‘රත්න ශ්‍රී යනු ලාංකීය කවිය තුළ මග හැර යානොහැකි කවියෙකි’ – චූලානන්ද , ‘ඒ පරපුරේ ආදරණීයම දෑත’ – ප්‍රියන්ත

Share post:

2023 ජූනි මාසය තුළ සාහිත්‍ය ක්ෂේත්‍රයට වැදගත් අවස්ථා දෙකක් සළකුණු වනු ඇත. ඉන් පළමුවැන්න රත්න ශ්‍රී ගේ කාව්‍ය ව්‍යාපාරයේ වැදගත්ම සළකුණක් වන වස්සානේ ඉංග්‍රීසි බසට පරිවර්තනය කරන ලදුව ජූනි 02 පදනම් ආයතනයේදී එය එළිදක්වනු ලබන අවස්ථාවය. එදින ඔහුගේ දිවි ගමනේ සැත්තෑවෙනි වියද සපිරෙනු ඇත්තේය.

රත්න ශ්‍රී යනු ලාංකීය කවිය තුළ මග හැර යානොහැකි කවියෙකි. එසේම ඔහු ගීත රචකයෙකු ලෙසද කළ මැදිහත්වීම අමතක කළ නොහැකිය. ඒ සියල්ලටමත් වඩා ඔහු නවක කවි කිවිඳියන් වෙත පෑ අවධානය ඉතාම වැදගත් වෙයි.

අනෙක් වැදගත් අවස්ථාව වනුයේ ආරියවංශ රණවීර කවියාගේ නවතම කාව්‍ය සංග්‍රහය වන කඳු නගින්නෝ එළි දකින අවස්ථාවයි. ඒ යෙදී ඇත්තේ ජූනි 14 දින සවස තුනටය. තැන මහවැලි කේන්ද්‍රය ය. ආරියවංශ රණවීර යනු ලාංකීය කවියෙහි ඉතා සීරුවට සිය මං පෙත සකස් කර අමතක නොවන මැදිහත්වීමක් කළ කවියෙකි. විශේෂයෙන් සංක්ෂිප්ත කවිය අරභයා ඔහු කළ මැදිහත්වීම කැපී පෙනෙයි. ඉදින් එදින ඔහුගේ කවිය පිලිබඳව සුනිල් විජේසිරිවර්ධන සහ දිලිප් කුමාර් ලියනගේ සහෘදයන් කතා කරනු ඇත.

සහෘදයිනි, කවියනි, කිවිඳියනි, අප අතර විවිධ මතිමතාන්තර තිබෙන්නට පුළුවන. සාහිත්‍යය විෂයෙහි අප අතර නොඑකඟතා තිබෙන්නට පුළුවන. එහෙත් ඒ කිසිවක් මේ වැදගත් මැදිහත්කරුවන් දෙදෙන ඇගයීමට බාධා නොවේ.
එහෙයින් කවර වැඩක් තිබුණද මේ දින දෙක වෙන් කරගනු මැනවි. අපට කළ හැක්කේ එයයි. අපේ සතුට අදාල දින දෙකෙහිදී ඔබ සියළු දෙනා දැකීමය.

චූලානන්ද සමරනායක

නිදි නැති රැයේ සඳ ගැබ කඳුළු මීදුම
ජන හද බිමේ බිඳ කටු කම්බි මායිම
වියපත් නොවන සියපත් සුවඳ විඳිනට
විහඟුනි වරෙව් තුඩින් හදවත් අරගෙන..!

විමල් කැටිපෙආරච්චි

ඒ පරපුරේ ආදරණීයම දෑත

හැත්තෑවකින් විස්සකි අපගේ ඇසුර
පරපුරකට ඉතිං ඔබමය අත්පසුර
දිය හැකි දෙයක් දීමට හිත නැත මසුර
ආදරයමයි ළග ඇති ඉහළම ඉසුර

සෑහෙන පොතපතක ඔබ වනවිට ඕත
මොකටද වැණුම් එක එක ගැන කවි ගීත
වත්කම් පිරුණු හිතවත්කම් ළගපාත
ඒ පරපුරේ ආදරණීයම දෑත

ඔබ ගැන පෙළක් උන් හට ඇති විවේචන
ඒ හොද නරක සම සේ ගෙන හිනාවුණ
වැරදුණු තැනක් නැති උන් ලොව කොහේ වෙන
ඒකම තමයි මිනිහෙකු⁣ගේ ගුණාගුණ

අවුරුදු විස්සකට හමුවුණු දවස් ඇතී
එදවස ගත්තු ආතල් නම් ලොවෙත් නැතී
ලිවියැකි ලිහා දමමින් කවි පොතක් ගතී
අප ඇසුරෙහි තිබූ නෙක වර්ණවත් පැතී

එන්නම් දකින්නට ළගදිම ඔය රූපේ
නිවිසැනසිල්ලෙ ඉන්නා දවසක බෝපේ
ගීයක් හෙම ගයා දමමින් ආටෝපේ
රම් අඩියකින් සීතල කළ හැක තාපේ

ප්‍රියන්ත කොඩිප්පිලි

ලේන්බාන් වීදිය සොයව් සකියනේ

අඩ සියවසක කලා දිවියක්. සත් දශකයක මනු දිවියක්. ආචාර්‍ය රත්න ශ්‍රී විජේසිංහ, පරපුරු කීපයකට අත් පසුර දුන් ගුරුතරුව. පාසැල් වියේ සිට අපි ගියා ලේන්බාන් වීදිය සොයා. ඒ නිවාත ගුණයෙන් හෙබි සරල මනුස්සයා. හරි ම පුදුම යි අපට. ඔහුගේ අත් අකුරින් අඩුපාඩු, විවරණ සහිත ව මගේ කවි සැකිළි ආවා පෙරළා සරසවි නේවාසිකයට. දැන් මිතුරන්ටත් පුදුම යි.

විවිධ දේ ලියැවෙනු දුටුවා ඔහු ගැන මේ දිනවල. ඇතැම් තැන මග වැරදුණු බව ඔහු ම කියනු ඇසුණා යම් දෙසුමක. සංකීර්ණ නොවෙ ද මෙදිවි, පරස්පරතා ගහණ. ත්‍රිමා විතාන සොයුරා සතියක් හමාරක් ඔබේ ඇතුළු ගෙයි සුරැකි හැටි..විජේදාස ලියනාරච්චි රිච්මඩ් මිතුරා පාසැලේ දී දුන් දේශපාලන විවරණ….ත්‍රිමා ගැන ‘හන්තානේ කඳු දණ ඇන නමදින’ ලියූ ඔබ ව හතරවෙනි තට්ටුවට ඇදගෙන ගිය වග…ට්‍රන්ක පෙට්ටිය පතුළේ තිබූ කුඩා රත්තරන් සුර 12 ක් සහිත රන් හවඩිය නන්දන මාරසිංහ සොයුරා සමග ගාල්ලෙ කිත්තංගෙට ගොස් විකුට පක්ෂයට දුන් මුදල…අනේ මේත් ඒ ඉතිහාසය ම තමයි. ඒ යම් ලිපියක පෙන්වා දුන් ප්‍රතිවිරෝධතාවලින් තුරන් වූ දිවියක් ම තිබුණේ නම් කදිම තමයි. එම චර්‍යා එක් පසෙකටත්, මහා කලා අස්වනු අනෙක් පසටත් දමා කිරා බලනවාට වඩා මිනිස් දිවියක ගති සොබා ලෙස ගැනීම නුසුදුසු ද?

ඒ ළතෙත් හදවත ගැන මම දනිමි. එය, කළල් දියේ පිපී වැනී ගිය සුදු නෙළුමක්. කාමරයේ ම තියෙන පුංචි ලී වංගෙඩියේ ඉඟුරු කොටලා තේ එකක් හදා දෙන්න කැමති සරල මිනිහෙක්.

ජුනි 02 දා පදනම් ආයතනයට පැමිණ කෘතවේදී වෙමු, මැවූ රසෝඝයට.

හිනිදුම සුනිල් සෙනෙවි

කැපකිරීම

මල් යාය මල් සුවඳ නැත ය නැත මය කියා
උයන්පල් තුරු මුදුන් සොවින් සිටියා සැබැයි
වැසි නැතත් මතු දවස දුර උයන් නිම්නවල
පණ ගහන මුල් අදින රෙහෙනු දුටුවේ ඔබයි
රත්න ශ්‍රී විජයසිහ! අපේ පරපුර ඔබට
නව සුවඳ අස්වැන්නෙ කැකුළු දාහක් ණයයි
වෙිදනා කැටි ගැසුණු හද සිනහ අතු මතින්
පාදලා ඔබට දෙන මේ මගේ මල් මිටයි

(ලක්ශාන්ත අතුකෝරල අනබිසෙස් අනබිනික්මන් කෘතියේ පිදුම)

ඔබ උගැන්වීමේ යෙදුණු
පන්ති කාමරයක….
සිසුවෙකු නොවීමි මම
කවදාවත්!
මා උගෙනුම ලැබූ
පන්ති කාමරයක
ගුරුතුමා නොවිණි ඔබ
කවදාවත්!!
එහෙත් ඔබ…
අපගේ ගුරුතුමා ය!

ප්‍රියන්කාරගේ බන්දුල ජයවීර

චිරං ජයතු !

මිහිරිම ගීත ගයන
හඳුනන කුරුල්ලෙකු ට
කවි ගී විතරක් ඇති
ලොව අවදිව තබන්න
හද සනසා නිවන්න

ආ මග රළු බොරළු ය
පා ඇනි කටු බොහොම ය
එකතැන නැවතුනා ද
යන ගමන ම පෙරට ය

විස හී ගත් පිරිස ය
හී මානනු රිසි ම ය
හී ඇද බිම හෙළනුව
ඔබ හද තව සොයනු ය

ලේ වැකි අත් බොහොම ය
මුව පිරුණේ බොරු ම ය
උන් ඔබ ගෙල පළඳන
මල් මාලා දරුණු ය

ඇල කර ගත් හිස ම ය
දෙතොලග මඳහස ම ය
දිවිය ම වෙහෙසක් වුව
ඔබෙ හඬ තව තුරුණු ය

කාශ්‍යප සත්‍යප්‍රිය ද සිල්වා

2023.06.02.

චිරං ජයතු රත්න ශ්‍රී

කවිය යනු හුදු “මනෝරාජික” සාහිත්‍ය ශානරයක් නොව එය කවියාට පසුබිම්වන සමාජ දේශපාලධ ආර්ථික හා සාමාජීය චලනයන් යථාර්ථවාදීව නිරූපණය කෙරෙන සජීව කලාවක් බවත්, ගේය පද රචනය යනු වචන සවරාරූඩ කොට මුදාහරින ‘සුසුම් පද” ගෙත්තමක් නොව දියුණු සංගීත රචනාවකට කේන්ද්‍රීය හැඟීම් සම්පාදනය කරන අර්ථ ගම්භීර්යය පද රචනාවක් බවත් දැඩිසේ විශ්වාස කළ නිර්මාණ කරුවෙකි රත්න ශ්‍රී…ඔහු පරපුරකට ප්‍රදීපස්ථම්භයක් වනුයේ එකී විශ්වාසය සිය නිර්මාණ තුළින් විශද කරන්නට දැරූ පරිකල්පනමය වෙහෙසත් කවියේදීත් ගේය කාව්‍ය රචනයේදීත් ප්‍රකට කළ අද්විතීය ප්‍රතිභාවත් නිසාවෙනි..ඔහු අප පරපුරකට ප්‍රදීපස්ථම්භයක් වූ පුරෝගාමී කවියාය…නව පරපුර ඔහු සොයා පැමිණියේ හුදෙක් ඔහුගේ කාව්‍ය ප්‍රතිභාව නිසා ම නොව ඒ කවි අතරින් බැස මහපොළොවේ ඇවිද යන උණුසුම් හදවතක පහස විඳගනු රිසියෙනි… අපට රත්න ශ්‍රී හමුවන්නේ කවි පොත් අතර පමණක් නොවේ.. ඔහු අපට වඩාත් දැනෙන්නේ ඒ කවිවලට ජාන සම්පත් සැපයූ ඔහුගේ අව්‍යාජ මනුස්ස හදවතත් කවිය හා එකම අසුනකදී හමුවන බැවිනි….තම පුද්ගලික නිර්මාණ ජීවිතය පමණක් නොව සාහිත්‍ය කරුවකුට මග හැර යා නොහැකි සමාජ වගකීම් විෂයෙහි දී ද රත්න ශ්‍රී සිටින්නේ බොහෝ සමකාලීන නිර්මාණකරුවනට වඩා ඉදිරියෙනි…විමානයෙන් නොබසින බොහෝ සාහිත්‍ය කරුවන්ට වඩා රත්න ශ්‍රී අපට සුන්දර වන්නේ ද එබැවිනි.. ඔහු අතින් ලියැවෙන දේ තුළ මෙතරම් “වාජීකරණ ගුනයක්” රඳා පවතිනුයේ ද ඒවා ඇත්ත ජීවිතයක සැබෑ ස්පර්ෂය අපට ප්‍රධානය කරන නිසා යැයි මම සිතමි…අද දින හේ සිය ජීවන ගමනේ හත්වන දශකයත් නිර්මාණ දිවියේ පස්වන දශකයත් සමරන අභ්‍යාසවෘද්ධ පරිණත වනස්පතියක්ව සිටියි..ඒ අඩසියවසක නිර්මාණ චාරිකාව යනු අතිශය විචිත්‍ර වූ ද අස්වනුබරිත වූ ද එකකි.අද ඒ මතකාවර්ජන සමග කොළඹ පදනම් ආයතනය පිරීතිර යනු ඇත..

සුන්දර කිවිවර, ඔබට සුබ උපන් දිනයක් වේවා…! දීර්ඝායු වේවා !

රවී සිරිවර්ධන

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...