දවල් කාලෙ ටිකෙන් ටික දිග් වෙනව… හවස් වෙද්දිත් තවමත් උණුසුම් හුලඟ එහෙ මෙහෙ දුවනව.
තවමත් ගිම්හානය නෙවෙයි. ඒත් එලිමහන් සිනමා දැනටමත් පටන් අරගෙන.
සීත කාලෙ සීතල දැනෙන්නම ඕනෙ එලි පහලියේ නිදහසේ ජීවත්වෙන වටිනාකම දැනෙන්න නම්.
බියර් එකක්… වයින් වීදුරුවක්…. පීසා කෑල්ලක්… පුංචි ඕපදූපයක් එක්ක බිම වැතිරිලා ඉන්න එක බොහොම අපූරු අත්දැකීමක් මේ කාලෙට.
අතරින් පතර ඇහෙන සිනා හඬවල් හරි ආකර්ශණීයයි.
හෙට උදේම වැඩට යන්න ඕනෙ එක වෙනම කාරණයක්.
ඒත් එලිමහන් චිත්‍රපටියක් කියන්නෙ අතාරින්න පුළුවන් අත්දැකීමක් නෙවෙයි.
පන්සල් වත්තෙ පැදුරු කොනක වාඩිවෙලා කිසිම තේරුමක් නැති බයිස්කෝප් එකක් වුනත් සන්තෝසෙන් බලපු කාලයක් තිබුන.
සිරි පතුල… අජාසත්ත බලද්දි වුනත් විසිල් ගහපු කට්ටිය කොයි ගමකත් හිටිය.
සාර විට.. වඩේ… මම්ම පප්ප නලා විකුණපු සද්දෙ ඇහෙන්නෙ නැතුවම අතුරුදහන් වෙලා ගිහින්.
කාලෙත් එක්කම ඒ වගේ දේවල් සමහර සංස්කෘතීන් වලින්… පුරුදු වලින් අයින් වෙලා ගිහින්.
කිඳුරු නැටුම බලපු මිනිස්සු බයිස්කෝප් ඛාන්ඩෙ විවේචනය කරා වගේම පොල්වත්තක් මැද්දෙ චිත්‍රපටි බලපු ඛාන්ඩෙත්..
විවේචනයි කාලෙයි එක්ක අතුරුදන් වෙලාම ගිහින්.
හැම තැනකම කිව්වට හැම තැනම එහෙම නෑ.
තැනින් තැන තිර දෙක තුනක තමන් කැමති කතංදරේ බලන්න පුළුවන් නිවාඩු පාඩුවේ.
ඒකත් වසන්තය එක්කම එන දින චරියාවෙ කොටසක්… පුරුද්දක්.