ගැහැනිය දෙස පුළුල් කාව්‍යයමය බැල්මක්…..

Share post:

රුවනි සිසිජා ඇගේ පළමු කාව්‍යය නිර්මාණ එකතුව ‘වයින් කළ විට ඈ නටන්නී..’ නමින් අප වෙත පිරි නමයි.
The Handmaid’s Tale නවකථාවේ පාඨයක් පාදක කර ගනිමින් සිසිජා සංස්කෘතිය තුළ සිරකර ඇති ගැහැනිය පිළිබද අපූර්ව කවක් නිමවා ඇත.
‘එයා මට තෑගි දුන්නා පෙට්ටියක පියන ඇරියාම ගවුම උඩ දාගෙන නටන කෙල්ලක.ඒ කෙල්ල පෙට්ටියක හිරවෙච්ච කෙනෙක් එයා එළියට එන්නේ කවුරුහරි පියන ඇරියාම එයා නටන්නේ කවුරු හරි වයින් කළාම..’

සිසිජා මෙම උපුටනය පාදක කර ගනිමින් සංස්කෘතික ව්‍යුහයක සිර කර ඇති ගැහැනිය එකී සංස්කෘතික අවශ්‍යතා මත සිය පීඩනය යටපත් කර ලොවක් ඉදිරියේ කදුල යටපත් කර සිනා සලන ආකාරය කාව්‍යාත්මකව නිර්මාණය කරන්නීය.

වයින් බෝනික්කියකි
මා සතු
සිනාසෙනු මිස
අඬනු නොම යුතු

අණ කරන විට
ඈ නටන්නී
මා කියන තුරු නොනවතින්නී..’

ලොව පුරා ගැහැනියගේ ජීවන යතාර්ථය සිසිජා කවියක්ව විදහාලන්නීය..

ගැහැනිය සමාජ හා පවුලේ අවශ්‍යතාවන් අනුව හැඩ ගැස්සවීම ඇගේ ජීවන ක්‍රියාවන් අන් අය විසින් තීරණය කර පාලනය කිරීම කොතරම් වෙහෙස ලදුවද මෙහෙයවන්නාගේ අවශ්‍යතාව මත ක්‍රියා කිරීමට සිදු වීම සහ මෙහෙයවන්නා සතුටු කිරීම ගැහැනිය මුහුණ දෙන සැබෑ ව වයින් කළ බෝනික්කිය හරහා චිත්‍රණය වෙයි.

ඉතාම සියුම් රූපකාර්ථයක් හරහා ඇවසි විට ඇවසි ලෙස ගැහැනිය, බෝනික්කියක ලෙස මෙහෙයවන සංස්කෘතික ක්‍රියාවලිය දෙස දැඩි උත්ප්‍රාසාත්මක දෘෂ්ටියක් හෙළන්නට සිසිජා ගත් වෑයම අපූර්ව කවියක්ව ඇත.

“දැන් ඉතින් ඇති”
අණ ලැබෙන විට
නිසල වී කුටියට
වදින්නී’

‘වයින් බෝනික්කිය
අගේ ඇති
සිනා මිස
ඇඬුමට ඉඩක් නැති..’

සුගම බස් වහරකින්
සීමිත වදන් මාලාවකින් සිසිජා විශාල සංස්කෘතික පරාසයක් විවරණය කරන්නීය.සිසිජාගේ සියුම් ප්‍රතිභාව ඉස්මතු කරමින් මුලු නිර්මාණ සංග්‍රහයම ආලෝකවත් කරන්නට ‘වයින් කළ විට ඈ නටන්නී’ කාව්‍යය සමත්ව ඇත.

‘ජීවනී මං වෙනස් මිනිහෙක්..’ කාව්‍යයද සිසිජාගේ නිර්මාණ අතර අපුර්වත්වයක් දනවයි.
අපූර්ව ධ්වනිතාර්ථ නංවන වාච්‍යාර්ථයන්ද විචිත්‍රවත් ලෙස නිර්මාණය හා මුසුවූ ‘ජීවනී මං වෙනස් මිනිහෙක්’ ග්‍රාමීය පීඩිත පංතියෙන් නාගරික කම්කරුවෙකු ලෙස සංක්‍රමණය වූ තරුණයෙකුගේ ආදර අනුභූතියක් කාව්‍යාත්මකව නිරූපණය කරයි.

මෙම කම්කරුවා ගමින් නගරයට සංක්‍රමණය වීම හා ඔහුගේ ජීවන පීඩනය කිවිදිය
අපූර්ව කාව්‍යාත්මක වදනින් ප්‍රකාශ කරන්නීය.

‘හපුතලේ පීල්ලට
හිස අල්ලා
තුන්මුල්ලේ කාණුවට
ජීවිතේ හිස් කරපු මිනිහෙක්’

‘දොළේ දිය පාර
හිත යට තියන්
කට්ට ලුණු කරදියේ
දිය කෙලපු මිනිහෙක් ‘

‘පාන් කාලක් එක්ක මැක්ඩොනල්ඩ් අනාගෙන ටැප් වතුර අමාවක් මවා ගත් මිනිහෙක්’

‘මරදානේ මහ පාරෙ ගලදාරි යහනාවෙ
වෙනස මොකදැයි
කියා ඇහුවහම
ඔයා ආසම වුණෙත් ඒකට
” ජීවනී මං පුංචි මිනිහෙක්”

නගරයෙදි ඔහු පෙමින් වෙලුනද කලක් යනවිට අගහිග කම් හා පැන නගින නොපෑහෙන ප්‍රතිරෝධතාවන් හමුවේ දෙදෙනා අතර මානව සබදතාව ව්‍යාකූලත්වයට පත්වේ.පෙම්වතිය සමුගැනීමේ සීමාව සලකුණු කරයි.

මුලින් සරුංගල් දෙකක් මෙන් නිදහසේ පාව යන්නට ගිවිස ගත් ඇයට කම්කරු තරුණයා මෙසේ සමුදෙයි.

‘ඔය බරත් එක්ක නම් පාවෙන්න බැරි වේවි අමාරුම නම් ඉතින් නවතින්න…’

‘මට ඕනා හැමදාම පාවෙන්න..’

කම්කරු තරුණයා අපේක්ෂා කරනුයේ ඔහුට උරුම සරල දිවිය නිදහස්ව විද ගැනීමය..එම ජීවිතයට අනුගත විය නොහැකි සිය ආදරවන්තියට ඇය අභිමත ජීවිතයට නික්ම යාමට පෙම්වතා අවසානයේ මානවීයත්වයේ අරුත් ඉස්මතු කරමින් ප්‍රේමනීය ලෙස අවසර දෙයි.

එය වත්මන් නාගරික කම්කරු ප්‍රේමයක ඇතුලාන්තය දෙස මානව දයාවෙන් බැලුම් හෙලීමේ අපූර්ව අනුභූතියක් දනවන කාව්‍යකි..

‘ලිබර්ටි ගස සහ පවර්ටි බස්රිය..’ ‘හීන.. ‘
‘රත්න වල්ලි සීපද..’ ‘පන්ති ‘ යන කාව්‍යයන්ද සිසිජාගේ කාව්‍යාත්මක බස අත් හදා බැලීමේ සහ සියුම් මානවීය පරිකල්පනයක් ගොඩ නැංවීමේ ව්‍යායාමයෙහි සාර්ථකත්වයක් අත් පත් කරගත් කාව්‍යය ලෙස දැක්විය හැකිය.

තව දුරටත් අභ්‍යාසයෙහි යෙදෙමින් කාව්‍යය පිළිබද සියුම් හැදෑරීමක් ඔස්සේ ගැඹුරු අනුභූතීන් ස්පර්ශ කරමින් කාව්‍යකරණයේ ඉදිරියට පිය මනින්නට රුවනි සිසිජාට මගේ සහෝදරාත්මක සුභාශිංසන පිරි නමමි.

තිලිනා වීරසිංහ

Related articles

ඔහු නමින් දෙනගම සිරිවර්ධන වේ

ලාංකේය කවියේ සාහිත්‍යයේ මානවවාදයේ අභ්‍යාසවෘද්ධ විශිෂ්ට මිනිසා….. "උදෑසන අරුණැල්ල හිමි හිමින් එයි ගලාපැණි කුරුල්ලෝ හඬති පාළු ගේ බල බලාසිඟිති...

භාරතය නොහැඬවූ ‘ක්‍රිකට් දියණියෝ’

මුම්බායි නගරයේ ඩී.වයි පාටිල් ක්‍රීඩාගංණයට රැස්ව සිටි දහස් සංඛ්‍යාත ඉන්දියානු ප්‍රේක්ෂකයන්ට නිම්හිම් නැති ආශ්වාදයක් එක්කරමින්, ඊයේ ඉන්දියානු කාන්තා...

කියුබාවේ හිටපු ආර්ථික ඇමතිට මූල්‍ය අපරාධ චෝදනා

කියුබාවේ හිටපු ආර්ථික කටයුතු පිළිබඳ ඇමතිවරයාට සහ එවකට රජයේ තනතුර දැරූ පුද්ගලයන් කිහිපදෙනෙක්ට එරෙහිව මූල්‍ය අපරාධ සහ රාජ්‍ය...

ජීවන වියදමෙන් කප් ගහන ලංකාවේ මීළඟ බලාපොරොත්තුව!

ජීවන වියදම අධිකම දකුණු ආසියානු රටවල් අතරේ දෙවැනි තැන ඉන්නේ ශ්‍රී ලංකාව කියලා Numbeo වෙබ් අඩවියේ වාර්තාවක් පහුගිය...