‘එයා සිංහයාට බයයි සමන්’ – සමාජ අසාධාරණයන්, ආගමික බෙදුම් රේඛා, බලය හමුවේ යුක්තිය වල්වැදීම විමසුමට ලක්කරන නිර්මාණ සමුච්ඡයක් !

Share post:

මේ ඌව ගුවන් විදුලි සේවයයි. ලසන්ත කවි ලියයි. සාහිත්‍ය සටහන් විසින් උත්කර්ෂයට නංවන ලද සීත කඳුකරයක රතැඟිලි දිගු කර මදහස නංවන තේ දළු
නෙලන ළඳුන් නරඹා සීතල මැකෙන්නට අඩියක් ගසන අදහසින් සයිප්‍රස් තුරු පත් සුවඳ විඳ විඳ සරනා සංචාරකයන් අතර නොරැඳී ලසන්ත රෝජා සොයා යයි. ඇගේ දිවිය ගෙවෙනුයේ ලැයිං යනුවෙන් අප හඳුන්වන පේලි ගෙයකය. ඇගේ බඳ වටා දැවටෙනුයේ පොලිතීන් කඩකි. ඇය රිටක් අතින් ගෙන කූඩය පිටේ බැඳගෙන දෛනික වහල් මෙහෙයට යන්නීය. එහෙත් ඇයට ලෙච්චමීට මෙන් වත්තෙ මහත්තයාට එකටෙක කියන්නට හැකියාවක් නැත. ඔවුන්ගේ ජීවිතය එකම වදයකි. නිසි හිමිකම් නොමැති මේ මලයග කම්කරුවෝ දීර්ඝ කාලයක අසාධාරණකම්හී නිහඬ සාක්ෂි ලෙසම මියෙති. ඒ අතර වතුකරයේ අසිරිය විදැහෙන වෙළඳ දැන්වීමකි. එහි සිටුනයෙ තේ හදනා තේ බෙදනා රෝසා ය. රෝජා කලුය රෝසා රෝස පැහැතිය. රෝජා කම්කරු ස්ත්‍රියකි. රෝසා නිරූපණ කලාවෙහි යෙදෙනා රෝජා වැනිම වාණිජ ලෝකයෙහි ගොදුරකි. අපට මේ දෙදෙනා හමුවනුයේ ලසන්තගේ එයා ඔයාව කොහොම දකින්නද රෝජා නම් කවෙහිදීය.

නැවුම් හැම දල්ලෙම
තඩා අඹරා බෙල්ලම
දමා පෝරණු ගින්නට
මරණ වැඩ අයිති රෝජට

මේ රෝසාගේ කාර්යයයි. ඇය වෙළඳ දැන්වීමෙහි තේ පානය ජනප්‍රිය කරවනු පිණිස වෙළඳ ආයතනයකට අලෙවි වන්නියකි.

කහට පාට හරි හරියට
පුරවා කෝප්ප වීදුරු වලට
උපද්දා ජීව සාරය
බෙදන වැඩ අයිති රෝසට

ලසන්ත මේ වෙනස අතරෙහි ඇති පංති සමානකම අපට සිහිපත් කරවයි. වාණිජකරනයේ අන්ත දරුණු ගොදුර බවට නූතන සමාජය පත්වන විට එහි වැසියන්ගේ ජීවිත නාය යන ආකාරය මේ කවියෙහි ව්‍යංගයෙන් කියවෙයි.

ලසන්තගේ කවි එකතුව සමාජ අසාධාරණයන්, ආගමික බෙදුම් රේඛා, බලය හමුවේ යුක්තිය වල්වදින ආකාර ආදී වශයෙන් විවිධ අංශ විමසුමට ලක් කරනා නිර්මාණ සමුච්ඡයකි. කවියෙහි රිද්මය ගැන වෙසෙසින්ම සැලකිලිමත් වෙමින් රචිත මේ නිර්මාණ තුළ ලසන්ත භාෂා භාවිතයේදී දක්වන සැලකිලිමත්කමද මැනවින් විද්‍යාමානය. ඔහු බොහෝ විට යොදා ගන්නේ සංකේතාත්මක බසකි. එසේම ඔහු විවිධ අවස්ථා, සංකේත එකම කවියක ගෙන එමින් වෙනත් අරුතක් මතු කරන්නට තැත් දරයි. දුම් බටෙන් අහසට නැග්ග නංගී ඒ සඳහා උදාහරණයකි. ඔහු එහිලා විෂය කරගනුයේ නැගණියකගේ වියොවයි. ඒ සංවේගී අවස්ථාව නිරූපණය සඳහා ඔහු විවිධ සංකේත එකට මුහු කරයි.

කඳු පයෝධර නෙරුමක
කළු වලාවක් දැවටෙමින් තිබුණා
පඬු පාට පත් ඉරුවක
උඹේ රුව බොඳ වෙලා තිබුණා

හුදෙකලා ගොඩැල්ලක
මලක් පරවී වැටී තිබුණා
කාල වැහි බිඳ නිසා අහසේ
ලිහිණියෙකු ළය පැලී මැරුණා

වර්තමානයේ ආගම තරම් මිනිසා ආකර්ශණය කරගන්නා එසේම ඔහු නොමග යවනා අන් දෙයක් නැති තරම්ය. ආගම සහ දේශපාලනය සහවාසයේ යෙදෙමින් ජන මනස වල්මත් කරන අතර ජනයාද මෙලොව සැප කෙසේ වෙතත් එලොව සැප හෝ පතා තම නාසය විදින්නට ඉඩ සදති. මේ මිනිස් අහිනක ක්‍රියාකාරකම් හමුවේ ඇතිවන විකෘතිය විෂය කරගන්නා කවියකි දේවතා එළි නිවිණි නම් නිර්මාණය. නිහඬව සුව සදන පරිසරයකට මිනිස් ක්‍රියාකාකම් හමුවේ ඇති වන විපරීත තත්වය ඔහු මෙහිදී අපට ගෙනහැරපායි. වරෙක සුව දෙන වනයකි. පයින් තුරු ගොමුවකි. ඒ අතර එක් තැනෙක බෝ රුකකි. එය කිසිවකු විසින් හෝ වවන ලද්දක් හෝ පූජණීයයි සැලකෙන බෝරුකකට සම්බන්ධයක්ද නැති තුරකි.

දෙකඳු හමුවන තැන
ගිරිකුළු අතර පටු නිම්නෙක
බෝ රුකකි, උපශාන්තය සුපහන් ය

ඉදින් මෙය භක්තිවන්තයන්ගේ ඇස ගැටේ. ඉන්පසුව සිදුවනුයේ සිද්ධි දාමයකි.

දේවතා එළි දුටහ ගම්හු එළිවෙන පැයේ
නැමදුමට නිසිය පුදපෙත් සුදුසුය
ලතන් බෝධීන් වහන්සේ වඳිමුය
එල්වමු කොඩිවැල් දල්වමු පහන් වැට
වට වැට බෝ කොටු විදුලි එලි දල්වමු

ඉන්පසුව එළඹෙනුයේ අවිචාරයේ හෝරාවයි. මේ අවිචාරය අපට නාගරිකව වටහා ගත හැකි හොඳම තැන පොදු ප්‍රවාහන සේවයේ විවිධ රථයන්ය. අහවල් බෝ සමිඳුගේ පිහිට යනුවෙන් ස්ටිකර් අලවා ඇති මේ බොහෝ රියයන්හී සේවය කරන්නන් මෙන්ම එහි හිමිකරුවන් වෙතද නැත්තේම බෝ තුරක් යට දැනෙනා සිසිලයි. ලසන්ත මේ විකෘතිය අපූරුවට සිය කවියට ගොනු කරයි.
නෙළුම් කුළුණට සිරීපාදෙ පේනවාද අම්මේ නම් කවියද ලසන්තගේ කවි අතර කැපී පෙනෙන නිර්මාණයකි. නෙළුම සංකේතවත් කරගෙන ලංකාවෙහි දියත් කරන ලද සූක්ෂම දේශපාලන ව්‍යාපාරයෙහි එක් සංකේතයක් වනුයේ නෙළුම් කුළුණයි. අනෙක නෙළුම් පොකුණයි. නෙළුම් කුළුණෙහි ආර්ථික අවස්ථා, එය නරඹන්නට ඇදෙන මහ සෙනගින් උපද්දාගත හැකි ආදායම් සහ ඒ කුළුණ යොදාගෙන උපද්දාලනු ලබන ආදායම් ගණන් බලමින්, එය උත්කර්ෂයට නංවන්නට කැට තැබූ පඬිවරු දැන් නිහඩය. දේශපාලකයන් රොත්තකගේ ආඩම්බරකාරී පුද්ගලික න්‍යාය පත්‍රයක් වෙනුවෙන් ගත් ණය අපේ කර මතය. ලසන්ත මේ කිසිවක් නොපවසා සිරීපාදය සහ නෙළුම් කුළුන සංකේත ලෙස ගෙන සමාජය විනිවිදියි.

ලිහිණි හෙල ගාව අම්බලම
වාගෙද අවන් හල බමන
මෙතැන පද්මය තනපු
දෙවිගොල්ල ඔක්කොම චීන

ගෙත්තම් පාන තනා නැත
විස්කම් ගෙත්තම් සිද්ධ වී ඇත
මහගිරි දඹ තරණයට
කර්කටක යන්තර සවි කර ඇත

සිවුම් උපහාසයක්ද කවමින් ඔහු සංයමයකින් යුතුව අපේ දේශපාලයන්ගේ තක්කඩිකම් හමුවේ රටක් විදෙස්ග්‍රහණයට නතුවන ආකාරයද මෙහිලා ගෙනහැර පායි. මේ කවිය බොහෝ අර්ථ විග්‍රහයන්ට මග සලසන කදිම නිර්මානයකි.

කවියා විටෙක රටින් බැහැරව යයි. එහිදීද ඔහු අපේ අඳුරු සිත්තමම වෙනත් තන්හිද දකියි. නේපාලයේ කත්මණ්ඩුවට ඇති එක් සම්පතකි. භග්මතී නදිය. ඒ ඉවුරේ දිනකට දවනු ලබනා මල සිරුර සංඛ්‍යාව අති විශාලය. වියලි සමයෙහිදී සිහින් දිය පහරක් බවට හැරෙනා එ නදිය බෙහෙවින් අපිරිසිදු දිය පහරක් බවට පත් කර ඇත්තේ එහිම වැසියන් විසිනි. මේ බග්මතී නදිය එහි උරුමකරුවන් අතින්ම කෙලෙසෙන ආකාරය ලසන්ත විග්‍රහ කරන අයුරයි.

ආදරය යනු කවර නම් දෙයකට හෝ
ඇති අයිතියයි කෙලෙසන්නට වුව
වරදවා සිතුවෝද දන
ඔවුහු පෙරලා දුන්නෝ බොහෝ කැලි කසල බග්මදියට

ඔහු විෂය කරගන්නේ බග්මතී නදිය වුවද ඉන් මතු කෙරෙනා අදහස අන් බොහෝ අංශවලටද පොදු බව අප වටහා ගත යුතුය. මුගටි ප්‍රේමය නම් කවද නූතන ස්පා වත සහ ආර්ථික අගාධය හමුවේ අපේ සමාජයෙහි කාන්තාවන්ගේ ජීවිතවල එක් ඛේදජනක පාර්ශවයක් විවරණය කරයි.

නයි පෙන හතක් මැද
පුක් කළසක හිඳුවා
රැකගත් නා මෙනවියක්
දැන් ස්පා යනවා

ඔහු ඉන්පසු එළඹෙනුයේ වැඩිහිටි පරපුරේ අසමත්බව කෙරෙහිය.

පිය මුචලින්ද පමා විය
යොවුන් නා මෙනවියක මුලා විය
මුගටි පෙම් හබයකින් කැකුළුවිය
සම්බහන විමනකට සින්න විය

මේ ඒ ඉරණමම කෙටි කවකින් ලසන්ත ගෙන හැර පාන ආකාරයයි. ඔහු ඒ කව නම් කරන්නේ ගුණසිංහ පුරයේදි හමුවූ ස්ත්‍රියක් යනුවෙනි.

ආලෝකවත් වෙනව නම් ජීවිතේ
පහන් තිර විතරක්ම විකුණලා
අපි මෙහෙම ඉන්නවද හාමතේ
මහ රෑත් වීදිවල මුළු ගැන්නිලා

ලසන්තගේ කවි එකතුව කියවා හමාර කළ පසුවද සිත කොනහන කිව ගණනාවකින් සමන්විත කෘතියකි. ලසන්ත තම මාධ්‍ය ජීවිතයේ අත්සදැකීම් නිර්මාණ සාහිත්‍යයට ගන්නට දක්වන දක්ෂතාව මේ කාව්‍ය කෘතියෙහි දැකිය හැකිය. ඌව ගුවන් විදුලිය නැති වූවාට කම් නැත. ලසන්ත දිගටම කවි ලිවිය යුතුය.

චූලානන්ද සමරනායක

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...