ජාතිවාදය, ආගම, කියන ඝන මීදුම් දුමාරය විනිවිදින්න ළමයින්ගෙ ෆැන්ටසි මෙහෙයුමට පුළුවන්

Share post:

අපට සමහරවිට යථාර්ථය තේරුම් ගන්න යථාර්ථයට ඔබ්බෙන් තියෙන දෙයක් ඕනෙ කරනවා. මෙතනදි තමයි ෆැන්ටසිය වැදගත් වෙන්නෙ. ඒ කියන්නෙ ෆැන්ටසිමය මෙහෙයුමකින් තොරව අපට යථාර්ථයේ ප්‍රබන්ධය දකින්න අමාරුයි. අතිශයින්ම දුෂ්කර තත්ත්ව යටතේ ජීවිතය ගත කරන කෙනෙකුට පවා තමන්ගෙ වර්තමානය සප්‍රාණික කර ගන්න මේ ෆැන්ටසිය ඕනෙ කරනවා. මේකෙන් කියන්නෙ ජීවිතයෙන් පලා යාමක් නෙමේ. යථාර්ථය විනිවිදින්න ෆැන්ටසිය යොදා ගැනීමක්.

දීපා අනප්පරාගේ Djin Patrol on the Purple Line නවකතාව මෙලෙස ෆැන්ටසියේ උපකාරයෙන් ජීවිතයේ යථාර්ථය සමඟ පොරබදන ඉන්දියාවේ මුඩුක්කුවාසී නැතහොත් පැල්පත්වාසී දරුවන්ගේ ලෝකයට එබිකම් කරන ගවේෂණාත්මක ප්‍රබන්ධයක්. මේ නවකතාව මුළා මංසල නමින් මොහාන් ධර්මරත්න සිංහල පාඨක සමාජය වෙතට ගෙනැවිත් තියෙනවා.

මේ නවකතාවෙන් අපට ඉන්දියාවේ සමාජ දේශපාලනික පැතිකඩේ එක්තරා ස්වරූපයක් ගැන කතිකාවක් ගොඩනගා ගන්න පුළුවන්. පොහොසතුන් නිර්මාණය වෙන්න දුප්පතුන් ඕනෙ කරන විදිහ , රාජ්‍ය , නිලධාරීන් , පොලිසිය , මැරයන් මේ ක්‍රියාවලියට දායක වෙන විදිහ , ජාතිවාදය සහ ආගම මේ දුප්පතුන් තව තවත් රැවටීමට පාවිච්චි කරන විදිහ , මේ සියල්ලේ ආධාරයෙන් ඇතැමුන් රන් දොරටු විවෘත කර ගන්න විදිහ මුළා මංසල පාඨකයාට නිරාවරණය කරලා දෙනවා.

මේ කාලකන්නි සමාජ යථාර්ථය පසුගාමී ධනේශ්වර රටවල් බොහොමයකට පොදු තත්ත්වයක්. හැබැයි මුළා මංසලේ ප්‍රබන්ධමය මානය ගොඩනැඟෙන්නෙ මේ කුරිරු සමාජ යථාර්ථය විනිවිදින්න පැල්පත්වාසී දරුවන් තිදෙනෙකු ( ජායි, පරී සහ ෆායිස්) දරන ෆැන්ටසිමය උත්සාහවලින්. විශේෂයෙන් ජායිගෙ රහස් පරීක්ෂක ෆැන්ටසිය නවකතාව පුරාම දකින්න පුළුවන්. ඒවගේම මේ නවකතාවෙ හුගක් තැන්වල යෙදෙන වචනයක් තමයි ඝන මීදුම් දුමාරය . මේ දුමාරය පාරිසරික වගේම සමාජමය අර්ථයකිනුත් කියවන්න පුළුවන්. මේ අනුව ජාතිවාදයයි ආගමයි කියන ඝන මීදුම් දුමාරය මේ මුඩුක්කුවාසීන්ට කවදාවත් සැබෑව දකින්න ඉඩ දෙන්නෙ නෑ. ඒත් ඒ දුමාරය විනිවිදින්න ළමයින්ගෙ ෆැන්ටසි මෙහෙයුමට පුළුවන් .

දීපා අනප්පරා ඉන්දියාවේ අවවරප්‍රසාදිත ළමයින් ගැන ගවේෂණයෙ යෙදෙන මාධ්‍යවේදිනියක්. මේ වගේ කෙනෙක් ප්‍රබන්ධකරණයට ආවහම සිද්ධ වෙන දෙයක් තමයි ප්‍රබන්ධය මරාගෙන තොරතුරුමය ගවේෂණය මතු වීම. ඒත් මේ නවකතාවෙදි කතුවරිය ඒ උගුලට අහු වෙන්නෙ නෑ. ඇය හැමතිස්සෙම ළමයි තුන්දෙනා ⁣යථාර්ථයට වඩා ඉදිරියෙන් තියෙනවා. ඒ හින්දා යථාර්ථයට ඔබ්බෙන් තියෙන ෆැන්ටසියට හැකියාව ලැබෙනවා යථාර්ථයේ ප්‍රබන්ධය විනිවිදින්න. මේ නවකතාවේ සමාජ යථාර්ථය වගේම ෆැන්ටසිමය රිද්මයත් මරා දමන්නෙ නැතුව සිංහලයට පරිවර්තනය කිරීම ගැන මොහාන් ධර්මරත්නට පාඨක ප්‍රණාමය .

උදිත අලහකෝන්

Related articles

‘සිංහල අධ්‍යයන’ හා ‘සිංහල සංස්කෘතික අධ්‍යයනවලින්’කළ හැක්කේ කුමක්ද?

2026 ජනවාරි 8 වනදා කොළඹ විශ්වවිද්‍යාලයේ නව කලාගාරයේ පැවති ‘මහැඳුරු අනඳ අබිමන් උවසර උළෙලේදී’ සසංක පෙරේරා කළ කතාව. ප්‍රවේශය මහාචාර්ය...

“හැම ආගමකම සාමය ගැන පණිවිඩයක් මතුකරගන්න විභවයක් තියනවා”

හිතට කනස්සල්ලක් දැනුනම, ඒ බර තනිව දරාගන්න බැරි වෙද්දි, මිනිස්සු හැමෝම කුමක් හරි දෙයකට ඇබ්බැහි වෙනවා. කෙනෙක් සංගීතයට,...

“ලාංකේය අව්‍යාජත්වයේ ජාතිකවාදී ආලංකාරිකය වෙත ආපසු හැරී බැලීමක්”

ශ්‍රී ලංකාවේ ජාතිකවාදී දේශපාලනය දිවයිනේ පශ්චාත් යටත් විජිත ගමන් පථය හැඩගැස්වීමෙහිලා කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කර ඇත. දශක ගණනාවක...

ජාතියක් අධිනිශ්චය නොවන නිදහසක් මෙවර සැමරුවා

මෙවර නිදහස… මෙවර නිදහස් සැමරුම ගැන කියද්දි මේකත් කියන්න ඕනි. ඒ තමයි යහපාලනයේ යම් මොහොතකදි දැක්කට පස්සේ ජාතිවාදයෙන් නැත්නම්...