සුවිශේෂී කරුණු සලකාබැලීමට අධිකරණය කටයුතු කළේ නැද්ද ? : මාධ්‍යවේදියාගේ පෙත්සම සලකාබැලීම අද !

Share post:

කොළඹ – කොටුව මහේස්ත්‍රාත්ගේ සහ මහාධිකරණ විනිසුරුගේ නියෝගවලට එරෙහිව අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සමක් අද (29) සලකාබැලීමට නියමිත ය.

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් මෙම පෙත්සම ගොනුකර තිබේ.

අභියාචනයේ අරමුණ

කොළඹ – කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ නියෝගයකට එරෙහිව ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට බස්නාහිර පළාත්බද කොළඹ මහාධිකරණය ගත් තීන්දුව බලරහිත කරන ලෙස ඉල්ලමින් මාධ්‍යවේදියා විසින් මෙම අභියාචනය ගොනු කර ඇත.

මාධ්‍ය සාකච්ඡාවක් සිදුකරමින් අධිකරණයට අපහාසයක් සිදුකළාදැයි සෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට සහ පරිගණක අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ කළ නියෝගයක් බලරහිත කරන ලෙස ඉල්ලමින් තරිඳු ජයවර්ධන මහාධිකරණයට අභියාචනයක් යොමු කර තිබිණි. එම ප්‍රතිශෝධන පෙත්සම නොතීසි නොයවාම නිශ්ප්‍රභ කිරීමට කොළඹ අංක 8 මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.පී.එස්. නිශ්ශංක පසුගිය ජූලි 06දා නියෝග කළේය.

මහාධිකරණ විනිසුරුවරයාගේ නියෝගය දෝෂ සහිත බැවින් එම නියෝගය අහෝසි කර බලරහිත කරන ලෙසත්, කොටුව මහේස්ත්‍රාත්වරයා ලබා දුන් නියෝගය ද අහෝසි කර බලරහිත කරන ලෙසත් ඉල්ලමින් නීතිඥ සුරේන් ඩී. පෙරේරාගේ උපදෙස් මත නීතිඥ මනුෂිකා කුරේ මගින් තරිඳු ජයවර්ධන විසින් ඉදිරිපත් කරන ලද අභියාචනයෙන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

මාධ්‍ය හමුව !

ප්‍රහසන වැඩසටහනකදී කරන ලදැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගත් බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ එම අත්අඩංගුවට ගැනීම මගින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ලබාදී ඇති නිර්දේශ හා මගපෙන්වීම් කඩ වී ඇති බවත් කියමින් මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේදී පෙත්සම්කාර මාධ්‍යවේදියා ඇතුළුව මාධ්‍යවේදීන්, නීතිඥවරුන්, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් සහ සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් මාධ්‍ය හමුවක් පැවැත්වූ බව එම අභියාචනා පෙත්සමේ සඳහන් වේ.

සීඅයිඩියට කළ නියෝගය

ඉන් අනතුරුව ජුනි 07දා නතාෂා එදිරිසූරියට අදාළ පැමිණිල්ල කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේ අගතියට පත් පාර්ශ්වයේ යැයි සඳහන් කළ නීතිඥවරයකු කළ කරුණු දැක්වීමක් මත අධිකරණයට අපහාසයක් වී දැයි සෙවීමට තමන් ඇතුළු පස්දෙනෙකුගේ ප්‍රකාශ ගැන පරීක්ෂණයක් කර වාර්තා කරන ලෙසට කොටුව මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කළ බවත්, එම නියෝගය පරිගණක අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත යොමුකරන ලෙස පසුගිය ජුනි 21දා කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවත් එම පෙත්සමේ සඳහන් කර ඇත.

මහේස්ත්‍රාත් අධිකරණයෙන් පිටතදී කරන ලදැයි කියන අධිකරණයට අපහාස කිරීමක් ගැන සොයාබැලීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති වීම සහ නිසි පැමිණිල්ලක් නොමැතිව හුදෙක් අගතියට පත් පාර්ශ්වයේ යැයි සඳහන් කෙරුණු නීතිඥවරයකු කළ කරුණු දැක්වීමක් මත පමණක් එවැනි නියෝගයක් කිරීම වැරදි බවත් සඳහන් කරමින් මහේස්ත්‍රාත් නියෝගය අහෝසි කරන ලෙස ඉල්ලා මහාධිකරණයට ප්‍රතිශෝධනයක් යොමු කළ බව ද, මහාධිකරණ විනිසුරුවරයා එම ප්‍රතිශෝධන පෙත්සම නොතීසි නොයවා ම ප්‍රතික්ෂේප කිරීමට ජූලි 06දා නියෝග කළ බව ද තරිඳු ජයවර්ධන විසින් ඉදිරිපත් කරන ලද අභියාචනයේ සඳහන් වෙයි.

කොටුව මහේස්ත්‍රාත්වරයා ජුනි 07දා කළ නියෝගයේ අභියාචක මාධ්‍යවේදියාගේ නම සඳහන් කර තිබියදී මහාධිකරණ විනිසුරුවරයා සිය නියෝගයේ තුන් වැනි පිටුවේ සහ හතර වැනි පිටුවේ පෙත්සම්කරුට එරෙහිව විමර්ශනයක් පවත්වන ලෙසට සදහන් කර නැතැයි තීන්දු කර ඇති බවත්, එක්ස් ලෙස සටහන් කර ඇති නඩු වාර්තාවේ එක්ස් එක ලෙස සටහන් කර ඇති කොටසේ අභියාචකගේ නම සඳහන් කර ඇති බවත්, එය සොයාගැනීමට විනිසුරුවරයා අපොහොසත් වී ඇති බවත් අභියාචනා පෙත්සමේ දැක්වේ.

නොසලකා හැරියේ කුමක්ද ?

විමර්ශනයක් සඳහා බලය ඇති බවට නිගමනයකට එළඹීම සඳහා මහාධිකරණ විනිසුරුවරයා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 9 (ආ) (i) වගන්තිය උපුටා දක්වා ඇති බව ද, එසේ වුවද එම වගන්තියේ පළමු කොටස මහාධිකරණ විනිසුරුවරයා නොසලකා ඇති බව ද, ‘ස්වකීය ප්‍රාදේශීය අධිකරණ බලසීමාව තුළ’ ලෙස එහි සඳහන් වන බව ද, මෙම සිද්ධියට අදාළ මාධ්‍ය සාකච්ඡාව පවත්වා ඇත්තේ කොටුව ප්‍රාදේශීය අධිකරණ බල සීමාව තුළ නොව මාලිගාකන්ද ප්‍රාදේශීය අධිකරණ බල සීමාව තුළ බව ද මෙම අභියාචනයේ සඳහන් කර තිබේ.

එසේම එම වගන්තියේ ‘යම් වැරදි සම්බන්ධයෙන් මේ සංග්‍රහය යටතේ ඒ අධිකරණයට අධිකරණ බලය ඇත්තේ ද’ යනුවෙන් සඳහන් වන බව ද, අධිකරණයේ අධිකරණ බලය මෙම සංග්‍රහය යටතේ ඇති වැරදිවලට සීමා වී ඇති බව ද පෙත්සම්කරු සඳහන් කර තිබේ.

ඒ අනුව ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කරද්දී අභියාචක විසින් ඉදිරිපත් කරන ලද සුවිශේෂී කරුණු සලකා බැලීමට මහාධිකරණ විනිසුරුවරයා අපහොසත් වී ඇති බව ද අභියාචක මාධ්‍යවේදියා සඳහන් කරයි.

ඒ අනුව මෙම පෙත්සම බාරගෙන වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසත්, මහාධිකරණ විනිසුරුවරයාගේ ජූලි 06 දිනැති නියෝගය අවලංගු කර බල රහිත කරන ලෙසත්, කොටුව මහේස්ත්‍රාත්වරයාගේ ජුනි 07 සහ ජුනි 21 දිනැතිව නිතුත් කළ නියෝගය අවලංගු කර බලරහිත කරන ලෙසත් අවසන් වශයෙන් පෙත්සම්කරු ඉල්ලා ඇත.

Related articles

කලාගාරය තුළ Boney M සංගීතය ඇසීමට සලස්වමින් පැවති උපාලි ආනන්දගේ “කැළල” (SCAR) චිත්‍ර ප්‍රදර්ශනය

උපාලි ආනන්දගේ “කැළල” (SCAR) චිත්‍ර ප්‍රදර්ශනය ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ මැයි මස 14, 15 සහ 16 තෙදින තුළ පවත්වන...

තිළිණා වීරසිංහගේ ‘මධු සමය අහිමි මංගල්‍ය’යෙන් දශක දෙකකට පසු

ඊයේ (17) තිළිණගෙ හවස, තිළිණා වීරසිංහ සහෝදරීගෙ මධු සමය අහිමි මංගල්‍ය කෘතිය පාදක කරගෙන ඇගේ නිර්මාණාවලිය ගැනම කෙරෙන...

ඔබ පතන හයිකුව – මදුරංගගේ අලුත්ම කවිය

මදුරංගගේ අලුත්ම කවි පොත "මේ ගසට ගල් ගසන්න" දැන් ටික දවසක් වෙනව "විදර්ශන ප්‍රකාශනයක්" ලෙස එළියට ඇවිල්ලා. මැයි...

‘දුමිරියේ ප්‍රේමය’ – 8 A.M. Metro

දුමිරිය කියන්නේ තවදුරටත් මිනිසුන් එහා මෙහා ගෙනයන හුදු ප්‍රවාහන සේවාවක්ම නොවෙි. දුමිරිය යනු නූතනයේ මිනිස් සබඳතා නිර්මාණය කරන...