‘දුප්පතුන්ගේ බැංකුකරුවා’ සිරගත කිරීමේ නියෝගයක් : දේශපාලන තීන්දුවක් බවට චෝදනා !

Share post:

කම්කරු නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් බංග්ලාදේශයේ නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යූනුස් සිරගත කරන ලෙස එරට කම්කරු අධිකරණයක් නියෝග කර තිබේ.

කෙසේ වෙතත් මෙම තීන්දුව ලබාදුන් නඩු විභාගය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ, එරට මහ මැතිවරණයට පෙර දේශපාලන වුවමනා එපාකම් මත විමසන ලද නඩු විභාගයක් බවටයි.

ග්‍රාමීන් ටෙලිකොම් නම් සමාගමේ සේවකයන් සඳහා සුබසාධන අරමුදලක් නිර්මාණය කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඩකාහි කම්කරු අධිකරණයක්,ප්‍රකට ආර්ථික විද්‍යාඥයකු වන 83 හැවිරිදි මුහම්මද් යූනුස් සහ තවත් සගයන් තිදෙනෙකු වරදකරු කළේය.

සිව්දෙනාම නඩුවේ සියලු වැරදි ප්‍රතික්ෂේප කර ඇති බැවින් අභියාචනය විභාග වන තෙක් ඔවුන්ට ඇප ලබා දී තිබේ.

‘මගේ නීතීඥයන් උසාවියේදී ඒත්තු ගැන්වෙන ලෙස තර්ක කර ඇති පරිදි, මට එරෙහි මෙම තීන්දුව සියලු නීතිමය පූර්වාදර්ශ සහ තර්කනයට පටහැනියි.’
යූනුස් තීන්දුවෙන් පසුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

‘අසාධාරණත්වයට එරෙහිව මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් වෙනුවෙන් අපගේ සෑම පුරවැසියකුම එක හඬින් කතාකරන ලෙස මම බංග්ලාදේශ ජනතාවගෙන් ඉල්ලා සිටිමි.’
යනුවෙන් ද ඔහු ප්‍රකාශ කර තිබේ.

යූනුස්ගේ නීතීඥ අබ්දුල්ලා අල් මාමුන් පවසා ඇත්තේ තීන්දුවට එරෙහිව තමන් අභියාචනයක් ඉදිරිපත් කරන අතර, මෙම නඩුව දේශපාලනිකව අභිප්‍රේරණය වූ, අගමැතිනි ෂීක් හසීනාගේ ප්‍රමුඛ විවේචකයා වන මුහම්මද් යූනුස්ට හිරිහැර කිරීම අරමුණු කරගත් එකක් බවයි.

යූනුස් ‘දුප්පතුන්ගේ බැංකුකරුවා’ ලෙස හඳුන්වනු ලබන අතර, ඔහු සහ ඔහුගේ ග්‍රාමීන් බැංකුව 2006දී මිනිසුන් දරිද්‍රතාවයෙන් මුදවා ගැනීමේ කාර්යය වෙනුවෙන් ඔහුට නොබෙල් සාම ත්‍යාගය පිරිනමන ලදී.

සාමාන්‍යයෙන් ඩොලර් 100ට අඩු ආදායමක් සහිත බංග්ලාදේශයේ ග්‍රාමීය දුප්පතුන්ට කුඩා ණය ලබා දෙන නව්‍ය ක්ෂුද්‍ර මූල්‍ය වැඩසටහනක් හඳුන්වාදීම සම්බන්ධයෙන් යූනුස් අගය කෙරේ.

මෙම මුලපිරීම ක්ෂුද්‍ර ණය ලෙස හැඳින්වෙන ගෝලීය ව්‍යාපාරයකට ද මගපාදන ලදී.

වරදකරු කරමින් තීන්දුව ප්‍රකාශයට පත්කළ ඩකාහි තෙවැනි කම්කරු උසාවියේ ප්‍රධානී ෂෙයික් මෙරිනා සුල්තානා පැවසුවේ ග්‍රාමීන් ටෙලිකොම් සේවකයන් 67 දෙනකුට ස්ථීර රැකියා තත්ත්වය ලබාදීමට අපේක්ෂා කර තිබුණද ඔවුන්ට සේවක සුබසාධන අරමුදල් නොමැති බවයි.

මීට අමතරව, සමාගම් ප්‍රතිපත්තියට අනුව සමාගමේ ලාභාංශවලින් සියයට 5ක් කාර්ය මණ්ඩලයට වෙන්කිරීමට නියමිත බව ද ඇය සඳහන් කළාය.

යූනුස් සහ හසීනා ප්‍රසිද්ධ ප්‍රකාශවලදී ගැටී ඇති අතර, හසීනා ඔහුට ‘දුප්පත් අයගෙන් ලේ උරා බොන’ බවට චෝදනා කරයි.

ඔහුගේ ආධාරකරුවන් පවසන්නේ, රජය ඔහුව අපකීර්තියට පත්කිරීමට උත්සාහ කරන්නේ, ඔහු වරක් හසීනාගේ අවාමි ලීගයට ප්‍රතිවාදී ලෙස දේශපාලන පක්ෂයක් පිහිටුවීමට සලකා බැලූ නිසා වන අතර, මෙය දේශපාලන විසම්මුතිය මත රජය විසින් කරන ලද පුළුල් මර්දනයක කොටසක් බවයි.

හසීනාගේ අවාමි ලීගයට එරෙහිව යූනුස් ‘පුරවැසි බලය’ නමින් ඔහුගේ ම දේශපාලන පක්ෂයක් පිහිටුවීමේ අදහසක් ඉස්මතු කර තිබිණි.

ඔහු තම නව පක්ෂය සමඟ දූෂණය අවසන් කරන බවට පොරොන්දු වූ නමුත් අවශ්‍ය තරම් සහාය නොමැති බව පවසමින් මාස කිහිපයක් ඇතුළත සැලසුම් අත්හැර දැමීය.

එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලැබීමෙන් පසු 1980 දශකයේ නැවත බංග්ලාදේශයට පැමිණි යූනුස් කම්කරු නීති උල්ලංඝනය කිරීම සහ දූෂණ චෝදනා ඇතුළු තවත් චෝදනා 100කට වැඩි ගණනකට මුහුණ දී සිටී.

මානව හිමිකම් ක්‍රියාකාරිකයන් සහ හිටපු එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ඇතුළු ගෝලීය පුද්ගලයන් 170කට වැඩි පිරිසක් විවෘත ලිපියක් මගින් යූනුස්ට එරෙහි ‘පීඩා’ නතර කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ.

වර්ජින් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ රිචඩ් බ්‍රැන්සන්, U2 ප්‍රධාන ගායක බොනෝ සහ හිටපු එක්සත් ජනපද හිටපු ජනාධිපති බරක් ඔබාමා ඇතුළු පුද්ගලයන් මෙම ලිපියට අත්සන් කර ඇති අතර, නොබෙල් ත්‍යාගලාභියාගේ ‘අඛණ්ඩ අධිකරණ හිංසනයට’ එරෙහිව ඔවුහු අදහස් පළකර තිබේ.

මෙම තීන්දුව ලබාදී ඇත්තේ බංග්ලාදේශය ජනවාරි 07දා මහ මැතිවරණයකට සූදානම් වෙමින් සිටින අතර, හසීනා සිය පස්වැනි වාරය සඳහා තරඟ කරන අතරතුරයි.

යූනුස්ගේ ක්ෂුද්‍ර මූල්‍ය සංකල්පය ශ්‍රී ලංකාවේ ප්‍රකට බැංකු සහ මූල්‍ය ආයතන අතිශය අමානුෂික ලෙස භාවිත කරන අතර, මෙම පීඩා දරාගත නොහැකිව සියදිවි නසාගත් ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයන් ප්‍රමාණය අතිවිශාල ය. එහෙත් ලංකාවේ පත්වූ කිසිදු ආණ්ඩුවක් මෙම අත්තනෝමතික මූල්‍ය කටයුතු නියාමනයට හෝ ඊට මැදිහත්වීමට මෙතෙක් කටයුතු කර නැත.

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...