දාවිත් – සිවිල් ඇඳුමෙන් සැදුණු බළ සෙනඟ උන් වහන්සේ ඝාතනය කළහ – එම්. ඒ. නුහුමාන්

Share post:

මිකැලාංජලෝ මැවූ කිරි ගරුඬ රුව දිටිමි දාවිත්
කැටපෝලෙ ළෙලවාන ගොලායත් බිම දැමූ දාවිත්
ගීතාවලිය පුරා වේදනා කවි ලියූ දාවිත්
නුහුමානුවන් ලියූ කවිය ළඟ ඔබ සොයමි දාවිත්

බාබෙල් කොතින් ගැලූ භාෂා දියේ පෙඟුණ දාවිත්
ඉන්දු නිම්නය දිගේ යාපනෙට ආවාද දාවිත්
යාපනය මොන තරම් වරනැඟෙන කඳුළක්ද දාවිත්
ඒ දිදුළ දුක් කඳුළ ලත් දෙමළ නෙත් සඟළ දාවිත්

නාගදීපය වැඳන් එන අතර සැදැහැවත් අලි ඇත්තු
යාපනේ පොත්ගුලේ වැඩ උන්නු සම්බුද්ධ වැඳගත්තු
අලි ඇත්තු අතර උන් ‘අතිමහත් බහුතරය’ වැදගත්තු
සැඟවිලයි ඉන්නැත්තෙ පිස්තෝල කරකවන බැතිමත්තු

බැතිමතුන් යළිඳු ඒ වෙසක් මහ අවසාන රෑ විත්
මුනි බඳට වෙඩි තියනු ඔය ඇසින් දුටුවාද දාවිත්
පොත් ගුලට ඇතුළුවන එ පියගැටපෙළ ළඟට නෑවිත්
නිදි කුටියෙ කවුළු දොර විඳ තැවුල විඳ ගනිමි දාවිත්

ලේ විලක් මැද තිබුණ සම්බුද්ධ ඒ නිමල බඳ
ඇදගෙන ගිහින් දමා දසදහස් පොත් අතරමැද
තුඟු සිරුර සඟවලා පොත් වලින් චිතකයක් බැඳ
ගිනි අවුළුවනු පෙනී පුපුරා ගියෙද ඔබගෙ හද?

නිසලවුණු හද පතුළ සඟවගෙන එළි නොදුටු ශාස්ත්‍රය
හද නිනද නැඟුණාද ඒ සිඟාලෝවාද සූත්‍රය
ඔබ මතක නැති හදින් හද තබමි මේ මතක මාත්‍රය
අපට නම් තවම ඔබ ඇස් පියූ ඒ පොසොන් රාත්‍රිය

සටහන – ආචාර්ය හයිසින්ත් සිංගාරයර් දාවිත් පියතුමා යාපනයෙන් බිහිවූ භාෂා පඬිවරයෙකි. ‘ඉන්දු ආර්ය භාෂා’ සහ පොදුවේ ‘භාෂා නිරුක්තිකය’ පිළිබඳ සුවිශේෂම ප්‍රාමාණිකයා වූ ඔහු භාෂා තිස් තුනක් දැන සිටි අතර අඛන්ඩව යාපනය පොත්ගුල කේන්ද්‍රකරගනිමින් භාෂා ශාස්ත්‍ර අධ්‍යනයන්හි යෙදුණේ ය. 1947-51 අතරතුර ඉන්දියාවේ හා යුරෝපයේ ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි කරන වකවානුවල ඇරණු කළ ඔහු 1936 සිට ඉගැන්නුම කටයුතු කළේ තමන් ද ආදි ශිෂ්‍යයෙක් වූ යාපනය සාන්ත පැට්‍රික් විදුහලේ ය. එය, යාපනය පුස්කාලය ඒ අසල තිබීම ඔහුගේ අඛන්ඩ භාෂා අධ්‍යනයන්ට මහත් පහසුවක් සහ පිටිවහලක් විය.

1981 මැයි 31වැනිදා රාත්‍රියේ, දකුණේ දේශපාලකයන් ඇතුළු මිලිටරි යාන්ත්‍රණය විසින් යාපනයේ කීර්තිමත් පුස්තකාලය, එහි තුළ වූ අනූ දහසකට අධික පත-පොත, අත්පිටපත්, පුස්කොළ පොත් සමඟ ගිනිබත් කළ සිද්ධියෙන් අතිශය කම්පාවට පත්වූ ඔවුහු හෘදයාබාදයෙහි වෙලී ජූනි පළමුදා රාත්‍රියේ තම කුටියේ තම යහනෙහිම මිය ගියහ.

මංජුල වෙඩිවර්ධන

සිතුවම : රවිඳු ප්‍රනාන්දු

Related articles

‘සිංහල අධ්‍යයන’ හා ‘සිංහල සංස්කෘතික අධ්‍යයනවලින්’කළ හැක්කේ කුමක්ද?

2026 ජනවාරි 8 වනදා කොළඹ විශ්වවිද්‍යාලයේ නව කලාගාරයේ පැවති ‘මහැඳුරු අනඳ අබිමන් උවසර උළෙලේදී’ සසංක පෙරේරා කළ කතාව. ප්‍රවේශය මහාචාර්ය...

“හැම ආගමකම සාමය ගැන පණිවිඩයක් මතුකරගන්න විභවයක් තියනවා”

හිතට කනස්සල්ලක් දැනුනම, ඒ බර තනිව දරාගන්න බැරි වෙද්දි, මිනිස්සු හැමෝම කුමක් හරි දෙයකට ඇබ්බැහි වෙනවා. කෙනෙක් සංගීතයට,...

“ලාංකේය අව්‍යාජත්වයේ ජාතිකවාදී ආලංකාරිකය වෙත ආපසු හැරී බැලීමක්”

ශ්‍රී ලංකාවේ ජාතිකවාදී දේශපාලනය දිවයිනේ පශ්චාත් යටත් විජිත ගමන් පථය හැඩගැස්වීමෙහිලා කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කර ඇත. දශක ගණනාවක...

ජාතියක් අධිනිශ්චය නොවන නිදහසක් මෙවර සැමරුවා

මෙවර නිදහස… මෙවර නිදහස් සැමරුම ගැන කියද්දි මේකත් කියන්න ඕනි. ඒ තමයි යහපාලනයේ යම් මොහොතකදි දැක්කට පස්සේ ජාතිවාදයෙන් නැත්නම්...