සෙමෙන් අව සඳ මියෙන වැහි වළාකුළු අතර
දුරින් අතැඟිලි ගණින තරු කිණිති ගගන’ඹර
සිහින් ස්වරයෙන් ගැයෙන රෑහි හඬ එයි නිතර
හිඳින් සොඳුරියෙ නිබඳ හද දැවෙයි මේ කතර,
කළු පාට බොර අහස විළිලමින් හඬන විට
අළු පැහැති වළා පෙළ තවත් දුර ඇදෙන විට
සිළු වගේ දුර දිලෙන තරු පොකුරු මියෙන විට
දලු දමයි ආදරය නුඹෙ මුහුණ නොදුටු කොට,
පුරවලා දෝතින්ම සෙනේ බිඳු දොවාගෙන
හරවලා නෙත් අගින් හිනැහිලා බැලුම්ලන
ගොරවලා අහස් කුස විදුලි එළි මවාලන
ඔරවලා හිඳිනු කිම පොද වැටෙයි සිහිලසින,
සොයාගෙන තටු සලා පියාඹා එනු සිතෙන
දරාගෙන හදවතින් සෙනෙහසේ හිරු නැඟෙන
මවාගෙන සිත පුරා රෑ දවල් සිහිනයෙන
සිතාගෙන මම හිඳිමි නුඹ එතැයි ඉක්මනින,
හිනැහිලා සඳවතිය ලෙස ඇවිත් සෙනෙහසින
සනසලා ළෙහි හොවා වැළඳ ගෙන අත් දෙකින
තනිවෙලා දුක් සුසුම් හෙලන මොහොතක සෙමෙන
මඟබලා හිඳිමි මම කඳුළු එයි නෙත් අගින,
වසාගෙන යුග දෙනෙත් කඳුළු පිනි දිය පිසැ’ර
මවාගෙන සිනා රැල් මුව විදා තොල් අතර
දරාගෙන හදවතට කටු ඇනෙන විට නිතර
සොයාගෙන තටු සලමි රෑ පුරා සිහින’තර…..
කුමාර අලගියවන්න
2023.06.20
කෝට්ටේ නිවසේදීය.
Photos from Google