පොලිස් කොමිසමේ සභාපති බැසිල් සමග එළිපිට වැඩ : ඉතිහාසය මෙන්න !

Share post:

ස්වාධීන කොමිෂන් සභාවක් වන ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු, හිටපු ඇමති බැසිල් රාජපක්ෂ ලංකාවට පැමිණි අවස්ථාවේ ඔහු පිළිගැනීමට යෑම දැඩි අවධානය යොමු කළ යුතු සිදුවීමක් බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ස්වාධීන කොමිෂන් සභාවක සභාපතිවරයෙකු මෙසේ දේශපාලන පක්ෂයක නියෝජිතයෙකු මෙන්ම යුක්තිය පිළිබඳ අපකීර්තිමත් ක්‍රියාකාරිත්වයක් සහිත පුද්ගලයෙකු සමග සමීප සම්බන්ධකම් පවත්වන බව දැනගැනීමෙන් පසු ජනතාවට තවදුරටත් එම කොමිෂන් සභාවේ තීරණ, ස්වාධීන ලෙස පිළිගත නොහැකි බව ද ඔවුහු අවධාරණය කරති.

බැසිල්ගේ සමීපතමයෙක්

හිටපු පොලිස්පතිවරයෙකු වන චන්ද්‍රා ප්‍රනාන්දු, බැසිල් රාජපක්ෂ ඇමති ධුර දරන කාලවලදී ද විවිධ ලේකම් ධුර දරමින් කටයුතු කළ අයෙකි.

නව පත්කිරීම් නෑ

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වීම ආරම්භ වීමෙන් පසු, ව්‍යවස්ථාදායක සභාව මගින් ස්වාධීන කොමිෂන් සභාවලට අලුතින් සාමාජිකයන් පත්කළ යුතු වේ. එහෙත් මෙතෙක් එම පත්කිරීම් සිදු කර නැත.

එම නිසා තවදුරටත් එම ස්වාධීන කොමිෂන් සභාවල පෙර සාමාජිකයෝ ම අදාළ තනතුරුවල කටයුතු කරති. ඒ අනුව චන්ද්‍රා ප්‍රනාන්දු ද තවදුරටත් ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා වේ.

ආසනයේ නැත !

මෙම සම්බන්ධතාව කොමිෂන් සභාවේ ස්වාධීනත්වයට බලපෑම් කරන ආකාරය පිළිබඳව විමසීමට ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ 0112 166 501 සෘජු දුරකතන අංකයට අවස්ථා ගණනාවකදී ඇමතුම් ගත්තද, ඔහු කාර්‍යාලයේ නොමැති බව දිගින්-දිගටම සඳහන් කෙරිණි.

චන්ද්‍රා ප්‍රනාන්දු කවුද ?

දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් චන්ද්‍රා ප්‍රනාන්දු ද පත්කෙරිණි. එහි ක්‍රියාකාරිත්වය පිළිබඳ බරපතළ චෝදනා රැසක් එල්ල වූ අතර, එමගින් අධිකරණයට සිදු වූ බලපෑම් සම්බන්ධයෙන් ද සංවාදයක් ඇති විය.

චන්ද්‍රා ප්‍රනාන්දු හිටපු පොලිස්පතිවරයෙකි. ඔහු පොලිස්පති වීමට පෙර සිට ම බරපතළ චෝදනා එල්ල වූ අයෙකි. ඔහුට එරෙහිව චෝදනා ඉදිරිපත් කරමින්, ඔහු පොලිස්පති ධුරයට පත්නොකරන ලෙස එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙන් ඉල්ලා සිටියේ පොලිස් පරීක්ෂකවරුන්ගේ සංගමයයි. පොලිස් පරීක්ෂකවරුන්ගේ සංගමය 2004 අගෝස්තු 31 දින ජනාධිපතිනියට යැවූ ලිපියකින් හිටපු පොලිස්පතිවරයාට චෝදනා පහක් ඉදිරිපත් කර තිබිණි.

චෝදනා 5ක්

එයින් පළමු චෝදනාව වූයේ සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස බැඳී, වැටුප් රහිත නිවාඩුවක් වසර හතරක කාලයකට ලබාගෙන, ජපානයට ගොස් වසර පහක කාලයක් එහි රැකියාවක් කොට, නැවත මෙරටට පැමිණ, ඊළඟ ශ්‍රේණියට උසස්වීමක්ද ගෙන, වැටුප් රහිත නිවාඩු කාලයට හිඟ වැටුප් ලබාගැනීම ය.

දෙවැනි චෝදනාව වූයේ 1985 මැයි 05 දා යාපනය කොට්ඨාසය භාර පොලිස් අධිකාරිවරයා වශයෙන් සිටියදී, චන්ද්‍රා ප්‍රනාන්දු යාපනය පොලිසියේ ආරක්ෂාව යටතේ යාපනය අධිකරණයට අයත් නඩු භාණ්ඩ වශයෙන් තිබූ රන් භාණ්ඩ සියල්ල කොල්ලකෑ බව ය.

පැවති කලහකාරී වාතාවරණය මත යාපනය අධිකරණයේ නඩු භාණ්ඩ ලෙස තිබූ රන් ආභරණ ආරක්ෂාව සඳහා පොලිස් ස්ථානයේ සේප්පුවක තබා ඇත්තේ, ඔහු යාපනය කොට්ඨාසය භාර පොලිස් අධිකාරිවරයා ලෙස සේවය කරද්දී බව ද අදාළ ලිපියේ සඳහන් ය. 1985 මැයි 05දා චන්ද්‍රා ප්‍රනාන්දු විසින් තමන්ගේ රියැදුරු වූ පොලිස් සැරයන් රාජරත්නම්ගේ උපකාරය ඇතිව පොරොවකින් පහර දී අදාළ සේප්පුව විවෘත කර ආරක්ෂාව සඳහා යැයි කියමින්, සියලුම රන් ආභරණ සිය භාරයට ගත් බවට චෝදනා එල්ල වී තිබේ.

පොලිස් රියැදුරු රාජරත්නම් පසුව ඝාතනය විය. පසුව මේ පිළිබඳව සහකාර පොලිස් අධිකාරි එච්.එස්. ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණයක් පැවැත්වුණද, ජයසූරිය හා චන්ද්‍රා ප්‍රනාන්දු අතර තිබූ හිතවත්කම මත පරීක්ෂණ යටපත් වූ බව ද පොලිස් පරීක්ෂක සංගමය විසින් යොමුකළ ලිපියේ සඳහන් විය.

න්ද්‍රිකා චෝදනා ඉවත දමයි

මීට අමතරව පොලිස් උසස් අභ්‍යාස ආයතනයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සිටිමින් පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් ලබාදීමේ තරග විභාග අක්‍රමවත් ලෙස හා විනිවිදභාවයකින් තොරව පැවැත්වීම නිසා සුදුසුකම් සහිත නිලධාරීන් රැසකට උසස්වීම් අහිමි වූ බවට ද තවත් චෝදනාවක් එල්ල වී තිබේ. එසේම ඔහු උසස් අභ්‍යාස ආයතනයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටිමින් සුදුසුකම් නොමැති කාන්තා පොලිස් කොස්තාපල්වරියක, කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක ලෙස උසස් කිරීමට බලපෑම් කළේ යැයි ද චෝදනා එල්ල විය.

මේ ආකාරයේ චෝදනා රැසක් අදාළ ලිපියේ සඳහන් වන අතර, ඊට අදාළ සාක්ෂි ද ඇමුණුම්වලට ඇතුළත් කර ඇත. එම නිසා ඔහු පොලිස්පතිවරයා ලෙස පත් නොකරන්නැයි ද පොලිස් පරීක්ෂකවරුන්ගේ සංගමය ඉල්ලා ඇත.

එහෙත් හිටපු ජනාධිපතිනිය විසින් මෙම චෝදනා පිළිබඳ විමර්ශනයකින් තොරව ඔහු පොලිස්පති ධුරයට පත්කෙරිණි.

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...