අඳුරුතම හෝරාවේදී ඔහු ලොවට අපේක්ෂාව කැටුව ආවේය…

Share post:

ඔහු බොහෝ මිනිසුන්ට මරණයේ දොරටුව වූ චිලී ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දරුණු වද බන්ධන මධ්‍යයේ සිය අවසන් ගීය රචනා කළේය.
මේ ඔහු සිය කලාව නිර්වචනය කල ආකාරයයි.

‘විරෝධාකල්ප ගීය’ මේ යෙදුම තව දුරටත් වලංගු නැති. මන්ද යත් එය සංදිග්ධාර්ථවත් හෙයිනි. එසේම එය අවභාවිතා කර ඇති හෙයිනි. එහෙයින් මම මේ යෙදුම භාවිතා කරන්නට වැඩියෙන් කැමැත්තෙමි. ‘විප්ලවීය ගීතය.”

1973 සැප්තැම්බර් 11 දින චිලියේ සන්තියාගෝ නුවරුන් අවදි කරන ලද්දේ ප්‍රහාරක ජෙට් යානා ජනපති අයියන්දේ ගේ නිල නිවසට බෝම්බ හෙලන හඬ සහ යුධ ටැංකි වීදි බසිනා හඬිනි. ඒ අතරේ සාමාන්‍ය චිලී වැසියෝ වට කර අත්අඩංගුවට ගනු ලැබ නගරයේ ක්‍රීඩාංගනයන්හී වධ බන්ධනයන්ට සහ මරණයට පත් කරනු ලබමින් පැවතිණි. එසේ අත්අඩංගුවට ගන්නා ලද පිරිස අතරින් එකෙකු වූවේ වික්ටර් හාරා ය. පිනෝචේ ගේ තිරශ්චීන පාලනයේ කුරිරු බව
ලොවටම විදහා පෑ එක් සිදුවීමක් වූවේ මේ විශ්ෂ්ඨ ගායකයා වධබන්ධනයට අංග ඡේදනයට සහ මරණයට ලක් කරන ලද ආකාරයයි.

1973 වන විට වික්ටර් හාරා යනු චිලියේ පරසිදුම සංගීත තරුව වූවේය. කිසිදු දෙගිඩියාවකින් තොරව වාමවාදී දේශපාලනය තෝරා ගත් ඔහු සමාජ අසාධාරණය සහ වැඩ කරන ජනයාගේ අරමුණ උදෙසා විප්ලවීය ගී රචනා කරමින් ගැයීය. එහෙයින්ම පිනෝචේ බලය ඩැහැ ගැනීමත් සමගම ඔවුන්ගේ පළමු ගොදුරු අතරට හාරා අයත්වීම අපේක්ෂා කළ යුතුව තිබුණකි.

අත්අඩංගුවට ගන්නා ලදුව චිලී ක්‍රීඩාංගනය කරා ගෙනා ඔහු නරකාදිය සියැසින් දිටීය. පිනෝචේ ගේ හමුදා බලය ඇල්ලීමත් සමග සන්තියාගෝ නගරයේ ස්ථාපිත කරන ලද 60 ගණනක් වූ වධකාගාරයන් අතරින් දරුණුකම ගැන පළමු ස්ථානය ලද්දේ මේ ක්‍රීඩාංගනයයි. අහාර පාන කිසිවක් නොමැතිව රඳවන ලද මිනිසුන් හිටි හැටියේ වෙඩි තබා මරා දමන ලද්දේය. වරින් වර සෙබළු සිය මැෂින් තුවක්කු ඔවුන් වෙත හරවා ඉවක් බවක් නැතිව වෙඩි තැබුවෝය.
මේ වධයන් අතරේ හාරා නව විප්ලවීය ගී රචනා කරමින් සිරගතව ඉන්නා මිනිසුන් වෙනුවෙන් දිගටම ගැයීය. මේ ගැන දැන ගන්නට ලැබුණු කඳවුරු ප්‍රධානියා මේසයක් මත ගිටාරයක් තබා හාරා හට ගයන්නැයි විධානය කළේය. හාරා ඒ අභියෝගය පිලිගති.

ඔහු එහි හිඳුවා ගත් වධකයෝ ඔහුගේ අතැඟිලි කපා දැම්මෝය. පොරව සහ බයිනෙත්තු භාවිතා කරමින් ඔහුගේ දෑත් තලපයක් කළ ඔවුහු දැන් ගයාපන් යැයි ඔහුට විධානය කළෝය.

එවිට මහත් අසීරුවෙන් නැගිට ගත් හාරා තමන් මෙන්ම මරණය අභිමුවේ සිටි සගයන් හමුවේ මහත් දිරිමත් බවක් පාමින් මෙසේ කියා සිටියේය.
‘හරි සහෝදරවරුනි. අපි මේ අණදෙන නිලධාරියාට උදව්වක් කරමු.”
එසේ ඔහු ගැයීය. සිය සගයන් ඉදිරියේ ඔහු ගැයුවේ සිය දේශපාලන පක්ෂයේ ගීතයයි. එසේ ඔහු ගයද්දී එතෙක් කිසිදු අහරක් නැතිව වධයන් මැද අසරණව සිටි මිනිස්සු නැගිට ඔහු හා ගයන්නට වූවෝය. එක් නිමේෂයකට වධකයන්ට ඉතිරි වූවේ තක්කු මුක්කුව බලා සිටීම පමණි.

අනතුරුව වෙඩි හඬක් මතුවිණි. හාරා බිම ඇද වැටිණි. ඒ සමගම එල්ල වූ වෙඩි පහරින් තවත් බොහෝ ගණනක් බිම හෙලනු ලැබිණි. හාරා මරණය හමුවේ ජීවිතය සහ අරගලයට සැබෑ අරුතක් සපයා තිබිණි. මේ ඔහු අවසන් වරට ගැයූ ඒ ගීයේ දළ අනුවාදයකි.

පුරවරෙහි මේ කුඩා බිම් කඩෙහි
පන් දහසක් වූ අපි රඳවනු ලැබ සිටිමු
පන් දහසක්,
අන් පුරවරයන්හි මෙන්ම
මුලු දේශයෙහිම
මෙසේ අප වැනි කොතෙක් සිටීදැයි කල්පනා කරමි මම
මෙහි පමණක්
දහසක් අත්ය
බීජ වපුරන, කම්හල් දුවවන

කෙතරම් නම් මිනිසුන්
ගොදුරු කෙරෙතිද
කුසගින්නට සීතලට
පීඩනයට භීෂණයට උමතුබවට

හරියට තරු පිරි අභ්‍යාවකාශයට ගිය විටක මෙන්
සය දෙනෙක් අපි ආගිය අතක් නැති
මිය ගොසිනි එකෙක්
පහර දීලාය තවෙකකුට
මිනිසකුට මෙතරම් දරුණුවට
බැට දිය හැකි යයි
නොඇදහීමි මම කිසි දිනෙක
අනෙක් සිවු දෙනා හට මේ සතියේ අවසානය දැකීමට ඇවැසි වුණි
ඉදින් ඉන් එකෙක් ශූන්‍යත්වයට ඇද වැටිණි
තවෙකකු බිත්තයෙහි
හිස හප්පා පොඩි කරගති
කොහොමටත් මරණය වූවේ
උන් මත එල්ලෙමිනි

පැසිස්ට්වාදය මවනා භීතිය කෙතරම්ද!
සැතක ඇති තියුණු බවින්
දියත් කරති උන් තම සැලසුම්
වගකට නොගනිති උන් කිසි දෙයක්
රුධිරය යනු උන්ට පදක්කම් සදිසිය
වීර ක්‍රියාවකි උන්ට ඝාතනය

අහෝ දෙවියනි
මේ ඔබවහන්සේ මැවූ ලෝකයද
ඔබවහන්සේගේ සත්දිනක ප්‍රාතිහාර්යයද?

මේ බිත්ති තුළ ඇත්තේ අංක පමණි
එසේම ඒ අංක වැඩි වැඩියෙන් පතනුයේද මරණයම පමණි

හදිසියේම මගේ හෘද සාක්ෂිය අවදි වෙයි

නැති බව මේ ප්‍රවාහයට හද ගැස්මක්
ඇත්තේ යන්ත්‍රවල
චලනයම පමණක් බවත් මට පෙනෙයි

හමුදාව උන්ගේ මිහිරියාවෙන් යුත්
වින්නඹු මුහුණු මට පෙන්වති

නැගේවා කියුබාව මෙක්සිකෝව ඇතුළු මුළු ලොවම
එරෙහිව මේ භීෂණයට!

මෙහි අත් දස දහසකි
කිසිවක් නිපදවිය නොහැකි
මෙසේ අපවන් තවත් කෙතරම් නම්
රට පුරා වෙත්ද
අපේ ජනපතිගේ රුධිරය
අපේ සගයන්ගේ රුධිරය
නැගෙනු ඇති පරයා බෝම්බ හා මැෂින් තුවක්කු
අපේ පළමු ප්‍රහාරය එයම වනු ඇති

මා දිවි ගෙවන, මට මියෙන්නට සිදුව ඇති භීෂණය ගැන
ගැයුමට මට සිදුව ඇති විටක
අසීරුද කෙතරම් ගැයුම

නිහැඬියාව මෙන්ම
මුරගෑමද
රජයන අත්තනෝමතික නිමේෂයක් තුළ
මා රැඳෙනු දැකීම,
ඒ මගේ ගීයේ අවසානයයි

නුදුටිමි මම කිසි දනෙක
අද මේ අත්දකින දේ
එසේම මා අත්විඳි අත්විඳින සියල්ලම
උපත දෙනු නියත
මේ මෙහොතට

චූලානන්ද සමරනායක

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...