ලාංකේය කවියේ සාහිත්‍යයේ මානවවාදයේ අභ්‍යාසවෘද්ධ විශිෂ්ට මිනිසා…..
“උදෑසන අරුණැල්ල හිමි හිමින් එයි ගලා
පැණි කුරුල්ලෝ හඬති පාළු ගේ බල බලා
සිඟිති සුරතල් දෑත ඒවි දැයි බල බලා
ගොපලු ගේ කරත්තේ තිබෙයි ගෙයි තනි වෙලා”
ඔහු එසේ ලීවේය. දශක අටක් යනු පරම්පරා ගණනක් ය. ස්වකීය ජීවිතයෙන් බොහෝ කාලයකි. ජීවිතයේ අත්විඳීම් සහ අත්දැකීම් පරිචය බොහොමයක් ඔහු ලබා ගත්තේය. ඇසුරු කළ මිනිසුන්,පත පොත මේ සියල්ල ඔහු ගොඩනැගීම පිණිස බොහෝ හේතු වීය.
ඔහුගේ සාහිත්‍ය ගමන් මගත් දේශපාලනික ප්‍රවාහයන් මෙන්ම මාධ්‍යවේදියෙකු ගේ භූමිකාවන් එකකට එකක් නොදෙවෙනි ය.
ඔහු පිරුණු, නිහඩ ,ඇත්ත මිනිසෙකිය.
මෙවර වියමන මා වියන්නේ මේ සුවිශේෂ මිනිසා වෙනුවෙනිය.
ඔහු නමින් දෙනගම සිරිවර්ධන වේ.
දෙනගම ශ්‍රේෂ්ඨ ගුරුවරයෙකි. අග්‍රගණ්‍ය මාධ්‍යවේදියෙකි. අධ්‍යාපනඥයෙකු, නවකතා, කෙටිකතාකරුවකු, යෞවන හා ළමා සාහිත්‍ය නිර්මාපකයෙකු වන්නේ ය. ඒ සියල්ලටත් වඩා විරල ගණයේ මානවවාදියෙකි.
ඒ විවිධ විචිත්‍ර භූමිකා සියල්ලෙහි මූලය පැවැත්තේ ඔහුගේ කවීත්වයෙහි ය.
හැටේ දශකයේ අග භාගයේ පටන් ම ඔහුගේ කවීත්වය සිය මානව හිතවාදී මෙහෙවරට සැදී පැහැදී සිටියේය.
කවියේ පරිණත බව නිසා ඔහුගේ නිර්මාණශීලීත්වයේ විශද බව අනෙකුත් ශානරයන් පුරා පැවැතුණේය.ඒ සියල්ලෙහි රැඳී ඇත්තේ අපූරු රිද්මයකි.
ඔහුගේ භාෂා භාවිතය.නිරවුල් බව .සන්දර්භයේ ඇති සාරයන් හි වටිනාකම් අපමණය.ඔහුගේ ගීතමය ආඛ්‍යාන රීතිය පාඨක ඇඳබැඳ තබාගනී. මේ ශක්‍යතාව ඔහුගේ මෙන්ම රටේද භාග්‍යය වීය.
“මගෙ තාත්තා එම්.ජී.ඩී.එන්. ජිනදාස. ඔහු ගොවියෙක්. මගේ තාත්තා පැරණි සාහිත්‍යය රස වින්ද කෙනෙක් වගේම ඔහු නිතරම සැලළිහිණයෙ, ගුත්තියෙ කවි ගැයුවා.
මේ නිසා අපිත් පොඩි කාලේ ඉඳලම ඒවා රස වින්දා. මගෙ අම්මා කරුණාවති හෙට්ටිආරච්චි.
මම මුලින්ම කවියක් ලියන්නේ 1956දී. ඒත් මගේ පන්ති භාර ගුරුවරයා මගෙ කවියත් මාවත් නිගරුවට ලක් කරනවා.
මම හක්මන මෙතෝදිස්ත විද්‍යාලයට මාරු වෙනවා. එතැනදි මට ලියන්න ආසාව ඇති වෙනවා. ඒ විදුහල්පතිතුමා සාහිත්‍යයට කැමැති කෙනෙක්. එහෙදි මම මුලින්ම බිත්ති පුවත්පතට ලියනවා.
ඉන් පසුව, දවස නිවෙසෙන් පළ වූ ‘ගීතාංජලී’ කවි සඟරාවට ලියමින් ඇරඹුණ මගේ ලිවීම දිවයිනේ විවිධ පුවත්පත් සඟරා ඔස්සේ දිගු ගමනක් එනවා. එහෙම ආව මම තමයි අද වන විට පොත් 202ක් ලියා තිබෙන්නේ.
1988 වසරේ උපාලි පුවත්පත් ආයතනයේ ‘විදුසර’ පුවත්පතේ උපකතුවරයකු ලෙස කටයුතු කරනවා. ඉන් කාලයකට පසුව ලේක්හවුසියෙන් නිකුත් වූ ‘මහවැලි දියවර’ පුවතපතේ නියෝජ්‍ය කර්තෘ ලෙස පත් වනවා. ඉන් පස්සේ තමයි මම ‘සිළුමිණ’ පුවත්පතට එක් වන්නේ.
ඒ 1996 කාලේ. එවකට කර්තෘවරයා වූයේ සුජීව දිසානායක මහතා. ඔහුගේ කාලේ තමයි ‘පාලම’ විශේෂාංගය පටන් ගත්තේ. සිංහල, දෙමළ, මුස්ලිම් සාහිත්‍යකරුවන්ගේ නිර්මාණ මඟින් ජාතික සමඟියක් ඇති කරන්නයි ඒක පටන් ගත්තේ. එකල ධර්මසිරි ගමගේ මහතා කළ රසඳුන අතිරේකයට ලංකාවේ සිටි දක්ෂ, ප්‍රවීණ ලේඛකයන්, කවියන්, කලාකරුවන් ගැන ලිපි පෙළක් ලියන්න අවස්ථාව ලැබුණා.
ඒ වගේම ‘ආලෝකෝ උදපාදි’ නමින් ලිපි පෙළක් ලියන්නත් තිලකරත්න කුරුවිට බණ්ඩාරයන්ගේ කාලයේ මට අවස්ථාව ලැබුණා. කඳුබොඩ භාවනා මධ්‍ය ස්ථානයේ සති දෙකක කාලයක් තාවකාලික පැවිද්ද ලබලා ඇවිත් තමයි මේ ලිපි පෙළ ලිවුවේ.
2006 වසරේදී ලේක්හවුස් ආයතනයේ සිංහල ප්‍රකාශන උපදේශක ලෙස කටයුතු කරන අතරම ‘නමස්කාර’ බෞද්ධ සඟරාවේ සංස්කාරක ලෙසත් කටයුතු කරනවා. 2014 වසරේදී තමයි මම ලේකහවුස් ආයතනයෙන් ඉවත් වන්නේ.”
ඔහු මේ සියල්ල අපූරුවට පැවසුවේය. සිය අතීත මතක’ පොත් ඔහු ලිහා දමන්නේ සතුට පිරි මුහුණින් ය.ඔහුගේ මුහුණේ ඇත්තේ ප්‍රසාද ජනක බවකිය. සිනහව පිරී තිබෙන්නේ හදවතේ ඇති දයාද්‍රවය සමඟිනිය.
එය දෙනගම ට අනන්‍ය ලකුණය.
අප ඔහු සොයා ඔහුගේ උපන් ගමට පා නගමු.එහි ඔහු ගැන සුන්දර මතක’ රැසක් ය.
1945 පෙබරවාරි 19 වැනි දින හක්මන, වේපතඉර, ඉපිටවත්ත ගම්මානයේ දී ඔහු උපන්නේය.
දෙනගම පනන්වෙල රජයේ පාසලින් හා හක්මන මෙතෝදිස්ත විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන්නේය. පාසලේ අටවැනි පන්තියේ ඉගෙනුම ලබන සමයේදී මෙතෝදිස්ත විද්‍යාලයේ විදුහල්පති වූ ජේ. පරණමානයන්ගේ බිරිය වූ අනුලා පරණමාන ගුරුතුමිය නිසා මාක්ස්වාදය පිළිබඳ හඳුනාගන්න ලැබෙන්නේය. මේ නිසා ඔහුගේ යොවුන් සිත දේශපාලනය කෙරෙහිද යොමු වන්නේය. සාමාන්‍ය පෙළ හොඳින් සමත් වූවද පවුලේ තිබු ආර්ථික ප්‍රශ්න නිසා උසස් පෙළ හදාරන්නට නොහැකි විය. එනමුදු ඔහු කිසි විටෙක ඉගෙනුම අත්නොහැරියේය.
ජිවීතය යනු නොනවතින ඉගෙනුමකි. යැයි ද ඔහු ඔහුට අගවා තිබිණි. එහෙයින් ඔහු නිරන්තරයෙන් අධ්‍යාපනයෙහි නියැලුනේය.
දෙනගම ගේ නිර්මාණ අස්වැන්න තුළ ඇති පුද්ගල සංවේදනා ඔහු අකුරු කරන්නේ පමණක්ම නොවෙයි ඔහු ඔහුගේ කොට සියල්ල මුදාහරින්නෙ. පොදු ධර්මතාවයන් ලෙසිනි.
එසේ වීමට හැකි වන්නේ ලිවීම තුළ අවංක මිනිහෙක් ට පමණි. .ඔහු ඔහුගේ සහකම්පනයන් නිර්මාණ හරහා ගෙනෙන්නේ එලෙස ය.
ගෝර්කි වරෙක මෙසේ පැවසුවේය.
“පුංචිකාලෙ කාපු පාන් කෑලි තාම දිරවන්නෙ නැතුව ආහාර මාර්ගයේ තියෙන බැව්”
. සැබවින්ම මිනිස්සුන්ගෙ හිත්වල දිරවන්නෙ නැතුව තියෙන දුක්ඛ දෝමනස්සයන් ,හෙවනැලි සංවේදනා සියල්ල වගේ. මම මුලින්ම සඳහන් කළා සේ දෙනගම මේ සියල්ල හොඳින් හඳුනන්නේ ය.හඳුනාගත්තේය.
ඔහු ලියන්නෙ ඒ සියල්ල. එපමණක් නොවෙයි ඒ දුක් කම් කටොළු වෙනුවෙන් ඔහු මැදිහත් වන්නෙකිය.
සංස්කෘත ඉගැන්වීම් වලදී රචනා රීතින් තුනක් ගැන සඳහන් වේ. ඒ අතර කෙටි වැකි සහිත ශෛලිය ත් සඳහන් වන්නේය. එය මුක්ත ශෛලිය වේ. දෙනගම සිරිවර්ධන යන් ගේ කවි,නවකතා,ළමා සහ යොවුන් කතා,චරිතාපදාන ඇතුළු රැසක මෙකී ශලිය ප්‍රකට වේ. ළමා සාහිත්‍යයට මේ ශෛලිය වඩාත් යෝග්‍යය වේ.
ඔහුගේ ජීවිතයේත් ,නිර්මාණ ජීවිතයේත් වඩාත් ළඟින් ඇසුරු කළ දෙදෙනෙකිය එස්.ජී.පුංචිහේවාත් කුමරතුඟුවනුත් . ඔවුන්ගේ ලේඛන ශෛලියද මෙසේයි. ඒ දෙදෙනාගේ ආභාසය ඔහුට ද ලැබෙන්නට ඇතැයි හඟිමි .
අයෝමා නවකතාව
(එනමින් නිෂ්පාදනය කෙරුණු චිත්‍රපටය ට පාදක වුණු නවකතාව),
යුගයේ මිනිසා (මහාචාර්ය සේනක බිබිලේ චරිතාපදානය),
මිතුරෝ (ස්පාඤ්ඤයේ දී හොඳම යොවුන් නවකතාව ලෙස ජගත් සාහිත්‍ය සම්මානයට පාත්‍ර වූ කෘතිය)
මෛත්‍රී සාගරය,
ඇමති මුහුණ (නවකතාව),
දැහැටි දඬු (ධාරා කාව්‍ය),
අනේ මගේ නඩුව අසනු (කාව්‍ය),
පොදු ජනයාගේ පත්තරකාරයා (දයාසේන ගුණසිංහ චරිතාපදානය)
ඇතුළු නම් නොකී පොත් බොහෝය.
ඔහු තවමත් ලියමින් හිඳී.
විතාරන් දෙණියේ උක්කුවාගේ පොත කියවා මා අවසන් කළ සැන මම දෙනගම මාමා ට දුරකථනයෙන් කතා කොට ඇසුවේ පොතේ නම එහෙම නම් කළේ ඇයි. කියායි.
ඒ ඇතුළු මගේ කම්පනයන් ගැනය. අයෝමා කියවා අසෝකා ගැනද මා බොහෝ දෑ විමසුවා පමණක් නොව පරිකල්පනයහි නිමග්න ව හුන්නා. ඒවා මගේම වූ සංවේදනා බවට පත් කරන්නට තරම් ඔහු ශක්‍යතා පූර්ණ ලේඛකයෙක් වූවා.
මා කුඩාකාලයේ සිට ඇදහූවක් සේ තිබූ මටම අනන්‍ය වූ ප්‍රතිපත්තියක් තිබිණි. ගෙදර” ට ආ ගිය පිරිස් අතර මා ඇත්ත මිනිස්සු සේම බොරු මිනිස්සු ගැන දැනගෙන තිබුණේය. ඒ නිසා ප්‍රසිද්ධ වූ පමණින් ධනවත් වූ පමණින්,රූමත් හෝ සමාජය හොඳ යැයි මනින සිල්ලර නිර්නායක මත මම හිඳ නොගත්තෙම්. මට ඒ කිසිවක් වටින්නේ නැත්තේමය .
මට අනුව පුද්ගලයෙකු ගුණයෙන්,ආචාරශීලී බවින්,විශ්වසනීය බවින්,අවංකබව ,ඒ සියල්ල කැටිව ඇත්ත මිනිස්සු තරම් වටිනා අය තවත් නැත.
ඇසුරු කළ යුතුය යන්න මම තරයේ විශ්වාස කළ ප්‍රතිපත්තියක්ම්. එහෙම මිනිස්සු නොමැති කළ හුදෙකලාවේ විසීමේ සැපය සහ සැනසීම මම අත්විඳීමි.
එහෙත් මට දෙනගම මාමා ,එස්.ජී.පුංචිහේවා මාමා,මෙන්ම කපුගේ මාමා සහ ධර්මසිරි ගමගේ මාමා වැනි බොහෝ උත්තම මිනිසුන්නේ ඇසුර පෙරත් දැනුදු ලබමි. එය මා ලැබූ මහත් භාග්‍යයක්මි.
මගේ ඇසුරෙන් ගිලිහෙන සියල්ලෝම ඇත්ත නොවූ මිනිසුන් ය.
දෙනගම මාමා යනු මා පැටි වියේ සිට අපේ ජීවිත වලට ඈදුනු ආදරණීය මිනිසෙකිය. තාත්තා දඬුවම් මාරු ලැබ මොනරාගලට ගිය දා පටන් ආපසු ගාලු එනවිට දෙනගම මාමා හමුව එහි රාත්‍රිය ගත කොට පැමිණීම බොහෝ සිදු වූයේය.
ඒ කාලයේ වස්සානය කාව්‍ය සංග්‍රහය ලියන සමයයි. තාත්තා ලියූ ඒ කවි පද මුලින්ම කියෙව්වේ දෙනගම මාමා ට ය. ඒ අතීතය ගැන මට ඇත්තේ අප්‍රමාණ ආදරයකි. නැවත කාලය ඇඳ ගන්ට හැකිනම් අපේ ජීවිතවල සුන්දරම අව්ධිය එය බවට ලකුණු කොට මම කාලය නවතා දමමි.
අදටත් මගේ නිර්මාණ ජිව්තයට පමණක් නොව ජීවිත යථාවබෝධයටත් මාමාගේ ඇසුර මට පහන් තරුවකිය.
නාමික බෞද්ධයෙක් නොවූ දෙනගම මාමා . තුළ තථාගත දහම ප්‍රතිවේදිත ඥානයත්,ප්‍රතිවේදිත බවට ගමනත් අත්විඳීම් න් සිටින්නෙකි.
මාක්ස් විටෙක මෙසේ කීවේය නියම සමාජවාදියා යනු කෙල්ස් අඩු මිනිසෙක් ය කියා.
මම ඔහු සමග නිතර කියන්නෙ මාමේ කෙලෙස් අඩුව ඇති විට සැනසිල්ල මේ ලෝකයේ කිසිම දෙයකින් නොලැබෙන්නකිය යනුවෙන්. එවිට හේ සිනාසේ දුවගේ කතා හරි ඉහළයි. දුව කියන්නෙ ඇත්ත. ඔහොම තමයි අපේ ආදරය ගෞරවයන් පිරිනැමෙන්නේ.
දෙනගම,සිරිවර්ධන නම් මේ විශිෂ්ට මිනිසා,නිහතමානී මිනිසා,ඇත්ත මිනිසා දැන් අසූවිය සපිරි අභ්‍යාසවෘද්ධ පරිණත ලේඛකයෙකි. ඔහුගේ අත්දැකීම් මෙන්ම සජීවී සදූපදේශය ද මේ බිමට තවදුරටත් අවශ්‍යය.
ඒ බැව් ඔහුට ආදරයෙන්ම කියමි.
දෙනගම සිරිවර්ධන යන් යනු රටකට ආඩම්බරයකි, ණය නැති උතුම් මිනිසෙකිය. පරම්පරා ගණනකට අත්පොතකි. අනර්ඝ මිනිස් රත්නයකි.
හැමදාමත් වගේ අදත් කියමි මගේ ආදරණීය දෙනගම මාමාට ආදරෙයි

