මිලාන් කුන්දේරා: හුදකලා සාහිත්‍ය දැවැන්තයකුගේ අවසානය

Share post:

ජීවිතයේ අගභාගය සම්පුර්ණයෙන් ම පාහේ හුදකලාව වෙනුවෙන් වෙන්කල ලෝ ප්‍රකට චෙකොස්ලෝවැකියානු නවකතාකරු මිලාන් කුන්දේරා (1929 – 2023) ඊයේ අපෙන් සමුගෙන තිබෙනවා. විසිවෙනි සියවසේ කතාබහට ලක්වූ ”පියාපතක් වන් ජීවිතයක්” (The Unberable Lightness of Being) නම් නවකතාවේ සහ තවත් නවකතා කිහිපයක කතුවරයා වන ඔහු මියගොස් තිබෙන්නේ ඉතාලියේ මිලාන් හි දී.

කුන්දේරාගේ ‘පියාපතක් වන් ජීවිතයක්’ (1984) නවකතාව ලොව වැඩිම භාෂා ගණනකට පරිවර්තනය වූ නවකතාවක් වනවා. ඔහුගේ නවකතා චෙකොස්ලෝවැකියානු කොමියුනිස්ට් පක්ෂය විසින් තහනම් කරනු ලැබුවේ ඔහුගේ කෘතිවල ඉතාම සූක්ෂම ලෙස ඔහු භාවිත කළ දේශපාලන උපහාසය සහ දාර්ශනික කරුණු විසින් කොමියුනිස්ට්වාදයේ මර්ධනය හාස්‍යයට ලක්කළ නිසාවෙන්.

දෙවන ලෝක යුද්ධයෙන් පසු චෙක් ජාතික නවකතාකරුවන් සහ චිත්‍රපටකරුවන් සෑහෙන පිරිසක් වෙනුවෙන් ආශ්වාදය සැපයූ මෙම විශ්ෂ්ඨ රචකයාට නොබෙල් තෑග්ග දිනාගැනීමට හැකිවුවේ නැහැ.

සමකාලීන හැම චෙක් තරුණයෙක්ම කළ පරිද්දෙන් මුලින් කොමියුනිස්ට් දෘෂ්ටිවාදය තදින් විශ්වාස කළ කුන්දේරා පසුව චෙක් කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරිත්වය ප්‍රශ්න කිරීමට ලක්කළා. කොමියුනිස්ට් පක්ෂය විසින් ඔහුව පක්ෂයෙන් නෙරපා දැම්මේ ඉන් පසුවයි.

මුලින් සමස්තතාවාදී වූ කොමියුනිස්ට් පක්ෂය පසුව 1960 දශකයේ ලිබරල් ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට පටන්ගත් විට ඔහු ලිවූ The Joke (1967) නවකතාව ලෝකය පුරා ජනප්‍රිය උණා.

නමුත් හැටේ දශකයේ අග කඩාවැදුණු සෝවියට් ආක්‍රමණ හේතුවෙන් සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලාපොරොත්තු අතහැරි චෙකොස්ලෝවැකියාව කුන්දේරාගේ සියලු කෘති තහනම් කරනු ලැබුවා.

එතැන් පටන් සෝවියට් අනුග්‍රහය ලද චෙක් කොමියුන්ස්ට් පක්ෂයේ අඩන්තේට්ටම් සහ හිංසනය කුන්දේරා මත මුදාහැරුණා. ඔහුගේ පොත්පත් සියල්ල පුස්තකාල වලින් පිටමං කළා. ඔහුගේ ගුරු වෘත්තීය ඔහුට නැතිවුණා. අන් කිසිවක් පළකිරීමේ නිදහසවත් ඔවුන් ඔහුට දුන්නේ නැහැ. ඔහුගේ දුරකථනයට පවා රහසේ සවන්දුන් කොමියුනිස්ට් පක්ෂය කුන්දේරා දැඩි පීඩනයකට ලක්කළා. ඒ එක්කම ඔහු ගොඩක් නිශ්ශබ්ද වෙන්න තීරණය කළා.

ඉන්පසු ඔහු කළේ මේ සමස්තතාවාදී චෙකොස්ලෝවැකියාවෙන් පිටවීම. පිටව ගොස් පැරීසියේ ජීවිතය ගෙවීම.

කොහොම උනත් ඔහුගේ නිශ්ශබ්ද බව පැරීසියේදීත් ගොඩක් වෙනස් උනේ නැහැ.

හැබැයි ඒ නිශ්ශබ්ද බව එහෙමම තිබ්බට ඔහුගේ නිර්මාණශීලී බව නම් නිශ්ශබ්ද උණේ නැහැ. අපි දන්නා ඔහුගේ හොඳම නිර්මාණ ටික එළියට එන්නේ ඔහු චෙකොස්ලෝවැකියාවෙන් විප්‍රදේශගත උනාට පස්සේ.

රටකින් පිටුවහල් වීමත් බලාගෙන යනකොට නරකම දෙයක් නෙවෙයි. හැබැයි අසහාය නිර්මාණශීලි මනසක් තියන කෙනෙක්ට…

මහේෂ් හපුගොඩ

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...