ශ්‍රී ලංකාවේ ජාතිකවාදී දේශපාලනය දිවයිනේ පශ්චාත් යටත් විජිත ගමන් පථය හැඩගැස්වීමෙහිලා කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කර ඇත. දශක ගණනාවක සිට ජාතිකවාදය (Nationalism) ලාංකේය ඉතිහාසයේ ජනප්‍රියතම මාතෘකාවලින් එකක් බවට පත්වී ඇති අතර ලංකාවෙි ජාතිකවාදය යන මාතෘකාවෙහි ජාතිකවාදයටත් වඩා එහි විකෘතිකර ස්වරූපය වන ‘ජාතිවාදය’ බවට පරිවර්තනය වී ඇති බව විද්වතුන්ගේ මතයයි. බොහෝ අය විසින් මේ මොහොත තුළ පවා තර්ක කරන්නේ මෙම ජාතිකවාදී විකෘතිය විසින් බිහි කරන ලද ජාතිවාදය (Racism) සඳහා මඟ එළි පෙහෙළි කරන්න ඇතැයි යැයි සැළකෙන අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, සහ ආගමික ප්‍රතිසංස්කරණවාදියකු වන අනගාරික ධර්මපාල වැනි ජාතිකවාදීන් ගත් ඇතැම් දේශපාලනික සහ දෘෂ්ටිවාදමය තීන්දු තීරණ වගකිව යුතු බවයි.
සිංහල බස කතා කරන බුද්ධාගම අදහන බහුතර ජනතාව වෙනුවෙන් පමණක් දැඩිව පෙනී සිටි අගමැති බණ්ඩාරනායක සහ ධර්මපාල වැන්නන් දම්ළ ජනතාව, මුස්ලිමි ජනතාව වෙත දුන් අවධානය සහ එහි ස්වරූපය කුමක්ද? යන්න ඉතා ප්‍රවේසමෙන් යුතුව විමසා බැලීම වටී. මීට කදිම අභිප්‍රේරණයක් සැපයෙන්නේ නැසී ගිය මහාචාර්ය හර්ෂණ රඹුක්වැල්ල විසින් රචනා කළ මහාචාර්ය ලියනගේ අමරකීර්ති විසින් සිංහල බසට පරිවර්තනය කළ ‘අව්‍යාජත්වයේ දේශපාලනය සහ ආලංකාරිකය’ නමැති ශාස්ත්‍රීය කෘතියයි. කෘතිය විසින් නිෂ්පාදනය කරන ජාතිකවාදයේ විමර්ශනය සමගාමීව අව්‍යාජත්වය පිළිබඳ අදහස ද වඩා වැදගත් ය.
ශ්‍රී ලංකාවේ ජාතිකවාදී දේශපාලනය බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේදී 19 වන සියවසේ අගභාගයේ සහ 20 වන සියවසේ මුල් භාගය දක්වා දිව යයි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පාලනයට ප්‍රතිචාරයක් ලෙස යටත් විජිත සමයේ අගභාගයේදී ශ්‍රී ලාංකික ජාතිකවාදය මතු විය. ජාතිකවාදයේ මුල්ම ප්‍රකාශනයන් බොහෝ දුරට සංස්කෘතික හා ආගමික පුනර්ජීවනයන් වූ අතර ඒවා අනගාරික ධර්මපාල වැනි සිංහල බෞද්ධ ප්‍රතිසංස්කරණවාදීන් විසින් මෙහෙයවන ලද බව අප දනිමු. මෙම මුල් ව්‍යාපාර හරහා යටත් විජිත පාලනය සහ ක්‍රිස්තියානි මිෂනාරි බලපෑම යටතේ ඛාදනය වූ බෞද්ධ අනන්‍යතාවය සහ සම්ප්‍රදායන් නැවත ලබා ගැනීමට උත්සාහ කළහ. ලාංකේය සමාජය ඒ වනවිට අත්පත් කරගෙන සිටියේ බ්‍රිතාන්‍යයන් විසින් මෙරටට ගෙන ආ ක්‍රිස්තියානි ආගම අදහන උගත්, ධනවත් මධ්‍යම පාංතිකයන් විසිනි. මෙම පන්ති ආධිපත්‍යයට එරෙහිව බණ්ඩාරනායක සහ ධර්මපාල ගෙනගිය සිංහල ජාතිය සහ බෞද්ධ ආගම ප්‍රචාරණවාදය කැපී පෙනෙන්නකි. අනගාරික ධර්මපාල වැනි ප්‍රධාන චරිත ශ්‍රී ලංකාවේ අව්‍යාජ සාරය ලෙස සිංහල අනන්‍යතාවය සහ ථෙරවාද බුද්ධාගම ස්ථානගත කළ සිංහල-බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයක් ප්‍රවර්ධනය කළහ. මෙය ජාතිකවාදයටත් වඩා සිංහල ජාතිකවාදය ලෙස නම් කිරීම සාධාරණ ය. බහුතර සිංහල ජනතාවගේ භාෂාව, සංස්කෘතිය, ආගම හා ඉතිහාසය ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා වූ දේශපාලනික හා සමාජීය අදහස් එකතුවක් ලෙස මෙම සිංහල ජාතිකවාදී ව්‍යාපාරය අඛණ්ඩව බණ්ඩාරනායක සහ ධර්මපාල දෙපළ විසින් නඩත්තු කෙරිණ.
මහාචාර්ය හර්ෂණ රඹුක්වැල්ලගේ ‘අව්‍යාජත්වයේ දේශපාලනය සහ ආලංකාරිකය’ කෘතිය ලාංකේය ජාතිකවාදය සම්බන්ධයෙන් කදිම ඌනපූර්ණයක් සැපයෙයි. ඔහු මෙම කෘතිය හරහා විශ්ලේෂණය කරන්නේ ලංකාවෙි ජාතිකවාදී කථිකාවතේ මුලාරම්භය සහ එම ජාතිකවාදය නිර්මාණය වීම හරහා සමාජය කෙතරම් දුරට පරිවර්තනය සඳහා බලපෑවේද? යන්නයි. එය අව්‍යාජත්වය (Authenticity) යන පදය සමඟ අමුණයි. ජාතිකවාදයේ ස්වභාවය බොහෝ දුරට නිශ්චිත භූමි අවකාශයක් තුළ වෙසෙන බහු ජාතිකයන් විසින් එකමුතුව වෙන් වෙන්ව විසීමට වඩා තනි ජාතියක් ලෙස රටක ආර්ථික සහ දියුණු ආකල්පමය සංවර්ධනය උදෙසා සිදු කරන බලපෑම පිළිබඳ සාකචිජා කිරීම වැදගත් වේ. ජාතිකවාදය රාජ්‍යයකට අත්‍යාවශ්‍යම ප්‍රපංචයක් බව ලියම්කරු සිතන්නේ එය රටක ආර්ථිකය, අධ්‍යාපනය, සංස්කෘතිය, ආකල්ප සහ විශේෂයෙන් ආරක්ෂාව සම්බන්ධයෙන් වඩාත් බලපෑම් කරන සාධකය නිසාවෙනි. ලංකාවෙි මෑත ඉතිහාසය දෙස බරපතළ ලෙස නිරික්ෂණය කළ විට සිංහල සහ දමිළ ජාතිකයක් අතර ජනවාර්ගික ගැටුම කුරිරු යුද්ධයක් ලෙස නොව අවසානයේ විකාතිසහගත ලෙස ත්‍රස්තවාදයක් නිර්මාණය වූයේ බණ්ඩාරනායක වැනි උග්‍ර ජාතිකවාදීන්ගේ බරපතළ විකෘතිසහගත දේශපාලනික තීරණ නිසාවෙනි. බණ්ඩාරනායකගේ සිංහල පනත හරහා සිංහල පමණක් රාජ්‍යය භාෂාව කිරීම වෙනුවට සිංහල සහ දමිළ යන භාෂා දෙකම රාජ්‍ය භාෂා බවට පත් කළා නම් මෙම ගැටුම් ඇති නොවන්නට තිබිණ.
ලංකාවෙි ජාතිකවාදී කඳවුර නිර්මාණය කිරීමෙහි ලා වඩාත් ක්‍රියාශිලි වූ චරිත ත්‍රිත්වයක් කෙරෙහිය. ඒ අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, ආගමික ප්‍රතිසංස්කරණවාදීයෙකු වන අනගාරික ධර්මපාල, සාහිත්‍යවෙිදියකු වන ගුණදාස අමරසේකර තිදෙනා වෙතයි. කෘතියේ දැක්වෙන පරිදි බණ්ඩාරනායකගේ දේශපාලනය තුළ ඔහු මෙහෙය වූ ව්‍යාජ දේශපාලන ප්‍රතිරූපයකි. නිදර්ශනයක් ලෙස බණ්ඩාරනායක යනු ඉංග්‍රීසි කථා කරන ක්‍රිස්තියානි දහම අදහන රදළ පාංතිකයෙකි. නමුත් ඔහු දේශපාලනය කිරීම වෙනුවෙන් බෞද්ධ ආගම වැළඳගෙන ආරිය සිංහල ඇඳුම ඇඟලා ගනී. ඔහුගේ එම ව්‍යාජබව නිසා ම ලාංකේය දේශපාලනගත වූ බොහෝ අය බණ්ඩාරනායක පන්නයේ සටකපටි පුද්ගලයන් බවට පත්ව්ය. උපයෝගීතාවාදී දේශපාලන අවශ්‍යතාවය වෙනුවෙන් අව්‍යාජත්වය වැළඳ ගෙන දේශපාලනය කිරීම මෙම යුගයේ ජනප්‍රියතම ක්‍රියාදාමයයි.
නිදහසින් පසු සිංහල ජාතිකවාදය
නිදහසින් පසු, සිංහල බෞද්ධ ජාතිකවාදය වඩා වඩාත් ආයතනිකකරණය විය. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ (ශ්‍රීලනිප) රජය විසින් සිංහල පමණක් පනත (1956) සම්මත කිරීම තීරණාත්මක මොහොතක් විය. භාෂාමය සමගිය සහ පශ්චාත් යටත්විජිතකරණය ප්‍රවර්ධනය කිරීමට අදහස් කළද, පනත විසින් ස්වභාවයෙන්ම දෙමළ කතා කරන සුළු ජාතීන් කොන් කළ අතර දිගුකාලීන වාර්ගික ආතතීන් සඳහා නිදහස් වේදිකාවක් නිර්මාණය කළේය. මෙම කාල පරිච්ඡේදය තුළ බෞද්ධ භික්ෂූන් වහන්සේලා දේශපාලන බලපෑම්කරුවන් සහ සිංහල අනන්‍යතාවයේ භාරකරුවන් ලෙස නැගී සිටීම ද දක්නට ලැබුණි. ශ්‍රී ලංකාව බුද්ධාගමට නියම වූ දේශයක් ලෙස නිරූපණය කරන මහාවංශ වංශකථාව, සිංහල-බෞද්ධ බහුතරයේ දේශපාලන ආධිපත්‍යය සාධාරණීකරණය කිරීම සඳහා නිරතුරුවම මෙම පනත විසින් උපුටා දක්වන ලදී. රාජ්‍යය, ජනවාර්ගිකත්වය සහ ආගම මෙම පෙළගැස්ම මඟින් විටින් විට ප්‍රජාතන්ත්‍රවාදයේ පවුරු දෙදරා යෑමට ද හේතු විය.
සිවිල් යුද්ධය පුරාම සහ ඉන් ඔබ්බට, සිංහල ජාතිකවාදී රොමාන්තිකරණය නිසාදේශපාලන පක්ෂ සඳහා බලගතු බලමුලු ගැන්වීමේ මෙවලමක් විය. එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන පක්ෂ දෙකම තරඟකාරී ලෙස ජාතිකවාදයේ නිරත වූ අතර, බොහෝ විට ඔවුන්ගේ සිංහල-බෞද්ධ ඡන්ද පදනම තහවුරු කර ගැනීම සඳහා වාර්ගික ගැටළු සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයන් ගත්හ. රාජපක්ෂ පවුල , විශේෂයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුර කාලය තුළ (2005–2015), මෙම ජනතාවාදී සිංහල-බෞද්ධ ජාතිකවාදයේ ස්වරූපය වඩාත් ප්‍රතිමූර්තිමත් කළේය. වර්ෂ 2009 දී එල්. ටී.ටී. ඊ ත්‍රස්තවාදයට එරෙහිව ඔහුගේ ජයග්‍රහණය ජාතියේ ජයග්‍රහණයක් ලෙස සමරනු ලැබූ නමුත්, එය මිලිටරිවාදයේ, විජයග්‍රහණයේ සහ මධ්‍යගත වූ දේශපාලන සංස්කෘතියක් ද තහවුරු කළේය. පශ්චාත් යුධ සමයේ දෙමළ සහ මුස්ලිම් දුක්ගැනවිලි බොහෝ දුරට විසඳා නොතිබූ අතර, බෞද්ධ පූජක පක්ෂය සහ බොදු බල සේනා වැනි ජාතිකවාදී සිවිල් සමාජ සංවිධාන ප්‍රසිද්ධ කතිකාවන්හි ප්‍රමුඛස්ථානයක් ලබා ගත්හ.
වාර්ගික-ආගමික ආතතීන් ඉලක්ක වීම.
යුද්ධයෙන් පසු, ජාතිකවාදී දේශපාලනය මුස්ලිම් සුළුතරය දෙසට තම බැල්ම යොමු කළේ ජනවිකාස ව්‍යාප්තිය සහ ආර්ථික ආධිපත්‍යය සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා කරමිනි. අලුත්ගම කෝලාහල (2014) සහ පාස්කු ඉරිදා ප්‍රහාර (2019) වැනි සිදුවීම් බිය සහ සතුරුකම් උග්‍ර කළ අතර, ඒවා දේශපාලන වාසි සඳහා තවදුරටත් සූරාකනු ලැබීය. විශේෂයෙන් මැතිවරණවලදී සංස්කෘතික හා ආගමික පාරිශුද්ධත්වය පිළිබඳ කතාවක මුස්ලිම්වරු බිල්ලන් බවට පත් වූහ. 2019 වසරේ සිංහල – බෞද්ධ ජන්දවලින් තෝරාපත් කරගත් ගෝඨාභය රාජපක්ෂ වැනි ජාතිවාදී නායකයකු, විශේෂයෙන් ඉස්ලාමීය අන්තවාදයට එරෙහිව ආරක්ෂාව පොරොන්දු වෙමින්, සිංහල-බෞද්ධ සහයෝගය ලබා ගැනීම සඳහා ආරක්ෂාව කේන්ද්‍ර කරගත්, ජාතිකවාදී වේදිකාවක් භාවිතා කළහ.
ඉන්ධන හිඟය, උද්ධමනය සහ විරෝධතා මගින් සලකුණු කරන ලද 2022 ආර්ථික බිඳවැටීම ජනතාවාදී ජාතිකවාදයේ සීමාවන් හෙළි කළේය. රාජපක්ෂ නායකත්වයෙන් යුත් රජය බලයෙන් පහ කළ අරගල ව්‍යාපාරය , වාර්ගික අනන්‍යතාවයට වඩා ආර්ථික බලාපොරොත්තු සුන්වීමෙන් මෙහෙයවනු ලබන බහු-වාර්ගික එකමුතුවේ දුර්ලභ මොහොතක් විය. එහෙත්, අර්බුද මධ්‍යයේ වුවද, ජාතිකවාදී ආඛ්‍යාන දිගටම පැවතුනි. සමහර කණ්ඩායම් විරෝධතා විදේශීය කුමන්ත්‍රණ හෝ සිංහල-බෞද්ධ පර්යායට එල්ල වන තර්ජන ලෙස සැකසූහ. ප්‍රතිපත්තිමය අසාර්ථකත්වයන් නිසා අපකීර්තියට පත් වූ විට පවා, ජාතිකවාදය අස්ථාවර කාලවලදී ප්‍රබල දෘෂ්ටිවාදාත්මක බලවේගයක් ලෙස පවතින ආකාරය මෙම උත්සාහයන් මගින් අවධාරණය කරන ලදී.
ගම හෙවත් අව්‍යාජත්වයේ අඩවියේ මළගම
කෘතියේ අවසන් පරිචය තුළ කතුවරයා ඉතාමත් වැදගත් අදහසක් ගෙන එයි. එනම් ජාතිකවාදයෙහි ප්‍රධාන කොටසක් වන ගම නමැති අව්‍යාජත්වයේ අඩවියෙහි අවසන් වීම පිළිබඳවයි. එහිදි ඩී.එස් සේනානායකගේ 1940 දශකයේ ගල් ඔය ව්‍යාපෘතිය, ජේ.ආර් ජයවර්ධනගේ සංකල්පය වු 1970 දශකයේ අග භාගයේ ඇති කළ මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය සහ 1980 දශකයේ රණසිංහ ප්‍රේමදාසගේ ‘ගම් උදාව’ ව්‍යාපෘතිය යන තෙයාකාර ව්‍යාපෘතියයි. මෙහිදි අව්‍යාජත්වයේ අඩවිය වූ ගම අවසන් වී ගම සහ නගරයේ සම්මිශ්‍රණය ඇතිව ජනප්‍රිය ගම බිහි වන්නේ ගම් උදාව ව්‍යාපෘතිය නිසාවෙනි. වැවයි, දාගැබයි, ගමයි පන්සලයි සිංහල ජාතිකවාදී ජනප්‍රිය සංකල්පය සුණුවිසුණු කළ ගම් උදාව ව්‍යාපෘතිය ගම සහ නගරය අතර පැවති සීමා මායිමි බොඳ කර දැමීය. එය සිංහල ජාතිකවාදී අව්‍යාජත්වයේ මරණය සිදුවන එක් ඓතිහාසික මොහොතක් ලෙස හඳුනා ගැනෙයි. සැබැවින්ම ගම් උදාව වූ කලී අව්‍යාජත්වයෙහි අඩවියක් සේද, සංස්කෘතික හා දේශපාලන වශයෙන් සිංහල දෘෂ්ටිවාදී ප්‍රතිනිෂ්පාදනයෙහි අඩවියක් සේද ‘ගම’ භාවිතා වීමේ සංසිද්ධිය අවසන් කිරීම ආරමිභ කළ ව්‍යාපෘතිය යැයි මම සිතමි.”(පිටුව 239) නිදහස් ආර්ථිකයත්, ජනප්‍රිය සංස්කෘතික රැල්ලත් නිසාම අව්‍යාජ ගම පරිවර්තනය වීම පාලනය කළ නොහැකි එකක් විය. කෘතියේ දැක්වෙන පරිදි ”මෙම සන්දර්භය තුළ සිංහල සංස්කෘතික අව්‍යාජත්වය තාමත් පවතින නමුත් එය පවතින්නේ අවතාරමය සහ අද්භූතමය ස්වරූපයකිනි.”(පිටුව 255) ගම, අව්‍යාජත්වය සහ ජාතිකාවාදය සෘජු ලෙස හෝ වක්‍රාකාරව බැඳී පවතී. එම නිසාම යටකී ව්‍යාපෘති හරහා ජාතිකාවාදය සඳහා සුළු හෝ මහා පරිමාණයෙන් බලපෑමි කිරීමට ලක්විය.
ශ්‍රී ලාංකික ජාතිකවාදය තුළ, අව්‍යාජභාවය යනු හුදෙක් සංකේතාත්මක දෙයක් පමණක් නොවේ; එයට ද්‍රව්‍යමය හා ප්‍රචණ්ඩකාරී ප්‍රතිවිපාක ඇති වී තිබේ. සිවිල් යුද්ධය (1983–2009) අර්ධ වශයෙන්, තරඟකාරී ජාතිකවාදයන් – සිංහල සහ දෙමළ – භූමිය, භාෂාව සහ ඉතිහාසය පිළිබඳ අව්‍යාජභාවය ප්‍රකාශ කිරීමේ ප්‍රතිඵලයකි. එල්.ටී.ටී. ඊ ත්‍රස්තවාදී සංවිධානය විසින් නායකත්වය දුන් දෙමළ ජාතිකවාදී ව්‍යාපාරය, වෙනම රාජ්‍යයක් සඳහා වන ඉල්ලීම් නීත්‍යානුකූල කිරීම සඳහා තමන්ගේම සංස්කෘතික හා ඓතිහාසික අව්‍යාජභාවයක් ද ගොඩනඟා ගත්තේය.
සිංහල සහ දෙමළ ජාතිකවාදී කතිකාවන් දෙකෙහිම, අව්‍යාජත්වය අවි ආයුධවලින් සන්නද්ධ කරන ලදී. ඉතිහාසය තෝරා බේරා අර්ථකථනය කරන ලදී. මිථ්‍යාවන් නැවත තහවුරු කරන ලදී. නූතන දේශපාලන ප්‍රකාශ වලංගු කිරීම සඳහා පුරාණ ග්‍රන්ථ උපයෝගී කර ගන්නා ලදී. මෙම ක්‍රියාවලිය දෙමුහුන් හෝ බහු අනන්‍යතාවන්ට ඉඩක් නොමැති දැඩි සීමාවන් නිර්මාණය කළේය. බහු සංස්කෘතිකවාදය වැළඳගත් මුස්ලිම්වරුන්, ඉන්දියානු දෙමළ ජාතිකයන් සහ මධ්‍යස්ථ සිංහල හෝ දෙමළ ජාතිකයන් පවා ප්‍රමුඛ ආඛ්‍යානවලින් බැහැර විය.
අව්‍යාජත්වය නැවත සොයා ගැනීම
අව්‍යාජත්වයේ හිමිකරුවන් කවුද? යන්න තීරණය කිරීමට රාජ්‍ය බලය හෝ සමාජීය බලය මැදිහත් වී තිබෙන විට ආධිපත්‍යය විරෝධී හා කැරලිකාර අව්‍යාජත්ව කතිකා ද නිර්මාණය වෙයි. ඒ අතරම පශ්චාත් යුධ සමයේදී, සිංහල-බෞද්ධ ජාතිකවාදය විසින් “අව්‍යාජ” ශ්‍රී ලාංකිකයෙකු බිහිකිරීමට දැඩිව වෙහෙසට ගත් බව නිරික්ෂණය වෙයි. නිදර්ශනයක් ලෙස ලාංකේය සමාජය තුළ දැවැන්ත රැල්ලක් බවට පත් වූ වීදි තාප්ප මත බිතුසිතුවම් ඇඳිමේ දේශපාලන ව්‍යාපෘතිය තුළ බහුල ලෙස සිතුවම් වුයේ දුටුගැමුණු, රාවණා සහ සිංහල සොල්දාදුවන් ය. ඒ අනුව අව්‍යාජත්වය තමත් සතු කරගන්න බහුතර සිංහල ප්‍රජාව දැඩිව වෙහෙසක් ගන්නා බව සුළු බැල්මක් යොමු කරන විටදි පවා පෙනෙන්නට තිබෙන නිරික්ෂණයයි. භාෂා ප්‍රතිපත්ති, ආගමික උත්සව, පුරාවිද්‍යාත්මක හිමිකම් සහ අධ්‍යාපන විෂයමාලා හරහා අව්‍යාජත්වය තහවුරු කරන්නට තීරණාත්මක ලෙස බලපෑම් කරයි. ඒ අතරම, අව්‍යාජත්වය පිළිබඳ ප්‍රකාශයන්ට නව අභියෝග ද එල්ල වී තිබේ. සිවිල් සමාජ කණ්ඩායම්, කලාකරුවන් සහ තරුණ පරම්පරාව විසින් අව්‍යාජත්වය සඳහා පදනම දැමූ ආඛ්‍යාන ප්‍රශ්න කිරීමට පටන් ගෙන තිබේ.
සංචාරක ව්‍යාපාරය, උරුමය සහ සත්‍යතාව අලෙවිකරණය කිරීම
උත්ප්‍රාසාත්මක ලෙස, ගෝලීය සංචාරක යුගයේ දී අව්‍යාජභාවය ලුහුබැඳීම ද වාණිජකරණය වී ඇත. ශ්‍රී ලංකාවේ උරුමයන් – පුරාණ නගර, බෞද්ධ විහාරස්ථාන, සාම්ප්‍රදායික අත්කම් – පුරාණ සහ “අව්‍යාජ” සංස්කෘතියක සංකේත ලෙස ගෝලීය ප්‍රේක්ෂකයින්ට අලෙවි කෙරේ. මෙම වෙළඳ භාණ්ඩකරණය සදාචාරාත්මක ප්‍රශ්න මතු කරයි. මෙසේ විකුණන්නේ කාගේ අව්‍යාජභාවය ද? අව්‍යාජත්වය ලේබල් කිරීම තුළ අත් කරගන්නා ප්‍රතිලාභ මොනවාද? යන්න නැඟෙන ප්‍රශ්න කීපයකි.
අනුරාධපුරය, පොළොන්නරුව හෝ සීගිරිය වැනි ස්ථාන ජාතික වස්තු ලෙස ඉදිරිපත් කරනු ලබන අතර, ඒවායේ තරඟකාරී ඉතිහාසයන් සහ දේශීය අර්ථයන් පසෙකට දමනු ලැබේ. මෙම “උරුම ජාතිකවාදයේ” ස්වරූපය ආර්ථික ප්‍රතිලාභ ගෙන දිය හැකි නමුත්, එය ශ්‍රී ලාංකික අනන්‍යතාවයේ පොහොසත්කම සහ සංකීර්ණත්වය සමතලා කර දමන්නට සමත් වෙයි.
ජාතිකවාදීන් කියා සිටින්නේ යම් භාෂාවක් කතා කරන හෝ නිශ්චිත ආගමක් අනුගමනය කරන පුද්ගලයින් පමණක් ජාතියේ “අව්‍යාජත්වය හිමි” සාමාජිකයන් බවයි. සුළු ජාතීන් හෝ සංක්‍රමණිකයින් ජාතියේ අඩු “සැබෑ” හෝ “සැබෑ” සාමාජිකයන් ලෙස ලේබල් කිරීමෙන් බැහැර කිරීමට අව්‍යාජත්වය භාවිතා වීම සිදු වෙයි. ආගමික අනන්‍යතාවයක් ප්‍රවර්ධනය කිරීම සඳහා ජාතිකවාදී ව්‍යාපාර තුළ අව්‍යාජභාවය භාවිතා කර ඇත. නිදර්ශනයක් වශයෙන්, සිංහල-බෞද්ධ ජාතිකවාදය බොහෝ විට බුද්ධාගම සහ සිංහල භාෂාව තුළ මුල් බැසගත් “අව්‍යාජ” ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් පිළිබඳ අවධාරණය කරයි.
ශ්‍රී ලාංකික ජාතිකවාදී දේශපාලනය නිදහසේ නියමුවා මෙන්ම බෙදීමේ නිර්මාතෘ ද වී ඇත. සංස්කෘතික පුනර්ජීවනයේ සිට වාර්ගික බහුතරවාදය දක්වා, ජාතිකවාදය, සංහිඳියාව සහ ප්‍රජාතන්ත්‍රවාදය වීමට බොහෝ විට බාධා කරන ආකාරවලින් පරිණාමය වී ඇත. ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වය සහ එකමුතුකම රඳා පවතින්නේ පටු අනන්‍යතා දේශපාලනය ඉක්මවා ගොස් සියලු ප්‍රජාවන් අතර සමානාත්මතාවය, යුක්තිය සහ අන්‍යෝන්‍ය ගෞරවය මත මුල් බැසගත් සිවිල් ජාතිකවාදයක් පෝෂණය කිරීම මත බව මිස වෙන අන් යමක් නොවේ. ගෝලීයකරණය වූ ලෝකයක ශ්‍රී ලාංකික නූතන ජෙනරේෂන් ඇල්ෆා පරම්පරාව දේශීය සම්ප්‍රදාය අතහැර බටහිර නූතනත්වය වෙිගයෙන් වැළඳ ගනී. එම නිසාම අව්‍යාජත්වය නව ආකාරවලින් සාකච්ඡා කිරීමට පවා අසීරු ය. අව්‍යාජත්වය සහ ජාතිකවාදය වර්තමානයේ දී මරණය කරා පැමිණ ඇතිමුත් එය සැමවිටෙකම විවාදයට ලක් කෙරෙමින් සහ නැවත හැඩගැසීද තිබේ. අව්‍යාජත්වය පිළිබඳ අදහස වර්තමානයේ දී නැවත ඉස්මතු වී අවස්ථාවක් ලෙස ඉතිහාසය විෂය අධ්‍යාපනයෙන් ඉවත් කළ බවට නැඟුන සාවද්‍ය පුවත වටා නැඟුණ සමාජ මාධ්‍ය විරෝධය නිසාවෙනි. මේ නිසාම පශ්චාත් යටත්විජිත සහ පශ්චාත් යුධ තත්ත්වය තුළ අව්‍යාජත්වය සැමවිමට හොල්මන් කරන අවධියකි. අව්‍යාජත්වය අහිමි වූ වැලපෙන සංස්කෘතියක් සහ අහිම් මූ අව්‍යාජත්වය නැවත සොයා ගැනීම පිළිබඳ දේශපාලන ගොඩනැඟීමක අවතාරයන් සේ දක්නට ලැබෙන ප්‍රධානතම නිරික්ෂණයයි. ශ්‍රී ලාංකික ජාතිකවාදයේ තිරසාර අනාගතයක් පවතින්නේ අව්‍යාජභාවය පිළිබඳ ඒකීය මිථ්‍යාවන් තුළ නොව ජාතියේ සැබෑ උරුමය සාදන අනන්‍යතා රාශියක් වැළඳ ගැනීම තුළ පමණී.

