ලොලීටා අතිශයින් ම ප්‍රකට කෘතියකි. වර්තමානයේ ට්‍රාන්ස්ග්‍රෙසිව් සාහිත්‍යයේ වැදගත් ම පොත්වලින් එකක් ලෙස සැළකෙන ලොලීටා, එකල සමාජය පිළිබඳ ව කල්පනා කර බලන කල ප්‍රකාශයට පත් වූ අයුරු සැබැවින් ම අරුම උපදවනසුලු ය. කෙසේ වුව, ලොලීටා කෘතිය කිසිදාක ඇමරිකාවෙහි නිල වශයෙන් වාරණයකට ලක් වූයේ නැති. මේ කෘතිය අරභයා අප අසල්වැසි රට වන ඉන්දියාවෙහි ද වැදගත් සිදුවීමක් සිදු වූ බැව් සඳහන් කළ යුතු ය. The Current නම් ඉන්දීය පුවත්පතෙහි කර්තෘවරයා වූ DF කාරක, 1959 වසරේ මැයි මස එක් දිනයක, එවකට මුදල් අමාත්‍යවරයා ව සිටි මොරාජී දේසායි හට පොතක් පිළිබඳ ලිපියක් ලිවී ය. ඔහු පැවසුවේ ඉන් වැඩිහිටියෙකු සහ ගැටවර වියෙහි පසුවන කෙල්ලක අතර ඇති සම්බන්ධයක් උත්කර්ෂයට පමුණුවනු ලබා ඇති බව ය. මෙම “අසැබි” පොත වහා වාරණයකට ලක් කරන්නැයි කියා The Current පුවත්පතට ලියැවී ඇති ලිපියක් ද හේ ඒ හා යැවී. එකී පොත ද ලොලීටා ය. ඊට මසකට ඉහත දී බොම්බායෙහි රේගුවෙහි සිටි කලෙක්ටර්වරයකු ජයිකෝ ප්‍රකාශන ආයතනයට අයත් වූ, ලොලීටා පොතෙහි ආනයනය කරනු ලැබූ පොත් තොගයක් අත්පත් කරගත් අතර, මේ වග හේ පොලීසියට ද, අධිකරණ අමාත්‍යාංශයට ද, මූල්‍ය අමාත්‍යාංශයට ද දැනුම් දී තිබිණ.
බොම්බායෙහි පොලිස් කොමසාරිස්වරයා මෙන් ම බොම්බායෙහි පිහිටි අධිකරණ අමාත්‍යාංශයේ ශාඛාව ලොලීටා “අසැබි” සාහිත්‍ය කෘතියක් නොවන බව තීරණය කළ අතර, පොත් තොගය මුදා හැරිය යුතුයැයි සිතුව ද, පොත “අතිශයින් ම අසභ්‍ය” නොවන වග පැවසුව ද රේගු නිලධාරියා පොත් තොගය ලබාදුන්නේ නැති. කෙසේ වෙතත්, ජායිකෝ ප්‍රකාශන ආයතනය මෙම තීරණයට විරුද්ධ වූ අතර, කාරක දේසායි ඇමතිතුමාට යැවූ ලිපිය පිළිබඳ ව ද ඔවුහු දැන සිටියෝ ය. ඊට පිළිතුරු ලෙස ඔවුන් යැවූ ලිපියෙන් පොත අසැබි කතන්දරයක් හෝ කාමෝද්දීපක කතන්දරයක් නොවන වග කියැවිණි. මේ ලිපිය සමඟ ම පොත පිළිබඳ ව The Times of India, The Indian Express, Shankar’s Weekly, The Daily Express, The Blitz, The Observer, The Spectator සහ The Daily Mail යන පුවත්පත් ලියූ ප්‍රශංසාත්මක විමංසන ද යවනු ලැබූ අතර, එවක මෙම පොත ප්‍රංශයෙහි ද, එංගලන්තයෙහි ද, ආජන්ටිනාවෙහි ද, නවසීලන්තයෙහි ද තාවකාලික වාරණයකට ලක් ව තිබිණි. කෙසේ වුවත්, දේසායි තමා තුළ මෙවන් පොත් කෙරෙහි තිබූ නොකැමැත්ත සඟවන්නට ගියේ නැත. ලොලීටා අරභයා ලියැවුණු කුඩා සටහනක ඔහු ලියා ඇත්තේ මෙවැන්නකි: “පොතක් අසැබි නැතිනම් එය අසැබියි කියා හැඳින්විය හැකිදැයි කියා මම නොදනිමි. එහි ඇත්තේ පිළිකුල් උපදවනසුලු ලිංගික හැසිරීම් ය.” මෙම ප්‍රශ්නය ගැටළුව සඳහා විසඳුමක් තීරණය කරද්දී ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙහි උපදෙස් ද ලබාගත යුතු බව හේ පැවසී ය.
අවසන, මෙම ගැටලුව යොමු කෙරුණේ එවක ඉන්දීය අගමැතිවරයා ව සිටි ජවහර්ලාල් නේරුතුමා වෙතට ය. සිය පුද්ගලික ලේකම්වරයා වූ කේෂෝ රාම් හට තමා ප්‍රකාශන ආයතනයෙහි නියෝජිතයන් මුණගැසීමට කැමැති බැව් සඳහන් සටහනක් නේරුතුමා යවා ඇති අතර, ඔහු තව ද සඳහන් කර ඇත්තේ තමා නවකතාව තවමත් කියවා නොමැති බවත්, එය අරභයා ලියැවුණු විචාර කියවා ඇති බවත්, එම පොත “ඇමෙරිකාවෙහි සහ එංගලන්තයෙහි සාහිත්‍ය මණ්ඩල අතරේ සුළුපටු කලබලයක් ඇති කර ඇති බව” ඔහුට දැනගන්නට ලැබුණු බවත් ය. සාහිත්‍යමය වටිනාකමකින් යුත් පොතක් තහනම් කරයුතු නැතැයි සිතූ නේරුතුමා එවන් බලතලයක් පොලිස් නිළධාරීන් ට සහ රේගු නිළධාරීන් හට ලබා දිය යුතු නැතැයි කියා ද විශ්වාස කළේ ය. පළමු සටහන යවා දින පහළොවක් ගත වූ තැන ඔහු කේෂෝ රාම් ට යැවූ සටහන මෙසේ ය:
“මේ ලොලීටා නම් පොත කියවද්දී, එය වැදගත් පොතක් බවත්, සැබැවින් ම එය විශිෂ්ට වූ පොතක් බවත් මට හැඟිණි. එය යමෙකුට සැහැල්ලුවෙන් කියැවිය හැකි යමක් නොව. එහි බස බෝ අවස්ථාවන්වල දී පහසුවෙන් තේරුම්ගැනීමට අපහසු ය. එහි ඇති සමහර අවස්ථා මා කැළැඹූ බව හැබෑ ය. ඒ කැළැඹීම ඇති වූයේ සමහර අවස්ථාවන්වල තිබූ විස්තර කිරීම් නිසාවෙන් මිස ඒ රචනාව නිසාවෙන් නොව. සැබැවින් ම පොත කාමෝද්දීපක ලියැවිල්ලක් නම් නොවන්නේ ය. මා පවසා ඇති පරිදි, එය වැදගත් ආකාරයකින් ලියැවුණු වැදගත් පොතකි. එය පිළිබඳ නොසන්සුන්තාවක් ඇති නොවුණේ නම්, එය තහනම් කිරීම පිළිබඳ ව හෝ එය මෙරටට ඇතුළු වීම වැළැක්වීම පිළිබඳ ව හෝ මොනයම්ම ගැටළුවක් නැඟෙන්නේ නැති. මෙබඳු ආකාරයෙන් කතාකෙරෙන පොත් කියැවීමට මිනිසුන් ලැදි නිසාවෙන්, සමහර අවස්ථාවල දී මෙවන් නොසන්සුන්තා හැබෑ වෙනසක් ඇති කරන්නේ ය.” ඒ අනුව, මෙම පොත හා සම්බන්ධ අනෙක් නිලධාරීන් හා සාකච්ඡා කිරීමෙන් පසු ලොලීටා තහනම් නොවිය යුතු පොතක් ලෙස පිළිගැනිණි.
ඉන්දියාවෙහි සහ මුළු ලොවෙහි ම එතරම් නොසන්සුන්තාවක් ඇති කළ ලොලීටා, ප්‍රථමයෙන් ප්‍රකාශයට පත් වූයේ කෙසේ ද? එය රචනා වූයේ කෙසේ ද? ඒ මෙසේ යි:
සිය බිරිඳ වන වේරා නබොකෝ හා සිය පුතු වන දිමිත්‍රි නබොකෝ හා සමනළවේදය විනෝදාංශයක් ලෙස හැදෑරූ නබොකෝ ඇමෙරිකාවෙහි වෙසෙමින්, සමනළ දඩයමෙහි යෙදෙන අතරවාරයේ දී ලොලීටා උපත ලැබුවේ ය. සමනලුන් හඹා වාහනයෙන් ගමන් ගන්නා අතරවාරයේ දී ඔහු, තමා සතු දර්ශක කඩදාසිවල ලොලීටා ගැන කරුණු කුරුටු ගෑවේ ය. තමා ගැන ම සැක හිතූ නබොකෝ පොත පුළුස්සන්නට තැත් දැරුව ද, ඔහුගේ බිරිඳ වූ වේරා ගේ පෙරැත්තය නිසා එම උත්සහය ඔහු අතැර දැමූ අතර, පසු කාලීන සම්මුඛ සාකච්ඡාවල දී වේරා ගේ එකී මැදිහත්වීම බෙහෙවින් අගය කළ අතර, ලොලීටා තම අග්‍රකෘතිය ලෙස සැළකී ය. ලොලීටා සඳහා ප්‍රකාශකයකු සොයාගැන්ම ද ඉතා අපහසු කර්තව්‍යයක් වී. ඇමෙරිකා එක්සත් ජනපදයෙහි සහ එක්සත් රාජධානියෙහි ප්‍රකාශකවරු, ලොලීටා කාමෝද්දීපනය කෙරෙන ලියැවිල්ලක් ලෙස හංවඩු ගැසිය හැකියැයි විශ්වාස කර, එය ප්‍රකාශයට පත් කිරීමට ඔවුන්ගේ නොකැමැත්ත ප්‍රකාශ කළෝ ය. අවසන නබොකෝ හට ප්‍රංශයෙහි පිහිටි ඔලිම්පියා ප්‍රකාශකයින් මෙම පොත ප්‍රකාශ කිරීමට ඔවුන් තුළ වූ කැමැත්ත පෙන්වුව ද, සාහිත්‍යමය වටිනාකමකින් යුත් කෘතීන් මෙන් ම ඔවුන් කාමෝද්දීපක රචනා ද ප්‍රකාශයට පත් කරන බව නබොකෝගෙන් සැඟවූ බව කියැවේ. ඒ අනුව 1955 වසරේ ප්‍රංශයේ දී ලොලීටා කොටස් දෙකකින් යුතු පොතක් ලෙස ප්‍රකාශයට පත් විය. ඒ පොත් ඉක්මනින් විකුණුනු අතර, ග්‍රැහැම් ග්‍රීන් නම් ලේඛකයා එය ඉතා උසස් පොතක් ලෙස නම් නොකරන්නට, එවක එය අමතක ව යන්නට ඉඩ තිබිණි. එසේ වුව, ලොලීටා විටින් විට එක්සත් රාජධානියෙහි, ප්‍රංශයෙහි, ආජන්ටිනාවෙහි, නවසීලන්තයෙහි සහ දකුණු අප්‍රිකාවෙහි වාරණවලට ලක් විය.
ඇමෙරිකාවෙහි පොත තහනමකට ලක් නොවුණ ද, G.P. Putnam’s Sons නම් ප්‍රකාශන ආයතනය 1958 දී පොත ප්‍රකාශයට පත් කරන තෙක්, ලොලීටා පොතට ඇමරිකානු සංස්කරණයක් පැවතියේ නැත. මුද්‍රණද්වාරයෙන් පිට ව සති තුනක් යත් ම, එහි පිටපත් ලක්ෂයක් විකිණිනි. හම්බර්ට් හම්බර්ට් ගේ චරිතය සඳහා තමා ආදර්ශ කරගත්තේ කූඩුවක කොටු ව සිට සිය පළමු චිත්‍රය ඇඳි වානරයෙකු පිළිබඳ සඳහන් පුවත්පත් සටහනක් යැයි නබොකෝ පැවසුව ද, පොත සඳහා ලුවිස් කැරොල් මෙන් ම චාලි චැප්ලින් බාල වයස්කාර දැරිවියන් හා පැවැත්වූ සම්බන්ධ, ෆ්ලෝරන්ස් හෝනර් නම් එකොළොස් වියැති ගැහැනු දැරිවිය ව අවුරුදු පණහක් වයසැති මිනිසෙකු පැහර ගත් පුවත සහ මෙනමින් ම 1916 වසරේ දී පළවූ ජර්මන් කෙටිකතාව, නබොකෝ ගේ ලොලීටා ට පොහොර දමන්නට ඇතැයි කියා විශ්වාස කෙරේ. එඩ්ගා ඇලන් පෝ ගේ “ඇනබෙල් ලී” නම් කවිය ලොලීටා හා කෙතරම් තදින් ඇලී ඇත්දැයි කියතොත්, එක් අවස්ථාවක නබොකෝ මෙම පොත, එහි ඇති Kingdom by the sea යන පේළිය සිහි කැඳවෙන පරිදි “මූද අද්දර රාජධානිය” නමින් නම් කරන්නට ද තැත් දැරූ බව සඳහන් ය. තම අනාගතය සඳහා ලොලීටා පමණක් ඉතා ප්‍රමාණවත් බව දැන සිටිය ද නබොකෝ, ලිවීම අත් නොහැරී ය.
කාව්‍ය තත්සර
2023 – 08 – 10