භාරතය නොහැඬවූ ‘ක්‍රිකට් දියණියෝ’

Share post:

මුම්බායි නගරයේ ඩී.වයි පාටිල් ක්‍රීඩාගංණයට රැස්ව සිටි දහස් සංඛ්‍යාත ඉන්දියානු ප්‍රේක්ෂකයන්ට නිම්හිම් නැති ආශ්වාදයක් එක්කරමින්, ඊයේ ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සිය මංගල එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කරන්නට සමත්විය.

ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කරමින් ලබාගත් මේ ජය අමරණීය එකක් වන්නේ, එක් පැත්තකින් ආසියාතික රටක් කාන්තා එක්දින ලෝක කුසලානය දිනාගත් ප්‍රථම අවස්ථාව මෙය වන නිසා මෙන්ම, දශක ගණනක් තිස්සේ රටවල් තුනක් අතට හුවමාරුවෙමින් තිබුණු කාන්තා ක්‍රිකට් ආධීපත්‍ය ඉන්දියාව සිය දෝතට ගන්නට සමත්වීමත් සනිටුහන් කරන නිසාවෙන්ය.

2023 පිරිමි එක්දින ලෝක කුසලාන අවසන් මහා තරඟයට පැය කිහිපයක් ඉතිරිව තිබියදී අවසන් මහා තරඟයේ ඔස්ට්‍රේලියාවට එරෙහිව තරඟ බිමට බසින්නට සිටි ඉන්දියාව සිටියේ පුදුමාකාර ජයග්‍රාහී මානසිකත්වයක ය. ඒත් තරඟයට පෙර පැවැත්වුණු මාධ්‍ය සාකච්ඡාවේදී ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් කිව්වේ තමන්ගේ බලාපොරොත්තුව ලක්ෂ ගණනක් ඉන්දියානුවන්ගේ හඬ නිහඬ කිරීම බවය.

ඒ වචන ක්‍රියාවට නංවමින් 2023 ලෝක කුසලාන අවසන් මහා තරඟය ඔස්ට්‍රේලියාව ජයගත්තේ භාරතීය හදවත් වේදනාවෙන් දවාලමින් ය. 2024 විස්සයි විස්ස ලෝක කුලසානය දිනාගන්නට ඉන්දියාව සමත්වූවත් එක්දින ලෝක කුසලානය අහිමිවීමේ වේදනාව නිමා කරගන්නට ඉන්දියාවට නොහැකි විය.

එවැනි වටපිටාවක ඉන්දියානු භූමියට පැමිණි කාන්තා එක්දින ලෝක කුසලානය, එකී වේදනාව සමනය කරගන්නට ඉතාම හොඳ අවස්ථාවක් ලෙස ඉන්දියානු ක්‍රිකට් පරිපාලනය හිතන්නට ඇත. නැවතත් පිරිමි එක්දින ලෝක කුසලානයක් පැවැත්වෙන්නේ 2027 දී නිසා ඊට වසර දෙකකට කලින් පැවැත්වෙන කාන්තා ලෝක කුසලානය ඉන්දියන් ක්‍රිකට් හීනයේ ඉලක්කය වූ බවට සැකයක් නැත.

ඒ වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරන්නට ඉන්දියන් ක්‍රිකට් පරිපාලනය කටයුතු කරනු ලැබීය. ඇතැම් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන්ට කණ්ඩායමේ පමණක් නොව සංචිතයේදී ස්ථාන අහිමිවූහ. ඒ නිසාම විවිධ විවේචන සහ පීඩනද එල්ලවුණි. නමුත් නවක ක්‍රීඩිකාවන් ගණනාවකටම සංචිතයේ ඉඩකඩ වෙන්වුණි. එහි ප්‍රතිඵලය වූයේ 2025 කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරඟයේ දී තරඟයේ විශිෂ්ටතම ක්‍රීඩිකාව ලෙස නම් කරන්නේ 21 හැවිරිදි ශෆාලි වර්මා ය. ඒ නිසා ඒ කැප කිරීම්වලට නියම ප්‍රතිඵල ඉන්දියාවට ලැබී ඇත.

අනිත් පැත්තෙන් ඉන්දියානු කාන්තා කණ්ඩායමට අවශ්‍ය අනුග්‍රාහකයින්, අවශ්‍ය පුහුණුව වගේම වැඩි වැඩියෙන් තරඟ අවස්ථාද ලබාදුනි. ඊටත් වඩා ක්‍රීඩිකාවන්ට අවශ්‍ය ධනාත්මක මාධ්‍ය මැදිහත්වීම් සහ ප්‍රේක්ෂක සහය ලබාදෙන්නට අවශ්‍ය පිඹුරුපත් නිසි ලෙස ක්‍රියාත්මක විය.

2007 ඉන්දියානු කාන්තා කණ්ඩායම ලෝක කුසලාන අවසන් තරගයේදී ඔස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත්විය. එසේම 2017දි එංගලන්තය හමුවේ තියුණු තරඟයකින් පසුව පරාජයට පත්විය. එහෙත් 2025දි සිය මව්බිමේදී ජයග්‍රහණය ගිලිහෙන්නට ඔවුන් ඉඩදුන්නේ නැත. දකුණු අප්‍රිකාවට තවත් වතාවක් ලෝක කුසලාන ශාපයට මුහුණ දෙන්නට විය.

කිව යුත්තේ ඉන්දියානු කාන්තා කණ්ඩායම මේ ලබාගත් ජයග්‍රහණය මුදල් මත හෝ වෙනත් කාරණා මත ලැබූවකටත් වඩා, සැබෑ ලෙසම නියම දක්ෂතා සහ නිවැරදි තීරණ මත ක්‍රියාත්මක වූ විශාල දිගු කාලීන සැලැස්මක් යටතේ ලබාගත් නියම ජයග්‍රහණයක් බවය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට වගේම ක්‍රිකට් පරිපාලනයටත් මේ ජයග්‍රහණයෙන් ඉගනගන්නට බොහෝ දේවල් තිබේ. තනි අශ්වයින්ට තරඟ දිනවිය හැකිමුත්, ලෝක කුසලාන ජයග්‍රහණය කිරීමේ හැකියාවක් නැත. චමරි මත යැපීමෙන් පමණක්ම ජයග්‍රහණ සොයා යාම ඇයට මෙන්ම කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවටම පොදුවේ කරනු ලබන හානියකි.

ඒ නිසා භාරතයට ක්‍රිකට් කිරුළ රැගෙන ආ අභීත දියණියන්ගේ ආභාශය ගන්නට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දියණියෝ පසුබට විය යුතු නැත. එකම දේ ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස් කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් තාත්තලාට-අම්මලාට විශාල වගකීමක් ඇත. එය අමතක කළ යුතු නැත.

ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර

Related articles

දේශබන්දුගේ තීන්දුව නීතියට පටහැනියි – කොළඹ මහාධිකරණයෙන් තීන්දුවක් !

2022 මැයි 09 වන දින ගාලු මුවදොර ගෝඨාගෝගම අරගලය භූමියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එවකට බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ...

බුකියේ කතා කරන ජගා ගේ නැටුම් (ජගත් ජයසුන්දර)

මේ දින වල ජගත් ජයසුන්දරගේ ජව සම්පන්න නර්තනය ගැන නර්තනය ශිල්පීන් , වගේම තව එක එක්කෙනා කතා බහට...

මහවැලි ඉවුර – අඹන් ගඟ ආපදාවෙන් යළි නැඟිටියි !

‘මහවැලි මහ නදිය වෙන අතක හැරී ගලා බසී. මහවැලි ගඟ මහවේතැන්නේදී උතුරා යෑම නිසා වෙනත් මාර්ගයක් ඔස්සේ ගලාබසින්නට පටන්ගෙන...

අවසන් ගමන යන තැනත් – ජීවිත ගොඩනගන තැනක් !

කොත්මලේ ජලාශයේ බැම්ම පුපුරාගොස් ඇති බවට ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය. තවත් තැනක දැක්වුණේ බැම්ම බරපතළ අනතුරක තිබෙන...