කවිකාර හිමිනම සිය කවි එකතුවෙහි මේ නිලය අල්ලන කදිම තැනක් තිබේ

Share post:

‘ඇතුළුවීම තහනම්’ – ලියන්ගහවෙල පඤ්ඤාසේකර හිමි

ලංකාව යනු අර්බුද ගොවිපලකි. එය පාලනය කරන්නෝ දෛනිකව නොව ගෙවෙනා හැම මිනිත්තුවක් ගානේම අර්බුද වපුරමින් සිටිති. ජන ජීවිතය වදයක්ව පවතිද්දී ස්වකීය පැවැත්ම උදෙසා සැලසුම් හදනා දේශපාලන සංස්කෘතිය දරුණු සොදා පාලුවකට රට ලක් කර හමාරය. එහෙත් මේ සියළු අර්බුද අතර ආර්ථික අර්බුදය ඉස්මත්තටම ගනිද්දී අපට මගහැරෙන දරුණුතම අර්බුදයක් තිබේ. ඒ අධ්‍යාපනයේ අර්බුදයයි. මේ වන විට දරුවකු පාසල් යැවීම යනු පවුලක දෙමවුපියන්හට භීතිය දනවන කරුණක් මට්ටමට පැමිණ තිබුණද සමාජය තවමත් ඒ ගැන නිසි අවධානය යොමා නැත.

අධ්‍යාපනයේ අර්බුදය යනු වෙසෙසින්ම සමාජය තුළ කතාබහට ලක්විය යුත්තකි. එහි මුල සිට අගටම ඇත්තේ ගැටළුය. විෂය නිර්දේශ, පාසල් පහසුකම්, සිසුන්ගේ බුද්ධිමය මෙන්ම ශාරීරික පෝෂණය යනාදී වශයෙන් මෙහි විවිධාකාර පැති තිබේ. ඒ අතර තවත් දරුණු අර්බුදයක් වනුයේ අධ්‍යාපන විෂය භාර නිලධාරීන්ගේ අඩුපාඩුය. ඒ අතර අප විශේෂයෙන්ම අවධානය යොමු කළ යුත්තේ ගුරු භූමිකාව පිළිබඳවය. වර්තමහානයේ ගුරු භූමිකාව යනු විෂය කරුණු වලින් ඔබ්බට නොයනා තත්වයක සිර කරන ලද්දකි. පංති කාමරය යනු දරුවාට ලෝකය විවර කරන කවුළුව සේ දකින අතලොස්සක් ගුරුවරු හුරුණු විට අන් බොහෝ පිරිස් අද වන විට මේ විෂම ආර්ථික පද්ධතියේ ගොදුරු බවට පත්ව හමාරය. අනෙක් අතින් ගුරුවරයාගේ දියුණුකම පිලිබඳ ගැටළුව කෙලින්ම සිසු පෞරුෂයට බලපායි.

ලියන්ගහවෙල පඤ්ඤාසේකර හිමි සිය කවි එකතුවෙහි මේ නිලය අල්ලන කදිම තැනක් තිබේ. කවිකාර හිමිනම ඒ නම් කරනුයේ වීරයා නමිනි. සැබෑවකි මේ වීරයින් අභිනන්දනයටම උපන් දේශයකි. රණවිරු, රටවිරු, සුවිවරු ආදී වශයෙන් මේ විරු ලැයිස්තුව බොහෝ දිගය. වීරාභිවන්දනයට හුරු කරන ලද ජාතියක ඛේදය අපි දැන් අත්විඳිමින් සිටිමු. කවිකාර හිමිනම සිය කවියට විෂය කරගනුයේ පංතියේ ගුරුවරයා/ගුරුවරිය සිසුන්ට තම වීරයා අඳින්නට යයි කීම ය. එහෙත් ඒක සිසුවකුගේ වීරයා සිත්තම ගරුවරයාගේ කෝපයට හේතු වෙයි. එහෙයින් එය කීතු කර දමනු ලබයි.

තාත්තේ අද ටීච පන්තියෙ අපේ වීරයො අඳිනු කිවුවා
වැඩිම ලස්සන කාගෙ එකදැයි පස්සෙ කොල පෙරලලා හෙවුවා
මගේ චිත්‍රය අතට අරගෙන මේක ඇන්දේ කවුද ඇහුවා
ගත්තු වේගෙට කීතු කරලා මගේ මුහුණට දමල ගැහුවා

පංතියේ හොඳම සිත්තම ලෙස තේරෙනුයේ සුපර් මෑන්ය. ඔහු සිටිනුයේ හතුරන් වටකරගෙන සටනකය. ඔහු එල්ලාගෙන සිටි තුවක්කු ගොන්නකි. මේ අපේ වීර සංකල්පයේ උච්චතම අවස්ථාවයි. අපි මෙවන් වීර සිත්ත්ම සේයාරූ නිරතුරු දකිමු. එහෙත් කථක සිසුවාගේ වීරයා වෙනත් කෙනෙකි. එසේම ඔහුගේ රැකියාවද ආගමික සංකල්ප අනුව පාපකාරී එකකි. එහෙත් දරුවා නිවැරදිව සිය වීරයා අඳියි.

මගේ ලෝකයෙ තවම ඉන්නා එකම වීරය නුඹ නිසා
තාත්තව මං ඇන්දෙ චිත්‍රෙට හරි හැඩට කඩ ඉරිමසා
කිතුල් ගහ උඩ ඉන්න විදිහට මලක් මුට්ටියකින් වසා
පිහිය ඇන්දා තවත් පැත්තක තියන ලෙසටම ඉනෙ ගසා

තවත් පැහැදිලි කිරීම් අනවැසිය. කවිකාර හිමිනම සමාජයේ නග්න ස්වභාවය සිය කවියෙන් නිරාවරණය කර හමාරය.
පඤ්ඤාසේකර හිමි සිය කවි අතර කරනා තවත් මැදිහත් වීමක් වනුයේ තමන් අයත් සංස්ථාව විචාරයට ලක්කිරීමට උත්සුක වීමයි. එය හුදු උපහාසය අවමානය හෝ කෝපය නොව සැබෑ තත්වය දැකීමට දරනා උත්සාහයකි. එහිදී හිමියෝ එක් කවකින් රටේ යටපත් කෙරෙමින් පවතින එහෙත් අප අවධානය යොම කළ යුතු ගැටළුවක් අමතයි. ඒ පැටි වියේ මහණ කරනු ලබනා දරුවන්ගේ අභ්‍යන්තරික කම්පනය ගැනය. හිමි නම ඒ කවිය නම් කරනුයේ පොඩි සාදු නමිනි. මේ කවියෙහිදී හිමිනම ළමා විය අහිමි කර චීවරයක කොටු කරන ලද දරුවකුගේ ජීවිතයේ දවසක් සිත්තම් කරනුයේ දායක සභාවද විචාරයට ලක් කරමිනි. ඒ කවිය පුරාම අපට හමුවනුයේ ළමා වියත්, සහෝදර පෙමත්, සසුනෙහි තමන්ට පැවරෙන වගකීමත්, අරමෙහි දෛනික බරබද්දල් මෙන්ම සෙල්ලමට දුවන තම සිතත් පැටි වියෙහි පසුවන්නකුගෙන් රහත් චර්යාවක් අපේක්ෂා කරන දායකකාරකාදීන්ගේ මුග්ධකමත් යන මේ සියල්ලමය.
හිමිනම සිය කවිය අවසන් කරනුයේ සාමණේර හිමිනම කෙරේ දයාර්ද බැල්මක් හෙලමිනි.

අඹ කන්න ආසාවෙ
ගහට ගල් ගැසු නිසා
වැලි මළුවෙ දණගහන්
අඬන පොඩි සාධු

පඤ්ඤාසේකර හිමියන් සිය කවියෙහිදී පෙම කෙරෙහිද ආශක්ත වෙයි. එහෙත් ඒ ආශක්තවීම තුළින්ද උන්වහන්සේ උත්සාහ දරනුනේ ජීවිතයේ ගැඹුරු පත්ල ස්පර්ෂ කරන්නටය. ආයාචනා නම් කවිය මේ සඳහා හොඳ උදාහරණයකි. කවියට විෂය වන්නෙ සියදිවිනසා ගත් හමුදා සෙබලෙකි. ඔහු විවාහයට එළඹෙනුයේ පෙමක පලයක් ලෙසිනි. එහෙත් ඔහු තම බිරිඳද හැරදමා යයි. අවසන අන් පෙමක් සොයා යන ඔහුගේ දිවිය කෙලවර වනුයේ තොණ්ඩුවකිනි. සියදිවිනසා ගැනීම නිසා ඔහුගේ මිනියට නිල ඇඳුම් අහිමිය. මිනිහ භාරගන්නට වන්නේද බිරිඳටමය. මේ ඇගේ කතාවෙහි කොටසකි. එය මනුෂ්‍යත්වය පිලිබඳ අගනා කියවීමකි.

මියැදුනේ එල්ලිලා හන්දා යුනිෆෝම් ඇන්දුවේ නැතුවට
කොහොමහරි අවසාන කටයුතු කරන්නම් මට තියෙන හැටියට
තාත්තා වීරයෙක් කියලා දැනෙන්නට ඉඩ දෙන්න දරුවට
අනේ අවසර නේද බුදු සර් ටයි කෝට් අන්දන්න මිනියට

තම ශාස්තෘට අවමන් වන අයුරින් ආගම වෙන්දේසි කරනා භික්ෂූව් උත්කර්ෂයට නගනු ලබනා වර්තමානයක නිර්මානශීලී භික්ෂූන් සසුනෙහි හමුවීම පසන් ලකුණකි. ඉදින් අප කවිකාර හිමිනම කවිය අත් නොහැර සිටින්නේ නම් සහ නිරන්තර අභ්‍යාසයෙහි නිරත වන්නේ නම් අපට ඉදිරියේදී සාර්ථක කවියෙකු හමුවනු ඇත. මේ කවි පොතෙහි එන කවි ගණනාවක් ඒ සඳහා සාක්ෂි බව අවසනට සඳහන් කළ යුතුය.

චූලානන්ද සමරනායක

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...