ඉන්දීය බලය සහ අපට කළ හැකි දේ

Share post:

ක්‍රිකට් ලෝක කුසලානයේ නවසීලන්තය සහ ඉන්දියාව අතර පළමු අවසන් පූර්ව තරගය අද පැවැත්වීමට නියමිතයි.
ඒ ඉන්දියාවට වාසනාවන්ත ක්‍රීඩා පිටියක් ලෙස සැලකෙන මුම්බායි හි වන්කඩේ ක්‍රීඩා පිටියේදී.

2011 ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාව ලෝක කුසලානය දිනා ගත්තේත් මේ වන්කඩේ පිටියේදීමයි.
කෙසේ වෙතත් මෙම තරගය මේ වනවිටත් සමස්ත ක්‍රිකට් ලෝකයම ගිණියම් කළ මාතෘකාවක් බවට පත් වෙලා.
ඒ සත්කාරක ඉන්දියාව විසින් සිය බලය යොදමින් සිදු කළ බලහත්කාරී ක්‍රියාවක් නිසා.

තරගයට දිනක් තිබිය දී, ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ තනතිරූව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් වෙනස් කරලා.
ලෝක කුසලානය ආරම්භයේ පැවැති කාල සටහන අනුව, මෙම තරගය ක්‍රීඩා කිරීමට නියමිතව තිබුනේ වන්කඩේ නොම්මර 7 තනතීරුවේදීයි.
නොම්මර 7 තනතීරුව, මෙතෙක් භාවිතා නොකළ නැවුම් තනතීරුවක්.

එය එක් කණ්ඩායමකට අමතර වාසියක් එක් නොකරනා, සාපේක්ෂව සාධාරණව හැසිරීමට තිබූ තනතීරුවක්.
කෙසේ වෙතත් ඉන්දීය නායක රෝහිත් ෂර්මා, පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් ඇතුලු පිරිස ඊයේ දිනයේ වන්කඩේ තනතීරු පරීක්ෂාවක් සිදු කළා.
ඉන්පසුව තරගය වන්කඩේ නොම්මර හය තනතීරුවේ ක්‍රීඩා කරන බව සංවිධායකයන් දැනුම් දී තිබුණා.
නොම්මර හය තනතීරුව තරගාවලියේ මේතාක් දුරට දෙවරක් භාවිතා කළ තනතීරුවක්.
එය කඩොතුලු සහිත තනතීරුවක්.

ඉන්දියාව නොම්මර හය තනතීරුව භාවිතා කරන්නේ ඔවුන්ට එමගින් හිමි වන වාසි දෙකක් නිසයි.
පළමුවැන්න, මේ තනතීරුව දග පන්දු යවන්නන්ට උචිතයි. ඒ හේතුවෙන් මේ තනතීරුව ඉන්දියාවට වාසිදායකයි.
දෙවැන්න, මේ තනතීරුව මන්දගාමීයි. ඉපිලීමෙන් අඩුයි.

නවසීලන්ත පිතිකරුවන් උසින් වැඩියි. ඉපිලීම අඩු තනතීරුවක ඔවුන්ට පන්දුවට පහර දීම අසීරුයි.
ඒ අර්ථයෙන් ද නොම්මර හය තනතීරුව ඉන්දියාවට වාසිදායකයි.
අවසන් පූර්ව තරගයට භාවිතා කරන තනතීරුව වෙනස් කිරීම සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අයි.සී.සී යෙන් අවසර ලබා ගැනීමට තබා, ඔවුන් දැනුවත් කිරීමක් හෝ සිදු කර නැහැ.

වර්තමානයේ අයි.සී.සී ය යනු සිය ක්‍රිකට් ආයතනයේම ශාඛාවක් නිසා, අයි.සී.සී ය දැනුවත් කිරීමට අවශ්‍ය නොවන බව ඔවුන් හිතන්නට ඇති.
තනතීරු සම්බන්ධයෙන් සත්කාරක ඉන්දියාව සමග කටයුතු කිරීමට අයි.සී.සී ය විසින් පත් කළ නිළධාරියාට, තරගාවලිය පුරාවටම සිය රාජකාරි කටයුතු අධීක්ෂණයට ඉන්දියාව ඉඩ ලබා දී නැති බවත් දැන් හෙළිවෙලා.
එනම් ඔහුගේ නිල බලය කඩදාසියට සීමා වූ එකක් පමණයි.

තරගාවලිය පුරාවටම තනතීරු සකස් කිරීමත්, තෝරා ගැනීමත් සිදු කරඇත්තේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවශ්‍යතාවය අනුවයි.
සෑම ලෝක කුසලානයකටම පෙර තරග කාලසටහනක් සකස් කරනවා.

සෑම තරගයක්ම ක්‍රීඩා කරන පිටිය, තනතීරුව සියල්ල එම සැලසුමේ අන්තර්ගත කරනවා.
සත්කාරක රට විසින් ලෝක කුසලානය පැවැත්විය යුත්තේ එම සැලසුමට අනුකූලව පමණයි.
එම අයි.සී.සී නීතිය කඩ කිරීම, ඕනෑම රටක සාමාජිකත්වය අහෝසි කිරීමට පවා හේතු වන දරුණු වරදක්.
කෙසේ වෙතත් 2023 ක්‍රිකට් ලෝක කුසලානයේ සැලසුමට අනුව පවත්වා ඇත්තේ, එංගලන්තය සහ නවසීලන්තය අතර වූ ආරම්භක තරගය පමණයි.
ඉතිරි තරග සියල්ලම පවත්වා ඇත්තේ පෙර සැලසුම කඩ කරමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවශ්‍යතාවය අනුවයි.
නමුත් අයි.සී.සී ය විසින් ඒ පිළිබඳ අවම වශයෙන් ලිපියක් හෝ ඉන්දියාවට යොමු කිරීමට කටයුතු කර නැහැ.

මෙය එතරම් පුදුමයට පත් වීමට තරම් දෙයක් නොවෙයි.
වර්තමානයේ අයි.සී.සී ය යනු නාමමාත්‍රික සංවිධානයක් පමණයි.
එහි ලබාගන්නා සියලූම තීරණ සහ බලයන් කේන්ද්‍ර වී ඇත්තේ ඉන්දියාවට.
මුදල් බලයෙන් සහ ව්‍යවස්ථාපිත නීතියෙන්ම අයි.සී.සී ය ඉන්දියාවට අයිතියි.

නවසීලන්ත, එංගලන්ත සහ ඕස්ට්‍රේලියානු මාධ්‍ය හදිසියේම නින්දෙන් ඇහැරුනා සේ මේ තනතීරු වෙනස් කිරීම පිළිබඳ කතා කළත්, ඉන්දියාවේ ඒ බලය පිළිබඳ ඔවුන් දැන සිටියා.

ක්‍රිකට් ක්‍රීඩාවේ දී ඉන්දීය බලයට අභියෝග කිරීමට ඔවුන් අසමත්.
අයි.සී.සී ය විසින් මෙවර ලෝක කුසලානය සංවිධානය කෙරෙන්නේම ඉන්දියාව ජයග්‍රහණය කිරීමට බව රහසක් නොවෙයි.
ඒ සඳහා ඔවුන් ඔවුන්ට කළ හැකි සියල්ල කරනවා.

තනතීරුවේ සිට, විනිසුරු තීරණ, තෙවන විනිසුරු දක්වා වන සියල්ලම ඔවුන්ට වාසිදායක ලෙස භාවිතා කරනවා.
මෙවර ලෝක කුසලානයේ ඉන්දියාවට එරෙහිව සර්ව සාධාරණ තරගයක් බලාපොරොත්තු වීම අඥාන ක්‍රියාවක්.
ඉන්දියාව පිටියට එන්නේම ඔවුන් වෙනුවෙන් සකස් කළ, ඔවුන්ට වාසිදායක භුමියකට.
පිටිය තුලත් ඔවුන්ට වාසිදායක ලෙස සියල්ල සකස් කෙරෙනවා.
ඒ බව ලෝකයත් දන්නවා.

නමුත් කිසිවෙකුටත් එය නැවැත්වීමට කළ හැක්කක් නැහැ.
වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවේ ඉන්දීය ආධිපත්‍ය එතරම් බලවත්.
නමුත් වඩා වැදගත් වන්නේ 2023 ලෝක කුසලානය ඉතිහාසයේ ලියැවෙද්දී, ලියැවෙන කෝනයයි.
එය වෙනස් කිරීමට ලොව පුරා සිටිනා ක්‍රිකට් රසිකයන්ට සහ මාධ්‍යයට හැකියි.

ඉන්දීය මාධ්‍ය අඛ්‍යානයෙන් 2023 ලෝක කුසලානය ඉතිහාසයේ ලිවීමට ඉඩ නොතබා, භූමියේ සත්‍ය ඒ අයුරින්ම ඉතිහාසයේ ලියැවීම වැදගත්.
ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ලෙස 2023 ලෝක කුසලානය කෙරෙහි අපට කළ හැකි විශාලතම සහ වැදගත්ම බලපෑම එයයි.

ඉරේෂාන් සිරිවර්ධන (fb)

2013 – 11 – 15

Related articles

පාර්ලිමේන්තු ඉතිහාසයට නව පිටුවක් – කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස දිවුරුම් දෙති !

හෙට (21) ආරම්භ වන දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩි ම මන්ත්‍රීවරියන් පිරිසක් දිවුරුම් දීමට නියමිත...

ජුලම්පිටියෙ අමරෙගේ මරණ දඬුවම අභියාචනාධිකරණයෙන් ස්ථිර කරයි – මහ මොළකරුවන් නිදොස් කොට නිදහස් ද?

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ...

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ කළමනාකරණ කුසලතා සංවර්ධන වැඩසටහන දියත් කරයි !

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ එක් වී පිරිනමන නවතම අධ්‍යාපන වැඩසටහන වන කළමනාකරණ කුසලතා සංවර්ධන...

දුර්ගා යන්නම ගිහින්! Uma Dasgupta (1940-2024)

සත්‍යජිත් රායි අධ්‍යක්ෂණය කළ Pather Panchali චිත්‍රපටයේ අපට හමුවන සුවිශේෂී ස්ත්‍රී චරිතයක් දුර්ගා. දුර්ගා යනු මෙහි ප්‍රධාන චරිතය...