ලෝක විදූ ඝාතනය
ඊයේ රෑ මට
හීනෙන් පෙනුනිය
බුදුන් ට ගිනිබිඳ මරා දමා ඇත
දම්සක බමවන පොලිසිය අවුදින්.
උතුම් බුදුන් කය ලෙයින් පෙඟී ඇත
යාපන පොත්ගුල්
පියගැට මත්තේ
අඳුරේ සැඟවී ආහ ඇමැත්තෝ
“මේ නම නැත අපේ ලැයිස්තුවේ
මොකකට මැරුවේද මේ පුද්ගලයා?”
“නෑ ’ස
මෙහි නැහැ කිසි වැරදීමක්.
මේ අය නොමරා
තලන්න නොහැකිය
මැස්සෙක් වත් –
එ නිසා ….” වික්කල් ගැසුවයි ඒ නිලදරුවන්.
“හරි එහෙනම්, දැන්
මිනියත් හංගනු.”
ආපහු ගියහ ඇමැත්තෝ.
සිවිල් ඇඳුමෙන් හිටිය මිනිස්සු
ඇදගෙන ඇවිත් බුදු කය
පොත්ගුල තුලට.
කඳු කළා පොත්
ඔක්කොම අනූ දහසක්,
ගිනි දුන්හ රන් දෙණට,
සිඟාලෝවාද සුත්‍රය සමගින.
එහෙයින් දැවුණි
මහා කාරුණික
ශේෂය අලු වෙමින්
දම් පැදිය සමගින්.
මහාචාර්ය එම්. ඒ. නුහ්මාන් (දෙමළ කව)
එස්. පද්මනාදන් (ඉංගිරිසි පරිවර්තනය)
හෂිත අබේවර්දන (ඉංගිරිසි කවිය සිංහලට- 2021)
සිතුවම – Rashmy Ahamed
මහාද්වීයකට ගිනි තැබීම—
අකුරු ඇහිදින ගිනි දුමාරය ගෙන අතින්
වළාකුළු බර වේඳනාවක ගැබ්බර වෙමින්
අදත් නැති මුරුගසන් වැසි ඇයි ද වැළපෙමින්
යාපනේ අහස තන කඩා බිම ගසයි වියරුවෙන්
වියළ තල්පතක පදම් නොකරද තියුණුව
ලියූ ජීවිතේ ගැන ලේ රසැති කදුළු කතාවක
යළි නූපදනා ලෙස ගබ්සා කළ පසුවද
යළිත් පූදන නියගලාවක් වෙමින් දැවුනද
“කෝ?..කෝ?..පරණවිතාන” කියා වික්ෂිප්තව
කඳුළු සලනවා දැක්කමයි කුමාරස්වාමී මුනිවර
“පරණවිතාන හිටියේ සරසවියේ ය” කිව්වම
සතුටට වැස්සා ඇවිලෙමින් සංගම් සාහිත්‍යයම
තල්පතත් පුස්කොලෙත් එකිනෙකට ඇතිල්ලී
අලුත් පොත් උපදවන පින් කමක යෙදෙද්දී
මිනිස් අනුරාගයෙන් විඳිනු බැරි වී හැපෙද්දී
තිරිසනුන් බැදි විසක් විස වි අළු වෙලා වැටෙද්දී
ඉතිහාසයම අළු වෙතැයි සිතා සිටියද අසුරක්
ගිනිතියා වැළලිය නොහැකි මහද්වීපයක්
අළු ඉතුරු වූ තැනින් පිබිඳ ආ ෆීනික්ස් ලෙසින්
අලුත් ඉතිහාසයක් වෙයි ,රුදු සපුන් වළලමින්
මුතු ඇටයක්ය මේ බිම එහි ඔපය දුන් දනන්
හිස සිඳ මරා පොලු පහර දුන්නද ගොරවමින්
නුවන ශිල්පය දැනුම උදුරා ගන්න බැරි බව දිවුරමින්
නැගෙනවාමයි එදා නැගි ගින්නට වැඩි උනුසුමින්
ගාමිණී ඒකනායක
යාපනය පුස්තකාලයට ගිනි තබා විනාශකර අදට හතලිස් දෙවසරක් පිරේ
එකල ආණ්ඩුවේ ප්‍රධාන මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ හා පක්ෂ මැරයන්ගේ සහභාගීත්වයෙන් එය සිදු වූ බවට සාක්ෂි තිබියදීත් ඊට නීතිමය ක්‍රියා මාර්ග ගැනීම් සිදු නොවුණි.
දකුණු ආසියානු පුස්‍තකාලයක් තුළ එක් රැස්ව තිබුණු අති විශාලම හා වටිනාම ග්‍රන්ථ හා අත් පිටපත් එකතුවක් ලෙස සැළකුණු එහි තිබූ වටිනා සියල්ලෙන් අති බහුතරය ලංකාවට පමණක් නොව සමස්ථ මානව වර්ගයාටම අහිමි විය. (ආනන්ද කුමාරස්වාමි මහතාගේ පෞද්ගලික පුස්තකාලය හා අත් පිටපත් එකතුවද සමඟ)
සඳරැසි සුදසිංහ කිවිඳිය යාපනය පුස්තකාලයට සිදු වූ මේ ඛේදජනක ඉරණම අළලා කවි 110 කින් යුතු කාව්‍ය සංග්‍රහයක් රචනා කලහ.
උසාවිය නිශ්ශබ්ද
පුදුමයෙන් ගල් ගැසිණි
ගිනි දෙවිඳු පැමිණි කල
මම වරදකරු කියන්…
(පිටු අංක 50)
රතු පලස් එළන්නට
කැන්වසින් ගියේ නැති
පාගමන් ගියේ නැති
පෝස්ටර් ඇන්දේ නැති
අහිංසක පොත් අකුරු
වරදකරු වුණේ කිම ?
තීන්දුව කාගේ ද ?
(පිටු අංක 61)
හෝමෝ ඉරෙක්ටස් වෙමි
ඉඳගෙන
ඝාන්ධි පාරේ කෙළවර
උදේ හවස විඳවමි
තැවෙමි
ගින්දර
සොයා ගත් වරදට.
(පිටු අංක 74)
විදර්ශන ප්‍රකාශනයක්.