‘ජීවිතයේ ඔයිල් පැල්ලම්’ – තරිඳු ශ්‍රී ලොකුගමගේ
කියවන්නට දිනපතා එකතුවන පොත් සංඛ්‍යාව අනුව බලන විට ඒ සිතට බය හිතෙන තරම්ය. එහෙයින් මේ වන විට කියවීම යනු බෙහෙවින් තෝරා බේරාගෙන කරනු ලබනා කාර්යයක් බවට පත්ව තිබේ. ලංකාවේ වසරකට පලවන නවකතා සියල්ල මිලට ගැනීමට ආර්ථික ශක්තියක් හෝ වෙලාවක්ද ඇත්තේ නැත. ජීවිතයේ ඔයිල් පැල්ලමක් ඇඟේ තැවරෙනුයේ එසේ කුමක් තෝරා ගන්නදැයි කල්පනා කරමින් සිටින අවස්ථාවක දුටු සටහනක් හේතුවෙනි. ඒ සටහනින් කියවුනේ තමන් මේ දිනවල අමුතු ආකාරයේ පොතක් කියවමින් ඉන්නා බවක් සහ ඒ ගැන පසුවට යමක් ලියන්නට සිතා ඉන්නවා වැනි අදහසකි. අදහස මහාචාර්ය ලියනගේ අමරකීර්තිගේ ය. ඔහු ගේ වදන් මේ නවකතාව කියවිය යුතු යයි තීරණය කරන්නට මට උපකාරී විණි. එහෙයින්ම මාස ගණනාවකට පෙර සොයා ගොස් පොත මිලට ගතිමි. එහෙත් නිසි ඉඩක් ලැබෙන තෙක් කාලයක් පොත් බෑගයේ දමාගෙන සිටියෙමි. අවසන කියවන්නට ගෙන එක දිගටම කියවා හමාර කළෙමි. එහෙත් මේ සටහන ලියන්නේ ඉනුත් මාස ගනනකට පසුවය. අතපසුවූ සටහනක් ලෙසටය.
මේ නවකතාව අදාල වර්ෂයේ සම්මාන සඳහා නිර්දේශ වූවේ නැත. ස්වර්ණ පුස්තක සඳහා තෝරා නොගැනීමට හේතුව ලෙස එක අදහසක් පලව තිබුණේ එහි භාෂාව නොගැලපෙන බවය, නැතිනම් එය අසැබිකමට ලංවන බසක් ලෙසටය. ලොන්ඩරියට දමා සෝදා පිරිපහදු කර කැඳ නොදමන ලද අමු බස් වහරක් සේ පෙනුන ඒ භාෂා ව්‍යවහාරය තරම් ඊට ගැලපෙන භාෂාවක් ඇතිදැයි මට නම් නොවැටහෙයි. එය ඒ තරමටම අදාල කතාවෙහි ගලායාමට මග සලසයි. චරිත සියල්ලටම සුවිසල් ජීවයක් කවයි. කියවන්නා හට නවකතාවේ චරිත සමග බද්ධවී වේගවත් ගමනකට ඇරයුම් කරයි. එහෙත් ඒ වෙනුවට අදාල කතාව ඉදිරිපත් කිරීමට අර විචාරකයන් කියන්නාක් මෙන් ‘අතිශය සංවර’ බසක් යොදා ගත්තා නම් කතාවේ ජීවය එහෙම පිටින්ම සිඳී යනු නිසැකය. එවිට සිදුවනු ඇත්තේ ඇතැම් රූපවාහිණි නාළිකාවන්හී ඉංග්රීිසි වෙනුවට සිංහල උපසිරැසි යොදන විට වන අලකලංචිය වැනි එකකි. ඉංග්‍රීසි බසින් බාස්ටඩ් අයි කිල් යූ කියාගෙන පිහියක් අමෝරා එන විට ඒ දෙබස සිංහලෙන් මං ඔයාව මරන්නයි හදන්නෙ යනුවෙන් උප සිරැසි යෙදූ විට වන විකාරය වැනි විකාරයක් නොවී තරිඳු මේ භාෂාව යොදා ගැනීම අතිශය සබුද්ධික තෝරා ගැනීමක් බව කිව යුතුව තිබේ.
සමස්ත ලාංකීය සමාජයම මේ වන විට බයින් ඇන්ඩ් සෙලිං වෙළඳපලකි. විවාහයේ සිට සියල්ලම දැන් බයින් ඇන්ඩ් සෙලිං වී හමාරය. ඉදින් තරිඳු ඒ සමාජයේ සාමාන්‍ය ඇසට හසුනොවන මානයන් ගණනාවක් ඉතා මැනවින් ගොනු කරයි. මුව ඇඹරී යන හාස්‍ය රසයක් කවමින් උපහාසයද මනාව මුසු කොට ඔහු මේ බයින් ඇන්ඩ් සෙලිං සමාජයේ ජීවිත විවරණය කරන ආකාරය ඔහු කෙතරම් දක්ෂ රචකයකුද යන්නට සාක්ෂි සපයයි. තරිඳු සිය කතාවෙහි චරිත ගොඩ නංවන ආකාරය හරහා අපට මේ සියළු චරිතයන්හී ඇති සංකීර්ණ ගති ස්වභාවයන් මෙන්ම සියල්ල විකිණෙන සමාජයක යටිබිම් ගත ගලායාමද දකින්නට ලැබෙයි.
තරිඳු සිය කතාව ගොඩනැංවීම පිණිස තෝරා ගන්නා චරිත අතර වැඩිම වැදගත්කම හිමිවනුයේ අජීවී වාහන කන්දකටය. ඔහු ඉතා සංයමයෙන් යුතුව සිය තානයද රඳවා ගනිමින් විවිධ චරිත මේ වාහනයන් සමග ඈඳා ගනියි. වාහන කතා නොකරනවා පමණි. එහෙත් අපට වාහනවල කතන්දරයද ඒ සමග ඇසෙන්නට ගනියි.
තමන් ජීවත්වන සමාජය නග්න කිරීමේ අනුල්ලංඝණීය වගකීම නිර්මාණකරුවා මත පැටවී තිබෙනුයේ ඔහුට පලා යා නොහැකි අයුරිනි. ඔහු අව්යාාජ නිර්මාණකරුවෙක් නම් පළමුවෙන්ම ඒ වගකීමට නොපැකිල උරදිය යුතුවෙයි. තරිඳුගේ නවකතාව මේ උරදීමෙහි ලා ඔහුගේ සමත්කම විදහා පෙන්වයි. තරිඳුගේ කෘතිය මට සිහිපත් කළේ සෝවියට් යුගයේ සිටි ලේඛකයෙකු වන වෙනෙඩික්ට් යෙරෝෆීව් ගේ මොස්කව් ස්ටේෂන්ස් නවකතාවය. මට මේ නවකතාව ගැන කීමෙන් නොනැවතී එහි පිටපතක් එවන ලද්දේ සෝවියට්-උස්බෙක් ලේඛක හමීඩ් ඉස්මායිලොෆ් විසිනි. ඒ මුළු කතාවම දිව යන්නේ වැඩ කිරීමට වඩා වොඩ්කා අඩියක් ගැසීමට ලොල් වූ මිනිසෙකු තමන් රැකියාවෙන් පහ කරන ලද පසුව තම බිරිඳ සහ පුතු හමුවනු පිණිස මොස්කව් හී සිට පෙටුෂ්කි නම් ස්ථානයක් කරා යන ගමනක් වටාය. නමසිය හැට ගනන් වල සෝවියට් සමාජයෙහි ඇතිව තිබූ පල්වීම විවේචනයට ලක්වන අයුරින් රචිත මේ නවකතාව බේබද්දකුගේ සවාරියක් ලෙස කෙනකුට හැඟී යා හැකි වුවද එහි යටි පෙල ඉතා බලවත්ය. යම් හෙයකින් එවන් නවකතාවක් ලංකාවෙහි රචනා කළේ නම් රචකයාහට ආගමික් පොලිසියේ සිට තවත් බොහෝ පොලිසි වලට මුහුණ දීමට සිදුවනු නියතය. සෝවියට් සංගමයෙහි පවා මුල් අවධියේ මෙය අතිනත හුවමාරු කරන ලද සීමිත පිටපත් ගණනාවක් ලෙස පැවතුණකි.
තරිඳු ගේ ඔයිල් පැල්ලම් යනුද මෙවන් සවාරියකි. එය වාහන මධ්යත ලක්ෂය කරගත් විවිධ මිනිස් සබඳතාවන් විමර්ෂණයට ලක් කරන්නකි. පවුල් සම්බන්ධතාවන්හී සිට මිනිස් ගනුදෙනු කෙතරම් ව්‍යාජ සහ කෘතිම බවට පත්ව ඇද්දැයි නිරූපණය වන අයුරින් ඔහු චරිත ගොඩනංවනුයේ පාඨකයාහට කතාව මගහැර යාමට කිසිදු ඉඩක් නොතබමිනි. ඒකාකාරී කතන්දර රටාව ඉක්මවා යාමට අපේ නවකතාකරුවන් උත්සාහ දරන, අලුත් ආකෘති කෙරේ ඔවුන්ගේ සිත ඇදී යන වර්තමානයෙහි තරිඳු ඔයිල් පැල්ලම් සමගින් කරනා මැදිහත්වීම ඉතා විශාලය. නමුදු ඔහුට සමකාලීන සමාජයෙන් ඇගයුමක් ලැබේද යන්න සැක සහිතය. එහෙත් ඔහුගේ නවකතාව ලාංකීය නවකතාවන් අතර කැපී පෙනෙන මැදිහත්වීමක් ලෙස ස්ථාපිත වීමට ඉන් වන බලපෑමක් නැත. පැල්ලම් සහිත ජීවිතයන්හී කතාව ඔයිල් පැල්ලම් හරහා දිගහරින තරිඳු අපේ සමාජයට කතන්දර කවුළුවක් හරියි. ඉදින් ඒ කවුළුවෙන් එපිට බැලීම යනු පාඨකයාගේ වගකීම සහ කාර්යභාරයයි.