සංගීත භාණ්ඩයක් සුසර කර ගත්තා මෙන් , ඇය සිය කවි බස සියුම් කරගෙන තිබේ

Share post:

පද්මිණී ශ්‍රියාලතා – ‘එය අළු පැහැති කවුළුවකි’

මේ කාව්‍ය සංග්‍රහය ඊයේ කියැවීමි. ඇගේ හැම කවි පොතක්ම මම කියවා ඇත්තෙමි. මෙහි විශේෂයක් දුටිමි. සංගීත භාණ්ඩයක් සුසර කර ගත්තා මෙන් , ඇය සිය කවි බස සියුම් කරගෙන තිබෙනයුරු කැපී පෙනුණේය. හැම කවියකම අනුභූතිය කතා පුවතක් ගෙනහැර දක්වන – දෑතට හසුවන ඒවා නොවීම ද විශේෂයකි. කිවි’දියගේ පරිකල්පන ශක්තිය – ඉසියුම් නිරීක්ෂණ තුළින් උපන් මනරම් කවිකම් ආස්වාදනීය බව නොවළහා කියනු කැමැත්තෙමි. කෙටියෙන්ම සඳහන් කරනු කැමැත්තේ ‘මුහුකුරා ගිය කවිකම’ කෘතිය විදහා පෑ බවය. ප්‍රතිභාසම්පන්න – කවියන් – කිවි’දියන් කිහිප දෙනෙකු ඉහළ තැනකට එසවූ කවිය සමග සදාශ්‍රය, මේ කාව්‍ය සංග්‍රහයෙහි දුටු දියුණු හැම ලක්ෂණයකින්ම නිරීක්ෂණය විය. පරිසරය – සොබා දහම සීරුවට කියවීම හා ඉන් පසක් කළ ජීවන සත්තාවන් සංකේෂපයෙන් – ළා සායමින් පරිස්සමින් සිතුවමකට නඟන ඉවසිලිවන්ත කවිකම අගනේය. මානසික වෙහෙස තුනී කර දමා තමන් ජීවත්වන පරිසරය සමග නිහඬ සංවාදයකින් ජීවන‌යේ අරුත් පසිදලීමට කිවිදිය අභ්‍යාස කර ඇති අයුරු පළ කර තිබෙනුයේ වයසින් හා අත්දැකීම්වලින් කිසියම් පරිපාකයකට පත් වගක් බව හැඟුණි.
මා සිත් ගත් කවි පන්ති අතුරින් දෙකක් පමණක් උපුටා දක්වනු රිසියෙමි.

රහස
විසල් තුරු බඳ වෙත
කන තබා විමසමි
ඇද්ද කිසි රහසක්
ඉක්ම සියවස් කල්
නොනැසී යෙහෙන් ඉන්නට

නිල් අහස පිරිමදින
හිරු කිරණ වෙත ඇරුණු
තුරුපත් නිපදවන අහර
මිහිමඬල විනිවිදින
අක්මුල් උරා ගත් ජලය
නැතිව කිසි ගැටුමක්
ඉහළ පහළ යන හ’ඩ
ඇසෙයි සියුමුව

අතැර තුරු බඳ
මෑත්වී යළි
නෙතු හෙළමි
එතුරු බඳ වෙත
පිටපොත්ත මත
විසිර පැතිරුණු
පාසි පෙද පැල්ලම් අපමණි
හෙළ පහළ යන එන
කුරු කුහුඹුවන් අපමණි
මේ දැන් පුපුර පුපුරා
බිජුවලින් එළි බට
දඟලන දළඹු අහිනකි…

එසැණ වැටහිණි මට
කාලයේ කැට මුගුරු ඉවසා
මේ විසල් තුර
සියක් වස් ඉක්මවූ රහස.

නිර්මාණකරණයේ දී විවේක බුද්ධිය අවශ්‍ය තරමට, නිර්මාණයක් ආස්වාදනයේ දී විවේක බුද්ධිය අවශ්‍ය බවය මේ කව වැනි තවත් කවි කිහිපයක්ම කියවන විට නෙකවතාවක් හැඟුණේ . මේ කව මෙහි සඳහන් කළාට පසුව ‘දෙව්රුව’ කව කියවා බලන විට හැඟුණේ පද්මිණී සැබවින්ම ජීවන අත්දැකීම්වලින් පරිපාකයට පත්ව සිටින බවය.

‘රහස’ – ‘දෙව්රුව’ යනාදි කව්වලට වෙනස් වූ ‘ඔබ එවූ මල් මිටිය’ නම් වූ කව, ‘ධ්වනිය’ කවිකමක අපූර්වත්වය උදෙසා ඉවහල් වන අන්දම රමණීය යැයි සිතුණි.

ඔබ එවූ මල් මිටිය

ඔබ එවූ
අධි මිලැති මල් මිටිය ලැබුණා
ඔබේ ප්‍රේම‌ය ලෙසම එය
සුන්දරයි, සුවඳයි, අලංකාරයි

නටු අතර තෙරපී
තැළී පොඩිවුණ
නටුව කෙටි සුදුමල

ඔව්….ඔබේ වරදක් නොව එය
මල් වෙළෙන්දියගේ නොසැලකිලිමත්කම

ඒත්…. මගෙ හිත දුකින්

කාගෙ හෝ වරදින්
වැරදි මල් මිටියකට ගොනු වී
තැළී පොඩිවෙන
තව කොතෙක් නම් මල්
ඇද්දමල් මිටිවල.

2010 සිට 2023 වන විට පද්මිණී ශ්‍රියාලතා සිය කවිකම හෙමින් ඉහළට ඔසවා ගන්නට සමත්ව සිටන් අන්දම ප්‍රශස්ත බව කියනු කැමැත්තෙමි.
ගැඹුරු ඉසියුම් ජීවන් අරුත් පිරි කව් කීපයක්ම ඉවසිල්ලෙන් කියවීමට මේ කෘතියෙහි ඇතුළත්ය.

‘ජිමික්’ නැති කව් කියවනු රිසි රසිකයන්ට “අළු පැහැති කවුළුවෙන්” පියවි ඇසට නතු නොවන ජීවනයේ චමත්කාරය විදින්නට හැකි යයි සිතමි.

ඔබේ කවිත්වයට ළෙන්ගතුව මසිත පහළ වූ පහන් සිතුවිලිය මේ.

සරත් විජේසූරිය

Related articles

ඉන්දියාවෙන් පාඩමක්

ටාටා ස්ටීල් චෙස් තරගාවලිය අවසන් වුණා. ටාටා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ඉන්දියාවේ පැවැති එම තරගාවලියට ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් සහභාගී...

පාර්ලිමේන්තු ඉතිහාසයට නව පිටුවක් – කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස දිවුරුම් දෙති !

හෙට (21) ආරම්භ වන දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩි ම මන්ත්‍රීවරියන් පිරිසක් දිවුරුම් දීමට නියමිත...

ජුලම්පිටියෙ අමරෙගේ මරණ දඬුවම අභියාචනාධිකරණයෙන් ස්ථිර කරයි – මහ මොළකරුවන් නිදොස් කොට නිදහස් ද?

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ...

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ කළමනාකරණ කුසලතා සංවර්ධන වැඩසටහන දියත් කරයි !

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ එක් වී පිරිනමන නවතම අධ්‍යාපන වැඩසටහන වන කළමනාකරණ කුසලතා සංවර්ධන...