රම්සි අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීමෙන් පොලිසිය නීතිය ආයුධයක් ලෙස යොදාගෙන : ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැඩි තීන්දුවක් !

Share post:

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු සහ දේශපාලන විචාරකයෙකු වන රම්සි රාසික් හෙවත් මොහොමඩ් රාසික් මොහොමඩ් රම්සි අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම මගින් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය අද (14) තීන්දු කළේය.

2020 අප්‍රේල් 09 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අධිකරණ වෛද්‍ය විද්‍යාගාර හා පුහුණු ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සේනාරත්නගේ වාර්තාවක් සමඟ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.

එම වාර්තාවෙන් ඔහු දණ්ඩ නීති සංග්‍රහය, සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) සහ පරිගණක අපරාධ පනත යටතේ වැරදි සිදු කර ඇති බවට චෝදනා එල්ල කර තිබිණි. ෆේස්බුක් සටහනක් මගින් ඔහු මෙම වැරදි සිදුකර ඇති බව සඳහන් කෙරිණි.

එම තීන්දුවේ මෙසේ සඳහන් ය.

‘අවාසනාවකට මෙන්, ප්‍රමාණවත් හේතුවක් නොමැතිව සහ ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන අයුරින් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අයදුම්පත් බාරගැනීමේ සාමාන්‍ය ස්ථානයක් බවට මේ අධිකරණය පත්ව ඇත. එවැනි අත්අඩංගුවට ගැනීම් බොහෝ විට නීතියට පටහැනි රඳවා තබාගැනීමේ කාල සීමාවන් අනුගමනය කරයි. මෙවැනි නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම් බොහොමයක් හොඳින් සලකා බැලීමේදී ඒවා පොලිස් නිලධාරීන්ට අභිමතය පරිදි බලය ක්‍රියාත්මක කිරීමට අවසර දී නොමැති අවස්ථා බවත්, එලෙස  ක්‍රියාකිරීමට බලධාරී පුද්ගලයන් විසින් ඒත්තු ගන්වා ඇති බවත් අනාවරණය වේ.’

ඇප ලබානොදී ඔහු මාස 5කට වැඩි කාලයක් රඳවාගෙන සිටියේය. අවසානයේ දී ඔහු ඇප ලබාගත්තේ මහාධිකරණයෙනි. අත්අඩංගුවට ගැනීමෙන් වසර 03කට පසු  කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය රම්සි රාසික් ICCPR පනත යටතේ පවරා ඇති නඩුවකින් නිදහස් කරන ලද්දේ ඔහුට විරුද්ධ චෝදනා සනාථ කර නොමැති බව දක්වමිනි.

නමුත් මූලික අයිතිවාසිකම් නඩුවේදී රජයේ පාර්ශ්වයෙන් තර්ක කළේ ඔහුගේ අදාළ ෆේස්බුක් සටහන වාර්ගික හෝ ආගමික වෛරයක් ඇති කර ඇති අතර, එය අසමගිය සහ ප්‍රචණ්ඩත්වයට තුඩු දිය හැකි බවටත් අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබාගැනීම සාධාරණ බවටත් ය.

විත්ති පාර්ශ්වය මෙහිදී තර්ක කළේ ඔහුගේ ෆේස්බුක් සටහන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) වගන්තිය මගින් සහතික කර ඇති ප්‍රකාශනය ඇතුළුව භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සඳහා ඔහුට ඇති මූලික අයිතිවාසිකමක් බව ය.

නීතිපති පාර්ශ්වයේ තර්ක ප්‍රතික්ෂේප කළ අධිකරණය පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට තීරණය කළේය. රම්සි රාසික්ට වන්දි වශයෙන් මෙම අයදුම්පත්‍රය විභාග කිරීම සඳහා ඔහු දැරූ වියදමත් සමග රුපියල් ලක්ෂ දහයක් රජයෙන් ගෙවන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

මීට සෘජු ව වගකිවයුතු පොලිස් නිලධාරීන් වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක හා අධිකරණ වෝහාරික පුහුණු ඒකකයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක බී.එම්.ඒ.එස්.කේ. සේනාරත්න (පළමු වගඋත්තරකරු) සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව්. තිලකරත්න (දෙවන වගඋත්තරකරු) සිය මුදලින් රුපියල් 30,000 බැගින් ද මාසයක් තුළ ගෙවන ලෙස නඩු තීන්දුවෙන් නියෝග කර තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීම පිටුපස ඉහළ පෙළේ බලධාරීන් සිටින බවට ඇඟවෙන නමුත් පෙත්සම්කරු ඉදිරිපත් කළ සාක්ෂි හිඟකම සහ පළමුවන වගඋත්තරකරු මෙම අත්අඩංඟුවට ගැනීම හුදෙක් තමන්ගේ තීරණයක් බව පවසා සිටීම නිසා එම බලපෑම් පිළිබඳව තීරණයකට ඒමට නොහැකි වූ බව ද නඩු තීන්දුවේ දැක්වේ.

එසේ තිබියදීත් ඉහළ පොලිස් නිලධාරීන් හෝ බලධාරීන් හෝ නිසි නීතිමය ප්‍රතිපාදනයක් නොමැති නම් එවැනි බලපෑම් පොලිස් නිලධාරීන්ට නොකළ යුතු බව අධිකරණය අවධාරණය කරයි.

නීතිඥ රම්සි බචාගේ උපදෙස් මත නීතිඥ නුවන් බෝපගේ සහ නීතිඥ චතුර වෙත්තසිංහ පෙත්සම්කාර රම්සි රාසික් වෙනුවෙන් පෙනීසිටියහ.

නඩු තීන්දුවෙන් උපුටා ගත් එහි නිරීක්ෂණ සහ නියෝගයේ සිංහල පරිවර්තනයක් පහත දැක්වේ.

(උපුටාගැනීම : www.srilankabrief.org)

අධිකරණය විසින් කළ නිරීක්ෂණ

අත්අඩංගුවට ගැනීම, අපරාධ නඩු පැවරීම සහ සැකකරුවෙකු රිමාන්ඩ් භාරයට පත් කිරීම දණ්ඩනීය ස්වභාවයක් ඇති සහ පුද්ගල නිදහසට සෘජුව බලපාන අපරාධ යුක්ති විනිශ්චය ක්‍රියාමාර්ග බව පොලිස් නිලධාරීන් මතක තබා ගත යුතුය. පුද්ගලයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන ආකාරයෙන් එවැනි ක්‍රියාමාර්ග අනුගමනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම, ඔවුන්ගේ අහිමි කළ නොහැකි මූලික අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීම භුක්ති විඳීමට කැමති අනෙකුත් පුද්ගලයින් කෙරෙහි ද දැඩි බලපෑමක් ඇති කළ හැකිය. එබැවින්, එවැනි අපරාධ යුක්තිය පසිඳලීමේ පියවර ස්වාධීනව, වෛෂයිකව, ඉතා ප්‍රවේශමෙන් සහ නීතියෙන් සපයා ඇති ආකාරයට දැඩි ලෙස සිදු කළ යුතුය.

දැකගත හැකි වරදක් කළ බව කියන සැකකරුවෙකු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ මග පෙන්වීමක් හෝ  නීති උපදෙස් ලබා ගැනීමකින් තොරව ස්වයංසිද්ධව තීරණයක් ගැනීමට ඇති තත්ත්වයකදී  අත්අඩංගුවට ගැනීම හෝ නොගැනීම පිළිබඳ තීරණයක් ක්ෂේත‍්‍රයේ දී කඩිනමින් ගත යුතු වූයේ නම්, මෙම අධිකරණයට යම් තරමක ලිහිල් භාවයක් පෙන්විය හැකිය.

අවශ්‍ය නම් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් උපදෙස් ලබාගැනීමට සහ ගරු නීතිපතිවරයාගෙන් නීති උපදෙස් ලබාගැනීමට සලකා බැලීමටත්, ඉන් අනතුරුව අතථ්‍ය පෙත්සම්කරු අත්අඩංගුවට ගන්නේද නැද්ද යන්න පිළිබඳව තීරණය කිරීමටත් 1වන වගඋත්තරකරුට ප්‍රමාණවත් කාලයක් තිබුණි.

1 වන වගඋත්තරකරු නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීමෙන් යුතුව ක්‍රියා කරන නිලධාරියෙකු ලෙස ක්‍රියා කරනවා වෙනුවට දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය, ICCPR පනතේ 3(1) වගන්තිය සහ පරිගණක අපරාධ පනතේ 6(1) වගන්තිය ආයුධ ලෙස යොදාගෙන ක්‍රියා කර ඇත. අථත්‍ය පෙත්සම්කරු ( එනම් රම්සි රසීක්) අත්අඩංගුවට ගෙන ඔහු පොලිස් අත්අඩංගුවේ තබාගෙන මාස 5කුත් සති 1ක් රිමාන්ඩ් භාරයේ තැබීම දඩුවමකට සමාන වේ.

මෙම අධිකරණය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපති දෙපාර්තමේන්තුවට සෘජු ප්‍රවේශයක් ඇති ශ්‍රී ලංකා පොලිසියේ ස්ථාපිත, හොඳින් සංවිධානය වූ, ව්‍යුහගත සහ විශේෂිත දෙපාර්තමේන්තුවක් බව අධිකරණමය අවධානයට ගත යුතුය. එබැවින් 1 වැනි වගඋත්තරකරුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වන රාජ්‍යයේ නීති උපදේශකයින් කිහිප දෙනෙකු වෙත ප්‍රවේශ වීමට අවස්ථාව තිබුණි.

1 වැනි වගඋත්තරකරු මෙම කාරණය සම්බන්ධයෙන් ගොනු කර ඇති දිවුරුම් ප්‍රකාශයේ තමන් ක්‍රියා කළේ තම ඉහළ නිලධාරීන්ගේ උපදෙස් මත බව කියා නැත. ඔහු නීති උපදෙස් ලබාගෙන ක්‍රියා කළ බවක් ද ප්‍රකාශ නොකරයි. එබැවින්, 1 වන වගඋත්තරකරු අතථ්‍ය පෙත්සම්කරුගේ (එනම් රම්සි රසීක්ගේ) මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සඳහා මූලික වගකීම ගත යුතුය. අතථ්‍ය පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ වගකීම 1 වැනි වගඋත්තරකරුගෙන් අවසන් නොවේ, නමුත් එය ආරම්භ වන්නේ අතථ්‍ය පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමේ ඔහුගේ හැසිරීමෙනි.

වඩාත්ම අවාසනාවන්ත ලෙස, ප්‍රමාණවත් හේතුවක් නොමැතිව සහ ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන අයුරින් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අයැදුම්පත් භාර ගැනීම මෙම අධිකරණයට දැන් සාමාන්‍ය ස්ථානයක් වී ඇත. එවැනි අත් අඩංගුවට ගැනීම් බොහෝ විට නීතියට පටහැනි රඳවා තැබීමේ කාල සීමාවන් අනුගමනය කරයි. එවැනි බොහෝ නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් පිළිබඳව සියුම්ව සලකා බැලීමේදී පොලිස් නිලධාරීන්ට ලබා දී ඇති අභිමතය පරිදි අධිකාරිය ක්‍රියාත්මක කිරීමට අවසර නොදී, යම් ආකාරයකට ක්‍රියා කිරීමට බලධාරී පුද්ගලයන් විසින් ඒත්තු ගැන්වූ අවස්ථා අනාවරණය වේ.

මෙම අධිකරණය හමුවේ ඉදිරිපත් කර ඇති සාක්ෂි මගින් බලධාරි ඇතැම් පුද්ගලයන්  මෙම අත්අඩංඟුවට මග පෙන්වූ  බව පෙන්වන තත්වයක් යෝජනා කරයි. නමුත් පෙත්සම්කරු විසින් ඉදිරිපත් කරන ලද සාක්ෂි හිඟකම සහ 1 වන වගඋත්තරකරු විසින් ගන්නා ලද ස්ථාවරය හේතුවෙන් ඒ සඳහා නිශ්චිත සොයා ගැනීමක් සහිත නිගමනයක් වෙත පැමිණිය නොහැක.

පොලිස් නිලධාරීන් වෙත දේශපාලන හා පරිපාලන අධිකාරිය ලබා දෙන හෝ ධුරාවලියේ උසස් තනතුරක් දරන අයගේ වගකීම වන්නේ, එවැනි උපදෙස් ලබා දීමට නීතියෙන් විශේෂයෙන් බලය ලබා දී ඇත්නම් පමණක් මිස  පොලිස් නිලධාරීන්ට, නඩු හෝ පුද්ගල විශේෂිත උපදෙස් ලබා දීමෙන් කොන්දේසි විරහිතව වැළකී සිටීම බව මා නිරීක්ෂණය කළ යුතුය.

පොලිස් නිලධාරීන් වැනි නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට ස්වාධීනව, අපක්ෂපාතීව සහ මධ්‍යස්ථව තම රාජකාරිය කිරීමටත්, නීතියට අනුව ක්‍රියා කිරීමටත්, ඔවුන්ගේම ආවේනික අභිමත අධිකාරිය නීත්‍යානුකූලව ක්‍රියාත්මක කිරීමටත් නිදහස තිබිය යුතුය.

අධිකරණයේ ප්‍රකාශ සහ නියෝග

(i) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1), 13(1), 13(2) සහ 14(1)(a) වගන්ති මගින් සහතික කර ඇති අතථ්‍ය පෙත්සම්කරුගේ ( එනම් රම්සි රසීක්ගේ) මූලික අයිතිවාසිකම් 1 වන වගඋත්තරකරු විසින් උල්ලංඝනය කර ඇති බව ප්‍රකාශ කෙරේ.

(ii) 1 වැනි වගඋත්තරකරු අතථ්‍ය පෙත්සම්කරුගේ ඉහත සඳහන් මූලික අයිතිවාසිකම් කඩ කිරීමේදී, ඔහුගේ කාර්යාලයේ නිලය යටතේ, පොලිස් නිලධාරියෙකු ලෙස සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ලෙස කටයුතු කර ඇත. මේ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වන 2 වන වගඋත්තරකරු සහ රාජ්‍යය, 1 වන වගඋත්තරකරු විසින් අතථ්‍ය පෙත්සම්කරුගේ ඉහත කී මූලික අයිතිවාසිකම්  උල්ලංඝනය කිරීමේ වගකීම භාර ගත යුතුය. රාජ්‍යයේ වගකීම පැන නගින්නේ, උල්ලංඝණය වැළැක්වීම සඳහා රජය විසින් අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව තහවුරු වුවහොත් මිස, තම කාර්යාලයේ බලය භාවිතා කරමින් සිදු කරන ලද සිය සේවකයන්ගේ සියලු ක්‍රියාවන් සඳහා රජය වගකිව යුතු බැවිනි.

(iii) 1 වැනි වගඋත්තරකරු මෙම තීන්දුවෙන් මාසයක් ඇතුළත ඔහුගේ පුද්ගලික අරමුදල් භාවිතා කර රු. 30,000/= අතථ්‍ය පෙත්සම්කරුට ගෙවිය යුතුය.

(iv) 2 වැනි වගඋත්තරකරු විසින් ඔහුගේ පුද්ගලික අරමුදල් භාවිතා කර රු. 30,000/= අතථ්‍ය පෙත්සම්කරුට ගෙවිය යුතුය.

(v) රජය විසින්  රු. මිලියනයක් අතථ්‍ය පෙත්සම්කරුට  ගෙවිය යුතුය.

(vii) 6 වැනි වගඋත්තරකරු විසින් මෙම තීන්දුව නිකුත් කිරීමෙන් මාසයක් ඇතුළත පොලිස්පතිවරයාට මෙම තීන්දුවේ අඩංගු මූලධර්මවල සාරාංශයක් ලබා දිය යුතු අතර, පසුව එය සියලුම පොලිස් නිලධාරීන්ට උපදෙස් ආකාරයෙන් නිකුත් කළ යුතුය. ඒවා පොලිස් නිලධාරීන් දැඩි ලෙස පිළිපැදිය යුතුය.

මෙම ඉල්ලුම් පත්‍රය විභාග කිරීම සඳහා පෙත්සම්කරු විසින් දරන ලද පිරිවැය රජය විසින් පෙත්සම්කරුට ගෙවිය යුතුය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ විසින් සකස්කරන ලද තීන්දුව, නඩුව විභාග කළ බුවනෙක  අලුවිහාරේ සහ ජේ. ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් විසින් ද අනුමත කර තිබේ.

Related articles

කලාගාරය තුළ Boney M සංගීතය ඇසීමට සලස්වමින් පැවති උපාලි ආනන්දගේ “කැළල” (SCAR) චිත්‍ර ප්‍රදර්ශනය

උපාලි ආනන්දගේ “කැළල” (SCAR) චිත්‍ර ප්‍රදර්ශනය ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ මැයි මස 14, 15 සහ 16 තෙදින තුළ පවත්වන...

තිළිණා වීරසිංහගේ ‘මධු සමය අහිමි මංගල්‍ය’යෙන් දශක දෙකකට පසු

ඊයේ (17) තිළිණගෙ හවස, තිළිණා වීරසිංහ සහෝදරීගෙ මධු සමය අහිමි මංගල්‍ය කෘතිය පාදක කරගෙන ඇගේ නිර්මාණාවලිය ගැනම කෙරෙන...

ඔබ පතන හයිකුව – මදුරංගගේ අලුත්ම කවිය

මදුරංගගේ අලුත්ම කවි පොත "මේ ගසට ගල් ගසන්න" දැන් ටික දවසක් වෙනව "විදර්ශන ප්‍රකාශනයක්" ලෙස එළියට ඇවිල්ලා. මැයි...

‘දුමිරියේ ප්‍රේමය’ – 8 A.M. Metro

දුමිරිය කියන්නේ තවදුරටත් මිනිසුන් එහා මෙහා ගෙනයන හුදු ප්‍රවාහන සේවාවක්ම නොවෙි. දුමිරිය යනු නූතනයේ මිනිස් සබඳතා නිර්මාණය කරන...