මයිකල් රුද්‍රිගු පියතුමා කියන්නෙ අසාමාන්‍ය මිනිසෙක්, එදා අල්තාරය හා බයිබලය ලෙයින් පෙඟුණා

Share post:

ගරු මයිකල් පෝල් රුද්‍රිගු (නි.ම.නි) පියතුමා 1927-1987

දශක හතරකට ආසන්න පැරණි කතාවක්. පසුගිය දිනෙක තරුරසී සොයුරිය බුත්තල සුබසෙත් ගෙදර ගැන මතකය අලුත් කරලා තිබුණා. කීප දෙනෙක් ම අසා තිබුණා මොකක් ද මේ “සුබසෙත් ගෙදර” කියලා. කාලයේ වැලි තලාව අප සිතනවාට වඩා දරුණු යි. කුරිරු යි. කිසිඳු ශ්‍රී ලාංකිකයෙකු අමතක නොකළ යුතු ජීවිතයක් ගැන කතාවක් මේක. අපේ සීතා රංජනී අක්කා ප්‍රවේශම් කරන්න කියලා මට දුන් ලේඛන අතරේ තිබුණු තොරතුරුවලින් සහ විජිත් රොහාන් ඇදුරුතුමා දුන් මූලාශ්‍රය ඇසුරින් මේ සටහන ලියන්නෙ.

මයිකල් රුද්‍රිගු පියතුමා කියන්නෙ අසාමාන්‍ය මිනිසෙක්. දිළින්දන්ගේ දෙවියන් වහන්සෙ වගේ කෙනෙක්(දිළිඳු මයිකල් රුද්‍රිගු කියන නමත් ඔහු වෙනුවෙන් භාවිත වුණා). විශිෂ්ට උගතෙක්. භාෂා විශාරදයෙක්. දේවධර්ම ආචාර්‍යවරයෙක්. පර්‍යේෂකයෙක්. මහාචාර්‍යවරයෙක්. ආචාර්‍ය උපාධි දෙකක හිමිකරුවෙක්. අයුක්තිය අබිමුව දණ නොනැමූවෙක්. සමාජ පරිවර්තකයෙක්. කවියෙක්. වෙනස් විදියේ කතෝලිකයෙක්. අසාමාන්‍ය මරණයක හිමිකරුවෙක්. ඉංග්‍රීසි බසේ වදනක් තියෙනවා Martyr කියලා. එහි අදහස තමයි, “භක්තිය, සමය, මතය ප්‍රතික්ෂේප කිරීමට එකඟ නොවීම නිසා මරණයට පත් වන්නා, සිය මතය වෙනුවෙන් දිවි පුදන්නා, ප්‍රතිපත්තිගරුක බව නිසා දුක් විඳින්නා” (මලලසේකර 2000). දේව මෙහෙය අවසන් වෙලා අන්තිම ආශීර්වාදය කිරීමට අත ඔසවත් ම පැමිණි ඒ රුදු උණ්ඩය එතුමාගේ ඒ උදාර හිස කුඩුපට්ටම් කළා. අල්තාරය හා බයිබලය ලෙයින් පෙඟුණා. බිත්තිවල මස්වැදලි ඇලුණා. අලුයම වන විට සිරුරෙන් රුධිරය සම්පූර්ණයෙන් පිටවෙලා සිරුර කහ ගැහුණා. ඒ , 1987 නොවැම්බර් 10 අඟහරුවාදා රාත්‍රී 7.30 ට.

1927.06.30 මයිකල් පියතුමා උපන්නෙ දෙහිවල දි. අම්මා, ජෝර්ජියානා. තාත්තා, රිචඩ්. 1932 සිට 35 දක්වා එතුමා දෙහිවල ශාන්ත මරියා විදුහලෙන් සහ 1935 සිට 46 දක්වා දිවිතික අධ්‍යාපනය පිණිස බම්බලපිටියේ ශාන්ත පීතර විදුහලෙන් ශිල්ප ලැබුවා. 1947 දි තමයි පැවිදි පුහුණුවට නිමල මරිය නිකායට (නි.ම.නි.) (Missionary Oblates of Mary Immaculate-O.M.I) ඇතුළු වෙන්නෙ. රෝමයේ පිහිටි නිමල මරිය නිකායික ජාත්‍යන්තර ආයතනයේ මේ පුහුණුව ලබන්නෙ. එතුමාගේ උසස් අධ්‍යාපනය ආචාර්‍ය උපාධි දෙකකින් යුක්ත වෙනවා. රෝමයේ ජෝර්ජියන්-Georgian විශ්වවිද්‍යාලයෙන් (නිබන්ධ අධීක්ෂක, ගොනියර් පියතුමා) හා ප්‍රංශයේ Institute Catholic de Paris සරසවියෙන් ඒ සුදුසුකම් ලබන්නෙ. එම පර්‍යේෂණ නිබන්ධ, සමකාලීන ආගම් සහ බෞද්ධ දර්ශනය පාදක කරගෙන ලියැවෙනවා. පැරීසියේ පර්‍යේෂණ නිබන්ධයේ මාතෘකාව, “ කිතුනු ආගම හා වෙනත් ආසියාතික ආගම්වල ඉගැන්වෙන එතෙර වීම” යන්න යි. ප්‍රංශය ඔහුට මහාචාර්‍ය පදවියක් පිරිනැමුවා. බොදුනු, කිතුනු දැනුම් කලාප ගැන මෙබඳු ගැඹුරු අවබෝධයක් පෙන්නුම් කළ උදාර විද්වතුන් අතර මහාචාර්‍ය ඇලෝසියස් පීරිස් පියනම හා නැසී ගිය ආචාර්‍ය නලින් ස්වාරිස් අපට සිහි වෙනවා.

විදෙස් පුහුණුවෙන් අනතුරුව එතුමා සිරිලක ජාතික දෙව්සත්හලෙහි සේවය පිණිස මහනුවර, අම්පිටියට පැමිණියා. 1955 සිට 1975 දක්වා දිගු කලක් දේවධර්ම ආචාර්‍යවරයෙකු ලෙස කටයුතු කළ උන්වහන්සේ කතෝලික දහම පිළිබඳ ව මඳක් වෙනස් ප්‍රවේශයක් සහිත ව තියුණු මැදිහත්වීම කරනවා. වතිකානු කතිකාවත ආදී විදෙස් සම්මේලනවල දි මෙන් ම ලංකාවේ දි ද මේ වෙනස එළිපිට ම පෙනුණා. විටෙක සිරිලක කතෝලික සභාව හා රෝමය මේවා ගැන නොසතුට පළ කළා.

1973-75 කාලයේ කොළඹ සමාජීය හා සාමයික කේන්ද්‍රයට සම්බන්ධ වූ එතුමාට බදුල්ල රදගුරු ගරු ලියෝ නානායක්කාර පියතුමාගෙන් ඇරයුමක් ලැබුණා. ඒ, බණ්ඩාරවෙල “සේවක සෙවණ” බාර ගෙන පූජක සිසුන් පුහුණු කිරීමට. එය එතුමා කදිමට ඉටු කළ බව කිව යුතු යි. එතනින් තමයි ඌව වෙල්ලස්සට මයිකල් පියතුමා ඇදී යන්නෙ. ඒ අනුව, 1980 බුත්තල , අලුකවිට ගමට පැමිණි එතුමා “ග්‍රාමීය බොදුනු-කිතුනු සංවාද හා අවබෝධ හවුල, Centre for Buddhist-Catholic Dialogue and Conscientization” හෙවත් සුප්‍රකට “සුබසෙත් ගෙදර” පිහිටුවා ගනු ලැබුවා. 1980-87 ඒ සත් වසර ලංකාවේ ග්‍රාමීය ගොවිජන ජීවිත පරිවර්තනය ගැන පාඨමාලාවක් වගේ. න්‍යායික දැනුම, මහපොළොවට පැමිණ පැළ කිරීමේ ප්‍රයත්නය අතින් එතුමා, ආචාර්‍ය නිව්ටන් ගුණසිංහ පන්නයේ ඓන්ද්‍රීය බුද්ධිමතෙකුට සමාන වෙනවා. සුබසෙත් ගෙදර කියන්නෙ නියම නිර්ප්‍රභූ මැදිහත් වීමක්.

මයිකල් පියතුමාගේ ‘අලුත් දහම’ බුත්තලින් ලෝකයටත් ගියා. බැංකොක්, වරනාසි, රෝමය, ප්‍රංශය, සැන් ෆ්‍රැන්සිස්කෝ දක්වා පැතිරුණා. සාමාන්‍ය දිව්‍ය පූජාව මඳක් සංශෝධනය කරගෙන ‘ජනවන්දනා’ ක්‍රමයක් හදා ගත්තා. අම්පිටියේ උගන්වන අතරේ වෙනත් මීසම්වලට ගොස් පටන් ගත් ජන වන්දනා 1000 ඉක්මවා කළ බව යි කියවෙන්නෙ.

සුබසෙත් ගෙදර කියන්නෙ නියම ප්‍රජාමූල අත්හදා බැලීමක්. මුලින් ම මිනිසුන් සිතූයේ ආගම් ප්‍රචාරය පිණිස පාදිලිතුමෙකු පැමිණ ඇති බව යි. එහෙත් ඒ අවබෝධය වෙනස් වී පියතුමාගේ සැබෑ අපේක්ෂාව ඉක්මනින් මිනිස්සු වටහා ගත්තා. ජනතාවගේ දුගී බව, අසීමිත ජන පීඩනය, දේශපාලනයෙන් රැවටෙන අසරණ මිනිස් ජීවිත එතුමාගේ හද රිදෙව්වා. මේ අගාධයෙන් ගොඩ ඒමට නම් කිතුනු -බොදුනු නියම සාමයික අවබෝධයක් ඇවැසි බව තේරුම් ගත්තා.
එතුමා මිනිසුන් සංවිධානය කළා. අවධි කළා. හැම ප්‍රශ්නයක් ගැන ම ලිපිගොනු හැදුවා. මුල්‍ය ආධාර සොයා ගත්තා.

  1. පානීය ජල ප්‍රශ්නය: නළ ළිං සඳහා යොමු කළා.
  2. මැලේරියාව, මන්දපෝෂණය, පාචනය තුරන් කිරීමට ගමේ ම සෞඛ්‍ය සේවිකාවන් පුහුණු කළා.
  3. ගමේ ම ඖෂධ පැළෑටිවලින් බෙහෙත් හදන්න යොමු කළා (නොරාඩ් ආධාර).
  4. මූලික අධ්‍යාපනය හෝ නැති ව සිටි අයට අධ්‍යාපන අයිතිය ලබා ගන්න වැඩ කළා. ඉංග්‍රිසි ඉගැන්නුවා. ළමා පුස්තකාලයක් පටන් ගත්තා.
  5. බහුජාතික පොහොර වෙනුවට ගමේ ම පොහොර හදන්න යොමු කළා.
  6. අඩු පොළියට ණය දෙන ක්‍රමයක් හැදුවා.

‘ඉතිං මේ මිනිහා නොමරා කොහොම ද?’ කියලා ඔබට නොසිතේ ද? මයිකල් පියතුමාට තිබුණේ වාමාංශික අදහස්. දැනුම. ඉතිං විරුද්ධවාදීන් හැදුණා. ප්‍රාදේශික දේශපාලනයට හිසරදයක් වුණා. තර්ක විතර්ක , නෝක්කඩු ඇති වුණා. පොලිසි ගියා.
1987 වන විට රටේ තත්වය හැම අතින් ම නරක් වුණා. පාලක පක්ෂයේ ප්‍රාදේශික ආධාරකරුවෙකුට කළ වෙඩිතැබීමක් නිසා ඒ අඩවිය කැළඹුණා. මේ වන විට පියතුමාට ඉතා පහසුවෙන් ජනතා විමුක්ති පෙරමුණු ලේබලය අලවලා තිබුණේ. සුබසෙත් ගෙදර වට කළා හමුදාවෙන්. මේ වන විට ගමේ තත්වය ඉතා දරුණු බැවින් ගමෙන් ඉවත් වීමට පියතුමාට බල කෙරුණා. ගරු තිස්ස බාලසූරිය පියනම හමු වී උපදෙස් පැතුවා. එහෙත් මයිකල් පියතුමා සිය ඉලක්කය අත් හරින්න සූදානම් වුණේ නැ, එයා Martyr කෙනෙකු නිසා. ඒ දිනය ළඟ බව දැනෙන්න ඇති එතුමාට. “ මා මරණ බවට තර්ජන එල්ල වී ඇත. ඒ මා දිළිඳුන්ගේ පැත්ත ගත් නිසා ය”. මේ උද්ධෘතය එල්සැල්වදෝරයේ අතිඋතුම් ඔස්කා රොමේරෝ අගරදගුරු හිමියන්ගෙනි. එතුමා ද දුප්පතුන්ගේ සැබෑ සතුරන් විසින් ඝාතනය කෙරිණ. මයිකල් පියනම කරා ආවේ ද ඒ ඉරණම ය.

ඒ විශිෂ්ටයාගේ අවසන් හෝරාව සියැසින් දුටු ශිරාණි ද සිල්වා මෙණවිය තම බිහිසුණු අද්දැකීම විස්තර කරලා තිබුණා. “1987.11.04 දා තමන් කළ සේවාවට අදාළ සියලු ලිපිගොනු මොණරාගල දිසාපති කන්තෝරුවට ගෙන ගොස් දුන්නා. හමුදාව ෆාදර්ට චෝදනා කළා. තහනම් කරපු දේශපාලන පක්ෂයකට ඔබ උදව් කරනවාලු. ඔබ මෙහේ ඉන්න එක එක්තරා කොටසකට ලොකු බලයක්ලු…ඔන්න ඔහොම. ‘අපි හැමදාම ජීවත් වෙන්නෙ නැ. මැරෙන්න කලින් මම දන්න සේරම කාට හරි කියා දෙන්න ඕනෙ. ඉගෙන ගන්න කම්මැලි වෙන්න එපා’ ෆාදර් නිතර එහෙම කිව්වා. අපේ පළාතේ බලවතෙකුට වෙඩි තියලා. හමුදාව පිරුණා ගමේ. අපේ සුබසෙත් ගෙදර වට කරලා පරීක්ෂා කළා වාර ගණනක්. දිව්‍ය පූජාව අවසානයේ ‘ මාගේ ආත්මය ඔබගේ හස්තවලට බාර කරමි’ කියා අවසන් ආශීර්වාදය පිණිස අත් එසෙව්වා. යම් ශබ්දයක් , රස්නයක් හා කුණාටුවක් අප අතරින් හමා යන අයුරක් දැනෙනවාත් සමග ම මට සිහිය නැතිව ගියා. යළිත් පියවි සිහිය ලද විට ගෙයි හැමතැන ම විසි වී තිබූ කෑලි දුටුවත් ඒ පියතුමාගේ කෑලිය කියා හිතුවෙ නෑ”.

1980 අලුකවිට දී, දයානන්ද පරණගම මහතාට පියතුමා හමුවන විට වයස අවුරුදු 13 යි. බොරු පොරොන්දු නොදුන්, ලෑල්ලක වැතිරී නිදාගත් මේ අමුතු සුවාමි ගැන ඔහු හඬා වැටුණා. “ බුත්තල ගැමි , ගොවි ජනතාවට සෙවණ දුන් මහා බෝ ගහක් වගේ එතුමා මේ ගමේ බැබලුණා. බුත්තල ප්‍රදේශයට එළිය දෙන පහන් සිළුවක් මෙන් එතුමා බැබලුණා”.
ගරු තිස්ස බාලසූරිය පියතුමා: “පල්ලිය කේන්ද්‍ර කරගත් පූජාව වෙනුවට ජනතාව කේන්ද්‍ර කරගත් පූජාව වැදගත් බව එතුමා වටහා ගත්තා”.

ගරු ඩැල්ස්ටන් ෆෝබ්ස් පියතුමා: “මරණය විසින් කපා හෙළනු ලබන විටත් මයිකල් පියතුමා වැඩෙමින් සිටියේ ය”.
ගරු රීඩ් ෂෙල්ටන් ප්‍රනාන්දු පියතුමා: “ එතුමා බුත්තල දී එකම පුද්ගලයෙක්වත් බෞතීස්ම කළේ නැ. එතුමාගේ කාර්‍ය කිතුනු-බොදුනු සංවාදය. බෙල්ජියමේ ආයතන දෙකක මයිකල් පියතුමාගේ පින්තූර හා ජීවන විස්තර ප්‍රදර්ශනය කර තිබුණා. එතුමා දෙවැනි රොමේරෝ ලෙස හඳුන්වා දී තිබුණා”.

ගරු ජූඩ් ලාල් සොයුරුතුමා: “ දිළිඳුන්ගේ පැත්ත ගනිමින් ඔවුන් හා එක් වී ඔහු නැගූ මේ හඬ සැබැවින් ම දිළිඳුන් දිළිඳු බවේ තබාගෙන සිටි පීඩකයින්ට මහා තර්ජනයක් ම වූවා. එතුමන් මරා දැමීම ගොවි ජනතාව මරා දැමීමට කරන ලද කුමන්ත්‍රණයේ ම ප්‍රතිපලයක්”.

මයිකල් පියතුමාගේ කුරිරු ඝාතනයත් අනෙක් බොහෝ දේ මෙන් යට කර දැමුවා. අදටත් යුක්තිය ඉටු වෙලා නැහැ. අවුරුදු 4 ක් පමණ පර්‍යේෂණ කරලා ආචාර්‍ය ධර්මසේන පතිරාජ තිරනාටකයක් ලිව්වා බුත්තල දී ඝාතනය වූ දෙදෙනෙකු ගැන. එක් අයෙක් කතෝලික මයිකල් පියතුමා. අනෙක් කෙනා බෞද්ධ රත්මලානේ සීලරතන හිමියන්. පතිරාජ ඒකට නම දැම්මෙ ‘දෙනම’ කියලා. චිත්‍රපටය අවසන් වුණේ නැහැ. පූර්ණ විස්තරය දන්නවා ඒ වැඩේ සමග සිටි සරත් කැල්ලපත මහතා. එසේ ම විජිත් රොහාන් මහතා මේ අසම ජීවිතය ඇසුරින් ‘බුත්තල නත්තල’ නමින් රූපවාහිනි රචනාවක් නිම කළා. ඒක පොතක් ලෙස තියෙනවා.

බුත්තල, අලුකවිට සුබසෙත් ගෙදර කියන්නෙ නැවත මතුකර ගන්න වටිනා අතීතයක්. මයිකල් රුද්‍රිගු පියතුමා කියන්නෙ ලංකාවේ පහළ වූ විරල , ප්‍රාණපරිත්‍යාගී අසීමිත මිනිසෙක්.

විශේෂ සටහන:

කැලණි සරසවි ඇදුරු විජිත් රොහාන් මහතා මරදානෙ සමාජ සාමයික කේන්ද්‍රයේ අනුග්‍රහයෙන් මූලාශ්‍රය සපයා දුන්නා. එක්සත් ජනපදයේ ප්‍රින්ස්ටන් සරසවි ඩිජිටල් කෝෂ්ඨාගාරය අපේ මයිකල් පියතුමා ගැන සකලවිධ සාක්ෂි රැස් කරලා තියෙනවා. ඉතා උසස් මට්ටමේ මූලාශ්‍රය 143ක් ස්කෑන් පිටපත් ලෙස තියෙනවා. 1960-1990 කාලයේ පියතුමා ලියූ, එතුමා ගැන ලියූ ලිපි, සමරු කලාප, පින්තූර ආදී විස්තෘත සාක්ෂි සම්භාරයක් ‘ශ්‍රී ලංකාවේ විරෝධාකාල්පිකයන් හා ක්‍රියාධරයන්: මයිකල් රුද්‍රිගු එකතුව’ යටතේ සංග්‍රහ වී තියෙනවා. ඊට අමතර ව මෙබඳුම විරල විශිෂ්ටයන් වූ තිස්ස බාලසූරිය, පෝල් කැස්පස්, යොහාන් දේවානන්ද ගරු පියතුමන්ලා ගැන ද එම මූලාශ්‍රය ගබඩාව ම තොරතුරු නිධානයක් රැස් කරලා තියෙන බව කියන්න ඕනෙ.

හිනිදුම සුනිල් සෙනෙවි

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...