසයන්ට සහ පවතින යතාර්ථයන්ට සාපේකෂව සහ ඊට ඓතිහාසික වශයෙන් සමාන අන් ප්‍රදේශවලට ද අදාළ’ දැනුම වශයෙන් අපට තේරුම්ගත හැක්කේ මහාචාර්ය තිස්ස කුමාර හා එවැන්නවුන් දැනට ගොඩ නගා ඔහේ දමා තිබෙන දැනුම නොවේද?

තවදුරටත් පැහැදිලි කරන්නේ නම්, ‘සිංහල අධ්‍යයන’ හෝ එහි කොටසක් වශයෙන් පවතින ‘සංස්කෘතික අධ්‍යයන’ පුළුල් ලෝකය වෙත ගෙන යා හැක්කේ මෙවන් දැනුම් මුලාශ්‍ර න්‍යායකරණයේ හා සංකල්පකරණයේ අනිවාර්ය කොටසක් බවට පත්කිරීමෙන් බව පැහැදිලි නොවේද? එනම්, අපේ සමාජ සංස්කෘතික දැනුම ලොවට අදාළ කළ හැක්කේ හුදු විස්තර කථන ලෙස නොව, ඒවා මත පදනම්ව, අපේ රටේ හා කලාපයේ මෙන්ම සමාන ඓතිහාසික අත්දැකීම් ඇති ලොව අන් ස්ථානවල ද සමාජ-ආර්ථික තත්ත්ව කියවිය හැකි නව අර්ථවිවරණාත්මක ප්‍රවේශ වශයෙන් බවයි මගේ හැගීම.

මම කෙටි උදාහරණ දෙකකක් විතරක් දෙන්නම්. මහාචාර්ය බෙනඩික්ට් ඇන්ඩර්සන් තමන්ගේ ‘පරිකල්පිත ප්‍රජා’, නැත්නම් ‘imagined communities’ ප්‍රවාදය 1983 දී ඉදිරිපත් කරමින් පැවසුවේ, ජාතිකවාද නූතන සම්ප්‍රධායක් බවත් එමගින් යුරෝපීය ජාතික රාජ්‍ය බිහි වූ බවත්. නමුත් මහාචාර්ය ස්ටීවන් කෙම්පර් පවසන්නේ මෙවන් හැඟීම් ඊට වසර 1000 ට පමණ පෙර සිට, සිංහල අනන්‍යතාව හා සම්බන්ධව මතු වූ බව පෙනෙන්ට ඇති බවයි. ඔහු මේ බව පවසන්නේ, මහාවංශය ඇතුළු අපේ වංශ කතා සමීපව කියවීමෙන් සහ වඩාත් වැදගත් ලෙසින්, එහි ඇති තොරතුරු න්‍යායගත කිරීමෙන්.

එමෙන්ම, මූලික වශයෙන් දඹදෙනිය හා නුවර යුගවලිදී ලියැවුනු ‘කඩඉම් පොත්’ සහ ‘විත්ති පොත්’වල ඒ රාජධනිවල ජන කණ්ඩායම්වල සංයුතිය, ග්‍රාමීය හා දිස්ත්‍රික්ක මායිම්, සංක්‍රමණ හා අන් නොයෙකුත් සිද්දි තොරතුරු, අන්තර් වාර්ගික හා ආගමික සම්බන්ධතා වැනි දේ ගැන වටිනා තොරතුරු තිබෙනවා. ඒ කාලයේ යුරෝපීය තානාපති ලිපිලේඛන හා දේශපාලන වර්ථාවලිනුත් මේ වගේ තොරතුරු ලැබෙනවා. මේවා මූලික වශයෙන් දේශීය මුලාශ්‍ර නැත්නම් මේ රට ගැන ඒ කාලයේ සිටි විදේශීය නිලධාරින් සම්පාදනය කළ තොරතුරු.

මේවායින් ඒ යුගයේ වාර්ගික විවිධත්වය, ආගමික සහජීවනය, උඩරට රාජසභාවේ සහ යුධහමුදාවේ නානාවිවිධත්වය වැනි දේ හා සම්බන්ධ බොහෝ ඉඟි ලැබෙනවා. මේවා සමීපව කියවීම තුලින් ජනවාර්ගිකත්වය, නානාවිවිධත්වය, අන්තර්වාර්ගික සමබන්ධතා වැනි සංකල්ප ගැන නැවත හිතන්න, නැත්නම් අලුතෙන් ගොඩනගන්න හැකි වෙන්න ඉඩ තියෙනවා, දැනට කරන ලෙස යුරෝපීය හා උතුරු ඇමරිකානු සංකල්ප ඔහේ අදහන්නේ නැතිව. අපි ඇසිය යුතු ප්‍රශ්න වන්නේ, මේ දේශීය තත්ත්ව ගොඩනැනුගුනේ බුදු දහමේ අබාසය නිසාද, නැතිනම් අප දැනට නිසියාකාරව වටහාගෙන නැති වෙනත් සමාජ-සංස්කෘතික ගතික නිසාද කියාය.

මේ සම්බන්ධ තොරතුරු සොයාගත හැකි වන්නේ මා මෙහි දක්වා ඇති අකාරයේ අපේ පැරණි මූලාශ්‍රවලින් සහ සැලකිය යුතු දුරකට මහාචාර්ය තිස්ස කුමාර වැනි ශාස්ත්‍රඥයින් දැනටමත් එක්රැස් කර සිංහලෙන් ඉදරිපත් කර ඇති ලිපිලේඛනවලිනුයි. නමුත් මේවා අර්ථකථනය කළ යුතුයි. ඒ ඔස්සේ න්‍යාය සම්පාදනය කළ යුතුයි.

වඩාත් පුළුල් උදාහරණයක් ලෙස, මහාචාර්ය රෙනේ තෝමස් සමග මා සංස්කරණය කළ, 2024 වසරේ දෙසැම්බරයේදී පළවූ Decolonial Keywords: South Asian Thoughts and Attitudes කෘතියෙන් අපි දෙදෙනා උත්සාහ කළේ දකුණු ආසියානු භාෂාවල ඇති ඇතැම් වදන්, සංකල්ප හා එම කලාපයේ සංස්කෘති හා දේශපාලන ප්‍රවාහයන්ගෙන් බිහි වී ඇති ඇතැම් අදහස් හා ආකල්ප වඩාත් පුළුල් වූ සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර ක්ෂේත්‍රවල ව්‍යුක්ත සංකල්පීය, න්‍යායික හා විධික්‍රමික ප්‍රවේශ ගොඩනැගීමට යොදාගත හැකිදැයි බැලීමටයි.
ඒ, මූලික උත්සාහයක් වශයෙන්.

මා කියන්න උත්සාහ කරන්නේ, මහාචාර්ය තිස්ස කුමාර හා එවැන්නන් ගොඩනගා ඇති අතිවිශාල සමාජ-සංස්කෘතික දැනුම මෙවන් ඥාන සම්පාදනයකට අත්‍යවශ්‍ය මූලාශ්‍රයක් බවයි. නමුත් ඒ දැනුම මේ අර්ථයෙන් අද වන තුරු භාවිතයට ගෙන නැති බව මට හොදටම විශ්වාසයි.
මා මිත්‍ර මහාචාර්ය ආනන්ද තිස්ස කුමාර කොළඹ විශ්වවිද්‍යාලයෙන් විශ්‍රාම ගන්න මේ මොහොතේ, ඔහුට සම්මානිත මහාචාර්ය පදවිය පිරිනමන මේ මොහොතේ සහ ඔහුගේ බුද්ධිමය සේවය අගය කරමින් කෘති තුනක් එළිදක්වන මේ අවස්ථාවේ, මෙතැන සිටින විෂය ප්‍රාමණිකයන්ගෙන් සහ උනන්දුවක් ඇති අන් සියළු දෙනාගෙන් මට අහන්න පුළුවන් එකම ප්‍රශ්නය මෙයයි:

සංස්කෘතික අධ්‍යයන වශයෙන් හෝ සිංහල අධ්‍යයන තුළම ඇති භාෂා හා වාග්-විද්‍යා ඥාන සම්පාදනයට ඍජුවම අදාළ නැති මේ වැදගත් දැනුම් මූලාශ්‍රය මේ තියෙන විදියටම තියෙන්න හරිනවා ද නැතිනම් මා විස්තර කළ බුද්ධිමය දිශාවට ඉදිරියේදී යොමු කරන්නට දැන්වත් උත්සාහා කරනවාද යන්නයි.
මෙයට ඔබ ලබා දෙන උත්තරය ඔබ සතුයි. නමුත්, ඒ පිළිතුර ඉතිහාසය විසින් අනාගතයේ යම් දිනක අපට පෙන්නා දෙනු ඇතැයි යන්න මගේ විශ්වාසයයි.
මගේ ආදරණීය මිත්‍රයා තිස්ස ඔබට සුවබර විශ්‍රාම ජිවිතයක්!

සසංක පෙරේරා

Related articles

“හැම ආගමකම සාමය ගැන පණිවිඩයක් මතුකරගන්න විභවයක් තියනවා”

හිතට කනස්සල්ලක් දැනුනම, ඒ බර තනිව දරාගන්න බැරි වෙද්දි, මිනිස්සු හැමෝම කුමක් හරි දෙයකට ඇබ්බැහි වෙනවා. කෙනෙක් සංගීතයට,...

“ලාංකේය අව්‍යාජත්වයේ ජාතිකවාදී ආලංකාරිකය වෙත ආපසු හැරී බැලීමක්”

ශ්‍රී ලංකාවේ ජාතිකවාදී දේශපාලනය දිවයිනේ පශ්චාත් යටත් විජිත ගමන් පථය හැඩගැස්වීමෙහිලා කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කර ඇත. දශක ගණනාවක...

ජාතියක් අධිනිශ්චය නොවන නිදහසක් මෙවර සැමරුවා

මෙවර නිදහස… මෙවර නිදහස් සැමරුම ගැන කියද්දි මේකත් කියන්න ඕනි. ඒ තමයි යහපාලනයේ යම් මොහොතකදි දැක්කට පස්සේ ජාතිවාදයෙන් නැත්නම්...

කාපිරි.. ගාන්ධි සහ සිම්ප්සන්

කණ්ඩායම් හෝ පිල්වලට බෙදී යුද්ධ කරන රණ්ඩු කරන හෝමෝ සේපියන්ස්වරුන්ව තේරුම් ගන්නෙ කොහොමද? මේ බෙදීම්වලට ප්‍රධානම හේතුව ආගම්...