රිලවුන් ලක්ෂයක් චීන සමාගමක් වෙත අපනයනය කිරීම වැලැක්වීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර සංවිධාන විසින් ගොනුකර ඇති පෙත්සමක් ලබන 26දා කැඳවන ලෙස අභියාචනාධිකරණය ඊයේ (19) නියෝග කළේය.
මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අතර, එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාළව කරුණු දැක්වීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.
ඒ අනුව පෙත්සම නැවත ලබන 26දා කැඳවන ලෙස අධිකරණය නියෝග කළේය.
ශ්‍රී ලංකා වන සත්ත්ව හා පරිසර ආරක්ෂක සංගමය, මාතර ආනන්ද සාගර හිමි, ඔටාරා ගුණවර්ධන සහ රුක්ෂාන් ජයවර්ධන ඇතුළු පාර්ශ්වකරුවන් 27 දෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.
මෙම පෙත්සම මගින් අවධාරණය කර ඇත්තේ පරීක්ෂණ කටයුත්තක් සඳහා මෙරට රිලවුන් ලක්ෂයක් චීනයේ පිහිටි පෞද්ගලික සමාගමක් වෙත අපනයනය කිරීමේ සූදානමක් පවතින බවට තොරතුරු අනාවරණය වී ඇති බවත්, මෙම ක්‍රියාව තුළින් බරපතළ සත්ත්ව හිංසනයක් සිදුවන බවත් ය. එය වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ විධිවිධානවලට පටහැනි බව ද පෙත්සමේ සඳහන් ය.
එම නිසා මෙසේ රිලවුන් චීනයට අපනයනය කිරීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත්, එසේ අපනයනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම වැලැක්වීමේ නියෝගයක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නිකුත් කරන ලෙසත් අදාළ පෙත්සමෙන් ඉල්ලා තිබේ.
තාවකාලික තීන්දුවක්
විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම රිලවුන් අපනයනයට අදාළ සාකච්ඡා වටයක් කඩිනමින් පැවැත්වුණද, එල්ල වූ දැඩි විරෝධය නිසා එය තාවකාලිකව නතර කරන ලෙස කෘෂිකර්ම ඇමතිවරයා උපදෙස් දී ඇති බවයි. කෙසේ වෙතත් ඇමතිවරයාට සමීප පිරිසක් මේ සම්බන්ධයෙන් වැඩි විස්තර සොයාබැලීම සඳහා විදෙස් සංචාර කිහිපයක යෙදීමට දී නියමිත බව වාර්තා වේ.
යෝජනාව කාගේද ?
මේ සම්බන්ධයෙන් මීට පෙර thetime.lk කළ විමසීමකදී කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර පැවසුවේ රිලවුන් ලක්ෂයක් චීනයට යැවීම සම්බන්ධයෙන් තමන් සමග සාකච්ඡා කරන ලද්දේ චීනයේ වෙසෙන ශ්‍රී ලංකා මහාචාර්යවරයෙකු සහ චීන ජාතිකයෙකු බවත්, මෙම යෝජනාවට වනජීවී ඇතුළු අදාළ විෂය ක්ෂේත්‍රවල ඉහළ නිලධාරීන් සියල්ලන්ගේ එකඟතාව ලැබී ඇති බවත් ය.
මෙම යෝජනාව සම්බන්ධයෙන් සකස් කළ කැබිනට් පත්‍රිකාව කඩිනමින් කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බවත්, ඒ අනුව මෙම යෝජනාව ක්‍රියාත්මක කළ හැකිද යන්න සම්බන්ධයෙන් සම්පූර්ණ අධ්‍යයනයක් සිදුකිරීමට කමිටුවක් පත්කරන බවත් සඳහන් කළ ඇමතිවරයා, එම කමිටුව විසින් පරිසරවේදීන් ඇතුළු සියලු පාර්ශ්වවල අදහස් විමසිය යුතු බව ද අවධාරණය කළේය.
‘අවසාන තීරණයක් නෑ’
thetime.lk – ඒ කියන්නෙ මීට අදාළ කිසිදු අවසාන තීරණයක් අරගෙන නෑ ?
ඇමති අමරවීර – නෑ. තවම සාකච්ඡා මට්ටමේ විතරයි.
thetime.lk – ඔබට ඉදිරිපත් වුණු යෝජනාවට අනුව සත්තු කීදෙනෙක් ද යවන්නෙ..?
ඇමති අමරවීර – ඒගොල්ලො කිව්වෙ පෞද්ගලික සත්වෝද්‍යාන 1,000ක් විතර තියෙනවා. මුල් වටයේදී සත්තු 1,000ක් විතර තමයි අවශ්‍ය වෙන්නෙ. ඒක සාර්ථක නම් ඉදිරියට යන්න පුළුවන්.
thetime.lk – කොහොමද සහතිකයක් දෙන්නෙ මේ සත්තු අරගෙන යන්නෙ සත්වෝද්‍යානවලටමයි කියලා. චීනයේ ඔය කියන තරම් සත්වෝද්‍යාන නෑ …?
ඇමති අමරවීර – ඒ ඔක්කොම බලන්න ඕනෙ. පත්කරන කමිටුව ඒ ඔක්කොම බලනවා.
thetime.lk – මොන වර්ගයේ සත්තු ද, කොහෙ ඉන්න සත්තු ද, වනජීවී නීති මේකට බලපාන්නෙ කොහොමද වගේ ප්‍රශ්න ගැන බැලුවද…?
ඇමති අමරවීර – මං කිව්වෙ තවම කිසිම තීරණයක් අරගෙන නෑ. ඒ ඔක්කොම ගැන සම්පූර්ණ අධ්‍යයනයක් කරන්න තමයි කමිටුවක් පත්කරන්නෙ. ඒකට අධිකරණ අමාත්‍යංශයත් ඇතුළත්. නීති ගැන බලන්න ඕනෙනෙ.
thetime.lk – මේක පරිත්‍යාගයක් ද, විකිණීමක් ද…?
ඇමති අමරවීර – ඒ ගැනත් අවසාන තීරණයක් නෑ. කොහොමත් අපි ඒගොල්ලොන්ට කිව්වා මේ සත්තු අල්ලනවා නම් අපිට වියදමක් දරන්න වෙනවා. එක අවශ්‍ය වෙනවා කියලා. ඒකට ඒගොල්ලො එකඟයි.
thetime.lk – ඒ කියන්නෙ සල්ලිවලට ගන්න…?
ඇමති අමරවීර – අවශ්‍ය වියදම් දරන්න එකඟයි.
thetime.lk – සත්තු අල්ලන්න කූඩු බෙදන කතාවකුත් ඔබව උපුටා දක්වලා මාධ්‍යවල ගියා. ඒ කියන්නෙ දැන් සාකච්ඡා මට්ටමෙන් එහාට ගිහින්නෙ…?
ඇමති අමරවීර – විවිධ සාකච්ඡාවලදි පළවෙන අදහස් ගැන මාධ්‍ය වාර්තා යනවා. එහෙම මිසක් මේ කිසිම දෙයක් තවම් අවසන් තීරණයක් නෙමෙයි.
thetime.lk – අවසාන ප්‍රශ්නෙ, මේකත් ආණ්ඩුවේ ප්‍රශ්න වහගන්න ගෙනාපු මාතෘකාවක් ද කියලත් සාධාරණ සැකයක් මතුවෙනවා…?
ඇමති අමරවීර – යෝජනාවක් ආවා. අපි ඒ ගැන සුදුසු පරිදි කටයුතු කරනවා. ප්‍රශ්න වහගන්න කියලා එකක් නෑ.
නීතිමය වගකීම
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ පරිසරවේදියෙකු වන නීතිඥ ජගත් ගුණවර්ධන මෙසේ පැවසීය.
‘මේ සත්තු අරගෙන යන්නෙ චීනයේ සත්වෝද්‍යානවලට කියලා තමයි මාධ්‍යයෙන් අපි දැනගෙන තියෙන්නෙ. ඒක ඇත්තක් නම්, සත්වෝද්‍යානවලට මෙච්චර ලොකු සතුන් ප්‍රමාණයක් එකවර අවශ්‍ය වෙන්නෙ කුමකටද කියන එක ප්‍රශ්නයක්. අපේ වනසත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ හැටියට යම්කිසි සතෙක්ව යවන්න පුළුවන් ඒ සතාගේ සංරක්ෂණ කටයුත්තක් සඳහා. එහෙම නැත්නම් සත්වෝද්‍යානයක් සඳහා කරන හුවමාරුවක් වශයෙන් විතරයි.
ඒක නිසා මසට පාවිච්චි කරන්න හෝ විද්‍යාත්මක පරීක්ෂණවලට හෝ වෙනත් කටයුත්තක් සඳහා යම්කිසි සත්ත්ව කොට්ඨාසයක් ලංකාවෙන් අපනයනය කිරීම සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී වෙනවා.
මේ සත්තු මොනවටද, කීදෙනෙක්ද ආදී වශයෙන් පැහැදිලි විස්තර අපේ බලධාරීන් සතුව තියෙන්න ඕනෙ. මේ සත්වෝද්‍යානවල මේ සත්තු රඳවාගන්න පහසුකම් තියෙනවද, කීදෙනෙක්ද එක සත්වෝද්‍යානයකට ගෙනියන්නෙ වගේ කරුණු ගැන පූර්ව සමීක්ෂණයක් කළොත් අපිට මේ කතාවෙ හංගන දේවල් ගැන යම් අදහසක් ගන්න පුළුවන් වෙනවා.
මෙතැන ඇත්තටම පැති තුනක් තියෙනවා. විද්‍යාත්මක පැත්ත, නීතිමය පැත්ත සහ සදාචාරාත්මක පැත්ත. මේ පැති තුන ගැන ම ඉතා ගැඹුරින් අපි හිතන්න ඕනෙ.’
සයිටීස්හි වඳවී යෑමේ අවදානම
රිලවා යනු වඳවී යෑමේ සතුන් පිළිබඳ අන්තර්ජාතික ප්‍රඥප්තිය හෙවත් සයිටීස්හි දෙවැනි උප ලේඛනයට අයත් සත්ත්වයෙකි. මේ ප්‍රඥප්තියට අනුව රිලවා කිසිදු වාණිජ ක්‍රියාවලියක් සඳහා වෙනත් ස්ථානයකට ගෙන යා නොහැක. එසේ ම එය ලංකාවේ වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ ද පැහැදිලිව දැක්වේ. පරිසරවේදීන් පෙන්වා දෙන්නේ සත්ත්ව හුවමාරු වැඩසටහනක් යටතේ සත්වෝද්‍යානවලට සතුන් කිහිපදෙනෙක් යැවීමේ අවස්ථා සහ මෙය සම්පූර්ණයෙන් ම වෙනස් තත්ත්වයක් බවයි.
ඊට හේතුව මෙසේ අති විශාල සතුන් ප්‍රමාණයක් එකවර පරිසර පද්ධතියකින් ඉවත් කිරීම බරපතළ ගැටළු මතුකිරීමට ඉඩ තිබීම ය. එසේ ම එසේ ඉවත් කරන සතුන් වෙනුවට පරිසරයේ සමතුලිත බව රැකගැනීම සඳහා වෙනත් සතුන් භයානක ලෙස ආදේශ වීමේ හැකියාවක් ද පැවතීම ය. එම නිසා මෙය පුළුල් අධ්‍යයනයක් සහිත ව සාකච්ඡා කළ යුතු මාතෘකාවකි.
උප-විශේෂ දෙකක්
මෙරටට ආවේනික රිලවාගේ උප-විශේෂ ගණන 2 සිට 6 දක්වා බව සඳහන් වුවද ,2012 දී එළිදක්වන ලද
Sri Lankan Primates ග්‍රන්ථයට අනුව 1979 වසරේදී ජේ. ෆුඩ්න් (J.Fooden) විසින් Primates නම් විද්‍යාත්මක වාර ප්‍රකාශනයේ පළකර තිබූ පර්යේෂණ වාර්තාවේ ඇත්තේ උප-විශේෂ දෙකක් පමණක් මෙරට සිටින බවයි. එනම් වියළි කලාපයේ හමුවන Macaca sinica sinica නම් දර්ශීය උප-විශේෂය සහ තෙත් කලාපයේ මෙන්ම කඳුකරයේ ඇතැම් ප්‍රදේශවලින් හමුවන Macaca sinica aurifrons නම් උප-විශේෂය වේ. මේ අතරින් වැඩිම ව්‍යාප්තියක් සහ ඉහළ ගහන ඝනත්වයකින් යුතුවන්නේත්, වගාවලට වැඩිම හානියක් කරන්නේත් දර්ශීය Macaca sinica sinica උප-විශේෂය බව පෙනීයයි.
‘යවන්න පුළුවන්’
වාණිජ අරමුණු සඳහා අපනයනය තහනම් වුවද, රිලවා යනු වන සත්ත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 30 වැනි වගන්තිය යටතේ තිබෙන පළමු උප ලේඛනයට ඇතුළත් හෙවත් ආරක්ෂිත නොවන ක්ෂිරපායී සත්ත්වයෙකි. මේ නිසා වගා හානි කරන රිලවුන් මරණයට පත්කිරීම වුවද නීත්‍යනුකූල ය.
එම ආඥා පනතේ 40 වැනි වගන්තිය යටතේ ලබාගන්නා බලපත්‍රයක් යටතේ රිලවා අපනයනය කළ හැකිය. එහෙත් ඒ විද්‍යාත්මක සහ සංරක්ෂණ කටයුතු සඳහා සහ විදේශීය සත්වෝද්‍යාන සහ කෞතුකාගාර සමඟ සතුන් හුවමාරු කිරීම් වෙනුවෙන් පමණි.
විශේෂ ම කරුණ වන්නේ මෙම ආඥා පනත මගින් බලය පවරා ඇත්තේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට වීම ය. එම දෙපාර්තමේන්තුව ඇත්තේ වනජීවී සහ වන සම්පත් අමාත්‍යංශය යටතේ ය. එම නිසා කෘෂිකර්ම අමාත්‍යංශයට මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කළ හැකි වුවද, එය ඉදිරියට ගෙනයෑමේ හැකියාවක් නැත.
‘තවම අපි ළඟට ආවෙ නෑ’
මේ සම්බන්ධයෙන් thetime.lk කළ විමසීමේදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර සඳහන් කළේ රිලවුන් චීනයට යැවීම තවමත් අමාත්‍යංශ මට්ටමේ පවතින සාකච්ඡාවක් පමණක් බවත් ය. ඒ පිළිබඳව සීය දෙපාර්තමේන්තුවට මෙතෙක් කිසිදු උපදෙසක් ලැබී නොමැති බවත්, එම නිසා මෙම යෝජනාව පිළිබඳව තමන්ට මාධ්‍යයට අදහස් දැක්විය නොහැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර සඳහන් කරන ආකාරයේ සාකච්ඡා සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහභාගී වූයේ ද යන්න සම්බන්ධයෙන් විමසීමේදී අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ සාකච්ඡා සඳහා සහභාගී වූ බවයි. එහිදී අදාළ තීරණයට දෙපාර්තමේන්තුව එකඟ වූයේ ද යන්න සම්බන්ධයෙන් විමසීමේදී ඔහු පැවසුවේ දැනට ඒ පිළිබඳව කිසිවක් පැවසීය නොහැකි බවයි.
ප්‍රකාශවල පරස්පරතා
පරිසරවේදීන් අවධාරණය කරන්නේ සත්වෝද්‍යාන සඳහා මෙතරම් රිලව් ප්‍රමාණයක් ගෙන යන බවට වන ප්‍රකාශය පිළිගත නොහැකි බවයි. මේ යෝජනාව සම්බන්ධයෙන් කතාබහ වන තවත් කරුණක් වන්නේ මස් සඳහා හෝ වාජීකරණ ඖෂධ සඳහා මෙසේ රිලවුන් ගෙන යන බවයි. එය ද තාර්කිකව එතරම් සාර්ථක නොවන්නේ වාජීකරණ ඖෂධ මීට වඩා සාර්ථක ලෙස විද්‍යාත්මකව නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇති නිසා ය. මස් සඳහා වුවද, මෙසේ එක් රටකින් එක වර මෙතරම් රිලවුන් චීනයට ආනයනය කරනු ඇතැයි සිතිය නොහැකි බව ද පරිසරවේදීහු පෙන්වා දෙති.
මෙහිදී අවධානය යොමු වී ඇති තවත් කරුණක් වන්නේ ජාන ලබාගැනීම සඳහා මෙසේ රිලවුන් ලබාගන්නා බවයි. එහෙත් සත්ත්ව විද්‍යා ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයන් පෙන්වා දෙන්නේ එවැනි කරුණක් සඳහා මෙතරම් රිලවුන් සංඛ්‍යාවක් කිසිසේත්ම අවශ්‍ය නොවන බවයි. ඒ සඳහා රිලවෙකුගේ කොටසක් පමණක් සෑහෙන බවත්, එයින් සම්පූර්ණ රිලවාගේ ජාන පද්ධතිය නිර්මාණය කළ හැකි බවත් ඔවුහු පෙන්වා දෙති.
මිනිසාට සමාන රිලවා
සත්ත්ව විද්‍යා ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙසේ රිලව් ලක්ෂයක පමණ විශාල සංඛ්‍යාවක් එකවර ලබාගැනීමේ අරමුණ ඖෂධ නිෂ්පාදනයට අදාළ පර්යේෂණ විය හැකි බවයි. මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට සහ ස්නායු පද්ධතියට සෑහෙන සමානකම් දක්වන රිලවුන් මෙම පර්යේෂණ සඳහා යොදාගැනීම ලෝකයේ බොහෝ රටවල් සිදුකරන බව ද අවධාරණය කරන ඔවුහු, චීනය එම පර්යේෂණ සඳහා අමුද්‍රව්‍ය සැපයීමේ ක්‍රියාවලියේ ප්‍රමුඛස්ථානයක සිටින බව ද සඳහන් කරති.
චීනය අක්කර 1,400ක් ගනී?
වඳුරු ගොවිපොළ පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ද චීනය පිළිබඳ පුළුල් කතාබහක් පවතී. පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී චීනයේ JOINN Biologics සමාගම මගින් අක්කර 1,400ක් පුරා විහිදුණු නවීන පහසුකම් සහිත, දැවැන්ත වඳුරු ගොවිපොළක් ස්ථාපිත කිරීමට සැලසුම් කරන ලදි. චීනයට ආනයනය කරන වඳුරන් සඳහා මෙම භූමිය වෙන්කෙරෙන බව ද මාධ්‍ය වාර්තාවල දැක්විණි. මෙය ආරම්භ කිරීමට සැලසුම් කරන ලද්දේ ඇමෙරික එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වයඹ දිගින් පිහිටි ලෙවී රාජ්‍යයේ ය.
ෆ්ලොරිඩා ව්‍යාපාර
උතුරු කැලිෆෝනියා ප්‍රාන්තය මූලික කරගෙන පවත්වාගෙන යන සත්ත්ව නීති ආරක්ෂක අරමුදල (Animal Legal Defence Fund) පෙන්වා දෙන්නේ Macaca වර්ගයේ වඳුරන් 3,200ක් යොදාගනිමින් ෆ්ලොරිඩාහි විශාල පර්යේෂණයක් සිදුකරමින් තිබෙන බවයි. අප්‍රිකානු දූපත්වලින් අල්ලාගනු ලබන වඳුරන් ෆ්ලොරිඩා වෙත ගෙන ගොස් වෙනත් නිෂ්පාදන සිදුකරන බව British Union for the Abolition of Vivisection උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය අවධාරණය කරයි.
මෙසේ ලෝකයේ පර්යේෂණ සහ නිෂ්පාදන සඳහා දැවැන්ත ඉල්ලුමක් Macaca වර්ගයේ වඳුරන්ට තිබේ. සත්ත්ව විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ ලංකාවේ සිටින්නේ ද මෙම විශේෂයේ උප විශේෂවලට අයත් රිලවුන් බවයි. චීනය එම වෙළෙඳපොළ සඳහා අමුද්‍රව්‍ය සැපයීමේ ප්‍රමුඛයෙකි.