2023 මුල් මාස 4 තුළ ලංකාවේදී දිනකට එක් අලියෙකු බැගින් මියගොස් තිබේ.
නොවිසඳන ලද අලි – මිනිස් ප්‍රශ්නය මෙම මරණවලින් බහුතරයකට හේතු වී ඇත. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු වාර්තා තහවුරු කරන්නේ පසුගිය ජනවාරි මස 01දා සිට අප්‍රේල් මාස 28දා තෙක් මෙසේ මියගොස් ඇති අලි සංඛ්‍යාව 151ක් බවයි. ඒ අතරින් අලින් 67ක් මියගොස් ඇත්තේ සෘජුව ම මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් බව ද එම වාර්තා සඳහන් කරයි. අලින් 06ක් මියගොස් ඇත්තේ හක්කපටස් නම් ගොවීන් විසින් අටවනු ලබන උගුලට හසුවීමෙන් ය.
පසුගිය වසර තුළ මෙරට සිදු වූ අලි මරණ ප්‍රමාණය 433කි. පසුගිය වසරේ මුල් කාර්තුව තුළ අලි මරණ 145ක් වාර්තා වී ඇත.
භයානක අනතුරක් !
ශ්‍රී ලංකා වනජීවී සංරක්ෂණ සංගමයේ සභාපති රවී කොරයා පවසන්නේ වගකිවයුතු රාජ්‍ය ආයතන සංඛ්‍යා ලේඛන ප්‍රසිද්ධ කරමින් සිටියද, මෙම ගැටලුවට විසඳුම් ලබාදීම සඳහා ප්‍රමාණවත් මැදිහත්වීමක් සිදුනොකරන බවයි. දිනෙන දින මෙසේ අලි මරණ ඉහළ යෑම අනාගතයේ භයානක අනතුරක පෙරනිමිත්තක් බව ද සභාපතිවරයා සඳහන් කර සිටී.
7,000ක් ඉන්නවද ?
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු වාර්තාවලට අනුව ලංකාවේ සිටින ආසියානු අලි සංඛ්‍යාව (Elephas maximus) 7,000කි. කෙසේ වෙතත් වනජීවී සංරක්ෂකයන් පෙන්වාදෙන්නේ සත්‍ය සංඛ්‍යාව මීට වඩා සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු අගයක් ගන්නා බවයි.
නීති ප්‍රබලයි ?
ජ්‍යෙෂ්ඨ පරිසරවේදියෙකු මෙන්ම පරිසර ක්ෂේත්‍රයේ ප්‍රකට නීතිඥවරයෙකු ද වන ජගත් ගුණවර්ධන පෙන්වාදෙන්නේ වනජීවී සංරක්ෂණයට අදාළ ලංකාවේ නීති ප්‍රබල වුවද, එම නීති බලාත්මක කිරීමේ ක්‍රියාවලිය ඉතා දුර්වල බවයි. එම නීති ක්‍රියාත්මක කිරීම සඳහා සිටින දෙපාර්තමේන්තු සේවක සංඛ්‍යාව ද අවම අගයක් ගන්නා බව ද නීතිඥවරයා සඳහන් කර සිටී.
වියදමේ ප්‍රතිඵලය ?
අලි – මිනිස් ප්‍රශ්නය විසඳීමේ අරමුණින් 2019 සහ 2020 වසර දෙකේදී පමණක් කිලෝමීටර් 4,756ක් දුරට විදුලි අලි වැට ඉදි කොට තිබේ. ඒ සඳහා රජය වැය කර ඇති මුදල රුපියල් මිලියන 490කි.
කෙසේ වෙතත් සංරක්ෂණ සහ පර්යේෂණ මධ්‍යස්ථානයේ සභාපති ආචාර්ය පෘතුවිරාජ් ප්‍රනාන්දු අවධාරණය කරන්නේ විදුලි වැට නිවැරදි ස්ථානවල සකසා නොමැති වීම, නඩත්තුව අවම වීම වැනි හේතු නිසා සහ එය ස්ථිර විසඳුමක් නොවීම හේතුවෙන් ද මෙම ව්‍යාපෘති අසාර්ථක ව ඇති බවයි.