කාපිරි.. ගාන්ධි සහ සිම්ප්සන්

Share post:

කණ්ඩායම් හෝ පිල්වලට බෙදී යුද්ධ කරන රණ්ඩු කරන හෝමෝ සේපියන්ස්වරුන්ව තේරුම් ගන්නෙ කොහොමද? මේ බෙදීම්වලට ප්‍රධානම හේතුව ආගම් හා විශ්වාසද? ගැහැණු පිරිමි බවද? හමේ පාටද..? භාශාවද? තමන්ගෙ දේශපාලන තේරීමද? ධනය හා බලයද? අදහස් හා මතවාදද?
ඉහත සඳහන් ලයිස්තුවේ හමේ පාට සටහන්වන්නේ කොතැනද? කොතැන වුනත් කළු සුදු භේදයට ඉහල තැනක් ලැබෙනවා අද සමාජයේත්.
කළු සුදු භේදය ඇතිවෙන්නෙ කොහොමද?
කළු කැතයි.. අපිරිසිඳුයි.. අඳුරුයි. යක්ශයා කළුයි.
අනෙත් අතින් සුදු පිරිසිඳුයි.. එලියයි.. දෙවියන් ඉන්නෙ සුදු සහ ආලෝකයත් එක්ක.
ශෝකය .. විරෝධය පෙන්වන්නෙ කළු.
සතුට.. සාමය.. හික්මීම.. පෙන්වන්නෙ සුදු.
මේ අදහස් ඇතිවන්නේ යුරෝපීයයන් යටත් විජිත පාලනය කිරීමට පෙර සිට විය යුතුයි.
ඔයාගෙ අළුත ඉපදුනු බබා සුදුද.. මනමාලි සුදුද.. ඔයාගෙ පෙම්වතිය නැත්තං ගර්ල්ෆ්‍රෙන්ඩ් සුදුද?
මංගල කිංකිණි දැන්වීම් පලවෙන්නෙත් සුදු හම හෝ පැහැපත් යුවතියක් වශයෙන්.
සුදු හම සහිත මිනිසා විශේෂයි. ඔවුන් මේ ලෝකය පාලනය කලයුතුයි.
කළු හම සහිත මිනිසා නූගත්. ඔවුන්ට චර්‍යාවක් නැහැ.. බුද්ධියක් නැහැ. ඔවුන් වහළුන්.
මේ අදහස් විවිධ සමාජයන් තුලට සංස්කෘතීන් තුලට කිඳාබහින්නෙ සුදු ජාතිකයන් විසින් අප්‍රිකාවේත් ආසියාවේත් යටත් විජිත ඇතිකිරීමත් සමගයි.
පාලකයා සුදුයි. පාලකයාට සහායවන පරිවර්තකයන්.. ලියන්නන්.. ප්‍රාදේශීය පාලකයන් කැමතියි සුදු හම ආදේශ කරගන්න. ඔවුන් එලිය පහලියේ ඉර එලියේ වැඩ කරන්නෙ නෑ. ඔවුන්ගේ හම අව්වට පිලිස්සෙන්නෙ නැහැ. ඒ නිසාම සුදු හම නැතිවුනත් ඔවුන් හිතනවා තමන් සුදු හමක් සහිත හෝ සුදු හමට ආසන්න පිරිසක් බව.
ඔවුන්ට පහතින් ඉන්නෙ කළු හම සහිත නූගත් ජනයා. විශේෂයෙන්ම වහල් වෙළඳාම ඇතිකිරීමත් සමග කළු අප්‍රිකානු මිනිසා හඳුන්වන්න වහලා කියන වචනය භාවිතා කරනවා.
ලෝක ජනගහනය ගතහොත්
ආසියානු ජනගහනය ලෝක ජනගහනයෙන් 59- 60 %
කළු ජාතිකයන් ( අප්‍රිකානු) 15-17%
සුදු ජාතිකයන් 9 – 10%
මේ අනුව මේ 10% ක ජනගහනය හැබෑ ලෝකයේත්.. සිනමාවේත්.. මිත්‍යාලෝකයේත් වැඩි අයිතියක් හිමිකරගන්නවා.
මේ කියවන ඔබ සමහරෙක්, සුදු ජාතිකයන්.. අප්‍රිකානු ජාතීන් අරාබි ජාතිකයන් හා ආසියානුවන් එකම කණ්ඩායමක ආශ්‍රය කර ඇතිවාට සැක නැහැ. (වෘත්තීමය හා රාජකාරි මට්ටමේ ගනුදෙණු මෙයින් වෙනස් විය හැකියි)
සුදු ජාතිකයන් ප්‍රමුඛත්වයේ සලකන සමාජයේ කළු ජාතිකයන්ට ලැබෙන්න පහල තැනක්. විශේෂයෙන්ම නැගෙනහිර යුරෝපීයයන් අතර කළු ජාතිකයන් පිලිගැනීම ඉතාම අඩුයි. එතකොට මේ මිශ්‍ර සංස්කෘතික සමාජයේ සුදු ජාතිකයන්ට පසු දෙවැනි තැන ලැබෙන්නෙ කාටද? මෙන්න මේ අවස්ථාවේදී දකුණු ආසියානුවන් හා අරාබි ජාතීන් අතර ඇතිවන්නේ එක්තරා ආකාරයක ගැටුමක් හෝ සටනක්.
අරාබි ජාතිකයන් තමන්ව සලකන්නේ සුදු මිනිසාට පසු හෝ ඊට සම මට්ටමේ සලකන ජාතිය ලෙසයි.
යුරෝපීයයන් කළු ජාතික වහල් වෙළඳාම ඇරඹීමට පෙර කළු ජාතික වහළුන් අලෙවි කිරීමේ ව්‍යාපාරය අයත්ව තිබුනේ අරාබි ජාතිකයන්ටයි.
කළු ජාතිකයන් තමන්ගේ වහළුන් ලෙස අරාබි ජාතීන් විසින් යොදාගැනීම වසර දාස් ගාණක ඉතිහාසයට දිවයනවා.
යටත් විජිත සමයේ අවසන් කාලයේ මහත්මා ගාන්ධි ඉතා වැදගත් චරිතයක් රඟ දක්වනවා මේ කළු සුදු සමාජයේ. ගාන්ධිට අනුව සුදු ජාතිකයන් විශේෂයි. ඉන් පසුව වැදගත් ඛාන්ඩය වන්නේ දුඹුරු හමක් සහිත ඉන්දියානුවන් හෝ දකුණු ආසියානුවන්.
ගාන්ධි කළු ජාතිකයන් සලකන ලද්දේ වහළුන් ආකාරයට. සුදු ජාතිකයන් සමග ගණුදෙනු කිරීමට නම් ඉන්දියානුවන් හරහා ගමන් කලයුතුයි වැනි අදහසක් ගාන්ධි විශ්වාස කරනවා. සුදු ජාතිකයන් හා කළු ජාතිකයන් අතර පුරුක වන්නේ ඉන්දියානුවන්.
මේ බව අප්‍රිකානු ජාතිකයන් තේරුම් ගන්නේ මෑත කාලයේදීයි.
ජොහැන්නස්බර්ග් නගරයේ ගාන්ධි චතුරශ්‍රයේ පිලිරුවට දැඩි විරෝධයක් එල්ලවෙද්දී ඝානා විශ්ව විද්‍යාලයේ ගාන්ධි පිලිරුව ඉවත් කරන්නේ සිසුන්ගේ දැඩි විරෝධය නිසයි. අද අප්‍රිකානු ජාතිකයන් ගාන්ධිව සලකන්නේ සුදු ජාතිකයන්ගේ පඹයෙක් හා වර්ණහේදාවාදී නපුරෙක් ලෙසයි.
ගාන්ධි විසින් අප්‍රිකානුවන් හැඳින්වීමට යොදාගත් වචනය කෆීර්ස්.
කාපිරියො කියන අපහාසාත්මක සිංහල වචනය හැදෙන්නෙ ගාන්ධිගෙ කෆීර් වචනය මගින් විය යුතුයි.
by Gandhi in his early career in South Africa, where he referred to black Africans using derogatory, racist language (“kaffirs”) and stated that Indians were “infinitely superior” to black Africans.
අද දවසේ වුනත් කළු ජාතික සංචාරකයන් ඉන්දියාවේ සංචාරය කිරීමට කැමැත්‍තක් නැහැ.
කළු හා සුදු චරිත සමාජය විසින් බෙදා දක්වන්නෙ කොයි ආකාරයටද?
ජේසුස් ක්‍රිස්තුන් ගැන සඳහන් කලොත් යුදෙව් ජාතිකයෙක් වූ ජේසුස් නිල් ඇස් .. රන්වන් කොන්ඩය හා සුදු හමක් සහිත යුරෝපීය චරිතයක් බවට පත්කිරීම ගැන කිසිවෙක් ප්‍රශ්ණ කරන්නෙ නෑ.
ක්ලියෝ පැට්‍රා මැසිඩෝනියානු සම්භවයක් ඇති දුඹුරු හමක් ඇති ඊජිප්තු කාන්තාවක්. 1963 නිපදවුනු ක්ලියෝපැට්‍රා චරිතයට පන පොවන්නෙ නිල් ඇස් සහ සුදු හමක් සහිත එලිසබෙත් ටේලර්. (Cleopatra -1963)
1993 වසරේ තිරගතවුනු ලිට්ල් බුද්ධ චිත්‍රපටයේ ගෞතම සිද්ධාර්ථ චරිතය රඟපාන්නෙ කියෙනු ර්‍රිව්ස්. (Little Buddha- 1993)
මයිටි හාර්ට් චිත්‍රපටියට පාදකවන්නේ මාර්ලේන් නම් කියුබානු ජනමාධ්‍යවේදිනියක්. එයාගෙ චරිතය රඟපාන්නෙ ඇන්ජෙලීනා ජොලී. (A Mighty Heart – 2007)
නීනා සිමොන්ට පන පොවන සෝයේ සල්දානා ලතින් ඇමරිකානු නිලියක්.
මේ ආකාරයට හොලිවුඩ් තිරයේ කළු ජාතිකයන්ගේ චරිතවලට සුදු ජාතික නළු නිලියන් යොදාගැනීම සුලභයි.
මේ ක්‍රමය හැඳින්වෙන්නෙ වයිට් වොශ් නමින්. (White Wash)
මේ සඳහා විරෝධයක් එල්ලවන්නේ නැහැ.
ලිට්ල් බුද්ධ චරිතයට ඩැනියෙල් වොශින්ටන් යොදාගත්තොත් එලන් මස්ක්ගේ ලෝකය කුමක් කියාවිද?
ජේසුස්ගේ චරිතයට විල් ස්මිත් යොදාගන්න තහණම්ද? මෙවැනි ප්‍රශ්ණ ප්‍රසිද්ධ මාධ්‍යයේ මෙන්ම සමාජ මාධ්‍යයේත් අහන්න දකින්න ලැබෙන්නෙ නැහැ.
මේ තරම් කාලයක් කතංදර හරහා හොලිවුඩ් තිරය හරහා අපේ මනසේ නිර්මාණය කරපු සුදු චරිත වෙනස් වෙනවාට අපි වැඩි දෙනෙක් කැමති නෑ.
විශේෂයෙන්ම කළු ජාතිකයෙක් සුදු චරිතයකට පණ පෙවීම විකාරයක් ලෙස අපි දකිනවා. නමුත් තමන්ගේ කන්ඩායමේ හෝ රැහේ කෙනෙක් සුදු චරිතයක් රඟපෑවොත් ඒක සතුටට කාරණයක්. අපි කළු ජාතිකයෝ නෙවෙයි කියන හැඟීම මෙතැනදි වැදගත් කාර්‍යයක් ඉටු කරනවා.
හැම්ලට් චරිතය හිරාන් අබේසේකර රඟ දක්වද්දි සතුටු වූ පිරිස හෙලේන්ගේ චරිතය Lupita Nyong’o නම් කළු ජාතික නිළියට ලැබෙද්දි විරොධය දක්වන්නෙ මේ නිසා විය යුතුයි.
ඉහත සඳහන් කරපු බෙදීම්වලට හේතුවන කලු සුදු.. ගැහැණු පිරිමි.. ධනය බලය හා ප්‍රසිද්ධිය ඒකරාශී වන හා එමගින් නීතියට අභියෝග කරපු සිද්ධියක් ගැන අපි පොඩ්ඩක් විමසිලිමත් වෙමු.
ඕජේ සිම්ප්සන් කියන්නෙ ඇමරිකාවෙන් බිහිවූ අති දක්ශ ක්‍රීඩකයෙක්. ( O. J. Simpson 1947 -2024). ඇමරිකානු ෆුට්බෝල් ක්‍රීඩා පිටියේ වීරයෙක් වූ සිම්ප්සන් දිලිඳු කළු ජාතික පවුලක උපත ලැබූවෙක්. දුප්පත්කම.. අසාධාරණය… අයුක්තිය මැද බිහිවූ කළු ජාතික වීරයා ඇමරිකානු ප්‍රසිද්ධ හා ධනවත් ලෝකයේ ඉහලටම ගමන් කරනවා. ඔහුගේ ප්‍රසිද්ධිය අද උසේන් බෝල්ට්ගේ ජනප්‍රියත්වයට සමානයි. ඉතාම කඩවසම් කතාවේ දක්ශ සිම්ප්සන්ගේ පලමු බිරිඳ කළු ජාතික කාන්තාවක් වූ මාගරිට් විට්ලි.
විට්ලිගෙන් වෙන්වූ සිම්ප්සන් දෙවනිවරට විවාහ වන්නේ නිල් ඇස්.. රන්වන් කොන්ඩයක් ඇති සුදු ජාතික නිරූපිකාවක් සමග. එයාගෙ නම නිකෝල් බ්‍රවුන්.
නිකෝල් සහ ඕජේ ලෝකයට පෙන්වන්නෙ තමන් ඉතාම ආදරණීය යුවලක් විදිහට. නමුත් නිකොල් නිතරම පහර කෑමටත් ගෘහස්ත හිංසනයටත් ලක්වෙනවා තමන්ගේ සැමියා අතින්. මේ පිලිබඳව නිකෝල් කිහිප වරක්ම පොලීසියට පැමිණිලි කරනවා.
නිකොල් හා ඕජේ එකිනෙකාගෙන් වෙන් වෙන්නෙ වසර හතක පවුල් ජීවිතයට පසුවයි. ඕජේගේ කෲර හැසිරීම හා හිංසනය මේ වෙන්වීමට මූලික හේතුව ලෙසයි සැලකෙන්නෙ.
1994 වර්ශයේදී නිකොල් හා එයාගෙ ප්‍රේමවන්තයා ඝාතනය වෙන්නෙ නිකොල්ගේ සුඛෝපභෝගී නිවසේදී. පිහි ඇනුම්වලින් පහර දීම්වලින් දරුණු ලෙස ඝාතනයට ලක්වූ මේ දෙදෙනා ගැන බොහෝ දෙනෙක් කම්පාවෙනවා. චෝදනාව එල්ලවන්නේ සෘජුවම ඕජේ සිම්ප්සන්ට. ඊට අවශ්‍ය සාක්ශි පැහැදිලිවම දකින්න පුළුවන්.
කැලිෆෝනියා සන්ඩියාගෝ මාර්ගයේ ඕජේව ලුහුබඳින පොලිස් රථ සහිත දර්ශණ ලෝකය පුරාම සජීවීව විකාශය වෙනවා. ඕජේ සිම්ප්සන් නඩුව ලෝකය පුරාම අවධානය දිනාගත් ආන්දෝලනාත්මක නඩු විභාගයක්. සිම්ප්සන් නඩු විභාගයේදී ජූරි සභිකයන් තෝරාගැනීම චූදිත හා පැමිණිලි පක්ශය එකතුවයි තීරණය කරන්නෙ. දික් කසාද බිරිඳ හා ඇයගේ පෙම්වතා කෲර ලෙස ඝාතනය කිරීම කාන්තාවන් දකින්නෙ කොයි ආකාරයටද? සැමියා අතින් හිංසනයට පත්වීම ගෘහණියන් දකින්නෙ කොයි ආකාරයටද?
මෙන්න මේ සාධකය මත ජූරියේ වැඩි කාන්තාවන් පිරිසක් සිටිය යුතු බව පැමිණිලි පක්ශයේ නීතිඥ‍යන් තීරණය කරනවා.
ජූරි සභික‍යන් 12 දෙනාගෙන් 10 ක් කාන්තාවන්.
දෙදෙනෙක් පිරිමින්.
කොයිතරම් පැහැදිලි සාක්ශි තිබුනත් දීර්ඝ නඩු විභාගයකින් පස්සෙ ජූරිය විසින් ඕජේව නිදහස් කරනවා. කොහොමද මෙහෙම වෙන්නෙ?
කාන්තාවන් 10 දෙනාගෙන් අට දෙනෙක් කළු ජාතික කාන්තාවන්. මේ කාන්තාවන්ගේ මනස කොහොමද හැසිරෙන්නෙ? කළු ජාතික කාන්තාවකට අයිතිව තිබූ.. අයිති විය යුතුවූ ඕජේ සිම්ප්සන් සුදු තරුණියක් විසින් පැහැරගැනීම.
සුදු ජාතික සමාජය විසින් කළු ජාතික වීරයාව අසාධාරණයට ලක් කිරීම. තමන්ගේ උත්සාහයෙන් ධනවත්.. බලවත් හා ප්‍රසිද්ධ වූ කළු ජාතික තරුණයා සුදු සමාජය විසින් අසාධාරණයට පත්කිරීම. මේ සඳහා රූමත් සුදු කාන්තාවක් යොදාගැනීම.
අමතක කරන්න බැහැ පුරුෂ පක්ශයේ ජූරි සභිකයන් දෙදෙනාම කළු ජාතිකයන් බව.
ඕජේ සිම්ප්සන් විසින් තෝරාගන්නා ලද නීතිඥ මණ්ඩලය හැඳින්වෙන්නේ ඩ්‍රීම් ටීම් ( The Dram Team) නමින්.ඔවුන් විසින් භාවිතා කරන උපක්‍රම විවිධාකාරයි. පැමිණිලි පක්ශයේ අඩුපාඩු තිබූ බව ඇත්ත.නමුත් ප්‍රධානම මෙවලම කළු හා සුදු.. ගැහැණු හා පිරිමි කියන භේදයන්.
මේ මූලිකම බෙදීම් කොහොමද මිනිස් මනස තුල ක්‍රියා කරන්නෙ කියන කාරණය විශාල චරිතයක් රඟ දක්වනවා මේ නඩු විභාගයේදී.
අපි ජීවත්වන සමාජය කොයිතරම් උගත් වූවත් කොයිතරම් සාමයට කැමති වූවත් කළු සුදු බෙදීම අපේ ඇතුලාන්තයෙන්ම පැමිණෙන එකක් විය යුතුයි.
මේ බෙදීමට අභියෝග කරන හෝ හානිකරන අවස්ථාවන් හැබෑ ලෝකයේදී මෙන්ම සිනමා ලෝකයේදීත් අපි විසින් ප්‍රථික්ශේප කරන්නේ මේ නිසාද කියන ප්‍රශ්ණය ඉතාම වැදගත්.
අපේ මනස තුල තවමත් හොල්මන් කරන්නේ කුඩා කණ්ඩායම්වලට බෙදී දඩයමේ ගිය මිනිසාගේ ප්‍රාථමික සිතිවිලිද?

Malcolm Sang

Related articles

අඳුරු රාජ්‍යයේ කළු ජනවාරිය !

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ඊට අදාළ විමර්ශන සහ ලසන්ත නම් මාධ්‍යවේදියා කවරෙක්ද යන කරුණු විග්‍රහ කරමින් මාධ්‍යවේදී සනත් බාලසූරිය...

ආදර්ශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේ ආරම්භය හෙට BMICH හිදී – අගමැති හරිනි සහ හිටපු ජනපතිවරුන් ආරාධිතයන් අතර !

ආදර්ශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා වන සංවාද කතිකාවක් හෙට (03) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිත ය. ආණ්ඩු පක්ෂ...

අත්අඩංගුවේ සිටි සැකකරුවන් දෙදෙනකු ඝාතනය – සමාජය හා සාමයික කේන්ද්‍රයෙන් තොරතුරු කොමිසමට විශේෂ ඉල්ලීමක් !

කොටහේන පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් දෙදෙනකු කාක දූපතේදී පොලිස් වෙඩිපහරින් මරණයට පත්වීමේ සිද්ධියට අදාළ ව ශ්‍රී ලංකා පොලිසියෙන්...

ආපදා සහන සේවාවේ සිට පද්ධති වෙනස දක්වා !

රටේ සෑම ප්‍රදේශයකටම දිට්වා සුළි කුණාටුව එක හා සමානව බලපෑවේ නැත. මධ්‍ය කඳුකර ප්‍රදේශ අනෙකුත් ප්‍රදේශවලට වඩා අධික...