” Beatles කණ්ඩායම Jesus ට වඩා ජනප්‍රියයි කියලා ඔහු කිව්වා. ඔහු දෙවියන්ව විශ්වාස කරන්නෙත් නෑ ලු ! ඒ නිසා මම ඔහු ව මැරුවා ! “
මිනීමැරුමක් පිළිබඳව කට උත්තර ලබාදෙමින් මේ ප්‍රකාශය කරන්නේ, 1980 දෙසැම්බර් 08 නිව්යෝර්ක් නුවරදී ගායක ජෝන් ලෙනන් ව මරාදැමූ ඝාතකයා වන මාර්ක් ඩේවිඩ් චැප්මන්.
එතනදී ඒ ඝාතනය ගැන වැඩිදුරටත් සඳහන් කරමින් චැප්මන් කියනවා 1966 දී ජෝන් ලෙනන් ‘ජේසුතුමා’ සම්බන්ධව කළ ඒ අප්‍රසිද්ධ ප්‍රකාශය සහ ඔහු 1971 එළිදැක්වූ ‘Imagine’ ගීතයේ වචන මේ මිනීමැරීමට ඔහුව පොළඹවූ බව. උග්‍ර Beatles රසිකයෙක් ද වුණු චැප්මන් ට ජෝන් ලෙනන් ව මරාදමන්න තිබුණු එකම හේතුව තමන්ගේ ආගමට, ආගමේ විශ්වාසයන්ට එරෙහිව කළා යැයි කියූ ප්‍රකාශ පමණයි !
මතකයෙන් ඉබේටම ඈත්වුණු ප්‍රියන්ත කුමාර, අමානුෂිකව ඝාතනය කර අදට වසරයි !
මීට වසරකට පෙර, අද වගේ දවසක, පාකිස්ථානයේ සයිල්කොට් ප්‍රදේශයේ විශාල ඇඟලුම් කර්මාන්තශාලාවක දෙවියන්ගේ වාක්‍යයක් රැගත් පෝස්ටරයක් ඉරාදැමීම හේතුවෙන්, අදාල සමාගමේ කළමණාකරුවෙක් වුණු ප්‍රියන්ත කුමාර ව කර්මාන්තශාලාවේ ම සේවකයන් පිරිසක් විසින් මහපාර පුරා ඇදගෙන ගොස් ගිනිතබා ඝාතනය කරනවා.
වාර්තාවුණු අන්දමට, ඔවුන්ටත් ප්‍රියන්ත කුමාර ඝාතනය කරන්න තිබුණු එකම හේතුව තමන්ගේ ආගමට, ආගමේ විශ්වාසයන්ට එරෙහිව කළා යැයි කියූ ක්‍රියාවක් පමණයි !
ලෝකය පුරා ආගම නමින් වුණු පළවෙනි ඝාතනය ජෝන් ලෙනන් නම් නෙවෙයි. එමෙන්ම අරමුණු සහ සන්ධර්භයන් එකිනෙකට හාත්පසින්ම වෙනස් වුණත් පකිස්ථානයේ ප්‍රියන්ත කුමාර ඝාතනය එනමින් සිද්ධවුණු අවසාන ඝාතනයත් නෙවෙයි.
මම හැමවෙලේම විශ්වාස කරන්නේ, 1983 ජූලි කළබල වෙලාවේ අන්තවාදය පරාජය කිරීමේ පරම පවිත්‍ර අභිලාශයෙන් සිංහල ජනතාව බොරැල්ලේ දෙමළ කඩ ගිනිතබා, දේශද්‍රෝහි දෙමළුන් සතු දේශප්‍රේමි පරිප්පු කර තියාගෙන ගිය පන්නයේ අමුතු ඇන්ටි-රේසිස්ට් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන රටකට අවශ්‍ය වෙන්නේ, මල් වඩම් තියලා, ශෝක ප්‍රකාශ කරලා නතර නොවන වැඩපිළිවෙලක් ! කියන කාරණය.
අද වෙනකොට ක්‍රියාත්මක වන අන්තවාදී ක්‍රියාකාරකම් සියල්ල අපි දකින තනි තනි පුද්ගලනයන්ගේ හුදු අභ්‍යන්තර අවුල් නිසා ඇතිවන්නක් ම නෙවෙයි. මූලික අරමුණුවලින් එපිටට ආගම් සහ ජාතිකත්වයන් මුල් කරගනිමින් යන සියලු ආගම්වාදයන් සහ ජාතිවාදයන් සාමූහික ක්‍රියාවන්. තනි පුද්ගලයෙක් අතට පවා තුවක්කුවක් ලබාදීම පිටුපස වසර ගණනාවක, විශාල කණ්ඩායමක ක්‍රියාන්විතයක් තිබෙනවා. ලංකාවේ වුවත් සයනයිඩ් කරල කටේ තියාගෙන ආවේ කුඩා ළමයින් වුණාට ළමයින්ගේ කටට සයනයිඩ් කරල දැමුවේ වසර ගණනාවක දේශපාලනික සහ සමාජ විෂමතා ක්‍රියාකලාපයන්.
නැවතත් පකිස්තානය පිළිබඳව ම විමසා බැලුවොතින් පකිස්තානය තුළ වූ සිදුවීමේදී ක්‍රියාත්මක වුණේ කිසිදු ත්‍රස්තවාදී සංවිධානයක් නම් නොවේ. නමුත් සුලුතරයක් හැරුණු කොට මුලු මහත් කර්මාන්තශාලාවක්, නිළ-නොළත් ත්‍රස්තවාදීන් බවට පත්වන තැනට රටේ සියලු හස්තයන් ජනතාව මෙහෙයවන්නට සමත් වෙලා තිබුණා.
ඉතින් මේ දැවැන්ත ක්‍රියාදාමයට යහපාලන රජය කාලයේ සමූහ දූෂණයට ලක්වුණු ඊනියා ‘සහජීවනයෙන්’ හෝ මගේ නොවන හෙයින් ඉවසා වදාරා සිට ප්‍රශ්න කාලයට භාර දීමෙන් හෝ කිසිම ගැටලුවකට විසඳුම් නොලැබෙනවා වගේම; සතියෙන් සතිය, දවස පුරා සමාජ මාධ්‍ය පුරා ප්‍රචාරය වෙන ‘වෙන ආගමක වුණානං බලන්න තිබ්බා’, ‘කවි සිංදු ලියන අය මෙව්වට සද්ද නැහැ’ පන්නයේ හුදු ඉමෝශනල්, ආවේගශීලී සටහන් හරහා ත් මේ සඳහා ලැබෙන කිසිම විසඳුමක් නැහැ.
භාවයන් කුපිත කරගෙන තමන්ගේ ක්ෂණික කෝපය මුදාහැරීම් සමාජ ජාලා පුරා ඕනෑතරම් සිදුවෙනවා. ඒවා නොවිය යුතුයි කියලා කවුරුත් කොතනකදිවත් කියන්නේ නැහැ. නමුත් අප ශෝක ප්‍රකාශයකින් එහා ගිය විසඳුමකට යනවා නම් එය තමයි සිදුවිය යුතු ම දෙයක්. ශෝක ප්‍රකාශය තමයි විසඳුම කියා ප්‍රශ්නය එතනින් අමතක කරනවා නම්, ප්‍රියන්ත කුමාර වෙනුවෙන් සාධාරණත්වය ඉටු වුණා කියලා හිතනවා නම් අපි මතක තියාගන්න ඕනේ, අපි කරන්නෙත් පකිස්තානයේ ප්‍රියන්තගේ ගිනිගන්නා සිරුර ගාව සෙල්ෆියක් ගැසූ තරුණයා කරන දෙය ම තමයි !
නමුත් අන්තවාදයට ප්‍රතිකාර නොගිනිය හැකි තත්වයෙන් එනකොට ඒවාට විරුද්ධ අන්තවාදී ප්‍රතික්‍රියා සාමාන්‍ය ජන සමාජයේ මිනිහෙක් මහ මග ගිනි තබන තත්වය දක්වා සංකීර්ණ වෙලා අවසන්. මේ තත්වය වඩාත් දරුණු කරන්නේ සිදුවීම තනුක කරමින් තමන්ගේ අලසකම හෝ පෞද්ගලික හෝ දේශපාලනික සැලසුම් ක්‍රියාත්මක කරන්න උත්සහ කරන අය.
ඒ වගේම එයට සෘජු ප්‍රතිචාරයක් එල්ල වන සෑම අවස්ථාවකම ඒවා මර්දනය කරන්න තරම් සහ මර්දනයකට යාමට පවා ඉඩ නොදී අදහස් ප්‍රකාශ කරන්නන් ලත් තැනම ලොප් කරන්න අන්තවාදය හා බැඳුනු දේශපාලනය සමත් වෙලා තියෙනවා. අවසානයේ දී අන්තවාදයට විසඳුම්, ඒ අන්තවාදයට හවුල් වන දේශපාලන ධාරාව ඔස්සේම හොයාගෙන යන්න තරම් දේශපාලනික අසරණතාවකටත් මිනිස්සු පත් වෙලා අවසන්.
ඒ සඳහා ප්‍රතිකාරයක් අවශ්‍යයි ! ගැටලුව පිළිබඳව අවධානය යොමු නොකර වටපිටාව කාල්ගාමින් සිටිනවා මෙන් ම අපි තවමත් ප්‍රතිකාරයක් කියා පිළිගන්නේ ‘සියලු ආගම් තුළ අන්තවාදීන් සිටිනවා’ වගේ යල් පැනගිය හුදු ප්‍රකාශ තුළ කාල්ගාමින් සිටීම නම්, අන්තවාදය අපිව පහුකරගෙන පුලුවන් තරම් දුර යාවි.
ඒ සඳහා අවශ්‍ය වන්නේ අන්තවාදය යටපත් කළ හැකි මතවාදයක් දැරිය හැකි, සමාජ මාධ්‍ය හරහා හෝ ‘විරෝධය’ ප්‍රකාශ කළ හැකි පිරිස් සහ අන්තවාදය යටපත් කළ හැකි සමාජ සහ නීතිමය පද්ධතියකින් පමණයි. පකිස්ථානයේ කුඩා අන්තවාදී කල්ලි, පසුව විශාල අන්තවාදී රැල්ලක් වුණු ආකාරය ඒ සඳහා හොඳ උදාහරණයක්.
ඉතින් ඒ සඳහා අවශ්‍ය දේශපාලන සාක්ෂරතාව, දැනුම, ආකල්ප, කලාව හෝ වෙනත් ඕනෑම ආකාරයක දැනුම් පද්ධතියක හිඟතාව තමයි ශ්‍රී ලංකාව මෙන් ම පකිස්ථානයත් අද පීඩා විඳින්නේ.
අවසානයේ දීත් මුලදී මෙන් ම, 1983 ජූලි කළබල වෙලාවේ අන්තවාදය පරාජය කිරීමේ පරම පවිත්‍ර අභිලාශයෙන් සිංහල ජනතාව බොරැල්ලේ දෙමළ කඩ ගිනිතබා, දේශද්‍රෝහි දෙමළුන් සතු දේශප්‍රේමි පරිප්පු කර තියාගෙන ගිය පන්නයේ අමුතු ඇන්ටි-රේසිස්ට් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන රටකට අවශ්‍ය වෙන්නේ, මල් වඩම් තියලා, ශෝක ප්‍රකාශ කරලා නතර නොවන වැඩපිළිවෙලක් !
| 1971 එළිදැක්වුණු ‘Imagine’ ගීතය |
” Imagine there’s no heaven
It’s easy if you try
No hell below us
Above us only sky
Imagine all the people
Living for today,
Imagine there’s no countries
It isn’t hard to do
Nothing to kill or die for
And no religion too
Imagine all the people
Living life in peace
You may say I’m a dreamer
But I’m not the only one
I hope someday you’ll join us
And the world will be as one “
” සිතන්න
නොමැතියැයි දෙව් ලොවක් කියා යමක්
හිසට ඉහලින් ඇත්තේ නිල් අහස පමනක් ම යැයි
නැති වග අපායක් සැඟව මහපොලොව පතුලත
අපහසු නොවේ එය උත්සහ කලොත් නුඹ
සිතන්න
ලොවක් වේ යැයි
ජීවත්වන සියලුදෙනා
අද ගැන පමනක් ම සිතන
සිතන්න
ලොවක් වේ යැයි
නොමැති රටක් කියා දෙයක්
නොමැත කිසි හේතුවක් මරන්නට මියෙන්නට
සිතනු මැන ලොවක් ගැන නැති එකඳු ආගමක්
ලෝකයේ සියලු දෙන සාමයෙන් දිවි ගෙවන
කියනු ඇත නුඹ
සිහින දකින්නෙකැයි මම
නොවෙමි මම එකම මිනිසා
දකින ඒ සිහිනය
පතමි යම් දිනෙක පැමිනෙතැයි ඔබ
දකිනට එ සිහිනය එක්ව අප සමග
ලොව සැමට සමවනා තැනක් වනු ඇත එදින “
( Imagine ගීතයේ සිංහල පරිවර්තනය – නුවන් තොටවත්ත )