” ජීවිතයේ ඇත්තේ අපමණක් සැරිසැරුම් පමණ ය. සීමා මායිම් ඇතිව හෝ නැතිව ලෝක ගෝලය පුරා භෞතිකව සැරීම ය.
සීමා මායිම් කිසිවක් නැතිව සිත් අබතුරින් සැරීම ය. ඒ අතර කාලය නම් මායාමය සත්තාව අප වටා ද, අප වසා ද, අප තුළ ද, අප අරමුණුකොට ද සරන්නේ ය. ඉදින් අපි සියල්ලෝ දැන හෝ නොදැන මහා සැරිසරක සරන්නෝ වෙමු.
කොහොමත් සරන එකේ, නොදැනුවත්ව නොව දැනගෙන ම සැරුවාම වඩා හොඳ නොවේද?
එසේ නම්, අනුන්ගේ සැරිසැරුම් කියවීමේත්, තමන්ගේ ම සැරිසැරුම් ලියා තැබීමේත් අරුත එයම වන්නට බැරිද?”
(” මචපුචාරේ අවාරේ ” සැරිසර සටහන් – සනත් බාලසූරිය – කෘතියේ පිටකවරයේ පසුපස සටහන)
මාත් මගේ මිතුරෙකුත් මීට වසර තිස් ගණනකට පෙර එඟතාවකට පැමිණ සිටියේ , වියපත් වූ අනාගත දවසක රැකියාවෙන් විශ්‍රාම ලබා සියලුම වගකීම් බැඳීම් යම් කලකට පසෙකින් තබා ලෝකය පුරා හිපියන් මෙන් සැහැල්ලුවෙන් සරන්නටය. අවාසනාවකි ! ඊනියා සුබ අනාගතයක් ජනතාවට ලඟා කර දෙන්නට පපුවට ගසා ගනිමින් ( අපෙ හාමුදුරුවනේ !) සපථ කළ බයියප්පොච්චි සහ උගේ පරම්පරාවත්, අනුප්‍රාප්තික, මෝඩ, මානසික රෝගී, කාබනික ජඩාධිපතියාත් මගේ සහ මගේ මිතුරාගේ ” හිපි – සැරිසර ” හීනයට ගිනි තැබූහ! උහු තවමත් යහතින් මෙරට ජීවත් වෙති! රටරටවල සංචාරයේ ද යෙදෙති. අපි? නිවෙසත් , සේවා ස්ථානයත් අතර සැරීම වැඩි වශයෙනුත්,ඉඳහිට මළගෙදරක, දානෙ ගෙදරක , මඟහරින්නට ම බැරි මඟුල් ගෙදරක යාමත් හැර , කවර නම් සංචාරයක් ද???
සනත් බාලසූරිය අප හඳුනන්නේ ” ලංකාදීප” පුවත්පතේ මාධ්‍යවේදී සගයෙකු වශයෙනි. දැන් ඔහු වෙසෙනුයේ දුරු රටක ය. අපේ රට ප්‍රතිපත්ති ගරුක මාධ්‍යවේදීන්ට සලකන ආකාරයේ අපූරුව හේතුවෙන් ඔහුට එලෙස රට හැර යන්නට සිදුව ඇත!
මෙම සැරිසර සටහන් කෘතිය පරිච්ඡේද 17කින් සමන්විත ය. කතුවරයා , පාඨකයාගේ අතින් අල්ලාගෙන සැහැල්ලු , එනමුත් , බැරෑරුම් අර්ථවත් සංචාරයක යෙදෙයි. එලෙසම ඔහු සමඟින් මනසින් සංචාරයේ යෙදෙන පාඨක අපව කවදා හෝ නමුත් එවන් අපූර්ව සංචාරයක යෙදෙන්නට පොළඹවනසුළු සොඳුරු බස් වහරක් ඔහු භාවිතා කරයි. අතීත ” පත්තරකාරයෙකු” වුවත් මේ නම් හුදු පත්තර බස’ නොවේ…. !!!
” හිරු කෙමෙන් කෙමෙන් අඳුරු කඳුවළල්ල මුවාවට පල්ලම් බසිද්දී හිමාලය සිඛරවළල්ලේ ඇතිවූ වර්ණ විපර්යාසය අති රමණීය විය. දිදුළන රන්වනක සිට එය කෙමෙන් ගිනිදැල් පැහැයට ද, රඹ පැහැයට ද, පඬු පැහැයට ද හැරෙමින් විස්මිත විසිතුරක් මවාපෑවා ය. මේ මනස්කාන්ත දසුනින් ඔදවැඩුණු රැස්ව සිටි මහ ජනකාය නන්හඬින් ප්‍රීතිගෝෂා කළහ, ඔල්වරසන් දුන්හ, කෑමුර ගෑහ. තවත් පිරිසක් මධුර තානයන්ගෙන් තැන තැන සාමූහික සිලෝ – ස්තෝත්‍ර ගයන්නටත් වන්දනාමාන තාන නඟන්නටත් වූහ.
ඒ අතර යහමින් මධු බඳුන් ද ගැටිණි. මධු මත ඇතැම් මුහුණකින් රූරා වැගිරිණි. දුම්වළලු ඉහළ නැඟිණි. දුම්කොළ සුවඳ හා නැහැපුඩු මත්කරන සිගාර සුවඳ ද සමඟ රහසිගත දුම් සුවඳ ද දසත පැතිරිණි.
ගිනිගෙන දැල්වෙන හිමාලය හිම සිඛර වළල්ල මේ ගව්සියගව් දුර කුඩා කඳුගැටයට ලෝකෝත්තර වන්දනාවේ ද, ලෞකික සුඛාස්වාදයේ ද රළනැඟුම එකවර උදාකර තිබිණි.
” තාම ඉවර නෑ,” දැනමුත්තෝ ජනකායේ අවධානය දසුනේ කූටප්‍රාප්තියෙන් නොගිලිහෙනු වස් කෑගෑහ. තවත් නම් සිදුවන්නට ඇත්තේ මොන ආශ්චර්යයක්දැ යි දැනටමත් දුටු දසුනින් මුසපත්ව සිටි අපි සිතීමු.
මේ සියලු සැණකෙළි මැද හිමගිරිසිඛර වළල්ල මොහොතින් මොහොත වර්ණ වෙනස් කරමින්, අවරෙහි වැටෙන හිරුරැසට සිනා නඟමින් අතිසුන්දර නාටකීය දසුන් මවාපෑවා ය.
හිරු කඳුවළල්ලේ ගිලීයන මොහොත, හිම කිරීට පැළැඳි හිමාලය කඳුමුදුන් මත ලොවේ ඉහළම විස්මකර්ම සිත්තරාටත් සිතුවම්කළ නොහෙන වර්ණාවලියකින් පින්තාරු කළේ ය. ළා රන්වණෙහි සිට තද රතුපැහැය දක්වා වූ එම වර්ණාවලියෙන් දිදුළුණු හිමාලය කඳුපෙළ ඒ දසුන දුටුවකුට දිවි පුරා රැඳෙන මතක සැමැරුමක් ඉතිරිකරන්නට තරම් බලවත් විය.”
( ” මචපුචාරේ අවාරේ ” – 15 පිටුව )
බොහෝ විට අවම නවාතැන් හා සන්නිවේදන පහසුකම් ද සහිතව , ලොකු “සැලසුම් හා ඉදිරි වැඩසටහන්” නොමැතිව තරමක ඉබාගාතේ නිදහස් අයුරකින් සිදුවන මෙම සැරිසර සටහන් අතර, ලෝක ඉතිහාසයේ ඉතා වැදගත් ඓතිහාසික සිදුවීම්වලට අදාළ ස්ථාන හා පුද්ගලයින් පිළිබඳව තොරතුරු ද දක්නට පුළුවන . නමුත් කතුවරයා ඒවා අප වෙත ගෙන එන්නේ අනවශ්‍ය බැරෑරුම් ස්වරයකින් නොවේ .
පියන්කාරගේ බන්දුල ජයවීර
(2023/11/15)