මහනුවර දළදා විදියේ “මාරගහ යට මාරමෑන්” හෙවත් අපූරු බොහිමියානුවා

Share post:

මෙම ලිපිය ඊයේ දින කොළඹ නවලෝක පෞද්ගලික රෝහලේදී අප අතරින් සදහටම සමුගත් ජනතා කලාකරු බේවිස් මනතුංග මහතාගේ පෙරැත්ත මත මවිසින් 2022 මස 10 වැනි දින මුහුණු පොත වෙනුවෙන් රචනා කරන ලද්දකි.එසේම මෙම සටහන කුඩා පොත් පිංචක් වශයෙන් මුද්‍රණය කිරීමට ඔහුට තදබල අවශ්‍යතාවයක් තිබුණි. එනමුත් දෛවය ඊට හරස් විය. එහෙයින් මෙම ලිපිය ඔහුට උපහාරයක් ලෙස නැවත මෙසේ පළ කරමි.]

මහනුවර දළදා විදියේ “මාරගහ යට මාරමෑන්”

මෙම සටහන කෙසේ ආරම්භ කර කෙසේ නිමාවට පත් කරම්දෝ යන්න මම නොදනිමි. ඒ තරමටම මෙහි මුල, මැද ව්‍යාකුල වන අතර තවම එහි අගක් කියා දෙයක් පැමිණ නොමැත. විටෙක මෙහි ආරම්භ මට එක්තරා අභියෝගයක් කිවහොත් එය අතිශයෝක්තියක් නොවනු ඇත. අවසානය කෙසේ විය යුතු ද යන්න සටහන ලියාගෙන යන විටවත් කල්පනාවට නැගුනහොත් යහපතකි.
මෙම ව්‍යාකුලත්වය පසෙකලා මා කෙසේ හෝ මෙම සටහන ලිවීම ආරම්භ කළ යුතුය . මොකද …ඒ ඉදිරියට තිබ්බ අඩිය පසෙකට ගැනීමට මට නොහැකි නිසාය.

කව්ද මේ මාරගහ යට මාරමෑන් ?

මෙම අපූරු පුද්ගලයා ( මාර මෑන් ) මා දැන-හදුනා ගත්තේ පාසැල් කාලයේ දී ය . ඒ මගේ පංතියේ මිතුරකු වූ බර්ගර් ජාතික මයිකල් ඩෙන්වර් ( Michel Denver ) මාර්ගයෙනි. ඒ මගේ මතකයේ හැටියට 1986 අවුරුද්දේ කුමන හෝ මාසයක එක්තරා දිනක විය යුතුය . මගේ පාසැල් මිතුරාගේ ඥාතියකු වූ මෙම අපූරු පුද්ගලයා මට මගේ මිතුරා විසින් හදුන්වා දෙන ලද්දේ “My dearest brother one and only bevis” යයි කියමිනි.

එදා පටන් ඇරඹි අප දෙදෙනාගේ මිතුදහම මේවනවිට දශක තුනකට අධික කාලවකවානුවක් තිස්සේ විවිධ මංපෙත් ඔස්සේ ගලා ආවේ ය. මෙහි සුවිශේෂීත්වය නම් එදා ගිහියකුව සිටි මම වර්තමානයේ බෞද්ධ භික්ෂුවක් වෙමි. එහෙයින් අප දෙදෙනා සමාජ ස්ථර දෙකක් නියෝජනය කරයි. එනමුත් එය අපගේ මිතුදමට කිසිසේත් බාධාවක් වී නොමැත. අනාගයතේදී ද එසේම ය. අප දෙදෙනාගේ මිතුදහමේ ආරම්භකයක් හා මැදක් සනිටුහන් වන අතර කවදා කොතැනදී එහි අවසානයක් සනිටුහන් වේදැයි කියා මම නොදනිමි. එසේ වීමට නම්, අප දෙදෙනාගෙන් කෙනෙකු ජීවිත වේදිකාවෙන් බැස යා යුතුය. එය කෙදිනක හෝ සිදුවනු ඇත. එනමුත් දැනට අපි ඒ පිළිබඳව කතා නොකර ඉදිමු . මොකද … මරණය කියන කාරණාව ( ශ්‍රේෂ්ඨ බෞද්ධ දර්ශනයට අනුව මරණීය ධර්මතාවය ) මෙලොව කොයි කාටත් පොදු වූ කාරණාවක් වන බැවිනි.
මේ අපූරු පුද්ගලයා අන් කිසිවකු නොව

ජනතාවාදී කලාකරු බේවිස් මනතුංග ය. නොඑසේනම් එදා අප කොයි කව්රුත් ආමණ්ත්‍රණය කළ “මචං බේවිස්” ය.

මාරගහ යට මාරමෑන්ගේ පෞද්ගලික වගතුග කෙබඳුද ?

බේවිස් මහනුවර ප්‍රදේශයේ එක්තරා ඉහළ මධ්‍යමපාන්තික බර්ගර් පවුලක තෙවැනි පිරිමි දරුවා ලෙස 1954 මැයි 26 වන දින මෙලොව එළිය දුටුවේ ය. ඔහු උපතින්ම කතෝලිකයකි. ඔහු කුඩා සංදියේ දී ම පෝලියෝ රෝගයට ගොදුරුව නිසා අන් දරුවන් මෙන් ඔහුට නිසි පරිදි දුවපැන ඇවිද සෙල්ලම් කිරීමට නොහැකි විය. එය එක්තරා ආකාරයකට ඔහුට පමණක් නොව එම රෝගයට ගොදුරු වූ සෑම දරුවකුට පොදුවූ කාරණාවක් වන්නේ ය. මා කල්පනා කරන ආකාරයට ඔහු දරුවකු වශයෙන් එම රෝගයට ගොදුරුවීම තුළින් නිර්මිත තනිකම පාළුව හා හුදෙකලාව ඔහුව පොතපතට හා සංගීතයට වගේම ජීවිතය පිළිබඳව අමුතුම ආකාරයෙන් සිතන්නට හා පතන්නට පොලඹවන්නට බලපෑ ප්‍රබල කාරණාවක් වන්නට පුළුවන. ඒ පිළිබඳව අපි තවදුරටත් කතා නොකර ඉදිමු. මොකද … එය අපට පෞද්ගලික වශයෙන් හෝ මෙම සටහනට හෝ කිසිවිටෙකත් අදාල කාරණාවක් නොවන නිසා.

බේවිස් අධ්‍යාපන ලබන ලද්දේ මහනුවර කටුකැලේ පිහිටි ප්‍රකට කිංස්වුඩ් විද්‍යාලයෙනි. ඔහු විද්‍යාලයේ දී අධ්‍යාපනයට තරමක් දස්කම් දැක්වූ අතර වඩාත්ම දක්ෂතාවයක් දක්වන ලද්දේ බටහිර සංගීතය විෂය වෙනුවෙන් බව කියැවේ. එය ඔහුට කතෝලික ආගමික පරිසරයෙන් උරුමකරුමවන්නට ඇතැයි කියා මම කල්පනා කරමි. විද්‍යාලයේ බටහිර තූර්යවාදක කණ්ඩායමට ඔහු නැතිවම බැරි සිසුවකු විය. විද්‍යාලයේ සංගීත හෝ වෙනත් කිසියම් වැඩසටහන් වෙත්ද, එහිලා පෙරමුණ ගනිමින් ගුරුවරුන් සමගින් ඉදිරියෙන්ම වැඩ-වැඩකටයුතු කරන්නේ ඔහුය .සාහිත්‍යය සමිතියක හෝ වෙනත් කලා වැඩසටහනක හෝ ඔහුගේ ගායනයක් හෝ වාදනයක් නැත්තම් එය අඩුවක් සේ දැණුනු බව ඔහුගේ පාසල් සමාකාලීනයෝ කියති.ඒ තරමටම ඔහු පාසලේ දී ගුරුවරුන්ගේ හා අනෙකුත් සිසු දරුවන්ගේ ආදරයට මෙන්ම අනුකම්පාවට නිරන්තරයෙන්ම භාජනය වූයේ ය. එයට ඔහුගේ ශරීර ස්භාවය ද මහෝපකාරීවන්නට ඇතැයි කියා සිතමි.

බේවිස්ගේ පාසල් සමකාලීන මිතුරෝ වර්තමානයේ දී සමාජයේ විවිධ තනතුරු හා විවිධ ක්ෂේත්‍රවල රැකී-රක්ෂා කරමින් මෙම සමාජ විසින් ඉල්ලා සිටින පරිදි ජීවිතවලට අනුගතව සිටිති. එහිලා අපි කොයි කව්රුත් දන්නා-හදුනන මෙරට ජනප්‍රිය සිනමා නළුවකු, තිර රචකයකු හා අධ්‍යක්ෂවරයකු වන සනත් ගුණතිලක මහතා ද වේ. මට බේවිස්ගේ පාසල් වියෙහි තොරතුරු බොහොමයක්ම කියන ලද්දේ ඔහු විසිනි. ඒවා සියල්ල මෙහි සටහන් තබන්න ගියොත් මට මෙම සටහන කොටස් තුන හතරකින් පමණ නිමාකරන්නට සිදුවනු ඇත. ඒ නිසා අවශ්‍ය කරුණු-කාරණා පමණක් මෙහිලා සටහන් කරනු කැමැත්තෙමි.
1971 වර්ෂය බේවිස්ගේ ජීවිතයේ එක්තරා සුවිශේෂී වර්ෂයක් බව කිවයුතුය. එය ඔහුගේ පමණක් නොව මෙරට නුතන දේශපාලන ඉතිහාසයේ ද එක්තරා සුවිශේෂී වර්ෂයක් විය.

එහිලා නැසීගිය රෝහණ විජේවීර මහතා විසින් නිර්මිත දේශපාලන ව්‍යාපාරයත් එමගින් 1971 අප්‍රේල් මස පැණ නැගුණු තරුණ සන්නද්ධ නැගිටීම්ත් ( ලෝහිත බක්මහ / චේ-ගුවේරා කැරැල්ල ) තරම් ශ්‍රී ලාංකේය සිනමාවේ ගැමි තරුණ තරුණියන් විප්ලවීය ආස්වාදයෙන් කුල්මත් කළ තවත් දේශපාලන ව්‍යාපාරයත් නොවූ තරම් ය. ජනතා විමුක්ති පෙරමුණ යන නමින් බෞතීස්ම ලැබූ එය ඉතු සුවිශේෂී දේශපාලන, සමාජීය හා ආර්ථික දෘෂ්ඨියකින් ද තමන්ටම කියා ආවේනික වූ දේශපාලන සදාචාරයකින් හා සංස්කෘතිකින් ද පෝෂණය වී තිබුණි.

මේවනවිට මෙම තරුණ ව්‍යාපාරයේ උණුසුම හා ස්පන්දනය ග්‍රාමීය මෙන්ම නාගරික ඇතැම් පාසල්වලට ද දැනෙන්නට විය. එය කිංස්වුඩ් විද්‍යාලයට ද පොදුවේ බලපෑවේ ය. බේවිස්ගේ පන්තියේ මිතුරන් දාහත් දෙනෙකු මෙම සන්නද්ධ අරගලය හා බැදී කැරැල්ල අඩපණ වීමෙන් ඉක්බිතිව සිරභාරයට පත්වූ බව කියැවේ. ඉන් දෙදෙනකු හෝ තිදෙනකු කරැල්ල වෙනුවෙන් තම ජීවිතය පූජා කළහ. මෙය විටෙක බේවිස්ට වේදනාවක් වූ අතර ඔහුට වාමාංශික දේශපාලනය වෙත යොමු වීමට ඉමහත් උත්තේජනයක් ඇති කරන ලද සිද්ධියක් ද විය.
කාලයාගේ ඇවෑමෙන් බේවිස් තම පාසල් අධ්‍යාපනයට ආයුබෝවන් කීවේ ය.

මාරගහ යට මාර මෑන්ගේ දේශපාලනය හා කලා භාවිතාව කෙබඳුද ?

1978 දී කොළඹ පවත්වන ලද කොමියුනිස්ට් පක්ෂයේ තරුණ සම්මේලනය බේවිස්ගේ ජීවිතයේ එක්තරා හැරවුම් ලක්ෂණයක් විය. එහිලා තරුණ සම්මේලනයෙන් ඉක්බිතිව Victor Jara නමින් සංගීත කණ්ඩායමක් ආරම්භ කරන ලදි. මෙය ඔහුගේ කලාවේ ද එහිලා සමාජය ප්‍රකාශය වූ සංගීතයේ හා ගායනයේ ද මංගල්‍යය විය.

[ Victor Lidio Jara Martinez 1932 – 1973 / වික්ටර් හාරා / චිලී ජාතිකයකු වූ ඔහු වෘත්තීයෙන් ගුරුවරයෙකි, නාට්‍යවේදියකු , ගේය පද රචකයකු , ගායකයකු , කොමියුනිස්ට්වාදියකු හා සිවිල් සමාජ ක්‍රියාකාරිකයකු වූයේ ය. මොහු 1973 සැප්තැම්බර් මස 13 වැනි දින චිලියේ හිටපු ඒකාධිපතියකු වූ ඔගස්ටෝ පිනෝචේගේ ( Augusto Pinochet ) මැර හමුදාව විසින් ඝාතනය කරන ලදී – කර්තෘ. ]

ඉක්බිතිව මෙරට වාමාංශික දේශපාලන සමගින් අත්වැල් බැදගන්නා බේවිස් 1983 ජූනි මාසයේ දී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සමාජිකත්වය ලබාගත්තේ ය.

මේ කලයේ දී ඔහු තමා ජීවත්වන මහනුවර ප්‍රදේශයේ කණ්ඩායම් සංගීතයට ලැදි තරුණයන් කීප දෙනෙකුත් සමගින් Super Jared නමින් තව මාදිලියේ බටහිර සංගීතය කණ්ඩායමක් හදාගෙන එමගින් ලංකාවේ දසත සංගීත ප්‍රසංග හා වෙනත් උත්සව කටයුතු සදහා තම ගායනය හා වාදනය සපයන ලදි.

බේවිස්ගේ සංගීත ජීවිතයේ කඩයිම සනිටුහන් වන්නේ 1992 දී ය. ඒ “දෝංකාරය” යන නමින් පවත්වන ලද ඒක පුද්ගල සංගීත ප්‍රසංගය යි. මෙහි එක් ප්‍රසංගවාරයක් මවිසින් නරඹන ලදි.

මෙම ප්‍රසංගය,ඉතා සාර්ථක අන්දමින් ලංකාවේ විවිධ පලාත්වල දර්ශනවාර එකොළහක් හෝ දොළහක් පමණ පවත්වන ලදි. මෙම ඒක පුද්ගල සංගීත ප්‍රසංගයේ මුල්ම ප්‍රසංගයේ නිවේදන කටයුතු කරන ලද්දේ බේවිස්ගේ මෙන්ම අපේ ද සොඳුරු හිතවතකු , එවකට කදුරට සේවාවක් නිවේදකයකු හා වර්තමානයේ මෙරට ජනප්‍රිය ලේඛකයකු වන චූලාභය ශාන්ත කුමාර හේරත් මහතා ( ආදර චූලා අයියා ) විසිනි.

බේවිස්ගේ සංගීතය දිවිය වැඩි වශයෙන් ගෙවී ගියේ නුවර කලාවියේ කැලැබද සංචාරක හෝටල්වල විදේශිකයන් ගීත ගායනය පිණිස ය. එහිදී ඔහු තම ගායනයට අමතරව ගහකොළ හා සතා සිව්පාවුන් සමගින් පෙම්න් බැඳුණි. කෙටියෙන් කිවහොත් කිසිදු බැදීම්වලින් තොරවූ ඔහු ජීවිතය උපරිමයෙන් වින්දේ ය.

බේවිස් කවදාවත් ජනප්‍රියත්වය පසු පස ලුහුබැඳ නොගියේ ය. එසේම තමුන්ගේ ගීතයක් ප්‍රචාරය කර ගැනීමට හෝ තමා පිළිබඳව ලිපියක් පුවත්පතක පළ කරවා ගැනීමට හෝ මාධ්‍යවේදීන්ට කරදර නොකළේ ය. ඔහු සෑමවිටම විශ්වාස කරන ලද්දේ ලොව කිනම් හෝ නිර්මාණයක් සාර්ථක වෙත්ද, එය නිරායාසයෙන්ම ජනතාව වැළද ගන්නා බවයි.
2008 දී මවිසින් පරිවර්තනය කරන ලද රුසියානු මහා කෙටිකතාරු අන්තොන් චෙහොව් ( Anton Chekhov 1860 – 1904 ) විසින් රචිත Uncle Vanya බේවිස් විසින් වේදිකාවට ගෙන ඒමට සූදානම් වූවේ ය. කුමන හෝ කාරණාවක් නිසා ඔහුට එය ඉෂ්ට කරගැනීමට නොහැකි වූ බව මම පසුව දැනගතිමි.

බේවිස් තම ඇමෙරිකානු ජාතික මිතුරකු වූ සෑම් හෝල්ට් ( Sam Holt ) සමගින් එක්වී මහනුවර පුරවරයට ජාත්‍යන්තර චිත්‍රපට උළෙලක් රැගෙන පැමිණි බව බොහෝ දෙනෙකු නොදනී. ඒ 2011 දීය. මෙහි මූලික සාකච්ඡා වට කීපයකටම මම සහභාගි වුනෙමි. එසේම KCC ආයතනයේ සහාපති තුසිත විජේසේන මහතා හා මෙම ජාත්‍යන්තර චිත්‍රපට උළෙලට සහසම්බන්ධ කරන ලද්දේ මවිසිනි.එහිලා තුසිත විජේසේන මහතා තම පූර්ණ අනුග්‍රහය දැක්වූ බව මෙහිලා මතක් කරන්නේ සත්‍ය වළලා දැමිය නොහැකි බැවිනි.

ඉක්බිතිව මා විදේශගත වීම නිසා මෙම කටයුත්ත සදහා මගේ දායකත්වය ලබාදීමට නොහැකි විය.
මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් ( Kandy City Centre ) ආයතනය කේන්ද්‍රගතව පුරා දින පහක් තිස්සේ පවත්වන ලදි. මෙම අන්තර්ජාතික චිත්‍රපට උළෙල ඉතා සාර්ථක අයුරින් පැවැත්වන ලද අතර එහි අවසාන දින කෘතහස්ත සිනමා නිළි මාලිනී ෆොන්සේකා මහත්මිය වෙත සම්මානයක් ද පිරිනමන ලද බව මට පසුව දැනගන්නට ලැබුණි.

මාරගහ යට මාරමෑන්ගේ දේශපාලන හා සමාජය දෘෂ්ඨිය කෙබඳුද ?

බේවිස් වාමවාදී දේශපාලන කියවීමක් සහිත ජනතාවාදී කලාකරුවකු වූයේ ය. එම වාමවාදී කියවීම අන්තවාදී කියවීම නොව මධ්‍යස්ථ කියවීමක් බව මට ඔහු සමගින් කරන ලද දේශපාලන කතාබව වලින් ගම්‍ය වූයේ ය. ඔහු ධනවාදයේ සාධනීය ලක්ෂණ පිළිබඳව වුවද ඉතා මධ්‍යස්ථව කතාබහ කළේය . එපමණක්ද නොව ධනවාදී රටවල්වල කලාව හා සාහිත්‍යය පිළිබඳව මා සමගින් ඔහු දීර්ඝ වශයෙන් කතාබහ කර ඇත්තේ ය. කෙටියෙන් කිවහොත් ඔහු මෙරට හාන්සිපුටු වාමාංශිකයකු නොවීය. ඔහු තම වාම කදවුරේ අතීත වැරදි ඉතා නිර්දය ආකාරයෙන් මා සමගින් බොහෝ අවස්ථාවල දී විවේචනය කර තිබේ. ඔහුගේ දේශපාලන කියවීම මධ්‍යස්ථ හා ජනතාවාදී එකක් විය. ඔහු යුද්ධය අළුයම ලූ කෙල පිඬක් සේ ඉවත දැමීය. ඒ වෙනුවෙන් ඕනෑම අවස්ථාවක දී තම කලා භාවිතය වන සංගීතය හා ගායනය තම අවිය වශයෙන් යොදාගැනීමට හෙතෙම කිසිවිටෙකත් පසුබට නොවීය.

ඔහු ජාතිවාදය ,වර්ගවාදය හා ආගම්වාදය මුලුමනින්ම ප්‍රතික්ෂේප කළේය. ඒ වෙනුවෙන් නොසැලී නොබිය අවැසි තැන තම කටහඬ අවදි කළ අතර තම කලාව ද නිර්ලෝභීව භාවිතා කළේය.

මාරගහ යට මාරමෑන්ගේ සමාජය දෘෂ්ඨිය කෙබඳුද ?

මා මෙහිලා සාකච්ඡා කිරීමට කැමතිම අනු-මාතෘකාව නම් බේවිස්ගේ සමාජ දෘෂ්ඨිය යි. බේවිස් මෙම සමාජ ක්‍රමයට අනුව අමුම අමු අසම්මත මිනිසෙකි.
නොඑසේ නම් ඔහු බොහිමියානුවෙකි. මා එසේ කියන්නේ ඇයි දැයි ඔබ සිතනු ඇත. ඒ ඇයි දැයි කියා මෙතැනින් පහළට කියවාගෙන යනවිට ඔබට හැගෙනු ඇත.

බේවිස්ගේ ජීවිතය සුවිශේෂී කරුණු කාරණා කීපයක් සමන්විත වන්නේ ය. එනම් ඒ ඔහුගේ සෘජු හා ප්‍රතිපත්තිගරුකබව , මනුෂ්‍යත්වය හා ගැඹුරු සමාජ දැක්මයි.

ඔහු උදෑසණ දළදා විදියේ මාරගහ යටට විත් Chinese හෝටලයේ ( වර්තමානයේ Fashion Bug සාප්පුව ) පිල මත ඉදගෙන ඔහුගේ දිනයේ කාර්යය ආරම්භ කරන්නේ ය. එය නිමාවන්නේ මහනුවර පුරවරයට කළුවර ගලා හැලෙත්ම ය. මෙම කාලය තුළ දී ඔහු මහනුවර සමාජයේ විවිධ සමාජ ස්ථීරවල සිටින උදවිය ආශ්‍රය මිශ්‍රණය කරයි. එනම් ඒ විශ්ව විද්‍යාල මහාචාර්යවරයාගේ සිට ඉස්කෝල ගුරුවරයා දක්වාද දිසාපතිගේ සිට රජයේ සුළු සේවකයා දක්වා ද ව්‍යාපාරිකයාගේ සිට පේමන්ට් එකේ වෙළහෙළදාම් කරන ඉතා සුළු වෙළෙන්දා දක්වා ද නමගිය කලාවරුවා ගේ සිට ආධුනික කලාකරුවා දක්වා ද එසේම ඉස්කෝලේ දරුවාගේ සිට විශ්ව විද්‍යාල ශිෂ්‍යයා දක්වා ද විය. එසේම ඔවුන් සෑම දෙනාටම ඔහු තම හදවතින්ම මිත්‍රත්වය පෑවේ ය. දළදා විදියේ වූ ඒ සුවිසල් මාරගහ යට පේමන්ට් එකේ වාඩිවී සීටින බේවිස් පසුකරගෙන ඔහු දන්නා කියන කව්රුවත් නිහඩව නම් නොගියේ ය. ඔහුගේ මිතුරකු එසේ ගියා නම්, ඒ ගියේ පාරෙන් එහා පැත්තේ තිබූ වීදියෙන් පමණි . ඒත් බේවිස් දැක්කොත් ඔහුට අත දිගු කර ” හදිස්සියක් මං යනවා මචං” කියා යන්නට ඔවුහු කිසිවිටෙකත් අමතක නොකළහ.
ඒ වගේම ඔහුගේ මිතුරන් අතර අමුම අමු කුහකයන් ද සිටි බව කිව යුතුය . එය ඔහුට පමණක් නොව අපට ද පොදු වූ කාරණාවකි. එනමුත් ඔහු කිසිදු දිනෙක ඔවුන්ව විවේචනය කරන්නට හෝ ඔවුනට වෛර කරන්නට නොගියේ ය.
ඒ දවස්වල අපි පාසල් කට්කර චිත්‍රපට නරඹා ඔහුත් සමග ඒ චිත්‍රපට පිළිබඳව කතාබහ කලෙමු. එපමණක්ද නොව කාලයාගේ අවෑමෙන් අපි උසස් අධ්‍යාපනය තුළින් දැණුමෙන් පෝෂණය වත්ම ලෝක දේශපාලනය. දෙස් /විදෙස් කලාව මෙන් දේශපාලන දර්ශන පිළිබඳව ඔහුත් සමගින් වාද-විවාද කර ගත්තෙමු. අද මෙන් නොව ඒ දවසැ සැබවින්ම සොඳුරුතමයැ.

[වර්තමානයේ ජංගම දුරකථනය හා බද්ධ වී සිටින තාරුණ්‍යයට එවන් වූ සුන්දර තාරුණ්‍යයක් නැත. ඉදිරියේදී උදාවන්නේ ද නැත. සැබවින්ම කණගාටුවකි. – කර්තෘ ]

බේවිස් සමග දේශපාලනය හා කලාව පිළිබඳව ගැඹුරින් කතා කළ හැකියි. ඔහුට සමස්තයක් වශයෙන් ගත් කල්හි සැලකිය යුතු විෂයයන් සංඛ්‍යාවක් පිළිබඳව ඉහළ දැණුමක් තිබුණි. ඔහුට ඉතා චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව කතා කිරීමට හැකියාව තිබුණි. එනමුත් ඔහු එය අවියක් වශයෙන් සමාජයට පෙන්වීමට කිසිවිටෙකත් උත්සාහ නොකළේ ය.ඔහු ඉංග්‍රීසි දන්න උදවිය සමග පමණක් ඉංග්‍රීසියෙන් කතා කළේය. ඔහු එදා මෙන් අදද මාත් සමගින් භාෂා දෙකෙන් කතා කරන්නේ ය. ඒ අතරතුර එදා කතා කළ ආකාරයෙන් කටහුරුවට අද වුවද මට “මචං” කියැවෙන අවස්ථාව ද නැතුවාම නොවේ.ඒ සමගින් සමාව ගැනීමට ඔහු අමතක නොකරන්නේ ය.

එදා බේවිස් සමගින් මාරගහ යට නැවතී බොහෝ වේලාවක් කතාබහ කළ මෙරට වැඩිහිටි ගරුකටයුතු චරිත අතර මහාචාර්ය සුචරිත ගම්ලත් මහතා , ආචාර්ය ධර්මසේන පතිරාජ මහාචාර්ය දයා අමරසේකර ,ජනාධිපති නීතිඥ ලාල් විජේනායක, රාජා උස්වැටකෙයියාව හා හිටපු විදුහල්පතිවරයකු හා මහනුවර කොමියුනිස්ට් පක්ෂයේ ලේකම්වරයා වන රංජිත් විජේසිංහ , නීතීඥ නිහාල් හෙට්ටිආරච්චි ඇතුළු බොහෝ දෙනෙකු වූහ. එහිලා මෙරට ඉංග්‍රීසි සාහිත්‍යයේ ප්‍රකට ලේඛකයකු වූ කාල් මුලර් ( Carl Muller ) සුවිශේෂී චරිතයක් විය. ඔහු “මාරගහ යට මාර මෑන්” යන නමින් කවියක් හෝ කෙටිකතාවක් රචනා කළ බව මට යාන්තමින් මතක ය.

බේවිස් කොතරම් පිරිසක් ආශ්‍රය මිශ්‍රණය කළ ද ඔහු තවත් කෙනෙකු තවත් අයකු සමගින් කවදාවත් විවේචනය කලේ නැත. ඔහු දක්ෂයාට දක්ෂයා කියා මුව පුරා කීය. එපමණක්ද නොව ඔහු කිසිවකු තම ලාබ ප්‍රයෝජනය තකා ආශ්‍රය මිශ්‍රණය නොකළේ ය. යමෙකුට කියන්නට දෙයක් ඇත්නම් ඔහුගේ මුහුණටම කීවේ ය.

බේවිස්ට සෑම අයකුම දිරවන්නේ නැත. එසේම සෑම අයකුටම බේවිස් ද දිරවන්නේ නැත. ඔහු සමාජයේ කොපමණ පිරිසක් ආශ්‍ර මිශ්‍රණය කළ ද ඉතා කිට්ටුවෙන් ආශ්‍රය මිශ්‍රණය කරන ලද්දේ ඉතා සුළු පිරිසක් පමණි. ඒ ඔහුගේ සිරිතයි.
එපමණක් නොව ඔහුගේ පවුලේ උදවිය තනතුරු හා වත්පොහොසත්කම් අතින් ඉතා ඉහළ සමාජ තලයක සිටියහ. එනමුත් ඔහු ඒ පිළිබඳව ඔලුව උදුම්මවා ගත්තේ නැත. ඔවුන් පිළිබඳව අනුන්ට පුරාජේරු කියන්නට ගියේ ද නැත.

සැබවින්ම බේවිස් මා පෙර පැවසූ පරිදි අපූරු බොහිමියානුවෙක් වූයේ ය. ඔහු නිදහස හා සැහැල්ලුව උපරිමයෙන්ම බුක්ති වින්දේ ය. ඔහුට පෞද්ගලික බලාපොරොත්තු හා ඉලක්ක කියා කිසිවක් නොතිබුණි. ඔහු සමාජයට ඕනෑ ආකාරයෙන් නොව තමාට ඕනෑ ආකාරයෙන් ජීවත්වීමට නිතරම උත්සහ කළේ ය. වර්තමානයේ අප ජීවත් වන්නේ අපට ඕනෑ ආකාරයෙන් නොව සමාජයට ඕනෑ ආකාරයෙනි. එහෙයින් අප නිදහස් හා නිවහල් යයි සිතුවට සැබවින්ම අප එසේ නිදහස් නොවීය. නිවහල් ද නොවීය.බේවිස් ජීවිතය තමුනට රිසි පරිදි වින්දේ ය. එසේම සමාජයට අනුව කටයුතු කරන බොහෝ දෙනෙකු ජීවිතය විඳවන්නේ ය. එනමුත් කණගාටුදායක කාරණය වන්නේ එම විඳවීම ඔවුනට තම ජීවිත කාලය පුරාම නොතේරීමයි.
බේවිස් තම ශරීරය සෞඛ්‍ය පිළිබඳව කිසිවිටෙකත් නොසිතුවේ ය. රිසිසේ දුම් පානය කළේ ය. අවස්ථාව ලද විටදී නැති වෙන්න මධුවිත තොලගෑවේ ය. ආහාරවල කිසිදු පාලනයක් නොවීය.

මේ සියල්ල අවසානයේ දී ඔහුට දරුණු හෘදයාබාධයක් වැළඳී රෝහල ගත කරන්නට වූයේ ය. වෛද්‍යවරුන් නිගමනය වූයේ නොපමාව හෘද සැත්කමක් කළ යුතු බවයි. එහිදී ඔහුට තම සුපුරුදු ජීවිතය අකමැත්තෙන් වුවද තම ජීවිත අවදානම වෙනුවෙන් වෙනස් කර ගැනීමට සිදුවිය .

ඉක්බිතිව ඔහුගේ ජීවිතය හා එහි රැකවරණය තම සහෝදරියක් යටතට පත්විය. එතැන් පටන් බේවිස්ට තමුන්ගේ බොහිමියානු ජීවිතය අහිමිවූ අතර මහනුවර පුරවරයට මාරගහ යට මාරමෑන් ද අහිමි විය. වර්තමානයේ බේවිස් තම සහෝදරියගේ ආරක්‍ෂාව හා රැකවරණය යටතේ තම ජීවිතයේ සැදෑසමය ගෙවාදමයි. තවමත් ඔහු රැඩිකල් ය. එසේම ජනතාවාදී ය.

පසුව ලියමි —‘

මරණයෙන් ඉක්බිතිව බේවිස් පිළිබඳව ගුණ වර්ණා කොට විවිධ සටහන් මුහුණු පොතේ තැබීමට බොහෝ දෙනෙකු සිටියත් ජීවත්ව සිටියදී ඔහු පිළිබඳව එකදු සටහනක්වත් තැබීමට ඔවුන්ගෙන් කීදෙනකු ඉදිරිපත් වූවාද යන්න සිතනු වටී. ඒ අපේ සමාජයේ යථාස්භාවය වන්නේ ය. ඊට කම් නැත.
ආදර බේවිස් මිතුර ඔබ උතුම් නිවනින් සැරසෙත්වා!!

ඇතිපොළ මංගල හිමි

Related articles

‘ආච්චිලා මිනිබිරීලා සහ තවත් ගැහැණු’ – කුමුදු කුමාරසිංහ

කුමුදු ගෙ ආච්චිලා මිනිබිරීලා සහ තවත් ගැහැනු එක්ක ටික දවසක් තිස්සෙ කරළ ගමන අදින් අවසන් කරගත්තා. එතකොට මං...

ඉන්දියාවෙන් පාඩමක්

ටාටා ස්ටීල් චෙස් තරගාවලිය අවසන් වුණා. ටාටා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ඉන්දියාවේ පැවැති එම තරගාවලියට ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් සහභාගී...

පාර්ලිමේන්තු ඉතිහාසයට නව පිටුවක් – කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස දිවුරුම් දෙති !

හෙට (21) ආරම්භ වන දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩි ම මන්ත්‍රීවරියන් පිරිසක් දිවුරුම් දීමට නියමිත...

ජුලම්පිටියෙ අමරෙගේ මරණ දඬුවම අභියාචනාධිකරණයෙන් ස්ථිර කරයි – මහ මොළකරුවන් නිදොස් කොට නිදහස් ද?

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ...