තුන්මං හන්දියට උමතුවෙන් දිව යමි
හොල්මන් අඳුර තුල නෙත් පහන් දල්වමි
සිත්තම් එකින් එක ගොම්මනෙහි එල්ලමි
‘ලොකු මාමේ’ කියා මොහොතකට අමතමි
අල්ගම ගියපු දවසක අපව අත්හැර
ආයුධ මල්ල මගෙ භාරයට පත් කර
ඉඳහිටක වත් නොලැබුණු නමුදු විස්තර
කඩපිළ ලඟදි දිග හැරුණි කැලෑ පත්තර
කාලය උරණ වී ඔරලෝසු කටුවල
ආවෙමි මමත් ගම් දොර අතැර පසු කළ
ගගනත දිලෙන තනිවුණු ශෝක හැඩතල
දුටුවෙමි කොළඹ මධු පිරි පාළු රැයවල
ආයුධ මල්ල ‘කෝ කොයිබකද’ විමසයි
හද බිත පැලුම් රේඛා හි පාට තවරයි
පහනක් වැනි සෙනේ ආලෝකයක් දල්වයි
ලොකු මාමා සිහින සිතුවමක් එල්ලයි