සමිත යනු ජනප්‍රියත්වය වෙනුවට රංග කාර්‍යයේ අසීරු මාවත තෝරාගත් අයෙකි

Share post:

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සුමංගල ශ්‍රවණාගාරයේ දී (2023.11.03) රංගශිල්පී සමිත සුදීෂ්වර ඇගයීමේ උත්සවය පැවති අතර එය සංවිධානය කර තිබුණේ ඔහුගේ විශ්වවිද්‍යාලීය සගයින් කණ්ඩායමයි. එහි දී සමිතගේ රංගකලා සවරූපය පිළිබඳව මුඛ්‍ය දේශනය පවත්වනු ලැබුවේ අසංක සායක්කාර නාට්‍යවේදියා යි. තම විශ්වවිද්‍යාලීය ජීවිතය තුළ ස්වකීය අංකුර කලා අත්දැකීම් ලද වේදිකාව මතම නැවත තම සගයෙකුගේ කලා කුසලතාව ඇගයීමට පාත්‍රවීම යනු නිදහස් අධ්‍යාපනයෙන් බිහිවූ පුද්ගල ජීවිතයක සමාජ මැදිහත්වීම පිළිබඳ අගයකිරීමක් ලෙසට හඳුනාගත හැකි හරවත් ප්‍රයත්නයකි.
මෙම උත්සවයේ විශේෂත්වයක් ලෙස දැකියහැකි වූයේ එය හුදු ආදී විද්‍යාර්ථී ව්‍යාජ සම්භාෂණයක් නොවී නිර්ව්‍යාජමය යථාර්ථවාදි ස්වරූපයක් ගැනීමයි.මෙම සටහනට හේතු වනුයේ එයයි.

මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර මෙහි දී සමිතගේ සරසවි ජීවිතය සම්බන්ධව කෙටි දෙසුමක් ඉදිරිපත් කළ අතර නාට්‍යවේදී අසංක සායක්කාර ඉදිරිපත් කළ මුඛ්‍ය දේශනයේ දී සමිතගේ වේදිකා නාට්‍ය රංග ප්‍රතිභාව පිළිබඳව අගනා ශාස්ත්‍රීයමය කරුණු දැක්වීමක් සිදුවිය.

එහි දී සමිතට අනපේක්ෂිතව වේදිකාවට ආරාධනා කළ කථිකයා තම දේශනයේ දී මතුකරන තර්කයන්ට සංනිදර්ශනමය රංගන අවස්ථා කීපයක් ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටි අතර එය අපූර්ව ප්‍ර්‍රේක්ෂක අත්දැකීමක් බවට ද පත්විය.

සමිත රංගනයෙන් දායකවූ මුල් වේදිකා නාට්‍යවල සිට මේදක්වා වූ නාට්‍යවල කථිකයා විසින් තෝරාගත් දෙබස් සහිත රංග අවස්ථා එම හිටිවන ඉල්ලීමට අනුව ඉදිරිපත් කිරීමට රංගශිල්පියාට සිදු වූ අතර එය එම කුසලතාපූර්ණ රංගශිල්පියාගේ මතකය විදහාපෑමක් ද විය.

සමිත යනු ජනප්‍රියත්වය වෙනුවට රංග කාර්‍යයේ අසීරු මාවත තෝරාගත් අයෙකි. අප අත්දකින සමාජ ජීවිත විනිවිද දකින නාට්‍ය කලාවක වූ ඔහුගේ රංග කලා ප්‍රවේශය අපට හමුවේ. නිදසුනකට ශ්‍රීමත් සූ මන ආදී නාට්‍යයක ඔහුගේ රංග ප්‍රකාශනය අප මනසේ මේ මොහොතේ පවා රැඳේ. සිය ඇඳිවත පවා වෙන්දේසි කිරීමෙන් පසුව එම චරිතය සියදිවි නසාගනුයේ පහසුවෙන් දිවිනසා ගැනීමේ ආකාරය ඔහුට ඉගැන්වූ ප්‍රධාන පාසලක ඒ සිසු දැරියට සිය ගෞරවය පුදකරමිණි. ඒ ත්‍රිවූර රංග මොහොතේ මතකය පවා තියුණු කම්පනයක අප පිහිටුවා සමාජ සබුද්ධිකත්වයක ඉඟි සපයයි.

මෙහි දී කථික සායක්කාර මතුකළ තවත් කරුණක් වූයේ සමිත නැමති රංගවේදියා නොමැතිනම් අසංක නැමති නාට්‍යවේදියෙක් නොමැති බවයි. එය තම පරම්පරාවේ රංගවේදියෙකුට ලැබිය හැකි මහත් වටිනාකමකි.

ඇකඩමික අධිපති කතිකාවලින් පිටස්තරව සිටින සායක්කාර ආදී තරුණ නාට්‍ය වේදියෙකුගේ ශාස්ත්‍රීයමය ප්‍රවේශය පවා මෙහි දී සියුම්ව විද්‍යාමානවීම වැදගත් කරුණකි. එම තරුණ නාට්‍යශිල්පීන් සමාජ වේදනාව හා සමාජ විරෝධතාව ප්‍රකාශ කිරීම පමණක් නොව තත් විෂය තුළ සැරිසරන දැනුම ගවේෂණමය අඩවිය ද ඉන් හැඳිනිය හැකිවේ.

මෙම සහෘදාත්මක ඇගයීම් ප්‍රයත්නය තුළ හඳුනාගත යුතු දේශපාලනික මානය වනුයේ මීට දශක දෙකකට පමණ ඉහත දී විශ්වවිද්‍යාලීය අධ්‍යාපනය හදාරා සමාජගත වූ මෙම මධ්‍යම පංතියේ සමාජ චින්තනයේ ගුණාත්මක පරිවර්තනය යි. එනම් සමිත වන් ස්වකිය සගයෙක් වීරයෙක්, ආඩම්බරයට කරුණක් ලෙසට හඳුනා ගැනීමයි.එය මේ නිමේෂයට අදාළ වැදගත්ම කරුණයි

සිසිර කුමාර මහගම

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...